Skip to content

පටුනට යන්න

පාඨකයන් වෙතයි!

පාඨකයන් වෙතයි!

පාඨකයන් වෙතයි!

මෙම කලාපයේ සිට පිබිදෙව්! සඟරාවේ ලිපි පළ වන ආකාරයේ සුළු වෙනස්කම් කිහිපයක් සිදු වෙනවා.

හතරවන පිටුවේ සඳහන් ආකාරයට පිබිදෙව්! සඟරාවේ අරමුණ වන්නේ “මුළු පවුලටම දැනුම හා අවබෝධය ලබා දීමයි.” එම අරමුණ නොවෙනස්ව පවතියි. ලෝක සිද්ධීන් විමර්ශනය කිරීම, විවිධ සංස්කෘතීන්ට අයිති ජනයාගේ වගතුග හෙළි කිරීම, මැවිල්ලේ අරුමයන් පැහැදිලි කිරීම, සෞඛ්‍ය හෝ විද්‍යාව ගැන අල්ප දැනුමක් ඇති අයට විද්‍යාත්මක කාරණා පැහැදිලි කිරීම වැනි ලිපි පළ කරමින් අපගේ පාඨකයන්ව අවට ලෝකයේ කාලීන තොරතුරුවලින් දැනුවත් කරනු ලබනවා.

වර්ෂ 1946 අගෝස්තු 22වනදා ඉංග්‍රීසියෙන් පළ වූ පිබිදෙව්! සඟරාවේ මෙවන් පොරොන්දුවක් දුන්නා. “මෙම සඟරාවේ එකම පරමාර්ථය සත්‍යයට පක්ෂපාත වීමයි.” එම පොරොන්දුවට එකඟව මෙම සඟරාව නිතරම සත්‍ය තොරතුරු වාර්තා කිරීමට දැඩි වෙහෙසක් ගන්නවා. ඒ සඳහා ලිපි හොඳින් පර්යේෂණය කරමින් නිවැරදිභාවය තහවුරු කිරීමට ඉතා සුපරීක්ෂාකාරීව කරුණු විමසා බලනවා. ඒත් මෙම සඟරාව ඉතා සුවිශේෂී ආකාරයකිනුත් “සත්‍යයට පක්ෂපාත” වෙනවා. ඒ කොහොමද?

පිබිදෙව්! සඟරාව පාඨකයන්ගේ අවධානය බයිබලයට යොමු කළත් මෙම කලාපයේ පටන් පෙරට වඩා බයිබලය වෙත අවධානය යොමු කරනවා. (යොහන් 17:17) වත්මන් දින අරුත්බර සාර්ථක දිවියක් ගත කිරීමට බයිබලයේ තිබෙන ප්‍රායෝගික උපදෙස් අදාළ වන ආකාරය පෙන්වන ලිපි, පිබිදෙව්! සඟරාවේ දිගටම පළ කරනු ලබනවා. නිදසුනකට, බයිබල් උපදෙස් අඩංගු “යෞවන අය අසති . . .” සහ “බයිබලයෙන් පිළිතුරක්” වැනි ලිපි දිගටම පළ වෙයි. ඊට අමතරව, දැන් පවතින දුෂ්ට සමාජ ක්‍රමය වෙනුවට සාමයෙන් පිරි පරාදීස පොළොව පිළිබඳ බයිබලයේ තිබෙන පොරොන්දුව ගැන පාඨකයන්ට අවබෝධයක් ලබා දෙයි.—එළිදරව් 21:3, 4.

අනෙකුත් වෙනස්කම් මොනවද? භාෂා 82කින් නිකුත් කරන පිබිදෙව්! සඟරාව බොහෝ භාෂාවලින් අර්ධ මාසිකව පළ වුණා. නමුත් මෙම කලාපයේ සිට එයින් බොහොමයක් මාසිකව පළ වෙයි. * තවද “දස දෙසින්” යන පිටු දෙකකින් යුත් ලිපිය සෑම කලාපයකම එක පිටුවකට සීමා කර තිබෙනවා. එමෙන්ම “දැනුම මිනුම” යන නොකඩවා පළ වන අලුත් අංගයක් 31වන පිටුවෙන් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. එහි අඩංගු වන්නේ මොනවාද? ඔබට එය ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

මෙම කලාපයේ 31වන පිටුවට මොහොතකට අවධානය දෙන්න. මෙහි යම් කොටස් යොවුන් පාඨකයන්ගේ සිත් ගනියි. අනෙක් ඒවා බයිබලය පිළිබඳ හොඳ දැනීමක් තිබෙන අයගේ මතකය උරගා බලයි. නිදසුනකට “ඉතිහාසයේ කවදාද?” යන කොටස, බයිබලයේ සඳහන් පුද්ගලයන් ජීවත් වූ කාලය ගැනත් සුවිශේෂී සිද්ධීන් ගැනත් කාල රේඛාවක් තනාගැනීමට හැකි වෙයි. ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු මෙම සඟරාවේම වෙනත් පිටුවක යටිකුරු අතට මුද්‍රණය කර තිබෙනවා. ඒ වගේම “මෙම කලාපයෙන්” යන කොටසෙහි ප්‍රශ්න සඳහා සඟරාව සම්පූර්ණයෙන්ම කියවා පිළිතුරු සොයාගත හැකියි. ඔබ සඟරාවේ පිළිතුරු බලන්න පෙර යම් පර්යේෂණයන් කර ඒ ගැන වෙනත් අය සමඟ බෙදා නොගන්නේ මන්ද? මෙම නව අංගය පවුලේ හෝ වෙනත් අය සමඟ බයිබලය ගැන සාකච්ඡා පැවැත්වීමට යොදාගත හැකියි.

වසර 60ට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ පිබිදෙව්! සඟරාවේ මෙම පොරොන්දු දෙනු ලැබුවා. “මෙම සඟරාවේ ලිපි පළ කරන්නේ ලොව පුරා සිටින පාඨකයන්ගේ රුචිකත්වයට ගැළපෙන ආකාරයටයි. සෑම රටකම සිටින අවංක හදවත් ඇති අයගේ සිත් ගනියි. . . . මෙම සඟරාවේ තොරතුරු . . . බාල මහලු කොයි කාටත් දැනුම ලබා දෙයි.” පිබිදෙව්! සඟරාව එම පොරොන්දුවට අනුව කටයුතු කර තිබෙන බවට ලොව වටා සිටින පාඨකයන් එකඟ වෙයි. මින් ඉදිරියටත් එලෙසම කටයුතු කරන බව අපි ඔබට සහතික කරන්නෙමු.

ප්‍රකාශකයෝ

[පාදසටහන]

^ 6 ඡේ. පිබිදෙව්! සඟරාව සමහර භාෂාවලින් පළ වන්නේ මාස තුනකට වතාවයි.

[3වන පිටුවේ පින්තූර]

වර්ෂ 1919 “ගෝල්ඩන් ඒජ්” ලෙස හැඳින්වූ මෙම සඟරාව 1937දී “කොන්සලේෂන්” ලෙස හැඳින්වූ අතර 1946 සිට එය “එවේක්!” ලෙස හැඳින්වුවා

[4වන පිටුවේ පින්තූර]

එනම් “පිබිදෙව්!” කාලයක් පුරා පාඨකයන්ගේ අවධානය බයිබලයට යොමු කර තිබෙනවා

[හිමිකම් විස්තර]

Guns: U.S. National Archives photo; starving child: WHO photo by W. Cutting