Skip to content

පටුනට යන්න

“නව යුගයක අරුණලු උදා කළ” මයිකල් ඇග්‍රිකෝලා

“නව යුගයක අරුණලු උදා කළ” මයිකල් ඇග්‍රිකෝලා

“නව යුගයක අරුණලු උදා කළ” මයිකල් ඇග්‍රිකෝලා

ෆින්ලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

“බයිබලය තරම් ෆින්ලන්ත සංස්කෘතියට, සදාචාරයට හා චින්තනයට ප්‍රබල බලපෑමක් කළ පොතක් තවත් නැහැ.”—““Biblia 350—​The Finnish Bible and Culture” යන පොත.

ඔබේ භාෂාවෙන් බයිබලය කියවීමට තිබෙනවා නම් එය මොන තරම් භාග්‍යයක්ද! වර්තමානයේ මුළු බයිබලයම හෝ කොටසක් හෝ භාෂා 2,000ට වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගත හැකියි. මෙය ඉබේ ඇති වූ දෙයක් නෙමෙයි. ඈත අතීතයේ සිටම ස්ත්‍රී පුරුෂයන් නොයෙකුත් බාධක මැද තම මව් භාෂාවට බයිබලය පරිවර්තනය කිරීම සඳහා අපමණ වෙහෙසක් ගෙන තිබෙනවා. මයිකල් ඇග්‍රිකෝලා ඉන් එක් අයෙක්.

බයිබලය ෆින්ලන්ත භාෂාවට පරිවර්තනය කිරීමේ කාර්යයට මුල් ගල තැබුවේ භාෂා විශාරදයෙක් වූ ඇග්‍රිකෝලා විසින්. ඔහුගේ ලේඛන කලාව ෆින්ලන්ත සංස්කෘතිය නව මාවතකට ගෙන ඒමට සමත් වුණා. නව යුගයක අරුණළු උදා කළ මිනිසෙක් ලෙස ඔහුව හැඳින්වීම අරුමයක් නොවෙයි!

මයිකල් ඇග්‍රිකෝලා මෙලොව එළිය දුටුවේ 1510 දකුණු ෆින්ලන්තයේ ටෝස්බී කියන ගම්මානයේ. ඔහුගේ පියා ගොවි පොළක හිමි කරුවෙක්. ලතින් භාෂාවෙන් “ගොවියා” යන අරුත් ඇති ඇග්‍රිකෝලා යන වාසගම ඔහුට හිමි වූයේ ඒ නිසාවෙන් විය හැකියි. ද්වි භාෂා භාවිතයක් තිබූ සමාජයක හැදි වැඩුණ නිසා ඔහුට ස්වීඩනයේ හා ෆින්තන්තයේ භාෂා කතා කිරීමට හැකියාවක් තිබෙන්න ඇති. වයිපුරි නගරයේ තිබූ ලතින් පාසැලෙන් ඔහු තම භාෂා හැකියාව ප්‍රගුණ කරගත්තා. පසුව ඔහු එවකට ප්‍රධාන නගරයක් වූ ටර්කුවලට ගොස් ෆින්ලන්තයේ කතෝලික බිෂොප්වරයෙක් වූ මාර්ටි ස්කයිට්ගේ ලේකම් ලෙස සේවය කළා.

එවකට පැවති දේශපාලන හා ආගමික වාතාවරණය

ඇග්‍රිකෝලා ජීවත් වූ කාල වකවානුවේ ස්කැන්ඩිනේවියාවට අයත් රටවල පැවතියේ අවුල් සහගත තත්වයක්. ස්කැන්ඩිනේවියානු රටවල් වන නෝර්වේ, ඩෙන්මාර්කය හා ස්වීඩනය එකතු වී සෑදුණු එකාබද්ධ ආණ්ඩුවෙන් ගැලවීමට ස්වීඩනය යත්න දරමින් සිටියා. වර්ෂ 1523දී පළමුවන ගුස්ටාව් ස්වීඩනයේ රජු ලෙස බලයට පත් වුණා. ෆින්ලන්තය එවකට ස්වීඩනයේ පළාතක් ලෙස පැවතියත් ගුස්ටාව්ගේ පාලනය ෆින්ලන්තයට එතරම් බලපෑමක් වුණේ නැහැ.

බලයට පත් අලුත් රජ තම බලය තහවුරු කරගන්න කටයුතු කළා. ඒ සඳහා ඔහු උතුරු යුරෝපයේ සිදු වෙමින් තිබූ ආගමික විප්ලවය අනුගමනය කළා. ඔහු කතෝලික ධර්මය වෙනුවට ලුතරන් ධර්මය රජයේ ආගම බවට වෙනස් කළා. වතිකානුව සමඟ තිබූ සබඳතා සම්පූර්ණයෙන්ම අහෝසි කළ අතර කතෝලික බිෂොප්වරුන්ගේ අධිකාරය නැති කළා. පල්ලිවල දේපළ රජයට පවරා ගත්තා. වර්තමානයෙත් ස්වීඩනයේ හා ෆින්ලන්තයේ ජනගහනයෙන් බහුතරයක් ලුතරන් භක්තිකයන්.

මෙම ලුතරන් භක්තිකයන්ගේ මූලිකම ඉලක්කය වුණේ ලතින් භාෂා වෙනුවට ස්වදේශීය භාෂාවලින් පූජා පැවැත්වීමයි. මේ හේතුව නිසා 1526දී ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි, නැතහොත් “නව ගිවිසුම” ස්වීඩනයේ භාෂාවෙන් පළ වුණා. නමුත් ලුතරන් ධර්මය ෆින්ලන්තයට එතරම් ප්‍රබල බලපෑමක් නොකළ නිසා බයිබලය එම භාෂාවට පරිවර්තනය කිරීමට උනන්දුවක් තිබුණේ නැහැ. එයට හේතුව කුමක්ද?

“බැරෑරුම් හා වෙහෙසකර” කාර්යයක්

ප්‍රධාන හේතුව ෆින්ලන්ත භාෂාවෙන් පොත්පත් බොහෝදුරට ලියැවී නොතිබීමයි. වර්ෂ 1500යේ මුල් කාලයේ කතෝලික යාච්ඤා ස්වල්පයක් පමණයි එම භාෂාවෙන් ලියැවී තිබුණේ. එමනිසා බයිබලය ෆින්ලන්ත භාෂාවට පරිවර්තනය කිරීමට නම් ලිඛිත ස්වරූපයට ගැළපෙන බොහෝ වචන, අලුත් වචන හා වාක්‍ය තැනීමටත් සිදු වුණා. මෙය කරන්න සිදු වුණේ භාෂාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අත් පොත් කිසිවක් නොමැතිවයි. එසේ වුවත් අග්‍රිකෝලා බයිබලය පරිවර්තනය කිරීමේ භාරදූර කාර්යයට අත තැබුවා!

වර්ෂ 1536දී ෆින්ලන්තයේ කතෝලික බිෂොප්වරයා වූ ස්කයිට්, ඇග්‍රිකෝලාගේ ආගමික දැනුම හා භාෂා හැකියාව ප්‍රගුණ කිරීම සඳහා ජර්මනියේ විටන්බර්ග් නගරයට ඔහුව යැව්වා. සමහර වාර්තාවලට අනුව මෙම නගරයේ අවුරුදු 20ට පෙර ලූතර් විසින් ඔහුගේ සුප්‍රකට නිබන්ධ 95ක් කතෝලික පල්ලියේ දොරක ඇණ ගැසූ බවට විශ්වාසයක් තිබෙනවා.

ඇග්‍රිකෝලා විටන්බර්ග් නගරයේ සිටින විට තම අධ්‍යාපන කටයුතුවලට වඩා යමක් කළා. ඔහු බයිබලය ෆින්ලන්ත භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු ඇරඹුවා. ඔහු 1537දී ස්වීඩනයේ රජු වෙත යැවූ ලිපියක මෙසේ ලියා තිබුණා. “මගේ අධ්‍යාපන කටයුතුවලට දෙවිගේ මඟ පෙන්වීම් ලැබෙන තාක් කල් මම දැනටමත් ආරම්භ කර තිබෙන ලෙස නව ගිවිසුම, ෆින්ලන්ත ජනයාගේ භාෂාවෙන් පරිවර්තනය කිරීමේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න වෑයම් කරනවා.” ඔහු ෆින්ලන්තයට නැවත ආ පසු, විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන අතරතුරේ පරිවර්තන කටයුතුද කරගෙන ගියා.

මීට පෙර බයිබලය පරිවර්තනය කළ අන් හැමෝටම වගේ ඇග්‍රිකෝලාටත් පරිවර්තන කටයුතු පහසු වුණේ නැහැ. ලූතර් පවා මෙවන් දෙයක් පවසා තිබුණා. ‘හෙබ්‍රෙව් බසින් කර තිබෙන ප්‍රකාශනයන් ජර්මන් බසට දැමීම සුළුපටු කාර්යයක් නෙමෙයි.’ වෙනත් අයගේ පරිවර්තනවලින් ඇග්‍රිකෝලාට යම් ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකියාවක් තිබූ බව සත්‍යයක්. නමුත් ඔහුට තිබූ විශාල අභියෝගය ෆින්ලන්ත භාෂාවයි. මන්ද එවකට එම භාෂාව ලියන භාෂාවක් බවට පත් වී තිබුණේ නැහැ.

එය හරියට සැලැස්මක් හා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස නොමැතිව ගෙයක් ගොඩනඟනවා වගේයි. ඔහු මෙම අභියෝගය ජයගත්තේ කොහොමද? ඔහු ෆින්ලන්තයේ උප භාෂාවලින් වචන එකතු කර ඒවා ශබ්ද වන ආකාරයට ලිව්වා. පෙනෙන විදිහට “ආණ්ඩුව,” “කුහකයා,” “අත් පිටපත,” “හමුදාව,” “ආදර්ශය,” සහ “පිටපත් කරන්නා,” වැනි වචන ෆින්ලන්ත භාෂාවට හඳුන්වා දී තිබෙන්නේ ඇග්‍රිකෝලායි. සමහර අවස්ථාවලදී ඔහු වෙනත් භාෂාවලින්ද වචන ලබාගත්තා. විශේෂයෙන්ම ස්වීඩනයේ භාෂාවෙන්. එන්කලි (දේවදූතයා), හිස්ටොරියා (ඉතිහාසය), ලැම්ප්පූ (ලාම්පුව), මාට්ටිරි (දිවි පුදන්නා) සහ පැල්මු (තාල වෘක්ෂය) වැනි වචන ඉන් කිහිපයක්.

තම රටවැසියන්ට දෙවිගේ වචනය

වර්ෂ 1548දී ඇග්‍රිකෝලා, කොටස් වශයෙන් ප්‍රකාශයට පත් කළ පරිවර්තනයේ පළමු කොටස එනම් නව ගිවිසුම එළි දැක්වුවා. සමහරෙකු කියා සිටින්නේ මෙම පරිවර්තනය වසර පහකට පෙර නිම කිරීමට හැකියාව තිබුණත් මුදල් හිඟයකට මුහුණ දුන් නිසා එය පළ කිරීමට ප්‍රමාද වූ බවයි. මුද්‍රණ කටයුතුවලදී ඇග්‍රිකෝලා මුදලින් විශාල ලෙස දායක වෙන්න ඇති බවට උපකල්පනය කරනවා.

වසර තුනකට පසු ගීතාවලිය ප්‍රකාශයට පත් කළා. එය පරිවර්තනය කිරීමට මිතුරන්ගේ සහාය ලබාගන්න ඇතැයි කියා විශ්වාස කරනවා. ඔහු මෝසෙස්ගේ හා වෙනත් අනාගතවක්තෲන්ගේ ලියවිලිද පරිවර්තනය කිරීමට මූලික පියවර ගත්තා.

ඇග්‍රිකෝලා තම සීමාවන් තේරුම් ගනිමින් අවංකව මෙසේ ලීවා. “දේව භක්තික ක්‍රිස්තියානියෙක් හෝ වේවා මේ පරිවර්තනය කියවන ඕනෑම කෙනෙක් හෝ වේවා එහි යම් අඩු පාඩු හෝ දෝෂයක් දුටු විට ඒ ගැන අමනාප නොවන්න. මා මෙම කාර්යයට අත තැබුවේ අද්දැකීම් නොමැතිවයි.” ඇග්‍රිකෝලාගේ පරිවර්තනයේ යම් අඩු පාඩු තිබුණද බයිබලය පොදු ජනයා අතට පත් කිරීම සඳහා අභියෝග මැද ඔහු ගත් උත්සාහය පැසසිය යුතුයි.

ඇග්‍රිකෝලා දායාද කළ දේ

වර්ෂ 1557දී ටර්කුහි ලුතරන් භක්තිකයෙක් හා බිෂොප්වරයෙක් ලෙස සේවය කරමින් සිටි ඇග්‍රිකෝලාට මොස්කව් නුවරට යෑමට අවස්ථාවක් ලැබුණා. ඒ ස්වීඩනය හා රුසියාව අතර පැවති දේශ සීමාව පිළිබඳ ගැටලුව සාකච්ඡා කිරීම සඳහායි. එම ගමන සාර්ථක වුණා. නමුත් ආපසු මව් බිම බලා එන ගමනේ ඇති වූ දුෂ්කරතා නිසා ඔහු රෝගාතුර වුණේ බලාපොරොත්තු නොවූ ලෙසයි. වයස අවුරුදු 47දී පමණ ඔහු මියගියා.

ඔහුගේ කෙටි ජීවිතය තුළදී ෆින්ලන්ත බසින් පොත් 10ක් පමණයි පළ කළේ. පිටු 2,400ක් ඊට ඇතුළත් වුණා. ඒ කෙසේ වෙතත් “නව යුගයක අරුණළු උදා කළ” ඔහු ෆින්ලන්ත සංස්කෘතිය නව මාවතකට යොමු කළා යන්න බොහෝදෙනෙකුගේ විශ්වාසයයි. එතැන් පටන් ෆින්ලන්ත භාෂාවත් ජනයාත් කලා හා විද්‍යා ක්ෂේත්‍රයේ නව දියුණුවක් අද්දැක්කා.

වැදගත්ම දේ මයිකල් ඇග්‍රිකෝලා ෆින්ලන්ත භාෂාව කතා කරන ජනයාට දෙවිගේ වචනය තේරුම්ගැනීමට ලබා දුන් උපකාරයයි. ඔහු කළ මෙහෙය අගය කළ බව ඔහු වෙනුවෙන් ලතින් බසින් රචනා කළ ගුණ අනුස්මරණ ගීයෙන් පෙනී යනවා. “ඔහු ඉතිරි කර යන්නේ කිසිදා මතකයෙන් නොමැකෙන යමක්. ශුද්ධ පොත් ෆින්ලන්ත භාෂාවට පරිවර්තනය කරමින් ඔහු කළ මෙහෙය විශිෂ්ටයි.”

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ෆින්ලන්ත බයිබලය

මයිකල් ඇග්‍රිකෝලාගේ දායකත්වය ඇතිව ෆින්ලන්ත බසින් පළ වූ පළමු බයිබලය නිකුත් වුණේ 1642දීයි. කාලයක් යන විට එය ලුතරන් පල්ලියේ සම්මත බයිබලය බවට පත් වුණා. ඉන් ගත වූ කාලය තුළ යම් සුළු වෙනස්කම්වලට භාජන වුවත් 1938 දක්වා එය බොහෝදුරට නොවෙනස්ව පැවතුණා. නවතම සංශෝධිත පිටපත 1992දී එළි දැක්කා.

ෆින්ලන්ත භාෂාවෙන් ඇති අනෙක් එකම සම්පූර්ණ බයිබලය යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයයි. එය නිකුත් කළේ 1995දීයි. ඊට අවුරුදු 20කට පෙර, එනම් 1975දී සාක්ෂිකරුවන් විසින් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි පරිවර්තනය කරනු ලැබුවා. ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය මුල් පිටපතට ඉතා විශ්වාසවන්ත වෙමින් පරිවර්තනය කර තිබෙනවා. මේ වන විට මුද්‍රණය කර ඇති පිටපත් සංඛ්‍යාව 13,00,00,000.

[22වන පිටුවේ පින්තූරය]

“මයිකල් ඇග්‍රිකෝලා හා පළමු බයිබලය.” 1910 තැපැල් පතක්

[හිමිකම් විස්තර]

National Board of Antiquities/Ritva Bäckman

[23වන පිටුවේ පින්තූරය]

ඇග්‍රිකෝලාගේ “නව ගිවිසුම”

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

National Board of Antiquities