Skip to content

පටුනට යන්න

යුග දිවියට පා තබන්නේ කොයි විදිහටද?

යුග දිවියට පා තබන්නේ කොයි විදිහටද?

යෞවන අය අසති . . .

යුග දිවියට පා තබන්නේ කොයි විදිහටද?

“අපේ යාළුවන්, නෑදෑයන් හැමෝටම නොකියා ටිකදෙනෙකුට විතරක් කියලා උත්සවය පොඩියට ගමුයි කිව්වේ සින්ඩියි. ඒ ගැන කතා කරද්දී අපිට තේරුණේ එහෙම කරන එකෙන් කාලය ඉතුරු වෙනවා විතරක් නෙවෙයි වැඩි වෙහෙසක්වත්, වැඩි මානසික පීඩනයක්වත් දැනෙන්නේ නැහැ කියලයි.”—ඇලන්.  *

ඔබ විවාහ වෙන්න සුදුසු වයසක සිටිනවා නම් හා ඔබට විවාහ වීමට කෙනෙකු සිටිනවා නම් විවාහ උත්සවයක් ගැන ඔබ කල්පනා කරනවා ඇති. ඇතැම් තත්වයන් නිසා ඔබ ගෙදරින් ගොස් දෙමාපියන්ට නොදන්වා හොර රහසේ විවාහ වීම වැනි තීරණයක් ගැනීමට ඉඩ තිබෙනවා. * නමුත් හරි දේ තීරණය කිරීමට උපකාරවත් වන ප්‍රමිති මොනවාද?

උත්සවය ගන්නේ කොහොමද?

විවාහය බොහෝ සමාජයන් තුළ සිදු වන සාමාන්‍ය දෙයක් වුවත් ඒ වටා ගොඩ නැඟී ඇති සිරිත් විරිත් විශාල වශයෙන් වෙනස් වෙනවා. විවාහ උත්සවයකදී ක්‍රිස්තියානි යුවළක් වැඩි සැලකිල්ලක් දක්වන්නේ දේශීය සිරිත් විරිත් අකුරටම පිළිපැදීමට නොවෙයි. (රෝම 12:2) ඔවුන් විවාහයට පෙර කරන ආශ්‍රයේදීත්, ඉන්පසු විවාහ මංගල්‍යය පැවැත්වීමේදීත් වැඩියෙන්ම කැමති වන්නේ යෙහෝවා දෙවිට ගෞරවය ලැබෙන ආකාරයෙන් එය කිරීමටයි.—1 කොරින්ති 10:31.

විවාහය ගෞරවනීය දෙයක් නිසා යුග දිවියට පා තබන වැඩිදෙනෙකු එය හොර රහසේ කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. බොහෝ රටවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් තම විවාහ මංගල්‍යය පවත්වන්නේ ඔවුන්ගේ නමස්කාර ස්ථාන වන රාජ්‍ය ශාලාවලයි. * ඉන්පසු වෙනත් ස්ථානයකදී, පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන් සමඟ විනෝදයෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ඔවුන් කැමති විය හැකියි. එවැනි අවස්ථාවක් අනිවාර්යයෙන්ම ජයට ගන්නා උත්සවයක් විය යුතු නැහැ. බොහෝවිට විවාහ උත්සවයක් හා භෝජන සංග්‍රහයක් සැලසුම් කිරීම වෙහෙසක් දැනෙන සෑහෙන වියදමක් දැරීමට සිදු වන දෙයක් බව ඇත්තයි. උදාහරණයකට ශ්‍රී ලංකාවේ විවාහ උත්සවයක් ගැනීමට බොහෝදුරට ලක්ෂ ගණන් වැය වෙනවා.

වෙහෙස හා අධික වියදම් අවම කරගැනීමේ අදහසින් සමහර විවාහ අපේක්ෂිතයන් ඉතා සරල උත්සවයක් ගැනීමට තීරණය කර තිබෙනවා. සින්ඩි මෙසේ පවසනවා. “අපිට සරලව අඩු වියදමකින් උත්සවය ගන්න ඕන නිසා හැමෝම කරන විදිහට ලොකුවට කරන්නේ නැහැ කියලා අපි අපේ දෙමාපියන්ට කිව්වා. තත්වය ඔවුන්ට තේරෙන බව පැවසූ අපේ දෙමාපියන් අපේ අදහසට එකඟ වුණා. ඔවුන් හුඟක් උපකාර කළා.” එහෙත් කලින් සඳහන් කළ ඇලන් විවාහ සැලසුම් ගැන තම දෙමාපියන්ට කිවූ විට ඔවුන්ට තත්වය තේරුම්ගන්න අමාරු වුණා. “ඔවුන් හිතුවේ අපි මේ වගේ තීරණයක් ගත්තේ ඔවුන්ගේ වරද නිසා කියලයි. ඇත්තෙන්ම ඒක එහෙම නෙවෙයි” කියා ඇලන් පවසනවා.

විවාහ උත්සවයක් සුළුවෙන් කරන්න ඔබ තීරණය කළොත් ඔබේ දෙමාපියන්ට කනගාටුවක් ඇති විය හැකියි. මොකද මෙම උත්සවයේදී ප්‍රීතිය බෙදාගන්න බොහෝදෙනෙකුට ආරාධනා කරන්න ඔවුන් කැමති වෙයි. එහෙත් සමහරු තම විවාහයට පවුලේ අය විරුද්ධ වෙයි කියා හිතන නිසා දෙමාපියන්ට නොකියාම විවාහ වීමට අදහස් කරනවා. එය සුදුසුද?

පවුලේ සාමාජිකයන්ගේ හැඟීම් ගැන හිතන්න

ඔබ විවාහය වැනි බැරෑරුම් තීරණයක් ගැනීමට තරම් සුදුසු වයසක නැති බව ඔබේ දෙමාපියන්ට හැඟෙන නිසා ඔවුන් විරුද්ධත්වය පළ කළ හැකියි. ඔබ වයසින් මුහුකුරන විට ඔබේ රුචි අරුචිකම් වෙනස් වෙන නිසා ඔබ කළ තේරීම ගැන පසුතැවෙයි කියා ඔවුන් බිය වෙන්නත් පුළුවන්. ඒ සඳහා සුදුසු වයසක සිටියත් ඔබ විවාහ වීමට බලාපොරොත්තු වන තැනැත්තා හෝ තැනැත්තියගේ යම් අඩුපාඩුකම් ඔවුන් දකින්නත් ඉඩ තිබෙනවා. නැතහොත් ඔබ තෝරාගෙන සිටින්නේ වෙනස් ආගමික විශ්වාසයන් දරන කෙනෙකුව නිසාත් ඔබේ දෙමාපියන් ඊට විරුද්ධ විය හැකියි.

ඔබේ දෙමාපියන් සැබෑ ක්‍රිස්තියානීන් නම් ඔවුන් දරන අදහස්වලට බයිබලය මත පදනම් හේතු ඔවුන්ට තිබෙනවා විය හැකියි. ඔවුන්ට තිබෙන සැකයන් ගැන ඔවුන්ගේ අදහස් පළ කිරීම සුදුසු දෙයක්. ඔවුන් එසේ නොකළොත් යෙහෝවා දෙවි ඔවුන්ව දකින්නේ සැලකිල්ලක්, ආදරයක් නැති අය හැටියටයි. ඔබ ඔවුන්ට සවන් දෙනවා නම් ඔබටමයි යහපතක් වෙන්නේ.—හිතෝපදේශ 13:1, 24.

උදාහරණයක් බලමු. ඔබ ඇඳුමක් ගන්න පෙර එය ඔබට ගැළපෙනවාද නැද්ද කියා හිතවතුන්ගෙන් විමසන්න ඉඩ තිබෙනවා. ඔවුන්ගේ අදහසට ඔබ එකඟ නොවෙනවා වුවත් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ අවංක අදහස්. සමහරවිට ඔවුන්ගේ අදහස නිසා ඔබ මුදල් නාස්ති කිරීමෙන් වැළකෙයි. ඒ ගැන ඔබ ඔවුන්ට අගය පළ කරයි. එසේනම්, ඔබේ සහකරු හෝ සහකාරිය ලෙස තෝරාගන්න පුද්ගලයා ගැන පවුලේ අයගේ අදහස් ඔබ ඊට වඩා කොතරම් අගය කළ යුතුද? ඇඳුමක් මාරු කරනවා හෝ අයින් කරනවා වගේ විවාහය තාවකාලික එකක් නෙවෙයි. යෙහෝවා ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඔබ දෙදෙනාම ජීවිත කාලය පුරාම එකට විසීමයි. (මතෙව් 19:5, 6) ඔබේ පෞද්ගලිකත්වයට හා ආගමික විශ්වාසයන්ට අනුකූල නොවන කෙනෙකුව ඔබ තේරුවොත් නොගැළපෙන ඇඳුමක් ඇඳීමෙන් දැනෙන අපහසුතාවට වඩා වැඩි අපහසුතාවක් ඔබට දැනේවි. (උත්පත්ති 2:18; හිතෝපදේශ 21:9) නියම සතුට භුක්ති විඳීමේ ප්‍රස්තාවත් ඔබෙන් ගිලිහී යාවි.—හිතෝපදේශ 5:18; 18:22.

ඇතැම් දෙමාපියන් තම දරුවන්ට කිසි නිදහසක් නොදී විවාහයට විරුද්ධ වන්නේ ආත්මාර්ථකාමී හේතු නිසා විය හැකි බව ඇත්තයි. ඒත් ඔබේ දෙමාපියන් ඔබව පාලනය කරයි කියා සිතමින් හෙමින් සීරුවේ විවාහ වෙනවාට වඩා ඔවුන් විරුද්ධ වෙන්නේ ඇයි කියා කල්පනා කර නොබලන්නේ මන්ද?

සැලකිලිමත් විය යුතු කාරණා

වයසින් මුහුකුරද්දී ඔබේ රුචි අරුචිකම් වෙනස් වෙනවා. “මම බිලිඳෙකුව සිටියදී, බිලිඳෙකු මෙන් කතා කළෙමි. බිලිඳෙකු මෙන් සිතුවෙමි. බිලිඳෙකු මෙන් කල්පනා කළෙමි. නමුත් දැන් මා වැඩිහිටියෙකු වී සිටින හෙයින්, මම බිලිඳෙකුගේ ගතිලක්ෂණ අත්හැර දමා සිටිමි” කියා පාවුල් ලිව්වා. (1 කොරින්ති 13:11) එලෙසම නහඹර වියේදී ඔබ කෙනෙකුගේ ගතිලක්ෂණවලට ආකර්ෂණය වුණත් ඔබ වයසින් මුහුකුරද්දී ඒ ගතිලක්ෂණවලට අකමැති විය හැකියි. විවාහ වීමට කෙනෙකු තේරීමේ බැරෑරුම් පියවර තබන්න “යොවුන් වියේ ඇති වන හැඟීම්වල උච්චාවස්ථාව පසු කරන” තුරු එනම් ඔබේ ලිංගික ආශාවන් උච්ච වන වසර කීපය ගෙවෙන තුරු ඉන්න කියා බයිබලයේ නිර්දේශ කරන්නේ ඒ නිසයි.—1 කොරින්ති 7:36.

ඔබ විවාහ වන පුද්ගලයාගේ යම් වරදක් ඔබේ දෙමාපියන් ඔබට පෙන්වා දුන්නොත් කුමක්ද කළ යුත්තේ? දෙමාපියන් අද්දැකීම් ලත් අය නිසා හරි වැරැද්ද වටහාගැනීමේ හැකියාව ඔවුන්ට තිබිය හැකියි. (හෙබ්‍රෙව් 5:14) ඒ නිසා ඔබ නොදකින බරපතළ වරදක් ඔවුන් දැකිය හැකියි. නැණවත් සලමොන් රජ ලියූ ප්‍රතිපත්තිය සලකා බලන්න. පළමුකොට තමාගේ පැමිණිල්ල කියන අය නිවැරදිකාරයෙකු මෙන් පෙනෙයි; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු පරීක්ෂා කර බලයි.” (හිතෝපදේශ 18:17) එසේම ඔබට සුදුසුම කෙනා තමා බව ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබට ඒත්තුගන්වා තිබිය හැකියි. ඒ වුණත් ඔබේ දෙමාපියන් ‘ඔහුව පරීක්ෂා කර’ බලා යම් කාරණා සලකා බලන්න කියා ඔබට පැවසිය හැකියි.

“ස්වාමීන් තුළ පමණක්” විවාහ වෙන්න කියා සැබෑ ක්‍රිස්තියානීන්ට බයිබලයෙහි කියා තිබෙන බව ඔබට ඔවුන් තරයේ මතක් කළ හැකියි. (1 කොරින්ති 7:39) ඒ අදහසට විරුද්ධ වෙමින්, වෙන ආගමික විශ්වාසයන් දැරුව අයව විවාහ වී දැන් සතුටෙන් යෙහෝවාට සේවය කරන අය ගැන ඔබ පවසන්න ඉඩ තිබෙනවා. ඒක එහෙම වුණත් ඒ ඉතා කලාතුරකින් වෙන දෙයක්. ඔබේ ඇදහිල්ලට අනුකූල නොවන කෙනෙකු සමඟ ඔබ විවාහ වුණොත් ඔබ යෙහෝවාගේ ප්‍රමිති නොසලකා හරිනවා පමණක් නොව ඔබේ ඇදහිල්ල පවා නැති කරගන්න ඉඩ තිබෙනවා.—2 කොරින්ති 6:14. *

වරද වැසීමට විවාහ වීම

සමහර යෞවනයෝ පැනලා ගිහින් විවාහ වෙන්නේ දුරාචාරයේ හැසුරුණු නිසයි. ඔවුන් සිතන්නේ එම හැසිරීමේ හවුල් වූ තැනැත්තා හෝ තැනැත්තිය සමඟ විවාහ වීමෙන් වද දෙන හිත හරිගස්වා ගත හැකියි කියලයි. එසේ නැත්නම් බලාපොරොත්තු නොවුණු ගැබ්ගැනීමක් වැනි පව්කාර ක්‍රියාවල ප්‍රතිඵලයක් සැඟවීමේ අදහසිනුයි.

ඔබ විවාහ වන්නේ පාපයක් සැඟවීමට නම් තවත් වරදක් කරන ඔබ කබලෙන් ලිපට වැටෙන්න ඉඩ තිබෙනවා. “තමාගේ අපරාධ සඟවන්නා දියුණු නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නා කරුණාව ලබන්නේය” කියා සලමොන් අනතුරු ඇඟෙව්වා. (හිතෝපදේශ 28:13) සලමොන්ගේ පියා සහ මව, එනම් දාවිත් සහ බැත්-ෂෙබා තම දුරාචාර හැසිරීම සැඟවීමට තැත් කිරීමෙන් මෝඩ ලෙස ක්‍රියා කළා. (2 සාමුවෙල් 11:2–12:25) ඔබේ පාපය නොසඟවා ඔබේ දෙමාපියන්ටත්, සභාවේ වැඩිමහල්ලන්ටත් කියන්න. ඒ සඳහා ඔබට ධෛර්යය උපදවාගන්න අවශ්‍ය වන නමුත් ඔබ පසුතැවිලි වෙනවා නම් යෙහෝවා ඔබට සමාව දෙන බවට ස්ථිරත්වයක් තබාගන්න පුළුවන්. (යෙසායා 1:18) ඔබේ සිත වද දෙන තත්වයෙන් ඔබ ගොඩ ආ දවසේදී විවාහය පිළිබඳ හරි තීරණයක් ගන්න සුදුසු තත්වයක ඔබ ඉඳීවි.

පසුතැවීම් වළක්වාගන්න

තමාගේ විවාහ මංගල්‍යය ගැන කල්පනා කරමින් ඇලන් මෙසේ පවසනවා. “චාම් සරල උත්සවයක් ගන්න අපි තීරණය කළ නිසා වෙහෙස සෑහෙන්න අඩු වුණා. මට තියෙන එකම කනගාටුව තමයි මගේ පවුලේ අයට අපේ තීරණය ගැන වඩාත් හොඳින් අවබෝධ කරලා දෙන්න බැරි වුණ එක.”

වැඩිහිටි යුවළක් ඔවුන්ගේ විවාහ මංගල්‍යය ජයට ගන්නවාද සුළුවෙන් ගන්නවාද යන්න පෞද්ගලික තීරණයක් වෙන්න පුළුවන්. කෙසේවුවත් විවාහය පිළිබඳ යම් තීරණ ගන්නා විට ඔබේ පවුලේ අය සමඟ ඒ ගැන කතා කර, ‘ඔබේ පියවර හොඳින් විමසා බැලීමට’ කාලය මිඩංගු කරන්න.—හිතෝපදේශ 14:15, නව අනුවාදය.

[පාදසටහන්වල]

^ 3 ඡේ. නම් වෙනස් කර තිබෙනවා.

^ 4 ඡේ. එවැනි දෙයක් කළ විට පැනලා ගියා කියලත් පවසනවා.

^ 7 ඡේ. මේවා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විවාහ මංගල්‍යයන් පැවැත්වීමට කදිම ස්ථාන වෙයි. උත්සවය, සාර්ථක විවාහයකට පදනමක් සපයන බයිබල් ප්‍රතිපත්ති ගැන කෙටි කතාවක් ඇතුළත් චාම් එකක්. රාජ්‍ය ශාලාවේ පවත්වනවාට මුදලක් අය කරන්නේ නැහැ.

^ 18 ඡේ. මෙම විෂය ගැන වැඩි විස්තර සඳහා 2004 ජූලි 1 මුරටැඹ සඟරාවේ 30-1 පිටු සහ 1990 ජූලි 1 මුරටැඹ සඟරාවේ 7-12 පිටු බලන්න.

[29වන පිටුවේ පින්තූරය]

විවාහය පිළිබඳ යම් තීරණ ගන්නා විට ඔබේ පවුලේ අය සමඟ ඒ ගැන කතා කරන්න