Skip to content

පටුනට යන්න

හිසට සෙවණක් නැහැ—විසඳුම කුමක්ද?

හිසට සෙවණක් නැහැ—විසඳුම කුමක්ද?

හිසට සෙවණක් නැහැ—විසඳුම කුමක්ද?

“ඔබ මිනිසෙකුට මාළුවෙක් දුන්නොත් ඔබ ඔහුගේ බඩගින්න නිවන්නේ දවසකටයි. නමුත් ඔහුට මාළු අල්ලන්න ඉගැන්නුවොත් ඔබ ඔහුගේ ජීවිත කාලයටම බඩ පුරවනවා.” මෙම ප්‍රකාශයෙන් කියාපාන්නේ කෙනෙකුගේ ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් ඔහුට ලැබෙන්නේ තාවකාලික ප්‍රයෝජනයක් පමණක් බවයි. මනුෂ්‍යයන්ට තම ගැටලු විසඳාගැනීමට හා තම අවශ්‍යතා තමන් විසින්ම ඉටු කරගැනීමට ඉගැන්විය යුතුයි. හුඟදෙනෙකුට ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය කරන කුසලතා අත් කර ගන්න හෝ ජීවිතය දෙස ශුභවාදීව බැලීමට ඉගැන්විය යුතුයි.

හිසට සෙවණක් නැති අයට දිය හැකි හොඳම උපකාරය ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයයි. එනම් මිනිසාගේ මැවුම්කරු විසින් ලබා දෙන උපදෙස් ඔවුන්ගේ ජීවිතවලට අදාළ කරගැනීමට උපකාර කිරීමයි. එම උපදෙස්වලට සමාන කිරීමට තරම් වටිනා උපදෙස් තවත් නැහැ. නිවාස ප්‍රශ්නයට හේතු වන බොහෝ ගැටලුවලින් මිදීමට මිනිසුන්ට ඔහුගේ උපදෙස් උපකාරවත් වෙනවා. එම උපදෙස් මෙම ගැටලුවෙන් මිරිකී සිටින අවංක අයට ඉන් ගැලවීමටද හැකියාවක් ලබා දෙයි. බයිබලය කියවීමෙන් අපගේ ගැටලු අවසන් වෙන්නේ නැති බව ඇත්තයි. නමුත් බයිබලයට හැකියි මුදල් අපතේ යවන නරක පුරුදුවලින් මනුෂ්‍යයන්ව මුදවාගන්න. ඒ වගේම තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගෙන සමාජයේ වැදගත් කෙනෙකු විදිහට ජීවත් වෙන හැටි කියා දෙන්නත් ඊට හැකියි.

හුඟදෙනෙකුට තම නිවස අහිමි වී තිබෙන්නේ මත් ද්‍රව්‍ය වැනි දේවලට ඇබ්බැහි වීම නැතහොත් අපරාධවලට හවුල් වීම, ආර්ථික හෝ පවුල් ප්‍රශ්න තිබීම වැනි දේවල් නිසයි. මේ සෑම කාරණයකටම බයිබලයේ ප්‍රායෝගික උපදෙස් සපයා තිබෙනවා. එම උපදෙස් අදාළ කරගැනීමෙන් දැනටමත් මිලියන ගණනකට ජීවිතය දෙස ශුභවාදීව බැලීමට හැකි වී තිබෙන අතර ඔවුන්ගේ පෞද්ගලිකත්වයද වෙනස් කරගෙන තිබෙනවා. බයිබල් උපදෙස් අදාළ කරගැනීමෙන් විතරක් හිසට සෙවණක් නැතිකමට හේතු වූ ගැටලු විසඳගන්න බැහැ. ස්වාභාවික විපත්, අසනීප, දුප්පත්කම, ඇබ්බැහි වීම වැනි ගැටලුවලට වෙනත් උපකාරද ලබා දිය යුතුයි. මෙවැනි තත්වයන්ට මුහුණ දෙන අයට අත හිත දීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරනවා. ඒත් මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට හැක්කේ මිනිසාගේ මැවුම්කරුට බව ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. ඇත්තෙන්ම අපගේ මැවුම්කරු විසඳුමක් ගෙන එයිද?

දෙවිගේ මුල්ම අරමුණ

හිසට සෙවණක් නැතිකමේ ගැටලුව ළඟදීම අවසන් වීමට යන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙනවා. මන්දයත් යෙහෝවා දෙවි ආරම්භයේදී මුල් මිනිස් යුවළව පදිංචි කෙරෙව්වේ පාරාදීසයකයි. එහි ඔවුන්ට අවශ්‍ය කරන සෑම දෙයක්ම තිබුණා. ඔවුන් තම මැවුම්කරුගේ මඟ පෙන්වීම් අනුගමනය කළා නම් එම පාරාදීසය මුළු පොළොව පුරාම පැතිරවීමට හැකිකම ඔවුන්ට තිබුණා. එහෙම වුණා නම් ඔවුන්ගෙන් පැවත එන අය ජීවත් වෙන්නේ කිසි දෙයකින් අඩුවක් නැති සැප පහසු නිවාසවලයි. ඒ වගේම මිනිස් පවුලේ හැම සාමාජිකයෙකුටම එකිනෙකාගේ ප්‍රේමය හා සහයෝගය අද්දකින්නටත් හැකි වෙනවා. එයයි දෙවිගේ මුල් අරමුණ වුණේ. ඔහු එය වෙනස් කර නැහැ.—ගීතාවලිය 37:9-11, 29.

දෙවි යමක් අරමුණු කළොත් ඒ විදිහටම එය ඉටු කරන බවට කිසි සැකයක් නැහැ. (යෙසායා 55:10, 11) හැම කෙනෙකුටම තමන්ගේම කියලා නිවසක් ලැබෙන හා අනෙකුත් අවශ්‍යතා ඉටු වෙන කාලයක් ගැන බයිබලයේ පුරෝකථනය කරනවා. එය ඉටුවීමට නම් මුළු මිනිස් සමාජයම වෙනස් කළ යුතුයි. එවැනි වෙනසක් සිදු වන්නේ දෙවිගේ මැදිහත් වීමෙනුයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා තම ගෝලයන්ට යාච්ඤා කිරීමට යේසුස් කියූ විට ඔහුගේ මනසේ තිබුණේ එයයි.—මතෙව් 6:9, 10.

දෙවිගේ රාජ්‍යය පාලනය කරන විට කීකරු මනුෂ්‍ය වර්ගයා මෙම හද දනවන බයිබල් අනාවැකිය ඉටු වන ආකාරය දකීවි. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය; අනිකෙකු වාසය කරන්ට ඔවුහු ගොඩනොනඟන්නෝය; අනිකෙකු විසින් කන්ට ඔවුහු නොවවන්නෝය. . . . මාගේ තෝරා ගත්තෝ බොහෝකල් තමන් අත්වල වැඩ භුක්ති විඳින්නෝය.” (යෙසායා 65:21, 22) කෙටියෙන් කියනවා නම් හැමෝටම හිසට සෙවණක් ලැබෙයි.

මනුෂ්‍යයන්ගේ ජීවිතයට අත්‍යවශ්‍යම දැනුම වන දෙවි පිළිබඳ දැනුම ලබා දීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැනටමත් උත්සාහ දරනවා. ඒ වගේම ඔවුන් යේසුස් අණ කළ ලෙස අන් අයට කාරුණික සැලකිල්ලක් පෙන්වීමට කැමැත්තෙන් සිටිනවා. (මතෙව් 22: 36-39) අන් අය ගැන තිබෙන එම සැලකිල්ල නිසා ස්වාභාවික විපත් හේතුවෙන් නිවෙස් අහිමි වූවන්ට උපකාර කිරීමට ඔවුන් පෙලඹෙනවා.

සෑම කෙනෙකුටම උපකාරය පිරිනමන්න බැරි බව සාක්ෂිකරුවෝ තේරුම්ගෙන තිබෙනවා. රජයේ නිවාසයක වෙසෙන පෝලන්තයේ යාට්සෙක් නිවසක් අහිමි අය ගැන මෙවන් අදහසක් පළ කරනවා. “සමහර අය හරිම දරුණුයි. එහෙමත් නැත්නම් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. තවත් අයට ආගම ගැන පැහැදීමක් නැහැ. ඒ අය හිතන්නේ දෙවිට ඔවුන්ගේ දුක දැනෙන්නේ නැහැ කියලා. ඒත් තවත් සමහර අය දෙවිගේ වචනයට යහපත් ප්‍රතිචාරයක් දක්වනවා.” යාට්සෙක් එසේ යහපත් ප්‍රතිචාරයක් දක්වපු කෙනෙක්. ඔහු බයිබලයේ තිබෙන නිවැරදි දැනුම ලබාගැනීමට පියවරක් ගත්තා.

තවත් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ කෙනෙක් තමයි රෝමන්. ඔහුටත් නිවසක් නැහැ. ඒ වගේම ඔහු ඒඩ්ස් රෝගියෙක්. මෑතක් වන තුරු ඔහු සිටියේ වීථියේ. ඔහු මෙසේ තම මතකය අවදි කරනවා. “මම සමාජ සේවා සංවිධානයක් මගින් පවත්වාගෙන යන නවාතැනකට ආවා. ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ ඒ අසල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් පවත්වන ස්ථානයක් තියෙනවා කියලා. මම වීථියේ ඉන්න දවස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මාත් එක්ක කතා කළා. ඔවුන් මට පැහැදිලිව වටහා දුන්නා දෙවිට අපේ දුක දැනෙනවා කියලා. ඔවුන්ගේ රැස්වීම්වලට එන්න කියලත් ඔවුන් මට කිව්වා.”—ගීතාවලිය 72:12, 13.

ඉගෙනගත් දේ ඔහුගේ ජීවිතයට බලපෑවේ කොහොමද? “මම ඉගෙනගත්තා මේ පොළොවේ පාරාදීසයක සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම දෙවිට මාව වටිනවා කියලත් ඉගෙනගත්තා. ආදරයෙන් සලකන, අලුත් මිතුරෝ මා ළඟ ඉන්න නිසා මම මං ගැන දුක් වෙන එක නතර කළා. මම සම්පූර්ණයෙන්ම මගේ ජීවිතය වෙනස් කළා. දෙවිට තිබෙන ප්‍රේමය නිසා මම දුම්බීම නැවැත්තුවා. මම දිගටම ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කරනවා කියලා යාච්ඤාවෙන් දෙවිට මම පොරොන්දු වුණා.”

රෝමන්, දෙවි කෙරෙහි ඇදහිල්ලක් වර්ධනය කරගෙන ඉක්මනින්ම බව්තීස්ම වුණා. ඔහු දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. සෙසු ඇදහිලිවන්තයන්ගේ හා බලධාරීන්ගේ උපකාරයෙන් ඔහු වැඩි පහසුකම් තිබෙන නවාතැනකට ගියා. රෝමන් හද පිරි සතුටෙන් මෙසේ පැවසුවා. “මට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. මගේ ජීවිතයට අරමුණක් ලබා දුන් ප්‍රේමණීය දෙවි කෙනෙකුට මම ළං වුණා. ඔහු මට සහෝදර සහෝදරියන් සිටින ලස්සන පවුලකුත් නිවසකුත් ලබා දුන්නා!”

හිසට සෙවණක් නැත්තන්ට අනාගතයක්

යෙහෝවාගේ සාක්ෂිකරුවන් හිසට සෙවණක් නැති අය ඇතුළු, අසල්වැසි සෑම කෙනෙකුටම සැලකිල්ලත් දයානුකම්පාවත් දැක්වීමට වෑයම් කරනවා. දීප්තිමත් අනාගතයක් වගේම වර්තමානයේදී සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා බයිබලයේ තිබෙන දැනුම අන් අයට කියා දීමට ඔවුන් උත්සාහ දරනවා.—යොහන් 8:32.

“ඇද දේ ඇද හරින්ට බැරිය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 1:15) ස්වේච්ඡා සේවකයන්ට හා බලධාරීන්ට හොඳ අභිප්‍රායන් තිබුණද නිවාස නොමැතිකම හා දුගීකම වැනි සමාජයේ තිබෙන දරුණු ගැටලු මුළුමනින්ම තුරන් කර දැමීම දුෂ්කර කටයුත්තක්. ඒත් ළඟදීම දෙවිගේ රාජ්‍යය යටතේ කීකරු මනුෂ්‍යයන් කිසි දෙයකින් අඩුවක් නැති යහපත් ජීවිතයක් භුක්ති විඳින බව බයිබලයේ අපට සහතික කරනවා.

[22වන පිටුවේ පින්තූරය]

සෝමාලියාවේ අනාථ මවක් ආහාර සලාකයක් අතැතිව

[හිමිකම් විස්තර]

© Trygve Bolstad/Panos Pictures

[23වන පිටුවේ පින්තූරය]

හිසට සෙවණක් නැත්තන්ට අනාගතය ගැන බලාපොරොත්තුවක් අත්‍යවශ්‍යයි

[24වන පිටුවේ පින්තූරය]

දෙවිගේ රාජ්‍යය යටතේ හැමෝටම හිසට සෙවණක්