Skip to content

පටුනට යන්න

හිසට සෙවණක් නැහැ—ඊට හේතු

හිසට සෙවණක් නැහැ—ඊට හේතු

හිසට සෙවණක් නැහැ—ඊට හේතු

එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව “ලොව පුරා මිලියන 100කටත් වැඩි ජනතාවකට හිසට සෙවණක් නැහැ.” මෙම වාර්තාව නිවැරදි නම් පුද්ගලයන් 60දෙනෙකුගෙන් එක් අයෙකුට ඉන්න හරිහැටි තැනක් නැහැ. නමුත් මෙම ගැටලුවේ නියම තත්වය දැනගැනීම දුෂ්කරයි. ඒ මන්ද?

හිසට සෙවණක් නැතැයි යන්නෙන් අදහස් කරන දෙය රටින් රටට වෙනස් විය හැකියි. මෙම ගැටලුව අධ්‍යයනය කරන අය ඒ දෙස බලන ආකාරයට අනුව හා තමන්ගේ පරමාර්ථයන්ට අනුව විවිධ අදහස් හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. එමනිසා මෙම ගැටලුවේ නියම ස්වභාවය දැකගත නොහැකියි.

එක්සත් ජාතීන්ගේ ඉඳුම් හිටුම් ලබා දීමේ ව්‍යාපෘතියකින් නිකුත් කළ ප්‍රකාශනයක, හිසට සෙවණක් නැති අයව විස්තර කළේ “අත්‍යවශ්‍ය පහසුකම් නොමැති නිවෙස්වල ජීවත් වෙන අය” හැටියටයි. ඔවුන් වෙසෙන සමාජයට අනුව මෙම හිසට සෙවණක් නැති අය සමහරවිට වීථිවල, පාළු ගොඩනැඟිලිවල, අම්බලමක නැතහොත් මිතුරෙකුගේ නිවසේ තාවකාලිකව නතර වී සිටිනවා. කොහොමවුණත් එම ප්‍රකාශනයේම තවදුරටත් මෙසේ පවසනවා. “පුද්ගලයෙකුව හිසට සෙවණක් නැති කෙනෙක් කියා හඳුන්වනවා නම් ඉන් අදහස් කරන්නේ ඔහු වෙනුවෙන් ‘යමක් කළ යුතු’ බවයි.”—එම පොත Strategies to Combat Homelessness.

මිලියන 40ක් පමණ ජනගහනයක් සිටින පෝලන්තයේ 3,00,000ක් වැනි සංඛ්‍යාවකට හිසට සෙවණක් නැහැ. මේ සංඛ්‍යාව තවත් වැඩි වෙන්න ඉඩ තිබෙනවා. ඔවුන්ට ස්ථිර පදිංචියක් නැති නිසාත්, කිසිම ආයතනයකින් ඔවුන්ව ලියාපදිංචි නොකරන නිසාත් ඔවුන්ගේ නියම සංඛ්‍යාව දැනගැනීමට හැකියාවක් නැහැ. සමහරුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ සංඛ්‍යාව 5,00,000කට ආසන්න බවයි.

ඉන්න හිටින්න හරිහැටි තැනක් නැති බොහෝදෙනෙක් සිටින නිසා ඔබ දන්න කෙනෙකුත් මෙම ගැටලුවෙන් පීඩා විඳිනවා ඇති. මේ අය විඳින පීඩාව ගැන සලකා බලන කල ප්‍රශ්න ගණනාවක් පැන නඟිනවා. හරි හැටි නිවසක් නැති තත්වයකට මොවුන් පත් වුණේ කොහොමද? ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගන්නේ කොහොමද? කවුද ඔවුන්ට උදව් කරන්නේ? ඔවුන්ගේ අනාගතය කෙබඳු එකක් වෙයිද?

කලින් කල තැනින් තැනට

නිව් යෝක් නගරයේ දිලිඳු ප්‍රදේශයක් වන හාර්ලම්වලයි තනිමාපියෙකු වන සැබ්රිනා * ජීවත් වෙන්නේ. දහවෙනි පංතියේදී ඇය ඉගෙනීම නතර කළා. බොහෝ කාලයක් පුරා ඉන්න හිටින්න තැනක් නොතිබුණු ඇය දැන් ඇගේ කුඩා දරුවන් තිදෙනා සමඟ ජීවත් වෙන්නේ නගර සභාවෙන් මෙවැනි තත්වයක සිටින අය වෙනුවෙන් පිහිටුවා තිබෙන නිවාසවලයි. තනි කාමරයක් සහිත එම නිවසේ ඇය මාස දහයක, අවුරුදු තුනක සහ අවුරුදු දහයක වයස්වල සිටින පුතුන් තිදෙනා සමඟ ජීවත් වෙනවා.

සැබ්රිනා ඇගේ මවගේ නිවසෙන් පිට වූ පසු අවුරුදු දහයක් තිස්සේ කලින් කලට ජීවත් වුණේ ඇගේ පෙම්වතා, මිතුරන් හෝ නෑයන් සමඟයි. වෙන කරන්න දෙයක් නැති අවස්ථාවක ඇය මෙම රජයේ නිවසට පැමිණියා. “මම හුඟක් වෙලාවට සල්ලි ටිකක් හොයාගන්නේ කොණ්ඩේ ගොතලා. ඒ වගේ පොඩි පොඩි වැඩ මම කලින් කලට කරනවා. ඒත් බොහෝදුරට මම ජීවත් වෙන්නේ මට ලැබෙන ශුභසාධන අරමුදල්වලින්” කියා සැබ්රිනා පැවසුවා.

සැබ්රිනාගේ අද්දැකීම පළ වුණේ පේරන්ට්ස් නමැති සඟරාවෙයි. පුදුමයට කරුණ නම් සැබ්රිනාගේ ගැටලු හටගත්තේ ඇයට හෝටලයක ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් ලැබුණු පසුවයි. ඇයට ලැබුණ වැටුප නිසා ආධාර මුදල් කපාහැරියා. එහෙත් ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, ගමන් බිමන් සහ දරුවන්ගේ වියහියදම් සඳහා එම වැටුප ප්‍රමාණවත් වුණේ නැහැ. ඇයට ගෙවල් කුලිය ගෙවාගන්න බැරි වුණ නිසා අයිතිකාරයා ඇයව ගෙයින් පන්නා දැමුවා. අන්තිමේදී සැබ්රිනාට සිදු වුණේ රැකියාවෙන් අයින් වෙලා නගර සභාවෙන් පිහිටුවා තිබෙන නිවසක් ලැබෙන තුරු තාවකාලික කඳවුරක ජීවත් වෙන්නයි.

“මගේ පුතාලට මේක සෑහෙන කරදරයක්. ලොකු පුතා දැනටමත් පාසැල් තුනකට මාරු වෙලා තියෙනවා. හරි නම් එයා ඉන්න ඕන පහේ පංතියේ වුණත් තාම ඉන්නේ හතරේ පංතියේ . . . අපිට සිද්ධ වුණා තැනින් තැනට යන්න” කියා සැබ්රිනා පැවසුවා. ඇය දැන් සිටින්නේ රජයෙන් නිවසක් ලබා දෙන තුරුයි.

යන්න තැනක් ඇත්තෙම නැති කෙනෙකුට සැබ්රිනා භාග්‍යවන්තයි කියා සිතිය හැකියි. ඒත් එවැනි තැනක ජීවත් වෙන්න ලැබුණත් හිසට සෙවණක් නැති සමහරු එහි යන්න අදිමදි කරනවා. පෝලන්තයේ සහනාධාර සපයන කමිටුවක් කියා සිටින්නේ සමහරු “එම නිවෙස්වල ජීවත් වීම සඳහා දී තිබෙන නීති රීතිවලට භය වෙන” නිසා ලැබෙන උපකාරය ප්‍රතික්ෂේප කරන බවයි. උදාහරණයකට රජයෙන් සපයන නවාතැන්වල ජීවත් වන අයගෙන් යම් රැකියාවක් කිරීම හා මත්පැන් මෙන්ම මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම බලාපොරොත්තු වෙනවා. සමහරු මේ කොන්දේසිවලට යටත් වෙන්න අකමැතියි. ඒ නිසා නිවසක් නැති අය කාලගුණ තත්වයට අනුව දුම්රියපොළවල, තරප්පු පෙළවල, බිංගෙවල්වල, පොදු උද්‍යානවල, පාලම් යට සහ කර්මාන්ත ශාලාවල ලැගුම් ගන්නවා. මේ තත්වයන් ලෝ පුරා දක්නට තිබෙනවා.

එක් පොතක, පෝලන්තයේ හිසට සෙවණක් නැතිකමේ ගැටලුවට දායක වන හේතු පෙන්වා තිබුණා. ඊට ඇතුළත් වුණේ රැකියා අහිමි වීම, ණය බරින් මිරිකීම හා පවුල් ප්‍රශ්නයි. බොහෝ වැඩිහිටි අයටත්, ආබාධිතයන්ටත්, HIV වයිරසය ආසාදිත වූවන්ටත් ඉන්න හිටින්න ප්‍රමාණවත් නවාතැන් නැහැ. හිසට සෙවණක් නැති බොහෝදෙනෙක් මානසික හා ශාරීරික ගැටලුවලින් පෙළෙනවා. නැතහොත් මත්පැන් වැනි දෙයකට ඇබ්බැහි වී තිබෙනවා. මෙම තත්වයේ සිටින බොහෝ කාන්තාවන් එක්කෝ ස්වාමි පුරුෂයන් අත්හැර ආ අය හෝ ගෙවල්වලින් පන්නා දැමූ අය නැතහොත් ගණිකා වෘත්තියේ නියැලෙන අයයි. මෙම ගැටලුවෙන් පෙළෙන ඕනෑම කෙනෙක්ගෙන් අහන්න ලැබෙන්නේ දුක්බර කතාවක්.

ගැටලුවලින් ගොඩ එන්න බැරි විට . . .

සමාජ-ආර්ථික විශේෂඥයෙකු වන ස්ටැනිස්වාවා ගොලිනොෆ්ස්කා මෙසේ පවසනවා. “මෙහේ [පෝලන්තයේ] ඉන්න අයට ගෙයක් දොරක් නැත්තේ එහෙම ඉන්න කැමති හින්දා නෙවෙයි. . . . ඔවුන් කලකිරිලා, ජීවිතේ එපා වෙලා ඉන්නේ ඔවුන්ගේ ජීවිතය අසාර්ථක වී තිබෙන නිසයි.” බොහෝදුරට හිසට සෙවණක් අහිමි වන්නේ තමන්ගේ ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන්ට බැරි නිසයි. උදාහරණයකට සමහරුන් හිරෙන් නිදහස් වී එන විට ඔවුන්ගේ නිවෙස්වලට හොරු පැනලා. තවත් සමහරුන්ව නිවෙස්වලින් පන්නා දාලා. අනිත් අයට ස්වාභාවික විපත් නිසා තම නිවෙස් අහිමි වෙලා.

පෝලන්තයේ නිවෙස් අහිමි අයගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් ගැටලු මධ්‍යයේ තම පවුලේ අය සමඟ හෝ කලත්‍රයා සමඟ ජීවත් වෙලා තිබෙන බව එක් අධ්‍යයනයකින් සොයාගත්තා. ඉන් බොහෝදෙනෙකුව නිවසින් පන්නා දමා තිබෙනවා. නැතහොත් දරාගත නොහැකි ගැටලු නිසා ඔවුන්ට නිවස අත්හැර යන්න සිදු වී තිබෙනවා. සියයට 14ක් පමණයි කැමැත්තෙන්ම නිවස අත්හැර යන්න තීරණය කර තිබෙන්නේ.

රජයෙන් සපයා දෙන නවාතැන්වල යම් කාලයක් ගත කිරීමෙන් පසු, සමහරෙකු තමන්ගේම නිවසක පදිංචියට ගොස් ඔවුන්ගේ ජීවිතය යථා තත්වයට ගෙනැවිත් තිබෙනවා. තවත් සමහරෙකුට එය දුෂ්කර කාර්යයක්. ඔවුන්ගේ ශාරීරික හා මානසික තත්වය නිසා, ඇබ්බැහි වීම්, රැකියාවක නියැලීමට ඇති අකමැත්ත හෝ නොසැලකිලිමත්කම, ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා නොතිබීම වැනි හේතු නිසා ඔවුන් දිගටම මෙම අසරණ තත්වයේම සිටිනවා. එක්සත් ජනපදයේ නිවසක් අහිමි අයගෙන් සියයට 30ක් පමණ කඩින් කඩ වෙසෙන්නේ රජයෙන් තනා දී තිබෙන නවාතැන්වල, රෝහල්වල හෝ සමහරවිට සිර ගෙවල්වලයි. තවත් සමහරු දිගටම එම පහසුකම්වලින් ප්‍රයෝජන ගන්නවා. මෙම ගැටලුව වෙනුවෙන් රජය වෙන් කර තිබෙන ධන සම්පත්වලින් සියයට 90ක්ම ප්‍රයෝජන ගන්නේ ඔවුනුයි.

හිසට සෙවණක් නැත්තන්ට උපකාර

මෙම අය වෙනුවෙන් නවාතැන් සපයන සමහර ස්ථානවල ඔවුන්ට එම තත්වයෙන් ගොඩ ඒමට යම් උපකාර සපයනවා. ඔවුන්ට රජයෙන් ආධාර ලබාගැනීමට කටයුතු සැලසුම් කිරීම, වෙනත් ස්ථානවලින් මුදල් ලබාගැනීමට උපකාර කිරීම, නීතිමය උපදෙස් ලබා දීම, පවුලේ සාමාජිකයන් සමඟ නැවත එකතු වීමට හෝ යම් කුසලතා ඉගෙනගැනීමට අවස්ථාව සලසා දීම වැනි දේ එම ස්ථානවලින් ලබා දෙනවා. ලන්ඩන්වල යෞවනයන් සඳහා පිහිටුවා තිබෙන මධ්‍යස්ථානවලින් ආහාර, ඉවුම් පිහුම්, නිරෝගි ජීවන රටාවක් සහ රැකියාවක් සොයාගන්නා ආකාරය සම්බන්ධයෙන් උපදෙස් පිරිනමනවා. තමන් ගැනම ශුභවාදී ආකල්පයක් හා පෙලඹවීමක් ඇති කරගැනීමට උපදෙස් දීමෙනුත් තමන්ගේම දෙපයින් නැඟී සිටීමට අත හිත දීමෙනුත් තමන්ගේම නිවසක ජීවත් වීමට ඔවුන්ට ඉඩ කඩ සලස්සනවා. එවැනි සේවාවන් සපයන සංවිධානවලට ප්‍රශංසා කළ යුතුයි.

එහෙත් සමහර ස්ථානවල නිවෙස් නැත්තන්ට අවශ්‍ය උපකාරය ලබා දෙන්නේ නැහැ. තමන්ටම කියා නිවසක් නැති වෝර්සෝ නගරයේ වෙසෙන යාට්සෙක්ට හැඟෙන්නේ මෙම නවාතැන්වල සිටින අයට සමාජය සමඟ ගැවසෙන්න නිසි උපදෙස් ලැබෙන්නේ නැති බවයි. ඔවුන් පිට අය සමඟ ආශ්‍රය කරන්නේ නැති නිසා “සමාජය ගැනත් ජීවිතය ගැනත් හරි අවබෝධයක් නැහැ. මෙහෙ ඉන්නකොට අපිට දැනෙන්නේ අපි වෙනම ලෝකයක ඉන්නවා කියලයි. වෙන විදිහකින් කියනවා නම් ඒක හරියට ළමා නිවාසයක වැඩිහිටියෝ ඉන්නවා වගෙයි” කියා ඔහු පැවසුවා. ඔහුගේ අදහසට අනුව වැසියන් හුඟදෙනෙකුගේ “මනස් විකෘති වෙලා.”

පෝලන්තයේ අධ්‍යයනයකට අනුව නිවෙස් අහිමි අය විඳින දරුණුම වේදනාව ඔවුන්ට තනිකමක් දැනීමයි. මුදල් ගැටලු හා පහත් සමාජ මට්ටම නිසා තමන් ගැන නොවටිනාකමේ හැඟීමක් ඇති කරගැනීමට ඔවුන් පෙලඹෙනවා. මේ නිසා සමහරෙකු මත්පැනට ඇබ්බැහි වෙනවා. යාට්සෙක් මෙසේ පවසනවා. “තත්වය වෙනස් නොවී මේ විදිහටම තියෙන නිසා මෙයින් ගොඩ එන්න නම් බැරි වෙයි කියා අපිට හිතෙනවා.” ඔවුන් තම පෙනුම ගැනත්, දුගීකම ගැනත්, අසරණකම හා ඉන්න හිටින්න තැනක් නැතිකම ගැනත් ලජ්ජා වෙනවා.

“මුම්බායි සහ කල්කටා නගරවල පදික වේදිකාවේ ඉන්න වැසියන් වුණත්, ලන්ඩනයේ මහ මාර්ග අසල නිදා සිටින අය වුණත් බ්‍රසීලයේ වීථි දරුවන් වුණත් හිසට සෙවණක් නැතුව වෙසෙන මොවුන්ගේ තත්වය ඇත්තෙන්ම ඛේදනීයයි. එය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඔබට ඒ තත්වයට මුහුණ දෙන්න සිදු වුණොත් පමණයි එය කොතරම් දුක්ඛිතද කියා තේරුම්ගන්නේ.” එසේ පවසන්නේ ජනගහන ගැටලු පිළිබඳ විශේෂඥයෙක් වන ෆ්‍රැන්සිස් ජේගඩි. “මෙම ගැටලුවට හේතු කුමක් වුණත් ධනයෙන්, දැනුමෙන් හා නවීන තාක්ෂණයෙන් දියුණු වී තිබෙන මෙවන් යුගයක නිවාස ගැටලුවට විසඳුමක් ගෙනෙන්න බැරි ඇයි යන ප්‍රශ්නය කවුරුත් අසනවා” කියා ඔහු තවදුරටත් පවසනවා.

හිසට සෙවණක් නැති සෑම කෙනෙකුටම උපකාරය අවශ්‍ය බව පැහැදිලියි. නිකම්ම බඩු බහිරාදිය දීම විතරක් නොව සිතට සහනයක් දීම හා මානසික තත්වය නඟා සිටුවීමද ඊට ඇතුළත් වෙනවා. එවන් උපකාරයක් නිවාස නැතිකමේ ගැටලුවට මුහුණ දීමටත් එම තත්වයට දායක වන ගැටලුවලින් ගොඩ ඒමටත් රුකුලක් වෙයි. නමුත් ඔවුන්ට එවන් උපකාරයක් ලැබෙන්නේ කොහෙන්ද? ඒ විතරක් නෙමෙයි හිසට සෙවණක් නැතිකමේ ගැටලුව මුළුමනින්ම තුරන් වෙයි කියා අපේක්ෂා කළ හැකිද?

[පාදසටහන්වල]

^ 8 ඡේ. මෙම ලිපිවල සමහර නම් වෙනස් කර තිබෙනවා.

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අන්ත දුගීබවේ ප්‍රතිඵල

ඉන්දියාවේ වීථිවල මිනිසුන් දහස් ගණනක් ජීවත් වෙනවා. පසුගිය වාර්තාවලින් පෙන්වන්නේ මුම්බායි නගරයේ පමණක් 2,50,000කට ආසන්න සංඛ්‍යාවක් පදික වේදිකාවේ ජීවත් වන බවයි. ඔවුන්ගේ හිසට එකම සෙවණ වී තිබෙන්නේ පොලුවලට කැන්වස් රෙදි අමුණා අටවාගත් ස්ථානයක්. ඔවුන් නගරයෙන් පිට අඩු මුදලකට නිවසක පදිංචි නොවන්නේ නගරයේ පදික වේදිකාවේ සිල්ලර වෙළඳාම් කිරීම, රික්ෂෝ කරත්ත ගෙන යෑම හෝ කුණු කසළ ඇහිඳීම වැනි රැකියාවන්වල නිරත වන නිසයි. “ඔවුන්ට වෙන කරන්න දෙයක් නැහැ. හම්බ කරන දේ කෑමට මිස ගෙවල් කුලි ගෙවන්න ප්‍රමාණවත් නැහැ” කියා එක්සත් ජාතීන්ගේ ඉඳුම් හිටුම් ව්‍යාපෘතිය විසින් පළ කරන ප්‍රකාශනයක සඳහන් වෙනවා.—Strategies to Combat Homelessness.

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්වල 2,300ක පමණ පිරිසක් පවුල් පිටින් දුම්රිය පොළවල ජීවත් වෙනවා. ඔවුන් නිදාගන්නේ දුම්රියපොළේ වේදිකාවල කාඩ්බොඩ් ගෙවල් අටවගෙන රෙදි කෑලි බිම දමාගෙනයි. හුඟදෙනෙකුට රැකියා නැහැ. රැකියාවක් සොයාගැනීමට කිසිම මඟකුත් නැහැ. නගරයේ දහස් ගණනක් ජීවත් වෙන්නේ මෙයාකාරයටයි. ඔවුන්ට ජලය, වැසිකිළි හා විදුලි පහසුකම් නැහැ. මෙවැනි තත්වයකදී රෝග ඉක්මනින්ම බෝ වෙනවා.

මෙම රටවල් දෙකේ සිටින අයටත් වෙනත් හුඟදෙනෙකුටත් හිසට සෙවණක් නැතිවීමට හේතුව අන්ත දුගීකමයි.

[21වන පිටුවේ කොටුව⁄පින්තූර]

නවීන සමාජයේ අඩු පාඩු

සැමට හිසට සෙවණක් ලබා දීමට ගන්නා වෑයමේදී නවීන සමාජයේ, දේශපාලනයේ හා ආර්ථික ක්‍රමවල තිබෙන අඩු පාඩුකම් බොහොමයක් එක්සත් ජාතීන්ගේ ඉඳුම් හිටුම් ලබා දීමේ ව්‍යාපෘතිය පළ කළ ප්‍රකාශනයක පෙන්වා තිබෙනවා. (Strategies to Combat Homelessness) පහත දක්වා තිබෙන්නේ එම අඩු පාඩුයි:

● “හිසට සෙවණක් නැතිකමට ප්‍රධාන හේතුව මිනිසුන්ට නිවසක් තනාගැනීමට අවශ්‍ය කරන සම්පත් ආණ්ඩු මගින් ලබා නොදීමයි.”

● ‘නිවාස තැනීමේදී නිසි ප්‍රමිතියට අනුව නොසෑදීමත්, හරි සැලසුම් නොතිබීමත් දුප්පත් ජනයාගෙන් බහුතරයකට විශාල හානියක් වෙනවා.’

● “හිසට හරිහැටි සෙවණක් නොමැතිකමෙන් කියාපාන්නේ ආණ්ඩු මගින් දුප්පතුන්ට නිවසක් තනාගැනීමට දෙන ණය හෝ සහනාධාර ඔවුන්ට සමාන ලෙස බෙදී නොයන බවයි.”

● ‘ආර්ථිකයේ සිදු වෙන වෙනස්කම්, අඩු මිලකට නිවාස නොතිබීම, මත් ද්‍රව්‍ය භාවිතය වැඩිවීම, ශාරීරික හා මානසික ගැටලු ඇති අය සමාජයේ සිටීම වැනි තත්වයන් ගැන වගකිව යුතු අය විසින් තැකීමක් නොකිරීම නිවාස අර්බුදයට විශාල වශයෙන් දායක වෙනවා.’

● “හිසට සෙවණක් නැත්තන්ට උපකාර පිරිනමන අයව පුහුණු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. විශේෂයෙන්ම වීථි දරුවන්ව සමාජයට කරදරයක් ලෙස සලකනවා වෙනුවට ප්‍රයෝජනවත් වන අය ලෙස සැලකිය යුතුයි.”

[පින්තූරය]

මෙක්සිකෝවේ මවක් තම දියණියන් දෙදෙනා සමඟ හිඟමන් යදිමින්

[හිමිකම් විස්තර]

© Mark Henley/Panos Pictures

[20වන පිටුවේ පින්තූරය]

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාවල හිසට සෙවණක් නැත්තන්ට නවාතැනක් වී තිබෙන්නේ පරණ දුම්රියපොළක්

[හිමිකම් විස්තර]

© Dieter Telemans/Panos Pictures

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Left: © Gerd Ludwig/Visum/Panos Pictures; inset: © Mikkel Ostergaard/Panos Pictures; right: © Mark Henley/Panos Pictures