දරුණු රෝගයක් තිබුණත් දිවි ගෙවන්නේ ඇදහිල්ල නිසයි
දරුණු රෝගයක් තිබුණත් දිවි ගෙවන්නේ ඇදහිල්ල නිසයි
පැවසුවේ ජේසන් ස්ටුවට්
“ස්ටුවට් මහත්මයා ඔයාගේ තත්වෙ නම් එච්චර හොඳ නැහැ. ඔයාට මාංස පේශීන් ක්ෂය වීමේ රෝගයක් හැදිලා.” * දොස්තර මහතා රෝගයේ බරපතළකම ගැන විස්තර කළේ ඊට පස්සෙයි. තව ටික කාලෙකින් මට ඇවිදින්නත්, කතා කරන්නත් බැරි වෙයි කියලත්, මේ රෝගය නිසා වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන එකක් නැහැයි කියලත් ඔහු කිව්වා. “මට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයිද” කියලා මම ඇහැව්වා. “සමහරවිට අවුරුදු තුනක් නැත්නම් පහක් විතර” කියලා ඔහු කිව්වා. එතකොට මට අවුරුදු 20 ලැබුවා විතරයි. ඒක කනගාටුදායක ආරංචියක් වුණත් මට හිතුණේ මට හුඟක් ආශීර්වාද ලැබිලා තියෙනවා කියලයි. මං ඒ ගැන පැහැදිලි කරන්නම්.
මම ඉපදුණේ අමෙරිකාවේ කැලිෆෝනියාවල රෙඩ්වුඩ් නගරයේදී 1978 මාර්තුවලයි. මගේ තාත්තා ජිම් සහ අම්මා කැතී ස්ටූවට්ට හිටියේ දරුවෝ හතරදෙනෙක්. මම තුන්වෙනියා. ඔවුන් දෙවිට හුඟක් ලැදි අය. ඔවුන් මටත්, මගේ සහෝදරයන්ට හා සහෝදරියටත් (මැතිව්, ජොනතන් සහ ජෙනිෆර්) දෙවිට ලැදිව ඉන්න ඉගැන්නුවා.
ඒ කාලේ ගැන මතක් කරනවා නම්, ගෙයින් ගෙට දේවසේවය, බයිබලය අධ්‍යයනය කිරීම සහ ක්‍රිස්තියානි එක් රැස්වීම්වලට යෑම අපේ පවුලේ නිතිපතා කෙරුණ දෙයක්. යෙහෝවා දෙවිගේ නමස්කාරයට ඇතුළත් ඒ දේවල් කිරීම මට උපකාරයක් වුණා ඔහු කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගන්න. මගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.
කුඩා කාලේදී තිබුණ ආශාවක් ඉෂ්ට වෙයි
තාත්තා 1985දී අපේ පවුලේ හැමදෙනාවම අරගෙන ගියා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය බලන්න. ඒක තියෙන්නේ නිව් යෝක් නගරයේ බෘක්ලින්වලයි. ඒකට කියන්නේ බෙතෙල් නිවස කියලයි. එතකොට මගේ වයස අවුරුදු හතක් වුණත් බෙතෙල් නිවසේ විශේෂත්වයක් තියෙන බව මට හැඟුණා. හැමෝම තමන්ගේ වැඩේ ආසාවෙන් කරන බව පෙනුණා. ‘මම ලොකු වුණහම බෙතෙල් එකට ගිහින් යෙහෝවා වෙනුවෙන් බයිබල් හදන්න උපකාර කරනවා’ කියලා මම එදාම හිතාගත්තා.
මම යෙහෝවාට කැප වෙලා ඉන්න බව පෙන්වමින් 1992 ඔක්තෝබර් 18වෙනිදා බව්තීස්ම වුණා. ඊට අවුරුදු කීපයකට පස්සේ මට වයස අවුරුදු 17 වුණහම ආපහු තාත්තා මාව බෙතෙල් නිවස බලන්න එක්කගෙන ගියා. තව ටිකක් ලොකු වෙලා හිටිය නිසා එතන කෙරෙන වැඩවල වැදගත්කම ගැන කලින් සැරේට වඩා වැටහුණා. බෙතෙල් එකට යන්නම ඕනේ කියලා මම තීරණය කළා.
වර්ෂ 1996 සැප්තැම්බර්වලදී මම පූර්ණ-කාලීන දේවසේවකයෙකු හැටියට සේවය කරන්න පටන්ගත්තා. මගේ අධිෂ්ඨානය අත් කරගැනීමේ අරමුණින් මම දෙවිගේ සේවය උද්‍යෝගයෙන් කළා. දිනපතා බයිබලය කියවීම සහ පෞද්ගලික අධ්‍යයනය වැඩි කළා. රාත්‍රි කාලයේදී පටිගත කළ බයිබල් කතාවලට සවන් දුන්නා. මේවායින් සමහර ඒවා, ළඟදී ඇති වන පාරාදීස පොළොව සහ නැවත නැඟිටීම කෙරෙහි ස්ථිර විශ්වාසයක් තබාගෙන මරණයට පවා මුහුණ දුන් සමහර ක්‍රිස්තියානීන්ගේ අද්දැකීම්. (ලූක් 23:43; ) අන්තිමේදී ඔක්කොම කතා කටපාඩම් වුණා. දිරිගන්වනසුලු ඒ තොරතුරු මට ළඟදීම දවසක අත්‍යවශ්‍ය වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. එළිදරව් 21:3, 4
වර්ෂ 1998 ජූලි 11වෙනිදා බෘක්ලින් මූලස්ථානයෙන් ලිපියක් ලැබුණා. මම හිතුව විදිහටම බෙතෙල් එකට කැඳවලා තිබුණා. මාසෙකින් පස්සේ මම බෙතෙල් සේවය පටන්ගත්තා. මගේ පැවරුම පොත් බැඳුම් අංශයේ වැඩ කිරීමයි. ඉන් පස්සේ ඒ පොත් පත් විවිධ සභාවන්වලට යවනවා. පුංචි කාලේ ඉඳලා තිබුණ ආශාව සැබෑ වුණා. බෙතෙල් එකට ගිහින් ‘යෙහෝවා වෙනුවෙන් බයිබල් හදන්න’ මට අවස්ථාව ලැබුණා.
රෝගයක් සෑදෙයි
කොහොමවුණත් බෙතෙල් එකට යන්න මාසෙකට වගේ කලින් මගේ දකුණු අතේ දබරැඟිල්ල සම්පූර්ණයෙන්ම දිග අරින්න බැරි බව මට දැනුණා. ඒ කාලේදී මම නාන තටාක පිරිසිදු කරන්නෙක් හැටියට වැඩ කරද්දී ඉක්මනින්ම මහන්සි දැනෙන්න පටන්ගත්තා. ඇයි මට එච්චර මහන්සි වෙන්න බැරි කියලා මම කල්පනා කළා. මොකද ඊට කලින් මම කිසි ප්‍රශ්නයක් නැතුව ඇඟ පත වෙහෙසවන රැකියා කරලා තියෙනවා.
බෙතෙල් සේවයට ඇවිත් සති කීපයකින් රෝග ලක්ෂණ දරුණු වුණා. අනිත් යෞවනයන් එක්ක හරි හරියට පඩි පෙළ නඟින්න පුළුවන් වුණේ නැහැ. බැඳුම් අංශයේ වැඩ කරද්දී පොත් මිටි ගණන් උස්සන්න තිබුණා. මට ඉක්මනින්ම මහන්සි දැනුණා විතරක් නෙවෙයි මගේ දකුණු අත ටිකෙන් ටික කොර වෙන්න පටන්ගත්තා. වැඩි කල් නොගොස් මගේ මාපටැඟිල්ල යන්තම්වත් හොලවන්න බැරි වුණා.
බෙතෙල් ඇවිත් මාස දෙකකට පස්සේ, ඔක්තෝබර් මැදදී දොස්තර මහත්මයා මගේ ලෙඩේ මොකක්ද කියලා හොයාගත්තා. වෛද්‍ය කාමරයෙන් එළියට යද්දී මට කටපාඩම් වෙලා තිබුණ බයිබල් කතා මතක් වුණා. මැරෙනවා කියලා හිතෙද්දී මට බයක් දැනුණේ නැත්තේ යෙහෝවාගේ බලයේ උපකාරය මට තිබුණ නිසා වෙන්න ඇති. මම සාමාන්‍ය විදිහට වාහනය එනකම් ඉඳලා ආපහු බෙතෙල් එකට ගියා. මගේ පවුලේ අයට මම මේ ගැන කියද්දී ඔවුන්ට ශක්තිය දෙන්න කියලා මම යෙහෝවාට යාච්ඤා කළා.
මුලදී කිව්වා වගේ මට දැනුණේ ආශීර්වාද ලැබිලා තියෙනවා කියලයි. බෙතෙල් එකට යන්න තිබුණ මගේ ආශාව ඉෂ්ට වුණා. එදා හවස මම ඇවිදින්න ගියා. එවෙලේ මගේ හීනේ හැබෑ කරලා දුන්න එක ගැන මම යෙහෝවාට ස්තුති කළා. ඒ වගේම මේ දුක්මුසු තත්වයට හොඳින් මූණ දෙන්න මට උපකාර කරන්න කියලත් මං ඔහුගෙන් අයැද සිටියා.
යාළුවෝ හුඟදෙනෙක් මට උපකාර කරන්නත්, මාව දිරිගන්වන්නත් ඉදිරිපත් වුණා. මම නිතරම සතුටෙන් හිනා වෙලා ඉන්න වෑයම් කළා. ඒත් අසනීපේ ගැන දැනගෙන සතියකට විතර පස්සේ මම අම්මත් එක්ක දුරකථනයෙන් කතා කරද්දී ඇය කිව්වේ මගේ හිත ධෛර්ය කරගෙන හිටිය එක හොඳයි හැබැයි ඇඬුවත් කමක් නැහැයි කියලයි. ඇය එහෙම කියනකොටම මම අඬන්න පටන්ගත්තා. මට එකපාරටම හැඟුණේ ලැබිලා තියෙන හැම දෙයක්ම නැති වෙන්නයි යන්නේ කියලා.
අම්මාටයි තාත්තාටයි ඕන වුණේ මාව ගෙදර එක්කගෙන යන්නයි. ඒ නිසා ඔක්තෝබර් අගදී එක උදෑසනක මාවත් පුදුමයට පත් කරමින් ඔවුන් මගේ දොරට තට්ටු කළා. ඊළඟ දවස් කීපයේ ඔවුන් බෙතෙල් නිවසේ හිටියා. බෙතෙල් එකේ මගේ යාළුවන්ටත්, දිගු කාලයක් පුරා බෙතෙල් පවුලේ සාමාජිකයන්ව ඉන්න වයසක අයටත් මම ඔවුන්ව හඳුන්වලා දුන්නා. බෙතෙල් නිවසේ මගේ දෙමාපියන් එක්ක ඉන්න ලැබුණ ඒ දවස් ටික මගේ ජීවිතේ සතුටුම කාලයයි.
ආශීර්වාද ගැන හිතනකොට . . .
එදා ඉඳලා යෙහෝවා මට හුඟක් පැතිවලින් ආශීර්වාද කරලා තියෙනවා. මම 1999 සැප්තැම්බර්වලදී මගේ මුල්ම ප්‍රසිද්ධ කථාව දුන්නා. විවිධ සභාවලට තවත් කතා කීපයක්ම දෙන්න පුළුවන් වුණත් වැඩි කලක් නොයා මගේ වචන පැටලෙන්න පටන්ගත්ත නිසා ප්‍රසිද්ධ කථා දීම නතර කරන්න මට සිද්ධ වුණා.
මගේ පවුලේ අයගෙනුත්, ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙනුන් නොකඩවා ලැබුණ ආදරය සහ සහයෝගය තවත් ආශීර්වාදයක්. මගේ පාද ටිකෙන් ටික දුර්වල වෙද්දී යාළුවෝ මගේ අත් අල්ලගෙන මට දේවසේවයේ යන්න උපකාර කළා. සමහරු ගෙදරට ඇවිත් මගේ වැඩ කරලා දුන්නා.
මගේ බිරිඳ අමැන්ඩා මට ලැබුණ උතුම් ආශීර්වාදයක්. බෙතෙල් එකෙන් ආවට පස්සේ අපි මිතුරන් වුණා.
ඇය දෙවිට ලැදිව මේරූ විදිහට කටයුතු කරනවා දැකීමෙන් මම ඇය ගැන පැහැදුණා. මගේ රෝගය ගැන හැම දෙයක්ම ඇයට මම කිව්වා. අපි සෑහෙන කාලයක් එකට දේවසේවයේ ගියාට පස්සෙයි විවාහ වෙන අදහසින් ආශ්‍රය කරන්න පටන්ගත්තේ. ඊට පස්සේ 2000හේ අගෝස්තු 5වෙනිදා අපි විවාහ වුණා.අමැන්ඩා මෙහෙම කියනවා. “ජේසන්ට මගේ හිත ගියේ දෙවිට ලැදිව, දෙවිගේ දේවල් ඔහු උද්‍යෝගයෙන් කළ නිසයි. ලොකු අයත් පොඩි අයත්, මේ හැමෝම ඔහුට කැමතියි. සාමාන්‍යයෙන් මම නිශ්ශබ්දව පැත්තකට වෙලා ඉන්න එක්කෙනෙක්. ඒත් එයා ඕන එක්කෙනෙක් එක්ක ඉක්මනටම යාළු වෙනවා. විහිළුවක් තහළුවක් කරලා අනිත් අයවත් ශක්තිමත් කරනවා. හිනා යන දේවලට අපි දෙන්නම ආස නිසා හුඟක් වෙලාවට අපි දෙන්නා එකට හිනා වෙනවා. අපි දෙන්නා හුඟ කාලෙක ඉඳන් අඳුරගෙන හිටියා වගෙයි දැනෙන්නේ. ජේසන් ඔහුගේ අසනීපේ ගැනත්, ඉදිරියේදී ඇති වන තත්වය ගැනත් සම්පූර්ණයෙන්ම විස්තර මට කිව්වා. ඒත් හැකි තරම් කාලයක් අපි එකට සතුටු වෙනවා කියලා මම හිතාගත්තා. ඇරත් මේ සමාජ ක්‍රමයේදී අපේ ජීවිතය අස්ථිරයි. නිරෝගී අයට පවා ‘විපත්තිද බලාපොරොත්තු නොවූ සිදුවීම්වලටද’ මුහුණ දීමට සිද්ධ වෙනවා.—දේශනාකාරයා 9:11, නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්
කතා බහ කිරීමේ ක්‍රම සොයාගැනීම
මං කතා කරන දේ අනිත් අයට තේරෙන්නේ නැති වෙන්න පටන්ගත්ත නිසා අමැන්ඩා මගේ පරිවර්තකයා වුණා. ඊට පස්සේ මට කතා කරන්නම බැරි වුණා. අපි කතා කරන්න අලුත් ක්‍රමයක් හොයාගත්තා. අමැන්ඩා හෝඩියේ අකුරු එක එක කියාගෙන යද්දී මට ඕන අකුර ඇහුණහම මම ඇස්පිල්ලන් ගහනවා. ඇය ඒක මතක තියාගන්නවා. ඊළඟට ආපහු අකුරු ටික කියාගෙන යනවා. මේ විදිහට මට පුළුවන් වුණා වාක්‍ය තනන්න. අමැන්ඩායි මායි මේ ක්‍රමයෙන් දක්ෂ විදිහට අදහස් හුවමාරු කරගත්තා.
නවීන තාක්ෂණයේ දියුණුව නිසා කතා බහ කිරීමට මඟ සලසන පුංචි පරිගණකයක් දැන් මට තියෙනවා. මට කියන්න ඕන දේ මම පරිගණකයේ සටහන් කරහම පරිගණකය හඬ නඟා ඒ වචන ටික කියනවා. මගේ අත් දෙකත් පාවිච්චි කරන්න බැරුව ගියාට පස්සේ මගේ කම්මුල ළඟ පරිගණකයට සංඥා යවන උපකරණයක් සවි කෙරුවා. මගේ කම්මුල එහාට මෙහාට කරලා ඒ සංඥාවලින් මට ඕන අකුරු පරිගණකයේ තිරයෙන් තෝරාගෙන වචන අමුණන්න මට පුළුවන්.
මේ පරිගණකයෙන් බයිබලය ගැන උනන්දුවක් දක්වන අයට ලිපි ලියන්නත් පුළුවන්. ඔවුන් මගේ බිරිඳට දේවසේවයේදී හමු වෙන අයයි. පරිගණකයේ හඬ පාවිච්චි කරලා මට පුළුවන් සූදානම් කරගත් ශුභාරංචිය ගෙයින් ගෙට ගිහින් කියන්නත්, බයිබල් පාඩම් පවත්වන්නත්. මේ විදිහට මම නොකඩවාම ස්ථාවර පුරෝගාමියෙකු හැටියට සේවය කළා. මම සභා සේවකයෙක් නිසා හුඟාක් මෑතකදී මට ආපහු සභාවේ කතා දෙන්නත් ඉගැන්වීමේ වෙනත් පැවරුම් ඉටු කරන්නත් පුළුවන් වුණා.
හැමවිටම සිනා මුසු මුහුණින් සිටීම
වේදනා ගෙන දෙන කටුක තත්වයන්වලට අපි දෙන්නා මූණ දීලා තියෙනවා. මගේ පාද දුර්වල වෙන අවස්ථාවලදී මාව නිතර වැටෙන්න පටන්ගත්තා. කීප වතාවක්ම වැටිලා ඔළුව පැලිලා තියෙනවා. එක පාරටම මගේ මාංස පේශි වැඩ කරන්නේ නැතුව ගහක් කඩාගෙන වැටෙනවා වගෙයි මම ඇදගෙන වැටෙන්නේ. අහල පහළ ඉන්න අය කලබල වෙලා ඉක්මනට එනවා මට උපකාර කරන්න. ඒත් මම විහිළුවක් කරලා ඒගොල්ලන්ගේ බය නැති කරනවා. මම නිතරම උත්සාහ කරන්නේ සිනා මුසුව ඉන්නයි. එහෙම නොකර වෙන මොනවා කරන්නද? මට මං ගැනම කේන්ති ගන්න පුළුවන්. ඒත් ඒකෙන් මොන යහපතක්ද වෙන්නේ?
දවසක් අඳුර වැටීගෙන එද්දී මමයි, අමැන්ඩායි, යාළුවෝ දෙන්නෙකුයි පාරේ යද්දී එකපාරටම මාව වැටිලා ඔළුව හැප්පුණා. ඒ තුන්දෙනාම මට උදව් කරන්න නැවිලා මා දිහා බලද්දී එක යාළුවෙක් ඇහැව්වා මට තුවාල වුණේ නැද්ද කියලා.
මම කිව්වා “නැහැ, හැබැයි මට තරු පේනවා” කියලා.
“විහිළුවක් නෙමෙයි නේද කරන්නේ” කියලා ඔහු ඇහැව්වා.
“ඇත්තටම මට පේනවා” කියලා අහසට අත දික් කරලා මම කිව්වා “බලන්න ඒවා කොච්චර ලස්සනද කියලා!” හැමෝම හයියෙන් හිනා වුණා.
හැමදාම කටුක තත්වයට මුහුණ දීම
මගේ මාංස පේශි ටිකෙන් ටික ක්ෂය වෙද්දී තව තවත් අමාරු වුණා. කෑම ගැනීම, නෑම, වැසිකිළි යෑම, කමිසේ බොත්තන් දාගැනීම වැනි සාමාන්‍ය දේවල් කරද්දී පුදුම වෙහෙසක් දැනුණා. දැන් මට වෙන කෙනෙකුගේ උපකාරයක් නැතුව එහාට මෙහාට යන්න, කතා කරන්න, කන්න, හුස්ම ගන්න පවා බැහැ. මට දැන් දියර ආහාර දෙන්නේ මගේ බඩ ඇතුලට සවි කරපු නලයකින්. මගේ උගුරට සවි කළ නලයකිනුයි මම දැන් හුස්ම ගන්නේ.
පුළුවන් තරම් කාලයකට මම දේවල් කරගන්න තීරණය කළත් මට උපකාර කරන්න අමැන්ඩා හැම තිස්සෙම ලෑස්තියි. මට ඇය නැතුව මුකුත් කරගන්න බැරි වුණත් මම කිසි වැඩකට නැති කෙනෙක් කියලා හැඟෙන්න ඇය ඉඩ තියන්නේ නැහැ. මට ලැබෙන්න ඕන ගෞරවය ඇය හැමවිටම මට දෙනවා. ඇය දැන් කරන්නේ පුදුම වැඩ කොටසක්. ඒක ලේසි දෙයක් නොවන බව මම දන්නවා.
අමැන්ඩා ඇගේ හැඟීම් මෙසේ හෙළි කළා. “ජේසන් දුර්වල වෙන්න පටන්ගත්තේ ටිකෙන් ටික නිසා ඔහුව
රැක බලාගන්න මමත් ටිකෙන් ටික පුරුදු වුණා. ඔහුට හුස්ම ගන්න නලයක් හයි කරලා තියෙන නිසා ඔහු ගැන දවසේ තිස්සෙම අවධානයෙන් ඉන්න වෙනවා. ඔහුගේ පෙණහලුවල සෙමයි, කෙළයි හුඟක් පිරෙනවා. ඉවතට ඇදගැනීමේ උපකරණයකින් ඒවා අයින් කරන්න වෙනවා. ඒ නිසා අපි දෙන්නටම හරියට නින්දක් නැහැ. සමහර වෙලාවට මට තනිකමක් කලකිරීමක් දැනෙනවා. අපි දෙන්නා එකට හිටියත් කතා බහ කරන්න බැහැ. දැන් එයාගේ ඇඟේ පණ තියෙනවා කියලා පේන්නේ ඇස් දෙකෙන් විතරයි. තවමත් එයා සිනා උපදන දේවල් කරනවා. එයාගේ මොළෙත් හොඳට වැඩ කරනවා. ඒත් මට එයාගේ කටහඬ ඇහෙන්නේ නැතුව පාළුයි. දැන් එයාට මාව වැලඳගන්නත්, මගේ අත් දෙක අල්ලගන්නත් බැරි නිසා මට හරි දුකයි.“සමහරු අහනවා මං කොහොමද මේ තත්වෙට මූණ දෙන්නේ කියලා. යෙහෝවා දෙවි කෙරෙහි මම විශ්වාසය තියාගෙන ඉන්න ඕන බව මේ කටුක අද්දැකීමෙන් මම ඉගෙනගත්තා. මම මගේ උත්සාහයෙන් විතරක් මේ දුක්බර තත්වයට මූණ දෙන්න ගියා නම් මට අඩු තරමින් හුස්ම ගන්නවත් බැරි වෙයි. මම අද්දකින දේ ඇත්තෙන්ම දන්නේ යෙහෝවා විතරක් නිසා යාච්ඤාව ලොකු උපකාරයක්. ජේසන්ගේ දෙමාපියනුත් මට සෑහෙන්න උපකාර කරනවා. මට විවේකයක් ඕනෙ නම් නැත්නම් දේවසේවයේ යන්න ඕන නම් ඔවුන් ඒකට මට අවස්ථාව සලසලා දෙනවා. අපේ සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් අපිට ලැබුණ සහයෝගය ගැන මම අගය කරනවා. මේ සමාජ ක්‍රමයේදී විඳින ඕනෑම වේදනාවක් ‘මොහොතකට පවතින සුළු පීඩාවක්’ බව මතක තියාගන්න එකත් මට උපකාරයක්. (2 කොරින්ති 4:17) ළඟදී බිහි වෙන පාරාදීස පොළොව ගැනයි මං වැඩියෙන් හිතන්නේ. යෙහෝවා හැම දෙයක්ම හරිගස්සයි. මේ කරදර ඔක්කොම නැති වෙලා ජේසන් ආපහු සුව වුණ දාට මම සතුටු වෙයි.”
කලකිරීම එක්ක පොර බැදීම
පිරිමියෙක් වෙලත් මට මේ රෝද පුටුවේ අන්ත අසරණව ඉන්න වෙලා තියෙන හින්දා සමහර වෙලාවට මම හොඳටම කලකිරෙනවා. මගේ අක්කලාගේ ගෙදර සාදයක් තිබුණ වෙලාවක සිද්ධ වුණ දේ තාමත් මට මතකයි. ඒ වෙලාවේ මම හිටියේ බඩගින්නේ. හැමෝම මස් පානුයි බඩඉරිඟුයි සතුටෙන් කකා හිටියා. සමහරු පොඩි අය එක්ක සෙල්ලම් කළා. මේවා දකිද්දී මට ලොකු කලකිරීමක් ඇති වුණා. මම මෙහෙම හිතන්න පටන්ගත්තා. ‘මේක අසාධාරණයක්! ඇයි මට විතරක් මේ දේවල් ලැබෙන්නෙ නැත්තේ?’ ඒ හැන්දෑවේ අනිත් අයගේ ප්‍රීතිය නැති කරන්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා අඬන්නේ නැතුව ඉන්න මට පුළුවන්කම ලබා දෙන්න කියලා මම යෙහෝවාගෙන් බැගෑපත්ව ඉල්ලුවා.
විශ්වාසවන්තව සිටීමෙන් මට පුළුවන් යෙහෝවාට ‘ඔහුට නින්දා කරන සාතන්ට උත්තර දෙන්න’ අවස්ථාව ලබා දෙන්න කියා මම නිතර මතකයේ තබාගත්තා. (හිතෝපදේශ 27:11) ඒ නිසා මට ශක්තිය ලැබුණා. බඩඉරිඟු කනවට, පොඩි අය එක්ක සෙල්ලම් කරනවට වඩා වැදගත් ප්‍රශ්න තියෙන බව මම වටහාගත්තා.
මං වගේ රෝගියෙක්ට තමන්ගේම ප්‍රශ්න ගැන නිතරම හිත හිතා ඉන්න එක ලේසියි කියලා මම දන්නවා. ඒත් මම උත්සාහ කරන්නේ “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්නයි.” (1 කොරින්ති 15:58) දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙද්දී මගේම ප්‍රශ්න ගැන කරදර වෙවී ඉන්න මට වෙලාවක් නැහැ. යෙහෝවා කෙරෙහි විශ්වාසය වැඩි කරගන්න අනිත් අයට උපකාර කරන්න උනන්දුවක් දැක්වීමයි මගේ සතුටට ලොකුම හේතුව.
කලකිරීමට ඔරොත්තු දෙන්න තවත් දෙයක් මට උපකාර වුණා. දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීම නතර නොකළ නිසා හිරේට දාපු, ගාල් කඳවුරුවල තනි කරලා හිටපු ඇදහිලිවන්තයන්ගේ අද්දැකීම් ගැනත් මම කල්පනා කළා. මගේ කාමරේ මගේ හිර කුටිය කියලා හිතාගෙන, මගේ ඇදහිල්ල නිසා දැන් මම ඉන්නේ හිරේ කියලා හිතාගත්තා. ඔවුන්ට නොතිබුණ නමුත් මට තිබුණ දේවල් ගැන මම හිතුවා. බයිබල් තොරතුරු අඩංගු පොත් පත් මට ලබාගන්න පුළුවන්. රැස්වීම්වලට යන්න හෝ දුරකථනයෙන් ඒකට සහභාගි වෙන්න මට හැකියාවක් තිබෙනවා. මගේ දේවසේවය කරගෙන යන්න මට නිදහස තියෙනවා. මාත් එක්ක මගේ දයාබර බිරිඳ ඉන්නවා. මේ විදිහට කල්පනා කිරීමෙන් මට කොච්චර ආශීර්වාද ලැබිලා තියෙනවාද කියලා හිතන්න මට පුළුවන් වුණා.
පාවුල්ගේ වදන් මගේ හිතට හුඟක් සමීපයි. “අපි උත්සාහය අත් නොහරිමු. අපේ පිටාතර මිනිසා දිරාපත් වෙමින් සිටියත්, අපේ ඇතුළාන්ත මිනිසා දවසින් දවස අලුත් වන බව නිසැකයි.” ඇත්තෙන්ම මමත් පිටතින් දිරාපත් වෙන කෙනෙක්. ඒත් උත්සාහය අත් නොහරින්නයි මගේ අධිෂ්ඨානය. මාව ජීවත් කරවන්නේ “නොපෙනෙන දේවල්” දිහා මගේ ඇදහිල්ල නමැති ඇස් යොමාගෙන සිටීමයි. යෙහෝවා පාරාදීස පොළොවෙදී හොඳ සෞඛ්‍යයත්, මගේ මුළු ජීවිතයත් මට යළි ලබා දෙන බව දැනගෙන සිටීමත් මට ශක්තියක්.—2 කොරින්ති 4:16, 18.
[පාදසටහන]
^ 3 ඡේ. මේ රෝගය හඳුන්වන්නේ amyotrophic lateral sclerosis (ALS) ලෙසයි. එහි බරපතළකම තේරුම්ගැනීමට 27වන පිටුවේ “රෝගයේ වතගොත හදැනගනිමු” කොටුව කියවා බලන්න.
[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]
රෝගයේ වතගොත දැනගනිමු
▪ මේ රෝගය ගැන අහලා තියෙනවාද? එය මස්තිෂ්කයේ සහ සුෂුම්නාවේ තිබෙන චාලක ස්නායුවලට බලපෑමක් ඇති කරන රෝගයක්. චාලක ස්නායු මොළයේ සිට මාංස පේශීන්වලට පණිවිඩ ගෙන යන නිසා මෙම රෝගය වැලඳීමෙන් මාංස පේශිවල ක්‍රියාකාරිත්වය අඩපණ වී ක්‍රම ක්‍රමයෙන් දරුණු අංශභාග තත්වයක් ඇති වෙනවා. මෙය ඉංග්‍රීසියන් හඳුවන්වන්නේ එමියොට්‍රොෆික් ලැටරල් ස්ක්ලෙරොසිස් හෙවත් ALS රෝගය කියායි. * එය ලූ ගෙරිග්ගේ රෝගය ලෙසත් හඳුවන්වනවා.
▪ එයට ලූ ගෙරිග්ගේ රෝගය කියන්නේ ඇයි? ලූ ගෙරිග් අමෙරිකාවේ ප්‍රසිද්ධ බේස් පන්දු ක්‍රීඩකයෙක්. ඔහුට වයස අවුරුදු 38ක් වන විට මෙම රෝගය වැලඳුණා. ඒ 1939දීයි. පසුව ඔහු 1941දී මිය ගියා. සමහර රටවල ALS සහ වෙනත් ස්නායු රෝග පොදුවේ හඳුන්වන්නේ චාලක ස්නායු රෝගය කියායි. එමෙන්ම මෙම රෝගය පිළිබඳ මුලින්ම පැහැදිලි කළේ ප්‍රංශ ස්නායු විශේෂඥ ෂාන් මාටන් ෂාකෝ 1869දීයි. ඒ නිසා එය ෂාකෝගේ රෝගයද කියනවා.
▪ මෙම රෝගය හැදෙන්න හේතුව මොකක්ද? ඊට හේතුව තාම සොයාගෙන නැහැ. පර්යේෂකයන් අනුමාන කරන්නේ වයිරස, ප්‍රෝටීන් ඌනතා, ප්‍රවේණි දෝෂ (විශේෂයෙන් ALS රෝගය පවුලේ අයට තිබී ඇත්නම්) ලෝහ වර්ග, විෂ ස්නායුගත වීම (ග්වාම්හි දක්නට ලැබෙන වර්ගය) ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍ය තත්වයන් සහ එන්සයිමවල අසමානතාවන් ඊට හේතු විය හැකි බවයි.
▪ රෝග ලක්ෂණ මොනවාද? රෝගය ක්‍රම ක්‍රමයන් පැතිරෙද්දී මාංස පේශි දුර්වල වීම හා ක්ෂය වීම මුළු ශරීරයටම බලපායි. දරුණු අවස්ථාවේදී ශ්වසන පද්ධතියේ මාංස පේශි දුර්වල වී බාහිර ස්වාශකයකින් හුස්ම ගැනීමට රෝගියාට සිදු වෙයි. රෝගය චාලක ස්නායුවලට පමණක් බලපාන නිසා රෝගියාගේ මනසට, පෞද්ගලිකත්වයට, බුද්ධියට හෝ මතකයට ඉන් හානියක් නොවෙයි. එමගින් සංවේද ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය එනම් පෙනීම, ගඳ සුවඳ හා රස දැනීම, ඇසීම සහ ස්පර්ශයෙන් දැනීම අඩපණ වන්නෙත් නැහැ. මෙම රෝග ලක්ෂණ පහළ වුණාට පස්සේ අවුරුදු තුනත් පහත් අතර කාලයකදී රෝගියා මිය යනවා. රෝගීන්ගෙන් සියයට 10ක් විතර ඒක හැදුණට පස්සේ අවුරුදු දහයක් නැත්නම් ඊට වැඩි කාලයක් ජීවත් වෙනවා.
▪ නිසි ප්‍රතිකාර ලබා දීමට කර ඇත්තේ කුමක්ද? දැනට ALS රෝගය සඳහා නිට්ටාවට සුවයක් නැහැ. රෝගය නිසා ඇති වන සමහර අපහසුතා අඩු කරගැනීම සඳහා බෙහෙත් නිර්දේශ කිරීමට වෛද්‍යවරයෙකුට හැකියි. රෝග ලක්ෂණ හා රෝගයේ අඩු වැඩි තත්වය අනුව මාංස පේශිවලට ව්‍යායාම් දීම, දෛනික වැඩ කටයුතු කරගැනීමට පුහුණුව දීම, කතා කිරීමට ව්‍යායාම් දීම සහ වෙනත් විවිධ ආධාරක ලබා දීම ආදී පුනරුත්ථාපන සේවාවලින් රෝගියාට සහනයක් ලැබේවි.
[පාදසටහන]
^ 48 ඡේ. මෙම ALS රෝගය කාණ්ඩ තුනකට බෙදිය හැකියි. ඒවා නම් පරම්පරාගත නොවන (බහුලව තිබෙන), පරම්පරාගත (සියයට 5ත් 10ත් අතර සංඛ්‍යාවක් මේ කාණ්ඩෙට අයත්) සහ ග්වාම්හි දක්නට ලැබෙන (ග්වාම්හි සහ පැසිෆික් දූපත්වල මෙම රෝගීන්ගේ සංඛ්‍යාව විශාලයි) රෝග කාණ්ඩයි.
[හිමිකම් විස්තර]
Lou Gehrig: Photo by Hulton Archive/Getty Images
[25වන පිටුවේ පින්තූරය]
බෙතෙල් නිවස නරඹමින් 1985දී
[26, 27වන පිටුවේ පින්තූරය]
අමැන්ඩායි මායි විවාහ වූ දිනේදී
[28වන පිටුවේ පින්තූරය]
මට කතා බහ කිරීමට උපකාර කළ විශේෂ පරිගණකය
[28, 29වන පිටුවේ පින්තූරය]
අපේ සභාවේ මම කතා දෙන්නේ ආසාවෙන්