Skip to content

පටුනට යන්න

විද්‍යාව සහ බයිබලය ජීවිතයේ හරය සොයාගන්න උපකාරයක් වුණා

විද්‍යාව සහ බයිබලය ජීවිතයේ හරය සොයාගන්න උපකාරයක් වුණා

විද්‍යාව සහ බයිබලය ජීවිතයේ හරය සොයාගන්න උපකාරයක් වුණා

පැවසුවේ බර්න්ට් ඔඑල්ෂ්ලාගල්

ජීවිතයේ හරය සොයාගන්න මට අවුරුදු 20ක් ගත වුණා. මම ඒක හොයාගත්තේ විද්‍යාව සහ බයිබලය හදාරලයි. ජීවිතයට හරයක් තියෙන්න ඕන කියන කාරණය විද්‍යාවෙන් මට තහවුරු වුණත් ඒ ගැන හරි අවබෝධයක් ලැබුණෙත්, පැහැදිලි වුණෙත් බයිබලයෙනුයි.

බයිබලය විද්‍යාවට පටහැනියි කියලා සමහරු කියනවා ඔබ අහලා ඇති. ඒත් මම ඒ දෙකම හැදෑරුව හින්දා එයට එකඟ වෙන්න බැහැ. ඇයි මම එහෙම කියන්නේ කියලා ඔබ දැනගන්න කැමති ඇති.

මම ඉපදුණේ 1962දී දකුණු ජර්මනියේ ස්ටුට්ගාර්ට් නගරයෙයි. මගේ තාත්තා විවිධ යන්ත්‍ර නිර්මාණය කළා. තාත්තයි අම්මයි නිතරම පල්ලියේ දේවල්වලට හවුල් වුණා. මගේ අක්කා මට වඩා අවුරුදු හතරක් වැඩිමල්. එයාගේ නම කාරීන්. මං පොඩි කාලේදී තාත්තා මට විද්‍යා පරීක්ෂණ පවත්වන උපාංග ගෙනත් දුන්නා. ඒවායින් රසායන හා භෞතික විද්‍යාවේ ප්‍රාථමික දේවල් අත්හදා බලද්දී මට ලොකු සතුටක් දැනුණා. ආසාවෙන් නොයෙක් දේවල් ඉගෙනගත්තා.

ඊට පස්සේ ඒවා වෙනුවට පරිගණකය පාවිච්චි කරන්න මම පටන්ගත්තා. නහඹර වියේ හිටියත් හොඳම පරිගණකය මොළය බව මට වැටහුණා. ඒත් ‘මොළය හැදුණේ කොහොමද? ඒක අපිට දුන්නේ කවුද? ජීවිතයේ හරය මොකක්ද’ කියලා මම කල්පනා කළා.

වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීම

වයස අවුරුදු 16දී මම පාසැලෙන් අස් වෙලා ඡායාරූපාගාරයක සහයකයෙක් හැටියට වැඩ කරන්න පටන්ගත්තා. මං හුඟක් ආස කළේ ඉගෙනගන්නයි. ඒ නිසා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව හදාරන්න හිතාගත්තා. ඒත් ඒකට තව හුඟ කලක් බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඇතුල් වීමේ සුදුසුකම් ලබන්න විතරක් වසර පහක් හිටියා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය පටන්ගත්තේ 1983දී ස්ටුට්ගාර්ට්වලයි. ඊට පස්සේ ම්‍යුනික්වලදී තවදුරටත් ඒ විෂය හැදෑරුවා. අන්තිමේදී 1993, ඔග්ස්බර්ග් විශ්ව විද්‍යාලයේදී මම භෞතික විද්‍යාශූරී උපාධිධාරියෙක් වුණා.

විශ්ව විද්‍යාලයේ මුල් අවුරුදු කීපය මට දුෂ්කර කාලයක් වුණා. සාමාන්‍යයෙන් ශිෂ්‍යයන් 250ක් විතර දේශනවලට ආවත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මාස දෙක තුනක් යද්දී නවතිනවා. ඒත් පටන්ගත්ත දේ නතර නොකරන්න මම තීරණය කරගත්තා. ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතිලා ඉන්නකොට විනෝදකාමී මිතුරන්ව මුණගැහුණා. ඔවුන් එක්ක ඇසුරු කිරීමෙන් යහපතක් සිද්ධ වුණේ නැහැ. සාදයන්වලට යන්නත් මත් ද්‍රව්‍ය ගන්නත් පුරුදු වුණා.

හරය සොයන්න ඉන්දියාවට ගියා

භෞතික විද්‍යාව ඉගෙනගන්නකොට විශ්වයේ ස්වාභාවික නීති ගැන ගැඹුරු අධ්‍යාපනයක් ලැබුණා. විද්‍යාව හැදෑරීමෙන් ජීවිතයේ හරය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලයි මම හිතුවේ. ඒත් භෞතික විද්‍යාවෙන් ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ. වර්ෂ 1991දී තව කණ්ඩායමක් එක්ක මම ඉන්දියාවට ගියා පෙරදිග භාවනා ක්‍රමය ඉගෙනගන්න. ඒ රටත් එහෙ මිනිසුන්වත් දැක බලාගන්න ලැබුණ එක මොන තරම් කදිම අද්දැකීමක්ද! ඒත් එහෙ ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය දැක්කහම මට පුදුම හිතුණා.

උදාහරණෙකට පූනෙ නගරයට කිට්ටුව හිටිය සාමි කෙනෙක්ව හම්බ වෙන්න අපි ගියා. ඔහු ධනවත් වෙන්න කැමති කෙනෙකුට ඒ සඳහා තියෙන නිවැරදි භාවනා ක්‍රම කියා දෙන කෙනෙක්. අපිත් හැම උදේකම කණ්ඩායමක් හැටියට භාවනා කළා. ඔහු වැඩි මිලකට ඖෂධත් විකුණුවා. සෑහෙන මුදලක් හම්බ කරන බව ඔහුගේ ජීවන රටාවෙන්ම පිළිබිඹු වුණා. ඒත් දිලිඳු ජීවිත ගත කරන සාමිවරුන්වත් අපි දැක්කා. ‘ඔවුන්වත් ධනවතුන් කරන්න භාවනා ක්‍රමවලට බැරි ඇයි’ කියලා මම කල්පනා කළා. ඉන්දියා ගමනෙන් යම් පිළිතුරු ලැබුණත් තවත් ප්‍රශ්න රාශියක් පැන නැග්ගා.

සිහිවටනයක් හැටියට මම ඉන්දියාවෙන් භාවනා සීනුවක් ගෙනාවා. මට කිව්වේ හරියට නාද කළොත් නිවැරදි ලෙස භාවනා කිරීමට උපකාර වෙන සංගීතයක් ඇහෙයි කියලයි. ජර්මනියේදී මගේ අනාගතය ගැන කියන්න පුළුවන් කෙනෙක් ලව්වා කේන්දරයක් හදවගත්තා. ඒත් භාවනා කිරීමෙන් ජීවිතය ගැන යමක් හෙළි වුණේ නැහැ වගේම කේන්දරය නිකම්ම නිකම් කොළයක් විතරයි කියන එකත් මට වැටහුණා. ජීවිතයේ හරය ගැන මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නැහැ.

බයිබලයෙන් පිළිතුරු

වර්ෂ 1993දී නොහිතුව විදිහට ජීවිතය වෙනස් වුණා. අධ්‍යාපනය හා පර්යේෂණ අවසන් කළාට පස්සේ මං හැදෑරුව භෞතික විද්‍යා විෂය ගැන වාර්තාවක් ලියන්න තිබුණා. නියමිත දිනට ඉවර කරන්න ඕන නිසා අනිත් හැම දෙයක්ම පැත්තකට දාලා දිවා රෑ නොබලා ලිව්වා. දවසක් දවාලක කවුද දොරට තට්ටු කළා. දොර අරිද්දී කාන්තාවන් දෙන්නෙක් හිටගෙන හිටියා.

“බයිබලයට අනුව 1914 අවුරුද්ද විශේෂ වසරක් බව ඔබ දැනගෙන හිටියාද” කියලා ඔවුන් මගෙන් ඇහැව්වා. මේ මොකක්ද මම කවදාවත් ඒ වගේ දෙයක් අහලා තිබුණේ නැහැ. ඒ ගැන පර්යේෂණය කරන්න වෙලාවකුත් නැහැ කියලා මම හිතුවා. ඒත් මගේ කුතුහලය ඇවිස්සුණා. වර්ෂ 1914 විශේෂ අවුරුද්දක් බව බයිබලයේ ලියලා තියෙන්නේ හුඟ කලකට ඉස්සෙල්ලා කියලා ඔවුන් කියන්නේ කොහොමද?

“ඒ ගැන වැඩි යමක් ඉගෙනගන්න ඔබ කැමතිද?” කියලා ඔවුන් මගෙන් ඇහැව්වා. ‘ඒගොල්ලන්ට සවන් දුන්නොත් ඔවුන්ගේ තර්කය බිඳින්න මට පුළුවන් වෙයි කියලා මට හිතුණා.’ ඒත් සිද්ධ වුණේ ඒකෙ අනිත් පැත්තයි. බයිබලය විශ්වාස කරන්න පුළුවන් සාක්ෂි ලැබුණා. දෙවි තම පුත්‍රයා මගින් 1914දී දේවරාජ්‍යය පිහිටෙව්ව බව බයිබල් අනාවැකිවල පැහැදිලිව පෙන්වලා තියෙනවා කියලා මම දැනගත්තා. එය ඉදිරියේදී මුළු පොළොවම පාලනය කරන ස්වර්ගයේ පිහිටා ඇති ආණ්ඩුවක්. *

යෙහෝවාගේ සාක්ෂිකරුවන් වූ ඒ කාන්තාවන් දෙන්නා මට පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත දුන්නා. * හැම දෙයක්ම තර්කානුකූලව සාධාරණව පෙන්නලා තිබුණ ඒ පොත මම දවස් කීපයකින් කියවලා ඉවර කළා. මිනිසුන්ව පාරාදීස පොළොවේ සදාකල් ජීවත් කරවීම යෙහෝවාගේ කැමැත්ත බව සාක්ෂිකරුවන් මට බයිබලයෙන් පෙන්නුවා. බයිබලයේ අනාවැකිවලට අනුව මේ පොරොන්දුව ළඟදීම ඉටු වෙනවා. එතකොට අනාගතය මොන තරම් ප්‍රීතිමත් එකක් වේවිද! ඒ ගැන ඇහැව්වාම මගේ ඇස්වලට සතුටු කඳුළු ආවා. අවුරුදු 20ක් පුරාම මම හෙව්වේ මේක වෙන්න බැරිද?

මගේ ජීවිතයට දැන් හරයක් තියෙනවා. යෙහෝවා දෙවිව දැනගෙන ඔහුට මුළු හදින්ම සේවය කරන්න ඕන බව මට වැටහුණා. ඉගෙනගන්න දේ ඇත්ත බව තේරුණු නිසා මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක දිගටම බයිබලය පාඩම් කළා. දෙවි ගැන ඉගෙනගන්න තිබුණ ආශාව තව තවත් වැඩි වුණා. උපාධියට පාඩම් කරන ගමන්ම මාස තුනක් ඇතුළත බයිබලයේ භාගයක්ම කියෙව්වා.

සැබෑ සතුට ලබාගැනීම

වර්ෂ 1993 මැයි මාසයේදී මම ඔග්ස්බර්ග්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ තිබුණ රැස්වීමකට ගියේ මුල් වතාවටයි. ඔවුන් උගන්වන්නේ සත්‍ය දේවල් බව මට තේරුණා. සාක්ෂිකරුවන් අතරේ ඉන්නකොට මට අමුත්තක් දැනුණෙත් නැහැ. මම ඔවුන්ට අමුත්තෙක් වුණත් ඔවුන් මාව ආදරෙන් පිළිගත්තා. වයසක කාන්තාවක් මා ළඟින් ඉඳගෙන මට ගීතිකා පොතක් දුන්නා. ඊළඟ සතිවලදී සාක්ෂිකරුවෙකුයි, එයාගේ පුතයි ඒගොල්ලන්ගේ කාර් එකෙන් මාව රාජ්‍ය ශාලාවට එක්කගෙන ගියා. අලුතෙන් මුණගැහුණ මේ මිත්‍රයන් ඔවුන්ගේ නිවෙස්වලටත් මට ආරාධනා කළා. ජීවිතයේ අර්ථය ගැන ඉගෙනගන්න දේවල් අනිත් අයට කියන්නත් මට ආශාවක් ඇති වුණා.

බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අනුව වෙනස්කම් කරන්නත් මාව පෙලඹුණා. ගුප්ත විශ්වාසයන්ට අනුව මා ළඟ තබාගෙන හිටිය මගේ කේන්දරය, භාවනා සීනුව, ඉන්දියාවෙන් ගෙනාපු මිථ්‍යා සිහිවටන හැම දෙයක්ම අයින් කළා. උනන්දුවෙන් බයිබලය ඉගෙනගනිද්දී යෙහෝවා දෙවිට මගේ ජීවිතය මම කැප කළා. ම්‍යුනික්වලදී 1994 ජූනි මාසයේ මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්ම වුණා. ජීවිතයේ හරය සොයාගන්න මට ලැබුණේ ඒ විදිහටයි.

වර්ෂ 1995 සැප්තැම්බර්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙකු හැටියට මම ස්ථාවර පුරෝගාමියෙකු වුණා. ඒ නිසා වැඩි කාලයක් ගත කරමින් දෙවිගේ අරමුණු ගැන ජනයාට කියන්න අවස්ථාව ලැබුණා. යෙහෝවාගේ ශක්තිය නොලැබුණා නම් මට මේ සේවය කරන්න බැරි වෙනවා. හුඟක් දවස්වලදී දේවසේවයේ පැය ගණනක් ගත කරලා හවසට ගෙදර ආවහම පුදුම සතුටක් සහ තෘප්තියක් දැනුණා. යෙහෝවාව දැනගන්න කලින් මම ඒක අද්දැකලා තිබුණේ නැහැ. වර්ෂ 1997 ජනවාරිවලදී ජර්මනියේ සෙල්ටර්ස් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ, එනම් බෙතෙල් නිවසේ පූර්ණ කාලීන සේවය කරන්න මට ආරාධනාවක් ලැබුණා. මම තවමත් ඉන්නේ එතනයි. මගේ දෙමාපියන් මාව බලන්න කීප වතාවක්ම ආවා. ඔවුන් මගේ ආගමේ නොසිටියත් බෙතෙල් නිවස ගැන කතා කරන්නේ ගෞරවය දීලා. මං මෙහේ ඉන්න එක ඔවුන්ට සතුටක්.

විද්‍යාව සහ බයිබලය

වසර ගණනාවක් විද්‍යාව ගැන අධ්‍යයනය කළ කෙනෙක් කොහොමද බයිබලය විශ්වාස කරන්නේ කියලා සමහරු කල්පනා කරන්න ඉඩ තිබෙනවා. ඒත් විද්‍යාවේ සහ බයිබලයේ පටහැනිබවක් නම් පේන්න නැහැ. භෞතික විද්‍යාඥයෙකු වන මම ජීවයේ පැවැත්ම පිළිබඳ නීති හදාරලා තියෙනවා. ඒවායින් ඔප්පු වෙන්නේ ඒවා මිනිසාට වඩා නැණවතෙක් නිර්මාණය කළ බවයි.

උදාහරණයකට භෞතික විද්‍යාවේ, රසායනික විද්‍යාවේ සහ ජීව විද්‍යාවේ සිද්ධාන්ත බොහොමයක් තියෙනවා. ඒවා බොහෝදුරට සරල වුණත් ඒවා තේරුම්ගන්න අමාරුයි. දක්ෂ විද්‍යාඥයන් මේවා තේරුම්ගෙන පැහැදිලි කළාම ඔවුන්ගේ වෑයම වෙනුවෙන් නොබෙල් ත්‍යාගයද ලැබෙනවා. විද්‍යාඥයන් විශ්වය ගැන අවබෝධ කරගන්න තාමත් සෑහෙන වෑයමක් දරමින් සිටිනවා නම්, විශ්වය නිර්මාණය කළ තැනැත්තා ඊට වඩා කොපමණ වැඩියෙන් බුද්ධිමත් කෙනෙක් වෙන්න ඇද්ද!

ජීවය පැමිණියේ අහම්බෙන් කියා බොහෝ පරිණාමවාදීන් පවසන දේ තර්කානුකූල නැහැ. හොඳ උදාහරණයක් තියෙනවා. පාපන්දු දහයක් අරගෙන හැම එකක් අතරේ මීටරයක පරතරයක් හිටින විදිහට ක්‍රීඩා පිටියේ එක පේළියට තියන්න. එකක් තව එකකට වදින විදිහට පන්දු දහයටම වදින්න මුල් පන්දුවට පා පහරක් දීලා බලන්න. ඊට අමතරව ඒවා ගිහින් නවතින තැන් ගැන හරියටම කියන්න පුළුවන්ද කියලා බලන්න. සාර්ථක වෙයි කියා හිතනවාද? කරන්න බැරි වැඩක්නේ කියලා වැඩිදෙනෙකුට හිතෙයි.

ඒක එහෙම නම් පා පන්දුවලට පහරක් දෙනවාට වඩා අමාරු සංකීර්ණ ක්‍රියාවලියක් සිදු වන මිනිසාගේ සෛලයක් ඉබේ ඇති වෙයි කියා හිතන්න පුළුවන්ද? මිනිසාව හා පොළොවේ වෙසෙන අන් හැම ජීවියෙකුවම සාමාන්‍යය ඉක්මවූ ඥානයක් ඇති කෙනෙක් මවා තිබෙන බව කීම සාධාරණයි. මෙම නිර්මාතෘවරයා කවුද? ඔහු අරමුණක් නැතුව එවැනි දෙයක් නිර්මාණය කරයි කියලා හිතන්න පුළුවන්ද? කොහෙත්ම නැහැ. ඔහු අරමුණක් ඇතුව සිටින කෙනෙක් බව බයිබලයෙහි හෙළි කර ඇති අතර එය අපටත් පහසුවෙන් අවබෝධ කරගත හැකියි.

ජීවිතය ගැන දිගු කාලයක් පුරා පැවති ප්‍රශ්නවලට උත්තර හොයාගන්න විද්‍යාවයි, බයිබලයයි දෙකම මට උපකාර වුණා. වසර 20ක් පුරා හෙව්ව දෙයක් ලැබුණහම මොන තරම් සහනයක් සහ සතුටක් ලැබෙයිද කියලා හිතලා බලන්න. මගේ ප්‍රශ්නවලට උත්තර ලැබුණා විතරක් නෙවෙයි එකම සැබෑ දෙවිට හරි විදිහට නමස්කාර කරන්නත් මට පුළුවන් වුණා. මම සොයාගත්තු දේ තවත් හුඟදෙනෙකුට සොයාගන්න උපකාර කරන්නයි දැන් මගේ ආශාව!

[පාදසටහන්වල]

^ 17 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 90-7 පිටුවල “දේවරාජ්‍යය පාලනය කරයි” යන 10වන පරිච්ඡේදය බලන්න.

^ 18 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

භෞතික විද්‍යාඥයෙකු වන මම ජීවයේ පැවැත්ම පිළිබඳ නීති හදාරලා තියෙනවා. ඒවායින් ඔප්පු වෙන්නේ මිනිසාට වඩා නැණවතෙක් ඒවා නිර්මාණය කළ බවයි

[12වන පිටුවේ පින්තූරය]

අවුරුදු 12දී

[13වන පිටුවේ පින්තූරය]

ජීවිතයේ හරය හොයන්න පෙරදිග භාවනා ක්‍රමය ඉගෙනගත්තා

[15වන පිටුවේ පින්තූරය]

අනිත් අයට දේශනා කරද්දී මට පුදුම සතුටක් සහ තෘප්තියක් දැනෙනවා

[හිමිකම් විස්තර]

පොතේ කවරය: J. Hester and P. Scowen (AZ State Univ.), NASA