Skip to content

පටුනට යන්න

ඇයි මම මටම රිදවගන්නේ?

ඇයි මම මටම රිදවගන්නේ?

යෞවන අය අසති . . .

ඇයි මම මටම රිදවගන්නේ?

මම මගේ අත මැහුම් දාන තරමට බල්බ් එකකින් කපා ගත්තා. මම වෛද්‍යවරයාට කිව්වා මගේ අතින් තමයි කැපුණේ කියලා. නමුත් ඕනෑකමින්ම මේක කරගත්තයි කියලා කිව්වේ නැහැ.”—සාෂා, අවුරුදු 23යි.

දෙමාපියන් යාන්තම් සීරිලා වගේ තියෙන මගේ තුවාල දැකලා තියෙනවා. . . . ලොකු තුවලායක් දැක්කාම මම මොකක් හරි බොරුවක් කියනවා. . . . මම කැමති නැහැ දෙමාපියන් ඇත්ත දැනගන්නවාට.”—අරියල්, අවුරුදු 13යි.

“මම අවුරුදු 11 ඉඳලාම ඇඟ කපාගන්නවා. ශරීරය සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිති මම දැනගෙන හිටියත් මට ඒක නවත්වන්න බැරි වුණා.”—ජෙනිෆර්, අවුරුදු 20යි.

සාෂා, ආරියෙල් හෝ ජෙනිෆර් වගේ අයව ඔබ දන්නවා ඇති. * සමහරවිට ඔබේ පංතියේ ළමයෙක්, ඔබේ සහෝදරයෙක් හෝ ඔබම, මෙසේ ශරීරයට හිංසා කරගන්නවා ඇති. එක්සත් ජනපදයේ පමණක් මිලියන ගණනක්, විශේෂයෙන්ම යෞවනයන් සම කපාගැනීම, පුච්චගැනීම හෝ සූරාගැනීම යන විවිධ ක්‍රමවලින් තමන්වම රිදවගන්න බවට වාර්තා වෙනවා. *

ඇත්තටම ඕනෑකමින්මද මෙසේ ශරීරයට හිංසා කරගන්නේ? ඉස්සර නම් හිතුවේ මෙය පිස්සු විලාසිතාවක් හෝ යම් ආගමික කල්ලියකට අයත් පුද්ගලයන් කරන දෙයක් කියලා. ඒත් මෑතක සිට මෙම ශරීරයට හිංසා කරගන්නා අයගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. “ශරීරයට හානි කරගෙන ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි බවට හැම සායනයක්ම” වාර්තා කරනවා. එසේ පැවසුවේ එක්සත් ජනපදයේ වෛද්‍ය මධ්‍යස්ථානයක අධ්‍යක්ෂකවරයෙක් වන මයිකල් හාලන්ඩර්.

මෙම පුද්ගලයන් තම ශරීරයට දරුණු ලෙස හානි කරගන්නේ කලාතුරකින්. ඒත් මෙය සෙල්ලමක් නෙමෙයි. බෙත් නමැති තරුණියට සිදු වූ දේ සලකා බලන්න. ඇයට මෙම පුරුද්ද ඇති වී තිබෙන්නේ කුඩා කාලයේ සිටන්මයි. “මම බ්ලේඩ් තලයෙන් තමයි ඇඟ කපාගත්තේ. මම දෙවතාවක් රෝහලේ නතර වුණා. එක සැරයක් හදිසි සත්කාර ඒකකයටත් යන්න සිදු වුණා. මම අවුරුදු 15 ඉඳන්ම මේ දේ කරනවා. මට දැන් වයස අවුරුදු 30යි.”

ඔබ හෝ ඔබ දැන හඳුනන කෙනෙකුට ශරීරයට හිංසා කරගැනීමට පෙලඹීමක් තිබෙනවාද? බලාපොරොත්තු අත් හරින්න එපා. ඊට විසඳුමක් තිබෙනවා. අපගේ මීළඟ පිබිදෙව්! කලාපයේ ශරීරය කපාගන්නා කෙනෙකුට උපකාරය පිරිනමන ආකාරය සාකච්ඡා කරනවා. * මුලින්ම මෙම ආබාධය තිබෙන්නේ කාටද සහ ඇයි ඔවුන් එසේ තම ශරීරය කපාගන්නේ කියා සලකා බලමු.

හේතු විවිධයි

ශරීරය කපාගන්න අයව එක කාණ්ඩයකට දැමීම අපහසුයි. සමහරෙක් ගැටලු තිබෙන පවුල්වලින් එන අය. තවත් අය හොඳ සතුටෙන් කල් යවන පවුල්වල දරුවෝ. ඉගෙනීමේ කටයුතු හරියට කරන්නේ නැති අය වගේම දක්ෂ ශිෂ්‍යයන්ද මීට ඇතුළත් වෙනවා. සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් ගැටලුවලින් හෙම්බත් වී සිටියත් ඒ බව පිටතින් පෙන්නන්නේ නැහැ. “සිනාසීමේදී පවා සිත ශෝක සහිතය” කියා බයිබලයෙත් සඳහන් වෙලා තියෙනවා.—හිතෝපදේශ 14:13.

ශරීරය රිදවගන්න ආකාරය එක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස්. උදාහරණයකට එක් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ සමහර අය අවුරුද්දකට වතාවක්ද තවත් සමහරුන් දවසකට දෙවතාවක්ද තම ශරීරයට හානි කරගන්න බවයි. මෙම ගැටලුව පිරිමි පක්ෂයේ අය අතර වැඩි වී තිබුණත් එය වැඩිපුර දක්නට ලැබෙන්නේ ගැහැනු පක්ෂයේ අය අතරයි.

විවිධ පසුබිම්වල ඉන්න අය ශරීරය කපාගත්තත් මේ අය අතරේ සමානකම්ද තිබෙනවා. යෞවනයන් ගැන ලියැවුණු එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “ශරීරයට හිංසා කරගන්න යෞවනයන් හුඟදෙනෙකුට ආත්ම ශක්තියක් නැති අතර තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න දන්නේ නැහැ. තමන් තනිවෙලා හෝ තමන්ට කවුරුත් ආදරේ නැහැයි කියා ඔවුන්ට හැඟෙනවා. ජීවිතයට මුහුණ දෙන්න හරි බයයි. ඔවුන්ට තමන් ගැන හොඳ හැඟීමක් නැහැ.”

මේ විස්තරය යොවුන් වියේ පසු වෙන ඕනෑම කෙනෙකුට ගැළපෙනවා කියා සමහරෙකු කියන්න පුළුවන්. නමුත් ශරීරයට හානි කරගන්න අයට මෙහි පෙන්වා තිබෙන හැඟීම් දරුණු ලෙස දැනෙන්න පුළුවන්. තම හැඟීම් වචනයෙන් කියාගන්න හෝ විශ්වාසවන්ත කෙනෙකුට පවසන්න බැරි අයට පාසැලෙන්, රැකියාවෙන් ඇති වන පීඩන හෝ නිවස තුළ ඇති වන ගැටුම්කාරී තත්වයන් දරාගන්න බැරි වෙන්න පුළුවන්. මෙවැනි තත්වයක සිටින කෙනෙකුට තමන්ට කිසි සරණක් නැහැ කියා හෝ තම දුක පවසන්න කෙනෙකු නැහැ කියා හැඟෙන්න පුළුවන්. පීඩනය තමන්ට දරන්න බැහැයි කියා හැඟෙන්නත් පුළුවන්. අන්තිමේදී තම ශරීරයට රිදවලා හරි තාවකාලිකව යම් සහනයක් ලබන්න ඔවුන් පෙලඹෙනවා.

හිතට සහනයක් ලබාගන්න ඇයි ශරීරයට හිංසා කරන්නේ? ඔබ එන්නතක් ලබාගන්න වෛද්‍ය සායනයකට ගිය විට සිදු වන දෙයින් මෙය තේරුම්ගන්න පුළුවන්. ඔබට එන්නතක් විදින්න යන විට ඔබ ඔබවම කොනිත්ත ගන්නවා. එහෙමත් නැත්නම් නියපොත්තෙන් අනිනවා. එහෙම කරන්නේ ඉඳි කටුව ඇනෙනකොට දැනෙන වේදනාව මඟ හරවාගන්න. ශරීරය කපාගන්න අයත් කරන්නේ මේ දෙයම තමයි, හැබැයි දරුණු විදිහට. ශරීරයට තුවාල කිරීමෙන් සිතේ වේදනාව අමතක කරගන්න උත්සාහ දරනවා. සිතේ වේදනාව කොතරම් දරුණුද කියනවා නම් ශරීරයට හිංසා කරගැනීමෙන් දැනෙන වේදනාව සුළු දෙයක් වගෙයි. ශරීරයට හිංසා කරගත් අයෙක් “මගේ බියට එකම බෙහෙත මෙයයි” කියා කීවේ ඒ නිසා වෙන්න ඇති.

“මානසික පීඩනය නැති කරගැනීමට ක්‍රමයක්”

මෙම රෝගය ගැන දැනුමක් නැත්නම් ශරීරයට හිංසා කිරීම සිය දිවි නසාගැනීමක් කියා වරදවා තේරුම්ගන්න ඉඩ තිබෙනවා. ඒත් මේ අයට තම ජීවිතය නැති කරගන්න වුවමනාවක් නැහැ. නහඹරයන්ගේ සඟරාවක විධායක සංස්කාරකවරිය වන සැබ්‍රීනා සොලින් වයිල් මෙසේ වාර්තා කරනවා. “ඒ අයට අවශ්‍ය වන්නේ වේදනාව අඩු කරගන්න මිසක ජීවිතය නැති කරගන්න නෙමෙයි.” එක් පොතක හිංසා කිරීම විස්තර කර තිබුණේ “ජීවිත රැක දෙන දෙයක් හැටියටයි.” එය “මානසික පීඩනය නැති කරගැනීමට ක්‍රමයක්” කියාත් පවසනවා. කොයි වගේ පීඩනයන් නිසාද ශරීරයට හිංසා කිරීමට පෙලඹෙන්නේ?

ශරීරයට හිංසා කරගන්න හුඟදෙනෙක් ළමා අපචාරයන්ට ලක් වී තිබෙන අය හෝ ආදරය, සැලකිල්ල නොලැබුණ අය බව සොයාගෙන තිබෙනවා. තවත් සමහරෙකුට පවුල තුළ ඇති වන ගැටුම් හෝ දෙමාපියන් මත්පැන්වලට ඇබ්බැහි වීම වැනි දේවල් බලපානවා. ඒ වගේම මානසික ආබාධයක් නිසාත් සමහරු තම ශරීරය කපාගන්නවා.

වෙනත් ගැටලුද තියෙන්න පුළුවන්. සාරා නමැති යෞවනියට තිබෙන ගැටලුව වෙනස්. ඇය අතින් සිදු වූ වැරදි නිසා තමන් ගැනම කලකිරීමක් ඇති වෙලා. ඇය අතින් සිදු වූ වැරදිවලින් ගොඩ ඒමට ඇයට ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් උපකාරය ලැබුණත් ඇයට ලොකු වරදකාරී බවක් හැඟුණා. ඇය මෙසේ අදහස් දක්වනවා. “මම හිතුවා මං මටම තදින් දඬුවම් කරන්න ඕනේ කියලා. මට නම් හිතෙන්නේ ශරීරයට හිංසා කිරීම හික්මවීමක් කියලා. ඒ සඳහා මම මගේ කොණ්ඩේ අදිනවා, මගේ අත් කපාගන්නවා, මටම තළාගන්නවා, මගේ අත තද උණුසුම් වතුරේ තියාගන්නවා, තද සීතලේ කබායක් නැතුව එළියේ හිටගෙන ඉන්නවා එහෙමත් නැත්නම් දවස පුරාම නොකා නොබී ඉන්නවා.”

සාරා තමාට හිරිහැර කරගන්නේ තමන් කෙරෙහි තිබෙන පිළිකුල නිසයි. ඇය මෙහෙම කියනවා. “මම දන්නවා යෙහෝවා මගේ වැරදිවලට සමාව දෙනවා කියලා. මට සමාව දෙනවටත් මම කැමති නැහැ. මට ඕනේ දුක් විඳින්න. මම මටම වෛර කරනවා. මම දන්නවා අනිත් ක්‍රිස්තියානි ආගම්වල උගන්වනවා වගේ යෙහෝවා අපිව නිරයක දාලා පුච්චන්නේ නැහැ කියලා. ඒත් මම කැමතියි යෙහෝවා මට විතරක් හරි දඬුවමක් දෙනවාට.”

“අන්තරාදායක කාලවල්”

ඇයි මේ වගේ අසාමාන්‍ය හැසිරීම් මෑතක සිට වැඩි වශයෙන් දකින්න තිබෙන්නේ කියා සමහරෙකු ඇසිය හැකියි. නමුත් බයිබලය අධ්‍යයනය කරන අය දන්නවා ඔවුන් ජීවත් වෙන්නේ ‘අන්තරාදායක කාලයක’ බව. (2 තිමෝති 3:1) එම නිසා යෞවනයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන් මෙවැනි විකෘති හැසිරීමක නියැලීම ගැන ඔවුන් පුදුම වෙන්නේ නැහැ.

“බලාත්කාරය ඥානවන්තයා මෝඩ කරයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 7:7) යොවුන් වියේ ඇති වන වෙනස්කම් හා ජීවිතයේ අමිහිරි අද්දැකීම් නිසා ශරීරයට හිංසා කිරීම වැනි අනතුරුදායක හැසිරීමකට තුඩු දිය හැකියි. තමන් තනිවෙලා කියා හෝ කතා කරන්න කෙනෙක් නැහැයි කියා හැඟෙන යෞවනයන් සහනයක් ලබාගැනීමට ශරීරයට හිංසා කරගන්නවා ඇති. ඒත් ඒ සහනය තාවකාලිකයි. නැවතත් ප්‍රශ්න උද්ගත වෙනවා. එවිට නැවතත් ශරීරයට හිංසා කරනවා.

බොහෝදුරට මෙවැනි හැසිරීමක නියැලෙන අය ඉන් මිදීමට කැමතියි. නමුත් ඔවුන්ට එය දුෂ්කරයි. ඒත් සමහරෙකු මෙයින් මිදී තිබෙනවා. ඒ කොහොමද? මෙය 2006 පෙබරවාරි පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . .” “මම මටම රිදවගන්න එක නතර කරන්නේ කොහොමද?” යන ලිපියෙහි සාකච්ඡා කරනු ලබනවා.

[පාදසටහන්වල]

^ 6 ඡේ. සමහර නම් සැබෑ ඒවා නොවෙයි.

^ 6 ඡේ. මෙය විදගැනීම හෝ පච්ච කෙටීම නෙමෙයි. විලාසිතාවක්ද නොවෙයි. 2000 අගෝස්තු 8 පිබිදෙව්! කලාපයේ 16-7වන පිටු බලන්න.

^ 9 ඡේ. ලෙවී කතාව 19:28හි සඳහන් “මළවුන් නිසා ඔබේ ශරීරයෙහි කැපුම් නොකරන්න” යන මිථ්‍යා චාරිත්‍රය මළවුන්ට අධිපති දෙවිවරුන් සඳහායි. මෙම ලිපියේ සාකච්ඡා කෙරෙන ශරීරය කපාගැනීමේ පුරුද්ද එම චාරිත්‍රයට සම්බන්ධ නැහැ.

සිතා බලන්න

▪ ඇයි සමහර යෞවනයන් තම ශරීරයට හිංසා කරගන්නේ?

▪ මේ ලිපිය කියවීමෙන් පසු වේදනාකාරී හැඟීම්වලින් ගොඩ ඒමට මීට වඩා හොඳ විදිහක් ගැන සිතා බැලිය හැකිද?

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සිනාසීමේදී පවා සිත ශෝක සහිතය.”—හිතෝපදේශ 14:13

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඒ අයට අවශ්‍ය වේදනාව අඩු කරගන්න මිසක් ජීවිතය නැති කරගන්න නෙමෙයි”

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අප ජීවත් වෙන්නේ අන්තිම දවස්වලදී අන්තරාදායක කාලවල්වල”—2 තිමෝති 3:1