Skip to content

පටුනට යන්න

ලෝකය ගමන් කරන්නේ කොයිබටද?

ලෝකය ගමන් කරන්නේ කොයිබටද?

ලෝකය ගමන් කරන්නේ කොයිබටද?

තව වසර 10කින්, 20කින් හෝ 30කින් ලෝක තත්වය කුමක් වේවිද? මෙවැනි ත්‍රස්තවාදී යුගයක සිට අනාගතය ගැන සිතීම තැතිගන්වන දෙයක් විය හැකියි. තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණු වෙයි. මුළු ලෝකෙම එකම ගම්මානයක් මෙන් වී තිබෙන නිසා බොහෝ රටවලට වෙනත් රටවල පිහිට පතන්න සිදු වී තිබෙනවා. ලෝක නායකයන් එකතු වී දීප්තිමත් හෙට දිනක් උදා කරයිද? සමහරු ඔව් කියා පවසනවා. නායකයන් 2015 වන විට දිලිඳුකම හා කුසගින්න තුරන් කර AIDS රෝගය පැතිර යෑමද වළක්වා, පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නැති අයගේ සංඛ්‍යාව අඩකින් අඩු කරයි කියා ඔවුන් බලාපොරොත්තු වෙනවා.—“කියන තරම් ලේසිද?” කොටුව බලන්න.

කෙසේවුවද අනාගතය ගැන මිනිසා දරන මත බොහෝදුරට යථාර්ථයක් නොවෙයි. උදාහරණයකට දශක කීපයකට පෙර එක් ප්‍රවීණයෙක් කීවේ 1984 වන විට විශේෂ ට්‍රැක්ටර් යන්ත්‍ර මාර්ගයෙන් ගොවීන්ට මුහුදු පතුලේ පවා වගා කරන්න පුළුවන් වෙයි කියලයි. වර්ෂ 1995 වන විට අනතුරු සිදුවීම වළක්වාලන පරිගණක සවි කළ වාහන තිබේවි කියා තවත් කෙනෙක් පැවසුවා. එමෙන්ම වෙනත් තැනැත්තෙක් කීවේ 2000 වන විට 50,000ක පමණ ජනතාවක් අභ්‍යවකාශයේ පදිංචි වී රැකියා කරයි කියලයි. ඇත්තෙන්ම මෙම පුරෝකථනයන් කළ අය දැන් සිතනවා ඇති නිහඬව සිටියා නම් කොතරම් හොඳද කියලා. පුවත්පත් වාර්තාකරුවෙක් මෙසේ ලිව්වා. “කාලයාගේ ඇවෑමෙන් ඔප්පු වෙන්නේ එදා බුද්ධිමතුන් අද මෝඩයන් වී ඇති බවයි.”

අපට මඟ පෙන්වීමක්!

ජනයා අනාගතය ගැන නොනවත්වා කල්පනා කළත් සමහරවිට ඔවුන්ගේ සිතේ මැවෙන දේ සැබෑ වන්නක් නොවෙයි. ඉදිරියේදී සිදු වන දේ ගැන විශ්වාසදායක අදහසක් දැනගන්න පුළුවන් වෙන්නේ කාගෙන්ද?

නිදසුනකට ඔබ විදේශ රටකට ගොස් බස් රථයෙන් ගමන් කරමින් සිටිනවා කියා සිතන්න. නුහුරු නුපුරුදු පැත්තක ගමන් කරන නිසා ඔබ ටිකක් කලබලයට පත් වෙයි. ‘මම මේ කොහෙද ඉන්නේ’ කියලා ඔබ කල්පනා කරයි. ‘මේ බස් එක යන්නේ හරි පැත්තටද? තව කොච්චර දුරක් යන්න වෙයිද?’ නිවැරදි සිතියමක් භාවිත කිරීමෙන් හා ජනේලයෙන් පිටත සංඥා පුවරු නිරීක්ෂණය කිරීමෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න ඔබට පුළුවන් වෙයි.

අනාගතය ගැන සිතා කනස්සලු වන හුඟදෙනෙකුගේ තත්වයත් ඒ හා සමානයි. ‘අපි ගමන් කරන්නේ කොයිබටද? සමස්ත ලෝක සාමය උදා වෙන මාවතේද ඇත්තෙන්ම අපි ඉන්නේ? ඒක එහෙමනම් කවදාද එය ලැබෙන්නේ?’ එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා අපට උපකාර කළ හැකි සිතියමක් වගෙයි බයිබලය. කිට්ටු අවධානයක් දෙමින් එය කියවීම අවශ්‍යයි. අද ලොව පුරා සිදු වන දේ දෙස බැලීම අපේ “ජනේලයෙන්” පිටත ඇති සංඥා දෙස බලනවා වගෙයි. එසේ කිරීමෙන් අප සිටින්නේ කොතැනකද, අප යන්නේ කොයිබටද කියා දැනගන්න අපට පුළුවන්. එහෙත් මුලින්ම අපේ ගැටලු පටන්ගත්තේ කොහොමද කියා අපි සලකා බැලිය යුතුයි.

දුක්මුසු කතාවක ආරම්භය

මුල් පුරුෂයාව හා ස්ත්‍රියව දෙවි විසින් කිසි අඩුවක් නැතුව මවා අලංකාර පරිසරයක් ඇති තැනක් වන පාරාදීසයක පදිංචි කෙරෙවූ බව බයිබලය අපට පවසනවා. ආදම් සහ ඒවව මැව්වේ වසර 70ක් හෝ 80ක් ජීවත් වීමට නොව සදාකාලේටම ජීවත් වීමටයි. දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “සඵලව බෝ වෙමින් පොළොව පුරා පැතිර ඒක යටත් කරන්න.” ආදම්, ඒව සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් සඳහා දෙවි අපේක්ෂා කළේ ඔවුන් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමයි.—උත්පත්ති 1:28; 2:8, 15, 22.

ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගැසුවා. ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට තම පාරාදීසය අහිමි වුණා. එපමණක්ද නොව ටිකෙන් ටික ශාරීරිකව හා මානසිකව දුර්වල වෙන්නත් පටන්ගත්තා. දවසෙන් දවස ඔවුන් මරණයට ළඟා වුණා. හේතුව මොකක්ද? ඔවුන් තම මැවුම්කරුගෙන් ඈත් වී පව් කළ නිසා ‘පාපය සඳහා ගෙවන කුලිය ලෙස මරණය’ අද්දකින්න ඔවුන්ට සිදු වුණා.—රෝම 6:23.

අන්තිමේදී ආදම් සහ ඒව මිය ගියා. ඒ වන විට ඔවුන්ට පුතුන් සහ දියණියන් කීපදෙනෙක්ම සිටියා. මෙම දරුවන්ට දෙවිගේ මුල් අරමුණ ඉටු කරන්න හැකි වුණාද? නැහැ. මන්ද එම දෙමාපියන් දෙවිට අකීකරු වෙලා දෙවිගෙන් ඈත් වී පව්කාරයන් බවට පත් වුණා. එම තත්වය හා එයින් ලැබෙන විපාක ඔවුන්ගේ දරුවන්ටත් උරුම වුණා. ඉන්පසු ආදම් සහ ඒවගෙන් පැවතෙන සියල්ලන්ටම පාපය හා මරණය අත් වුණා. අපේ තත්වයත් එයයි. බයිබලයේ පවසන්නේ “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය” කියායි.—රෝම 3:23; 5:12.

අපේ වත්මන් තත්වය

ආදම් සහ ඒවගේ කැරලිගැසීම නිසා මිනිස් වර්ගයාගේ ජීවන ගමන දීර්ඝ හා කටුක එකක් වුණා. තවමත් ඒ ගමන නිම වී නැහැ. මේ ගැන අදහස් දක්වමින් බයිබල් ලේඛකයෙකු පැවසුවේ මිනිස් වර්ගයා “නිෂ්ඵලභාවයට යටත් කරනු ලැබූ” බවයි. (රෝම 8:20) මිනිසා සිටින්නේ මොන තරම් ඛේදනීය තත්වයකද! ආදම්ගෙන් පැවතෙන්නන් අතරේ අතිදක්ෂ විද්‍යාඥයන් හා විද්‍යාඥවරියන්, වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන් සහ මහාචාර්යවරියන් මෙන්ම තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා ඇති ශිල්පීන් රැසක් බිහි වී ඇතත්, දෙවි මිනිසා සඳහා අරමුණු කළ කිසිම ලෙඩක් දුකක් නැති සාමයෙන් හා සතුටින් පිරි ලොවක් බිහි කිරීමට ඒ එක්කෙනෙකුටවත් හැකි වී නැහැ.

ආදම් සහ ඒවගේ කැරලිගැසීමේ ප්‍රතිඵල අප එක් එක්කෙනාට පෞද්ගලිකව බලපානවා. උදාහරණයකට අයුක්තිසහගත දේවල් නිසා ඇති වන වේදනාව, අපරාධ ගැන බිය, නිදන්ගත රෝගවලින් පෙළීමට සිදුවීම හෝ අපට ලැදි කෙනෙක් මිය යෑමෙන් ඇති වන ශෝකය යන කාරණා අද්දකින්න නොලැබුණ කෙනෙක් සිටීද? අප සන්සුන් දිවියක් ගත කළත් කනගාටුදායක සිද්ධියක් නිසා එය මොහොතකින් වෙනස් වෙනවා. විටින් විට ප්‍රීතිමත් තත්වයන් අද්දැක්කත් අපේ ජීවිතය ගැන පුරාණයේ සිටි යෝබ් පැවසුවේ මෙයයි. “මනුෂ්‍යයා පවතින්නේ ස්වල්ප දවසක්ය; දුකින් පූර්ණය.”—යෝබ් 14:1.

මිනිසාගේ මූලාරම්භය ගැනත්, මිනිසා දැන් සිටින ශෝචනීය තත්වය ගැනත් කල්පනා කරන කල පෙනෙන්න තිබෙන්නේ අනාගතය අඳුරු එකක් බවයි. එහෙත් බයිබලය මගින් දෙවි අපේ බිය සැක දුරු කරලන්නේ මෙවැනි තත්වයන් දිගටම පවතින්න ඉඩ නොදෙන බව සහතික කරමිනුයි. මිනිසා සඳහා ඔහුගේ මුල් අරමුණ ඉටු වෙනවා නියතයි. (යෙසායා 55:10, 11) මෙය ළඟදීම ඉටු වන බව සහතික වන්න අපට පුළුවන් කොහොමද?

බයිබලයට අනුව අද අපි සිටින්නේ අන්තරා සහිත යුගයකයි. මෙය හඳුන්වන්නේ “අන්තිම දවස්” කියායි. (2 තිමෝති 3:1) එයින් අදහස් වන්නේ මුළු පොළොවෙම හා එහි සිටින සියලු ජීවීන්ගේ අවසානය නොවෙයි. ඇත්තෙන්ම එහි අර්ථය වන්නේ “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” යන්නයි. මෙම සමාජ ක්‍රමය අවසන් වූ පසු අපව දුකට පත් කරන සියලුම දේවල් නැති වී යයි. (මතෙව් 24:3) අන්තිම දවස්වල සිටින්නාවූ මිනිස්සුන්ගේ ගතිලක්ෂණ සහ ඔවුන් කරන දේවල් ගැන බයිබලයේ විස්තර කරනවා. මේවායින් සමහර ඒවා අටවන පිටුවේ ඇති කොටුවේ අඩංගුයි. එම ලැයිස්තුව කියවා ‘ජනේලයෙන් පිටත’ එනම් ලෝක දසුනේ සිදු වන දේ බලන්න. අප දැන් අපේ ජීවිත ගමනේ කොතැනකද සිටින්නේ කියා දැනගැනීමට අපේ සිතියම වන බයිබලය අපට උපකාර කරනවා. එහි දක්වන්නේ අප මෙම සමාජ ක්‍රමයේ අවසානයේ අද්දරට පැමිණ සිටින බවයි. ඊළඟට කුමක් සිදු වෙයිද?

ඉදිරි ගමන

ආදම් හා ඒව කැරලිගැසූ වහාම ‘සදාකාලේටම පවතින’ රාජ්‍යයක් පිහිටුවීමට තමන් අරමුණු කර ඇති බව දෙවි හෙළි කළා. (දානියෙල් 2:44) දෙවිගේ එම රාජ්‍යය මගින් ඉදිරියේදී මිනිස් වර්ගයාට ආශීර්වාද රැසක් ලබා දෙනවා. යේසුස් ක්‍රිස්තුස් යාච්ඤා කරන්න උගන්වද්දී මෙම රාජ්‍ය ගැනත් සඳහන් කළා.—මතෙව් 6:9, 10.

දෙවිගේ රාජ්‍යය කියන්නේ නිකම්ම මිනිසුන්ගේ සිත්වල තිබෙන සංකල්පයක් නොවෙයි. එය මෙලොවටත් ප්‍රබල ලෙස බලපාන ස්වර්ගයේ පිහිටුවා තිබෙන සැබෑ ආණ්ඩු ක්‍රමයක්. දෙවි තම රාජ්‍යය මගින් මිනිසා වෙනුවෙන් කරන දේවල් ගැන දී තිබෙන පොරොන්දු සලකා බලන්න. දෙවි මුලින්ම “පොළොව විනාශ කරන අයව විනාශ කර” දමන බව බයිබලයේ පවසනවා. (එළිදරව් 11:18) තමන්ට කීකරු වන අයට දෙවි කුමක් කරාවිද? ඔහුගේ මඟ පෙන්වීමෙන් ලියූ වදන්වල ඔහු මෙවැන්නක් පවසනවා. “ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) මේ දේවල් කරන්න පුළුවන් මිනිසෙක් මෙලොව සිටිනවාද? මිනිස් වර්ගයා සඳහා දෙවි මුලින් අරමුණු කළ තත්වය අපට ලබා දිය හැක්කේ දෙවිට පමණයි.

දෙවිගේ රාජ්‍යය මගින් ගෙන එන ආශීර්වාදවලින් ඔබට ප්‍රයෝජන ගත හැකි වන්නේ කොහොමද? යොහන් 17:3 මෙසේ පවසනවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම දැනුම ලබාගැනීමට ජනයාට උපකාර කරමින් සිටිනවා. ඔවුන් දැනටමත් රටවල් 230ක පමණ එම සේවයේ නියැලෙන අතර භාෂා 400කට වැඩි ගණනකින් පොත් පත්ද මුද්‍රණය කරනවා. වැඩි යමක් දැනගන්න ඔබ කැමති නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවන්න ඔබට පුළුවන්. එසේ නැත්නම් මෙහි පස්වන පිටුවේ තිබෙන අපේ ලිපිනයකට ලියන්න.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අද හෝ හෙට හෝ අපි අහවල් නගරයට ගමන් කොට එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කොට ලාභ උපයමු” යයි කියන්නාවූ ඔබ දැන් සවන් දෙන්න. හෙට ඔබේ ජීවිතය කෙසේ වේදැයි ඔබ දන්නේ නැත.”—යාකොබ් 4:13, 14.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලය අපව මිනිස් ඉතිහාසයේ පළමු මිනිසා සහ ස්ත්‍රිය දක්වාම ගෙන යයි. එමනිසා අප පැමිණියේ කොතැනින්ද යන්නේ කොතැනකටද කියා පැවසීමට එයට හැකියි. එහෙත් එහි පවසන දේ අවබෝධ කරගැනීමට නම් අප සිතියමක් හොඳින් පරීක්ෂා කර බලන්නාක් මෙන් එය හොඳින් අධ්‍යයනය කළ යුතුයි

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වැරදි ක්‍රියාවක් හෝ නරක දේ කිරීමට නැඹුරුවාවක් තිබීම “පාපය” කියා හැඳින්විය හැකියි. අප පාපය උරුම කරගෙන ඉපදී සිටින නිසා එය අපේ ක්‍රියාවලටත් බලපානවා. “යහපත කරන්නාවූ පව් නොකරන්නාවූ ධර්මිෂ්ඨයෙක් සැබවින් පොළොවේ නැත.”—දේශනාකාරයා 7:20

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තද පැල්ලමක් ඇති කොළයක ඡායා පිටපත් ගන්නවා නම් ඒ හැම එකකම එම පැල්ලම තිබේවි. ආදම්ගෙන් පැවතෙන්නන් වන අපට, වෙන විදිහකින් කියනවා නම් ඔහුගේ පිටපත් වන අපට පාපය නමැති පැල්ලම උරුම වුණා.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලයේ පවසන්නේ “තමාගේ පාද යොමු කිරීම ගමන් යන මනුෂ්‍යයාට අයිති නැත” කියායි. (යෙරෙමියා 10:23) ලෝක සාමය උදා කිරීමට මිනිසා දරන වෑයම අසාර්ථක මන්දැයි එයින් පැහැදිලි වෙනවා. මිනිසාව මැව්වේ දෙවිගෙන් ස්වාධීනව “තමාගේ පාද යොමු කිරීම” සඳහා නොවෙයි.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලයේ ගීතිකාකරු දෙවිට මෙසේ පැවසුවා. “ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105) අපට නැණවත් තීරණ ගැනීමට බයිබලය පහනක් මෙන් අපට උපකාර වෙනවා. ‘අපේ මාවතට එළියක්’ මෙන් මිනිසාගේ ජීවිත ගමනේදී ඔහුට තිබෙන්නේ කෙබඳු අනාගතයක්ද යන්න අවබෝධ කරගැනීමට එය අපට සලස්වනවා

[7වන පිටුවේ කොටුව]

කියන තරම් ලේසිද?

වර්ෂ 2000 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ට අයත් රටවල්, 2015 වන විට ඉටු කිරීමට ඉලක්ක කරන දේවල් කීපයක් සම්බන්ධයෙන් ඒකමතිකව තීරණයක් ගත්තා. ඉන් සමහරක් මතු දැක්වෙයි.

දිනකට ඩොලර් එකකට නොවැඩි මුදලකින් ජීවත් වන්නන්ගේ මෙන්ම කුසගින්නේ පෙළෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 50කින් අඩු කරනවා.

සියලු දරුවන් මූලික පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කරන බවට වගබලා ගන්නවා.

අධ්‍යාපන කටයුතුවලදී ස්ත්‍රී පුරුෂ භේදය ඉවත් කරනවා.

වයස අවුරුදු පහට අඩු ළමුන් අතරේ මිය යන සංඛ්‍යාව සියයට 66කින් අඩු කරනවා.

මිය යන මව්වරුන්ගේ සංඛ්‍යාව සියයට 75කින් අඩු කරනවා.

මැලේරියාව හා HIV/AIDS වැනි දරුණු රෝග පැතිර යෑම අඩු කරනවා. නැත්නම් වළක්වනවා.

පිරිසිදු පානීය ජලය ලබාගත නොහැකි ජන සංඛ්‍යාව සියයට 50කින් අඩු කරනවා.

මේ දේවල් කරන එක කියන තරම් ලේසිද? මේ ගැන 2004දී යළි සලකා බැලීමෙන් පසුව ලොව වටා සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් නිගමනය කළේ සිතන දේ සැමවිටම යථාර්ථයක් නොවන බවයි. යම් පැතිවලින් දියුණුවක් ලැබුවත් සිද්ධ වෙන දේ හරියටම කිව නොහැකි බව තේරුම්ගත්තා. එක් පොතක පෙරවදනේ මෙසේ සඳහන් වුණා. “දිලිඳුභාවය නිසා බොහෝ ප්‍රදේශවල වර්ධනය අඩාළ වෙනවා. එමෙන්ම HIV/AIDS වැනි රෝග වැඩි වෙමින් පැවතීම, රටවල් ගණනාවක මහජනතාවගේ සෞඛ්‍ය තත්වයට තර්ජනයක් වී තිබෙනවා. දරුවන් මිලියන 20ක් පමණ ජලයෙන් පැතිරුණු රෝග නිසා පසුගිය වසර පහ තුළ මිය ගියා. එහෙත් එය වළක්වාගත හැකිව තිබුණා. එමෙන්ම පිරිසිදු පානීය ජලය හා කැළි කසළ ඉවත් කිරීමේ පහසුකම් නොමැතිකම නිසා මිලියන ගණන් ජනයා දිනපතා දිවි ගෙවන්නේ ඉතා දුක්ඛිත තතිවයකින්.”—එම පොත State of the World 2005.

[8, 9වන පිටුවේ කොටුව/පින්තූර]

‘අන්තිම දවස්වල’ ලක්ෂණ කීපයක්

පෙර නොවූ විරූ යුද්ධ.—මතෙව් 24:7; එළිදරව් 6:4.

ආහාර හිඟකම.—මතෙව් 24:7; එළිදරව් 6:5, 6, 8.

වසංගත.—ලූක් 21:11; එළිදරව් 6:8.

නීති විරෝධී ක්‍රියා වැඩිවීම.—මතෙව් 24:12.

පොළොව විනාශ කිරීම.—එළිදරව් 11:18.

මහත් භූමිකම්පා.—ලූක් 21:11.

අන්තරාදායක කාලවල්.—2 තිමෝති 3:1.

අසාමාන්‍ය ලෙස මුදලට ප්‍රේම කිරීම.—2 තිමෝති 3:2.

දෙමාපියන්ට අකීකරු වීම.—2 තිමෝති 3:2.

ජන්ම ස්නේහය නැතිවීම.—2 තිමෝති 3:3.

දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කිරීම.—2 තිමෝති 3:4.

ආත්ම දමනය නැතිවීම.—2 තිමෝති 3:3.

යහපතට ප්‍රේම නොකිරීම.—2 තිමෝති 3:3.

සිදුවීමට යන අනතුර ගැන කිසි තැකීමක් නොකිරීම.—මතෙව් 24:39.

සමච්චල් කරන්නෝ අන්තිම දවස් පිළිබඳ සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම.—2 පේතෘස් 3:3, 4.

පොළොව පුරාම දේශනා කරනු ලැබීම.—මතෙව් 24:14.

[හිමිකම් විස්තර]

© G.M.B. Akash/Panos Pictures

© Paul Lowe/Panos Pictures

[9වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්නන් ලෙස ප්‍රසිද්ධයි