Skip to content

පටුනට යන්න

කොහේටද පියාසලන්නේ?

කොහේටද පියාසලන්නේ?

කොහේටද පියාසලන්නේ?

ගොම්මන් කළුවර වැටීගෙන එන මොහොතක හමා ගිය සිහිල් සුළං රැල්ලට ඇඟ කිලිපොළා ගියා. පරිසරයේ හැම දෙයක්ම නිස්කලංකයි. නිහඬයි. ඒ නිස්කලංක බව සැණින් බිඳී ගියේ පාත්තයෝ රෑනකගේ ඝෝෂාවෙන්. පාත්තයෝ 20දෙනෙක් පමණ ඉතාමත් සුන්දර ලීලාවෙන් අහසේ පියාසර කරන ආකාරය මගේ නෙත ගැටුණා. උන් පියාසර කළේ හරියට ඉංග්‍රීසි V අකුරේ හැඩයටයි. බලාගෙන ඉද්දීම එක පාත්තයෙක් වමට හැරී රෑනේ පිටුපසට ගියා. එම දසුන මා තුළ කුතුහලයක් ඇවිස්සුවා. පාත්තයන් රෑන් පිටින් මේ V හැඩයට පියා සලන්නේ ඇයි? උන් පියඹා යන්නේ කොහෙටද?

ජලචර පක්ෂියෙක් වන පාත්තයා තරාවන්ගේ හා හංස පවුලේ සමීප නෑයෙක්. ලෝකය පුරා පාත්ත විශේෂ 40ක් පමණ සිටිනවා. උන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ආසියාවේ, යුරෝපයේ හා උතුරු අමෙරිකාවෙයි. සුදු ලප සහිත කලු පැහැති දිගු බෙල්ලක් ඇති කැනඩා පාත්තයා සුප්‍රසිද්ධයි. උප විශේෂයක් වන යෝධ කැනඩා පාත්තයන්ගේ පිරිමි සතා කිලෝ අටක් බර වන අතර උන්ගේ පියාපත් මීටර දෙකක් පමණ විහිදෙනවා. මෙම පාත්තයින් ගිම්හාන කාලය ගත කිරීමට ඇලස්කාව හා උතුරු කැනඩාව වැනි උතුරු රටවලටත් ශීත කාලයට මෙක්සිකෝව තරම් දුර ඈත දකුණු රටකටත් සංචාරය කරනවා.

නිසි වේලාවට සංචාරය කිරීම පාත්තයින්ට ඉතා වැදගත්. උතුරු ප්‍රදේශයට උන් කලින්ම ගියොත් වැව්වල වතුර මිදී ගස් කොළ ආදිය දළුලා නොතිබෙන්න පුළුවන්. එනිසා කැනඩා පාත්තයින් උතුර බලා පියාසර කරන්නේ සරත් සමය එළඹෙනවාත් සමඟයි. උන් ආ විට ජෝඩු හැදී තම කූඩු තැනීමට සූදානම් වෙනවා.

රංචු පිටින් V හැඩයට පියාසර කරන නිසා පාත්තයන්ට එකිනෙකාව හොඳින් පෙනෙනවා. ඒ වගේම මුල් පෙළේ උන් තම දිශාව හෝ වේගය වෙනස් කළොත් ඉක්මනින් ප්‍රතිචාරය දැක්වීමටත් පුළුවන්. මීට අමතරව සමහර විද්වතුන් විශ්වාස කරන්නේ ඉදිරි පෙළේ පාත්තයන් ඇති කරන වායු සුළි නිසා පසුපසින් පියාසර කරන එවුන්ට එය පහසුවක් වන බවයි. බොහෝවිට පාත්තයෝ සංචාරය කරන්නේ පවුල් කිහිපයක් එකට එක් වෙලයි. ලොකු උන් මාරුවෙන් මාරුවට ඉදිරියෙන් පියාසර කරනවා.

බොහෝදුරට කැනඩා පාත්තයෝ සෑම වසරකම කැදලි තනන්නේ එකම ප්‍රදේශයෙයි. උන් කූඩු තනන්නේ කෝටු කෑළි, තණ කොළ, පාසි වැනි ද්‍රව්‍යවලින්. ඒ වගේම උන් හැමදාටම ජීවත් වන්නේ එක් සහකරුවෙකු හෝ සහකාරියක සමඟ පමණයි. ජෝඩුවෙන් එකෙක් මිය ගියොත් අනෙකා සමහරවිට තවත් එකෙකු සොයාගන්නවා. නමුත් බොහෝදුරට ඌ ජීවත් වෙන්නේ තනියෙන්.

ගැහැනු සතා බිත්තර හතරත් අටත් අතර ප්‍රමාණයක් දමන අතර දවස් 28ක් බිත්තර රැකීම සඳහා ගත කරනවා. පාත්ත පියා සහ මව තමයි පැටවුන්ගේ ආරක්ෂකයා. තමන්ට හෝ තම පැටවුන්ට යම් අනතුරක් වන බව දැනුණොත් මවයි පියයි ආක්‍රමණශීලී වී තම සතුරන්ට අත් තටුවලින් ප්‍රබල පහරක් එල්ල කරනවා.

පුංචි එවුන් බිත්තරය ඇතුලේ සිටම පිටත උන්ට ඇසෙන සේ සතුටු නාද වගේම දුක්මුසු නාදයන්ද නිකුත් කරනවා. ලොකු එවුන්ද තම පැටවුන් සහ අනෙක් උන් සමඟ පණිවිඩ හුවමාරු කරගන්නවා. පර්යේෂකයන් කැනඩා පාත්තයන්ගේ විවිධ ශබ්ද වර්ග 13ක් සොයාගෙන තිබෙනවා.

සතුන් “ඉතා ඥානවන්තය” කියා බයිබලයේ පවසන වදන්වල සත්‍යතාව පාත්තයන් තහවුරු කරනවා. (හිතෝපදේශ 30:24) මේ සඳහා සියලු ගෞරවය යා යුත්තේ යෙහෝවා දෙවිටයි. ඔහු තමයි පියාඹන සතුන් ඇතුළු සෑම මැවිල්ලක නිර්මාතෘ.—ගීතාවලිය 104:24.

[17වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔබ දැන සිටියාද?

● පාත්තයන් බිත්තරයෙන් එළියට ආ විගස තම මවයි පියයි සමඟ කැදැල්ලෙන් සමුගන්නවා. සාමාන්‍යයෙන් උන් පවුල් පිටින් තමයි ජීවත් වෙන්නේ.

● තවත් පාත්ත විශේෂයක් (Bar-headed) මීටර 8,900ක් තරම් උසකින් පිහිටි එවරස්ට් කඳු වැටියටත් ඉහළින් පියාසර කරනවා.

● සමහර පාත්ත විශේෂයන්ට එක දිගටම කිලෝ මීටර 1,600ක් පමණ පියාසර කළ හැකියි.

● පාත්තයන් තනියම පියාසර කරනවාට වඩා රෑන් පිටින් පියාසර කිරීමෙන් උන්ට අත් තටු ගැසීම සහ හෘද ස්පන්දන වේගය අඩු කරගැනීමට හැකියාවක් ලැබෙනවා.

[හිමිකම් විස්තර]

Top left: U.S. Fish & Wildlife Service, Washington, D.C./Duane C. Anderson

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Flying geese: © Tom Brakefield/CORBIS