Skip to content

පටුනට යන්න

පුස් බැඳීම කියන තරම්ම නරකද?

පුස් බැඳීම කියන තරම්ම නරකද?

පුස් බැඳීම කියන තරම්ම නරකද?

ස්වීඩනයේ පිබිදෙව්! ලේඛක විසින්

සමහර පුස් වර්ග නිසා ජීවිත බේරෙනවා. ඒත් සමහර ඒවා මාරාන්තිකයි. චීස්, වයින් වර්ගවලට අමුතුම රසයක් ගෙන දෙන පුස් වර්ගත් තියෙනවා. ඒ වගේම ආහාර විස කරන පුස් වර්ගත් නැතුවා නොවෙයි. ගස් කඳන්වල, නාන කාමරවල සහ පොත්වල පුස් බැඳෙනවා. හැම තැනම පුස් තියෙනවා කිව්වොත් වැරදි නැහැ. සමහරවිට ඔබ මෙය කියවන විටත් පුස්වල අංශු ඔබේ නහය තුළට යන්න ඇති.

අප අවට හැම තැනම පුස් තියෙනවා කියන කතාවේ ඇත්ත නැත්ත ගැන ඔබට යම් සැකයක් තියෙනවාද? මෙය අත් හදා බලන්න. පාන් පෙත්තක් එළියෙන් හෝ ශීතකරණයේ තබන්න. වැඩි දවසක් යන්න කලින් පාන් පෙත්තේ පුස් බැඳෙයි.

මොනවද මේ පුස් කියන්නේ?

පුස් කියන්නේ දිලීර විශේෂයක්. දිලීර විශේෂ 1,00,000කට වඩා තිබෙනවා. පිටි පුස්, හතුවල හා ගස්වල වැඩෙන දිලීර සහ යීස්ට්ද මීට ඇතුළත්. මිනිසුන්ට හා සත්වයන්ට රෝග ඇති වීමට හේතු වන්නේ දිලීර වර්ග 100ක් පමණයි. අනෙක් වර්ග ආහාර දාමයට විශාල මෙහෙයක් ඉටු කරනවා. මැරුණු ද්‍රව්‍ය දිරාපත් කිරීමත් ශාක වර්ධනයට දායක වන පෝෂ්‍ය කොටස් නිපදවීමත් සිදු කරන්නේ දිලීර. තවත් දිලීර වර්ග ශාකය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් ශාකයට පසෙහි තිබෙන පෝෂ්‍ය කොටස් උරාගැනීමට උපකාර කරනවා. තවත් දිලීර පරපෝෂිතයන්.

පුස් ඇති වෙන්නේ සුළඟේ පාවෙලා එන ඇසට නොපෙනෙන අංශුවකින්. එම කුඩා අංශුව උණුසුම සහ තෙතමනය ඇති හිතකර පරිසරයක වැඩීමට පටන්ගන්නේ කෙන්දක ආකාරයේ සෛලයක් විදිහටයි. එය හඳුන්වන්නේ දිලීර සූත්‍රිකාව කියලා. මෙම කෙන්දක ආකාරයට වැඩුණු දිලීර අංශුව තවත් අංශු රාශියක් බිහි කරනවා. එවිට බූව ආකාරයට ඇති මෙම දිලීරය අපගේ ඇසට පෙනෙනවා. එය බොහෝවිට පැල්ලමක් ලෙසයි පෙනෙන්නේ. උදාහරණයකට නාන කාමරයේ අල්ලා තිබෙන ටයිල්වල දාර අතර තිබෙන පුස් පෙනෙන්නේ ඒ විදිහටයි.

පුස්වල වර්ධන වේගය ඉහළයි. සාමාන්‍යයෙන් පාන්වල වැඩෙන පුස් ඊට නිදසුනක්. කලු තිතක් මෙන් පෙනෙන පුස් ඇබිත්තක පුස් අංශු 50,000කට වඩා තිබෙනවා. ඒ එක් එක් අංශුවට හැකියි අලුත් අංශු තව මිලියන සිය ගණනක් දවස් කිහිපයකින් බිහි කරන්න. පුස් වර්ධනය වීම සඳහා හිතකර වාතාවරණයක් තිබෙන ඕනෑම තැනක එනම් කැලේ තිබෙන ගස් කඳන්වල වගේම පොත්වල, සපත්තු හෝ බිත්තිවල පවා ඒවා වැඩෙනවා.

පුස් “ආහාරයට” ගන්නේ මොනවාද? සාමාන්‍යයෙන් මිනිසුන් හා සත්වයන් මුලින්ම කරන්නේ ආහාර අනුභව කරන එකයි. පසුව ශරීරය තුළ ඒවා දිරවනවා. පුස් වර්ග කරන්නේ ඒකේ අනිත් පැත්ත. ආහාරයට ගන්න බැරි විශාල ද්‍රව්‍ය කුඩා අණුවලට කැඩීමට පුස් එනසයිමයක් නිකුත් කර ඒවා දිරාපත් කරනවා. ඉන්පසුව ඒවා උරාගන්නවා. පුස්වලට එහේ මෙහේ යා නොහැකි නිසා ඒවා ජීවත් වෙන්නේ ආහාරවලමයි.

පුස්වලට හැකියි මිනිසාට හා සත්වයන්ට අනිසි ප්‍රතිවිපාක ඇති කරන විෂ ද්‍රව්‍ය නිපදවන්න. මේවා අප හුස්ම ගන්න විට, කෑම කන විට හෝ අපේ සමේ ස්පර්ශ වන විට අපේ ශරීරයට ඇතුල් විය හැකියි. ඒත් පුස්වල හොඳ පැතිත් තියෙනවා.

පුස්වල හොඳ පැත්ත

වර්ෂ 1928 ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං අහම්බෙන් වගේ කොළ පැහැති පුස්වල තිබෙන විෂ බීජ නැසීමේ හැකියාව සොයාගත්තා. පෙනිසිලියම් නොටෙටම් ලෙස පසුව හැඳින්වූ මෙම කොළ පැහැති පුස් වර්ගය ප්‍රබල විෂ නාශකයක් වුණත් මිනිසාට හා සත්වයාට කිසි හානියක් ඉන් සිදු වන්නේ නැහැ. මෙම සොයාගැනීම නිසා “නවීන වෛද්‍ය විද්‍යාවේ ජීවිත ගලවන ඖෂධය” වන පෙනිසිලින් නිපදවීමට මඟ පෑදුවා. මේ සඳහා ෆ්ලෙමිංටත් සෙසු පර්යේෂකයන් වන හවඩ් ෆ්ලෝරි සහ අන්ස්ට් චේන්ටත් වෛද්‍ය විද්‍යාව සඳහා හිමි නොබෙල් ත්‍යාගය 1945දී ලැබුණා. එවක් පටන් රුධිර කැටිගැසීම, ඉරුවා රදය සහ පාකින්සන් රෝගය වැනි වෙනත් රෝග සඳහා ලබා දෙන ඖෂධ තැනීමටත් පුස් වර්ග යොදාගත්තා.

පුස් ආහාරවල රසය වැඩි කිරීමටත් දායක වෙනවා. චීස් මීට උදාහරණයක්. පෙනිසිලියම් පුස් වර්ගය නිසා නොයෙකුත් රසයෙන් යුත් චීස් වර්ග නිපදවීමට හැකි වී තිබෙනවා. ඒ වගේම සලාමි, සෝයා සෝස් සහ බියර් නිපදවීමටත් පුස්වලින් මහඟු සේවයක් ඉටු වෙනවා.

වයින් සෑදීමටත් පුස් උපකාරි වෙනවා. වයින් සෑදීමට ගන්නා මිදි නිසි කලට කපාගෙන එක් එක් පොකුරේ යම් ප්‍රමාණයකට දිලීර වර්ධනය වීමට සැලස්වීමෙන් විශේෂ රසයක් ඇති වයින් (dessert wine) නිපදවනවා. එක් පුස් වර්ගයක් (බෝට්‍රයිටිස් සිනෙරියා) මිදිවල තිබෙන සීනි සමඟ ප්‍රතික්‍රියා කර එහි රසය වැඩි කරනවා. අඳුරු කාමරවල වයින් පැසෙන විට වෙනත් පුස් වර්ගයක් (ක්ලැඩොස්පොරියම් සෙලාරේ) වයින්වල රසය තවත් වැඩි කිරීමට දායක වෙනවා. හංගේරියාවේ වයින් නිෂ්පාදකයන්ගේ කියමනකින් එය පැහැදිලි වෙනවා. ‘පුස් හොඳයි නම් වයින් එක විශිෂ්ටයි.’

පුස්වල නරක පැත්ත

සමහර පුස් අහිතකරයි. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ ඇසිරියානුවන් තම සතුරන්ගේ ළිංවල වතුර විෂ කිරීමට ක්ලාවිසෙප් පපියුරියා නමැති පුස් වර්ගය දැම්මා. මෙම පුස් වර්ගය සමහර ධාන්‍ය පැළෑටි මතත් වැඩෙනවා. එමගින් ක්‍රි. ව. තුන්වන සියවසේදී මිනිසුන් හුඟදෙනෙකුට වලිප්පුව, දරුණු දැවිල්ල, මාංස පේෂී කුණුවීම, ඔල්මාදය වැනි රෝගී තත්වයන් ඇති වුණා. දැන් වෛද්‍යවරුන් එම රෝගී තත්වය හඳුන්වන්නේ අ’ගට් රෝගය ලෙසයි. රෝගයට ගොදුරු වූ අය ආශ්චර්යවත් සුවවීමක් බලාපොරොත්තුවෙන් ප්‍රංශයේ සාන්ත අන්තෝනිගේ රූපයට වැඳ නමස්කාර කිරීමට ගිය නිසා එම රෝගය සාන්ත අන්තෝනිගේ ගින්න ලෙසද හැඳින්වුවා.

දරුණුම පිළිකා කාරකයක් වන්නේ ඇෆ්ලාටොක්සින්. එය ඇති කරන්නේ පුස් වර්ගයි. ආසියාතික රටක වසරකට ඇෆ්ලාටොක්සින් නිසා ජීවිත 20,000ක් මිය යනවා. මෙම මාරාන්තික පුස් වර්ගය නවීන දින මිනිසුන්ව ඝාතනය කිරීමටත් භාවිත කරනවා.

එදිනෙදා ජීවිතයේ පුස් වර්ගවලට නිරාවරණය වීමෙන් යම් හිරිහැරයක් සිදු වුණත් සෞඛ්‍යයට විශාල තර්ජනයක් ඉන් සිදු වෙන්නේ නැහැ. එක් වෛද්‍ය වාර්තාවක මෙසේ සඳහන් වෙනවා. “හුඟාක් පුස් වර්ග, ඔබේ නහයට දැනුණත් ඒවායින් ජීවිතයට අනතුරක් නැහැ.” (Berkeley Wellness Letter) බොහෝවිට පුස් වර්ග නිසා යම් අපහසුතා අත් විඳින්නේ ඇදුම වැනි පෙණහලු ආබාධ, අසාත්මිකතා, රසායනික ද්‍රව්‍යයන්ට සංවේදී, ප්‍රතිශක්තිය හීන අයයි. ඒ වගේම ගොවීන්ද ඉන් පීඩා විඳිය හැකියි. ළදරුවන් හා වැඩිහිටියන්ටත් අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

‘ඇදුම, හුස්ම ගැනීමේ අපහසුතා, හතිය වැනි ශ්වසන ආබාධ; නාසය හිරවීම හා පීනස් ආමාරුව, ඇස් කැසීම, දැවිල්ල, කඳුළු ගැලීම හෝ රතු වීම; වියළි කැස්ස; නාසය හෝ උගුර කැසීම; සමේ පලු දැමීම හෝ කැසීම’වැනි ලක්ෂණ පුස් නිසා ඇති විය හැකි බව එක්සත් ජනපදයේ කැලිෆෝනියා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොඩනැඟිලිවලත් පුස්

පුස් නැති කර දැමීමට සහ නැවත පුස් කෑම වැළැක්වීමට යම් ප්‍රතිකර්මයක් කිරීම සඳහා සමහර රටවල පාසැල්, ගෙවල් හෝ කාර්යාල වසා දමනවා. වර්ෂ 2002 මුල් භාගයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරේ අලුතින් විවෘත කළ කලා කෞතුකාගාරයක් වසා දැමුවා. ඊට හේතුව පුස්. එය ඉවත් කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන පහක් පමණ වැය වුණා. පුස් වර්ග කාලයක් පුරා තිබී ඇතත් මෑත කාලයේ මෙම ගැටලුව උග්‍ර වී ඇත්තේ මන්ද?

ඊට මූලික වශයෙන් හේතු වන්නේ ගොඩනැඟිලි ද්‍රව්‍ය හා සැලැස්මයි. මෑතක සිට ඉක්මනින්ම පුස් කෑමට ලක් වෙන ජිප්සම් බෝඩ් ගොඩනැඟිලි තැනීමට යොදාගෙන තිබෙනවා. ඒවා තනා තිබෙන්නේ කඩදාසි තට්ටු කිහිපයක් අලවලා. මෙහි මැද තෙතමනය රැඳෙනවා. තෙත ගතිය කාලයක් පුරා තිබීමෙන් බෝඩ් එක පුස් කෑමට පටන්ගන්නවා.

ගොඩනැඟිලි තනන සැලසුම්ද වෙනස් වී තිබෙනවා. වර්ෂ 1970ට කලින් එක්සත් ජනපදයේ හා වෙනත් රටවල ගොඩනැඟිලි බොහොමයක් තැනුවේ හොඳින් වාතාශ්‍රය ලැබෙන විදිහටයි. පසුව ඒ ක්‍රමය වෙනස් වුණා. ගොඩනැඟිලි තුළ උණුසුම රැකගැනීමට පිටතින් වාතාශ්‍රය ඒම වැළැක්වුවා. එමනිසා ගොඩනැඟිලි තුළට ජලය ආ විට දිගු කාලයක් රැඳී තිබෙනවා. මෙය පුස් වර්ධනය වීමට හිතකර වාතාවරණයක්. මේ සඳහා පිළියමක් තිබෙනවාද?

ගොඩනැඟිලි තුළ තිබෙන සෑම දෙයක්ම පිරිසිදුව, වියළිව තබන්න. කොතැනක හෝ වතුර එකතු වෙනවා නම් ඉක්මනින්ම ඒස්ථානයෙන් වතුර ඉවත් කර නැවත එකතු නොවීමට කටයුතු කරන්න. උදාහරණයකට, වහලෙත් පීලීවලත් කුණු එකතු වීමට නොදී ඒවා හොඳින් නඩත්තු කරන්න. ගොඩනැඟිල්ලේ අත්තිවාරමේ වතුර නොරැඳෙන ආකාරයට ඉඩම සකස් කරගන්න. ඔබට වායුසමීකරණයක් තිබේ නම් එයින් වෑස්සෙන් වතුර නිසි ලෙස රැස් කර ඉවත් කිරීමට සුදුසු ක්‍රම භාවිත කරන්න.

එක් ආයතනයක් කියා සිටින්නේ “පුස් මර්දනය කිරීමට හොඳ දේ තෙතමනය මර්දනය කිරීම” බවයි. සරල පියවර ගැනීමෙන් අහිතකර පුස් වර්ගවලින් ඔබටත් ඔබේ පවුලේ අයටත් ගැලවිය හැකියි. පුස් අපේ හතුරෙක් වගේම මිතුරෙක්. නමුත් හතුරෙක්ද මිතුරෙක්ද කියා තීරණය වෙන්නේ අප එය ප්‍රයෝජනයට ගන්නා හා පාලනය කරන ආකාරය මතයි. පුස් ගැන තව ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. අප දෙවිගේ විස්මිත මැවිලි ගැන යම් දැනුමක් ලබාගැනීමෙන් අපට ප්‍රයෝජනයක් ලැබෙන බව නොඅනුමානයි.

[14, 15වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අතීතයේ තිබූ පුස් වර්ග

බයිබලයේ සඳහන් “ගෙයකට කුෂ්ඨ රෝගය පමුණුවන්නේ නම්” යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුට නොව ගොඩනැඟිල්ලකට සිදු වී තිබෙන දෙයක්. (ලෙවී කතාව 14:34-48) “බෝ වන කුෂ්ඨයක්” ලෙසත් හඳුන්වන මෙය පිටි පුස් විය හැකි වුණත් එය ස්ථිර නැහැ. එවැනි දෙයක් ඇති වුණා නම් පුස් බැඳුණු බිත්තියේ ගල් ගලවා, ගෙයි ඇතුළත සම්පූර්ණයෙන්ම සූරා එම ද්‍රව්‍ය සහ ගැලෙවූ ගල් නුවරින් පිටත “අපවිත්‍ර ස්ථානයක” දැමීමට දෙවිගේ නීතියෙහි ගෙයි අයිතිකරුවන්ට උපදෙස් දී තිබුණා. නැවත පුස් බැඳුණොත් එම නිවස අපවිත්‍ර ලෙස සැලකූ අතර සම්පූර්ණයෙන්ම කඩා දැමීමට සිදු වුණා. යෙහෝවා දෙවිගේ මෙවැනි පැහැදිලි උපදෙස්වලින් ඔහු තම ජනයාගේ ශාරීරික ශුභසාධනය ගැන දක්වන සැලකිල්ල හා ප්‍රේමය ඉන් පැහැදිලි වුණා.

[13වන පිටුවේ පින්තූරය]

පුස්වලින් ලබාගන්න ඖෂධ නිසා බොහෝ ජීවිත ආරක්ෂා වී තිබෙනවා

[15වන පිටුවේ පින්තූරය]

ජිප්සම් බෝඩ් සහ ලිනෝලියම් ආදියෙහි තෙතමනය රැඳීමට ඉඩ තිබෙන නිසා පුස් වර්ධනය වෙයි