Skip to content

පටුනට යන්න

බයිබලයේ ඇති උපදෙස් වටිනවාද?

බයිබලයේ ඇති උපදෙස් වටිනවාද?

බයිබලයෙන් පිළිතුරක්

බයිබලයේ ඇති උපදෙස් වටිනවාද?

‘මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත් ප්‍රයෝජනවත්ය.’—2 තිමෝති 3:16.

ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාගන්න ඔබ යන්නේ කොතැනටද? ඕනෑම විෂයකට අද දින බොහෝ උපදෙස් තිබෙනවා. එහෙත් බොහෝදෙනෙක් උපදෙස් පතා පුරාණ ලියවිල්ලක් වන බයිබලය වෙතත් යොමු වෙනවා.

කෙසේවුවත් පරිගණක හා නවීන තාක්ෂණය දියුණු මේ යුගයේ සිටින වැඩිදෙනෙකුට බයිබලය වටින්නේ නැහැ. ඇතැම් ගරුතර අධ්‍යාපනවේදීන් හා විද්‍යාඥයන් බයිබලයෙන් අපට ප්‍රයෝජනයක් නැතැයි යන අදහස දරනවා. ඔවුන් හරිද? උපදෙස් ලබාගැනීමට අද අනන්ත අප්‍රමාණ ක්‍රම තිබෙද්දී බයිබලයෙන් උපදෙස් පැතිය යුතුද?

සත්‍යය හෙළි කරන පොතක්

යේසුස් ක්‍රිස්තුස් දිය උල්පතක් ළඟ විවේක ගනිමින් සිටි අවස්ථාවක සමාරියේ ස්ත්‍රියක සමඟ සංවාදයක යෙදුණා. ඔහු ඇයට මෙසේ පැවසුවා. “දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කළ යුතුය.” (යොහන් 4:24) දෙවිගේ වචනය සත්‍යයයි. එහි දෙවි ගැන සත්‍යය හෙළි කරනවා. අපේ නමස්කාරය දෙවි පිළිගන්න නම් එම සත්‍යය අපි පිළිගත යුතුයි.—යොහන් 17:17.

බයිබලය විශ්වාස කරන බවට පවසන බොහෝ ආගම් ඇතත් පෙනීයන්නේ ඒ හැම එකකම වෙනස් දේවල් උගන්වන බවයි. ඒ නිසා බයිබලයේ උගන්වන්නේ කුමන දේවල්ද යන්න ගැන මහත් ව්‍යාකූලත්වයක් ඇති වෙලා. යේසුස් දෙවිද නැත්නම් දෙවිගේ පුත්‍රයාද? මරණයෙන් පසු ජීවිතයක් තිබේද නැද්ද? මරණයෙන් පසු වේදනා විඳීමට සලස්වන සැබෑ ස්ථානයක්ද නිරය? සාතන් සැබෑ පුද්ගලයෙක්ද? ක්‍රිස්තියානියෙකු වීමට අවශ්‍ය කුමක්ද? අපේ ක්‍රියා සහ සිතුවිලි දෙවිට වැදගත්ද? සැබෑ ආලය විවාහයට පෙර ලිංගික ඇසුරට අවසර පතක්ද? මත්පැන් පානය කිරීම වැරදිද? * මෙම කාරණා පිළිබඳ විවිධ ආගම් නොයෙක් අදහස් දරනවා. එහෙත් ඒවා බොහෝවිට එකිනෙකට වෙනස්. ඒ සියල්ලම සත්‍යය විය නොහැකියි.—මතෙව් 7:21-23.

එසේනම් ඔබ, දෙවි ගැනත් ඔහුව සතුටු කළ හැකි අන්දමින් නමස්කාර කිරීම ගැනත් සත්‍යය දැනගන්නේ කොහොමද? මෙහෙම හිතන්න. ඔබට සැත්කමකට භාජන වෙන්න සිදු වන දරුණු රෝගයක් වැලඳිලා තිබෙන බව දැනගන්න ලැබෙනවා. ඔබ මොකක්ද කරන්නේ? එවැනි සැත්කමක් කරන හොඳම ශල්‍ය වෛද්‍යවරයාව සෙවීමට ඔබ උත්සාහ කරන්නේ නැද්ද? ඉන්පසු ඔබ ඔහුගේ සුදුසුකම් හා පළපුරුද්ද ගැන සොයා බලා ඔහුව හමුවීමට ගොස් ඔහු සමඟ කතා කරයි. සාක්ෂි අනුව මේකට හොඳම වෛද්‍යවරයා ඔහු බව ඒත්තුගන්නා ඔබ ඔහුව විශ්වාස කරමින් සැත්කමට ඉඩ දෙයි. අනික් අය වෙනස් අදහස් දැරුවත් දැන් ඔබට හොඳ පදනමක් තිබෙන නිසා මෙම ශල්‍ය වෛද්‍යවරයාව විශ්වාස කරයි.

එලෙසම තිබෙන සාක්ෂි ගැන ඔබ අවංකව හා වුවමනාවෙන් සෝදිසි කර බලනවා නම් දෙවි හා බයිබලය කෙරෙහි විශ්වාසය ගොඩනඟාගැනීමට ඔබට හැකියි. (හිතෝපදේශ 2:1-4) දෙවි කැමති අන්දමින් නමස්කාර කිරීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී ඔබට තේරීමක් කරන්න තිබෙනවා. මිනිසාගේ පරස්පර විරෝධී ඉගැන්වීම් මෙන්ම මත ගැන හෝ බයිබලයේ දෘෂ්ටිකෝණය ගැන හෝ සෙවීමක් කළ හැකියි.

නිවැරදි මෙන්ම ප්‍රායෝගිකයි

බයිබලය හොඳින් සෝදිසි කර බැලුවොත් ‘මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. ප්‍රයෝජනවත්ය’ යන සැලකිය යුතු සාක්ෂිය ඔබ සොයාගනීවි. * (2 තිමෝති 3:16, 17) උදාහරණ කීපයක් බලමු. බයිබලය සවිස්තරාත්මක අනාවැකිවලින් පිරී තිබෙනවා. ඒවාවල ඉටුවීම ඉතිහාස වාර්තාවලින් සනාථ වී තිබෙනවා. (යෙසායා 13:19, 20; දානියෙල් 8:3-8, 20-22; මීකා 5:2) විද්‍යා අත් පොතක් නොවූවත් බයිබලය විද්‍යාවට එකඟ නිවැරදි පොතක්. එහි සොබාදහම හා සෞඛ්‍යය පිළිබඳ කාරණා අඩංගුයි. ඒවා ලියා තිබෙන්නේ විද්‍යාඥයන් ඒවා ගැන නිගමනවලට එලඹීමට වසර දහස් ගණනකට පෙරයි.—ලෙවී කතාව 11:27, 28, 32, 33; යෙසායා 40:22.

එපමණක් නොව නැණවත් තීරණ ගැනීමටත් බයිබලය අපට උපකාර කරනවා. එහි පවුල් ජීවිතය, ශාරීරික හා මානසික සුවය, ව්‍යාපාරයන් හා වෙනත් දෛනික කාරණා ගැන ප්‍රායෝගික උපදෙස් රැසක් අඩංගුයි. හිතෝපදේශ 2:6, 7 මෙසේ පවසනවා. ‘යෙහෝවා ප්‍රඥාව දෙන්නේය; ඔහුගේ මුඛයෙන් දැනගැන්මද තේරුම්ගැන්මද නික්මේ. ඔහු අවංක අයට යහපත් ප්‍රඥාව රැස් කරන්නේය.’ මඟ පෙන්වීමක් ලැබීම සඳහා බයිබලය සෝදිසි කරන්න. එවිට “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා” ඔබේ වටහාගැනීමේ හැකියාව පුහුණු කරගන්න පුළුවන් වෙයි.—හෙබ්‍රෙව් 5:14.

ජීවිතයේ අරමුණ දැනගන්නත් දෙවිගේ වචනය අපට උපකාර කරනවා. (යොහන් 17:3; ක්‍රියා 17:26, 27) ලෝක තත්වයන්වලට හේතුව එහි පැහැදිලි කර තිබෙනවා. (මතෙව් 24:3, 7, 8, 14; 2 තිමෝති 3:1-5) දෙවි පොළොවේ ඇති දුෂ්ටකම ඉවත් කර මිනිසාට නිරෝගිකම හා සදාකාල ජීවනය භුක්ති විඳීමට සලස්වන ආකාරය ගැනත් එහි පෙන්වනවා.—යෙසායා 33:24; දානියෙල් 2:44; එළිදරව් 21:3, 4.

බයිබලයේ විශ්වාසදායක මෙන්ම ක්‍රියාවට නැංවිය හැකි ප්‍රඥාවක් අඩංගු බව මිලියන ගණන් සෙනඟක් අද්දැකීමෙන්ම දැනගෙන තිබෙනවා. පිබිදෙව්! ප්‍රකාශකයන් ඔබට ආරාධනා කරන්නේ මෙම සඟරාවේ සෑම කලාපයකම “බයිබලයේ දෘෂ්ටිකෝණය” යන මාතෘකාව යටතේ එන ලිපි කියවීමටයි. එසේ කිරීමෙන් ඔබට හොඳම මඟ පෙන්වීම ලබා දෙන පොත බයිබලය බවට වැඩිමනත් සාක්ෂි ලැබේවි.

[පාදසටහන්වල]

^ 8 ඡේ. පිබිදෙව්! සඟරාවේ නොකඩවා පළ වෙන “බයිබලයේ දෘෂ්ටිකෝණය” ලිපිවලින් මේ ප්‍රශ්නවලට හා අනෙකුත් ප්‍රශ්නවලට උත්තර ලැබෙයි.

^ 12 ඡේ. බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා ඇති බවට සාක්ෂි සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සියලුම ජනයා සඳහා පොතක් යන විවරණිකාව බලන්න.

මේ ගැන ඔබ සිතුවාද?

▪ දෙවි කැමති මොන විදිහේ නමස්කාරයකටද?—යොහන් 4:24.

▪ දෙවිගේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලැබීමට ඔබ කළ යුත්තේ කුමක්ද?—හිතෝපදේශ 2:1-4.

▪ බයිබලය ප්‍රායෝගික මඟ පෙන්වීම් සපයන පොතක් වන්නේ කොයි ආකාරයෙන්ද?—හෙබ්‍රෙව් 5:14.