Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ වර්ෂ 2000දී ලොව පුරා අලුත් ක්ෂය රෝගීන් මිලියන 8.3ක් සිටියා. එයින් මිලියන දෙකක් පමණ මිය ගියා. මේ අයගෙන් වැඩි දෙනෙක් දුප්පත් රටවල සිටින අයයි.—MEDICAL JOURNAL OF AUSTRALIA.

▪ වර්තමානයේ යෞවනයන් මිලියන 10කට HIV වයිරසය ආසාදනය වී තිබෙනවා. ඒ වගේම ලොව පුරා අලුතින් ආසාදනය වූ පුද්ගලයන් මිලියන 4.9න් අඩකට වැඩි සංඛ්‍යාවක් අවුරුදු 15ත් 24ත් වයස් කාණ්ඩයේ අයයි.”—UNITED NATIONS POPULATION FUND.

▪ මුහුදු ලිහිණියා ලොවවටා පියාසර කරන ආකාරය චන්ද්‍රිකා රූප මගින් නිරීක්ෂණය කළා. එම පක්ෂියා ලොව වටා පියාසර කළේ දින 46ක් තරම් කෙටි කාලයකින්.—SCIENCE MAGAZINE, U.S.A.

▪ “ලෝ පුරා සෑම පැයකදීම හමුදා සෙබළුන්, අවි ආයුධ සහ වෙඩි බෙහෙත් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් වැය කරනවා.”—VITAL SIGNS 2005, WORLDWATCH INSTITUTE.

පූජකයන්ට මැර ප්‍රහාර

“[බ්‍රිතාන්‍යයේ] පූජකයෙක් වෙනවා කියන්නේ භයානක දෙයක්.” එසේ වාර්තා කළේ 2005දී ලන්ඩනයේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතයි. වර්ෂ 2001 බ්‍රිතාන්‍ය රජය විසින් කළ සමීක්ෂණයකදී පූජකයන්ගෙන් සියයට 75ක් කියා සිටියේ ඔවුන් ඊට පෙර වසර දෙකේදී යම් ආකාරයක වධ හිංසාවලට ලක් වූ බවයි. වර්ෂ 1996 සිට අඩුම තරමින් පූජකයන් හත්දෙනෙක්වත් ඝාතනය කර තිබෙනවා. එක් නාගරික පළාතක් වන මර්සිසයිඩ්වල “තිබෙන නමස්කාර ස්ථාන 1,400න් සෑම දිනකම එක් ස්ථානයක් පහරදීම්, කොල්ලකෑම් හෝ ගිනි තැබීම්වලට ලක් වුණා.”

අසාමාන්‍ය ජෛව විවිධත්වයක්

වැසි වනාන්තර විනාශ කිරීමේ තර්ජනයක් තිබුණද “බොනියෝ දූපත්වල අසාමාන්‍ය ජෛව විවිධත්වයක් තිබෙනවා” කියා නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරනවා. ලෝක වන සත්ව අරමුදලට අනුව 1994ත් 2004ත් අතර කාලය තුළ ජීව විද්‍යාඥයන් අලුත් සත්ව හා ශාක විශේෂ 361ක් එම දූපතෙන් සොයාගෙන තිබෙනවා. එම අලුත් විශේෂ තුළට කෘමීන් 260ක්, ශාක වර්ග 50ක්, මාළු වර්ග 30ක්, ගෙඹි වර්ග 7ක්, උරග වර්ග 6ක්, කකුළුවෝ වර්ග 5ක්, නයි වර්ග 2ක් සහ මැඩියෙක් ඇතුළත්. නමුත් දැව ලබාගැනීමටත් රබර් හා පාම් තෙල් ලබාගැනීමට ගස් සිටුවීමටත් කැලෑ එළි කරනවා. එයින් දූපතේ වැහි වනාන්තරවලට තර්ජනයක් එල්ල වී තිබෙනවා.

මිථ්‍යා විශ්වාසවලට තවමත් හොඳ තැනක්

“විද්‍යාව හා තාක්ෂණයෙන් දියුණු මෙවන් යුගයක පවා මිථ්‍යා විශ්වාසවලට තවමත් තැනක් තිබෙනවා.” එසේ වාර්තා කළේ ජර්මනියේ එක් ආයතනයක්. “හොඳ හෝ නරක පෙරනිමිති ගැන කිසිම පදනමක් නැති විශ්වාසයක් මිනිසුන් අතරේ තියෙනවා. අවුරුදු 25කට පෙර තිබුණාට වඩා අද මෙය දක්නට ලැබෙනවා.” එක්දහස්නවසිය හැත්තෑ ගණන්වල සියයට 22ක් උල්කාපාත තම ජීවිතයට බලපාන බව පිළිගත්තා. දැන් සියයට 40ක් එසේ පිළිගන්නවා. වැඩිහිටියන් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් තමයි සියලුම මිථ්‍යා විශ්වාසයන් පිළිනොගන්නේ. ජර්මනියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 1,000ක් යොදාගෙන කළ අධ්‍යයනයකදී තුනෙන් එකක් වාසනාවේ සංකේතයක් තම වාහනයේ හෝ මුදුවල දමාගෙන සිටියා.

ඇන්ටාර්ටික් අයිස් කඳු දිය වෙයි

“පසුගිය වසර 50 ඇතුළත ඇන්ටාර්ටික් අර්ධද්වීපයේ අයිස් කඳු 244න් සියයට 87ක් දිය වී තිබෙනවා.” එය විද්වතුන් කලින් සිතුවාට වඩා වැඩි වේගයකින් සිදු වී ඇති බව ආජෙන්ටිනාවේ එක් පුවත්පතක් වාර්තා කළා. අයිස් කඳු පිළිබඳව කළ පුළුල් පරීක්ෂණයේදී සොයාගත්තේ වායුගෝලයේ උෂ්ණත්වයද පසුගිය වසර 50 ඇතුළත සෙල්සියස් අංශක 2.5කින් ඉහළ ගොස් ඇති බවයි. ‘දේශගුණික වෙනස්කම් අයිස් කඳු දියවීමට මූලික හේතුව’ කියා බ්‍රිතාන්‍යයේ ඇන්ටාර්ටික් සමීක්ෂණ කණ්ඩායමේ ඩේවිඩ් වෝන් පවසනවා. “අපිට ස්ථිර වශයෙන්ම කියන්න බැහැ මිනිසුන් තමයි මීට වග කියන්න ඕනේ කියලා. ඒත් ළඟදීම ඒ දේ කියන්නත් බැරි නැහැ” කියා ඔහු තව දුරටත් පවසනවා.