Skip to content

පටුනට යන්න

අල්හම්බ්‍රා ස්පාඤ්ඤයට උරුම වූ ඉස්ලාමිය දායාදය

අල්හම්බ්‍රා ස්පාඤ්ඤයට උරුම වූ ඉස්ලාමිය දායාදය

අල්හම්බ්‍රා ස්පාඤ්ඤයට උරුම වූ ඉස්ලාමිය දායාදය

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

“මෙම මාලිගාව අලළා ගෙතූ කතා බොහොමයක් තිබෙනවා. ඒවා ප්‍රබන්ධ කතා වුණත් සත්‍යය කතා වුණත් ඇත්තෙන්ම සිත්ගන්නාසුලුයි. මෙම මාලිගාව මුල් කරගෙන ආදරය, යුද්ධය හා වීරත්වය පිළිබඳව අරාබි හා ස්පාඤ්ඤ බසින් ලියැවුණු ගී හා කවි අප්‍රමාණයි!”—19වන සියවසේ විසූ අමෙරිකානු ලේඛකයෙක් වන වොෂිංටන් අර්වින්.

ඉහත වදන්වලින් විස්තර කරන්නේ ස්පාඤ්ඤයේ ග්‍රනාඩා නුවර අලංකාර කරන අල්හම්බ්‍රා මාලිගාවයි. අරාබි හෝ පර්සියානු සැලසුමකට අනුව ගොඩනඟා තිබෙන මෙම මාලිගාව ස්පාඤ්ඤයේ සිටි මුස්ලිම් ජාතිකයන්ගේ නිර්මාණයක්. ඔවුන් සියවස් ගණනාවක් පුරා ස්පාඤ්ඤය යටත් කරගෙන සිටියා. *

අරාබි පාලකයෙක් වන සාවේ බෙන් සෙරෙ තම රාජධානිය ග්‍රනාඩා නගරය ස්ථාපිත කළේ 11වන සියවසේදීයි. එවක් පටන් සියවස් පහක් පමණ යන තුරු ස්පාඤ්ඤය කලාව හා සංස්කෘතිමය අතිනුත් සමෘද්ධිමත් වුණා. ස්පාඤ්ඤයේ තිබූ මුස්ලිම් අධිරාජ්‍යය නිම කළේ 1492දී කතෝලික රජෙක් වූ ෆඩිනැන්ඩ් හා ඔහුගේ බිසව වූ ඉසබෙලා විසින්.

වර්ෂ 1236දී කතෝලික හමුදාව කොර්ඩොබා නගරය අල්ලාගත් නිසා ග්‍රනාඩා නගරය මුස්ලිම්වරුන්ගේ අගනුවර බවට පත් වුණා. ඉන්පසු බලයට පැමිණි පාලකයන් විසින් අල්හම්බ්‍රා මාලිගාව ගොඩනැඟුවා. ඔවුන් එය තැනුවේ යුරෝපයේ කිසිම ගොඩනැඟිල්ලකට නොදෙවෙනි ආකාරයටයි. කොතරම් විශිෂ්ට ලෙස එය නිර්මාණය කළාද යත් එක් ලේඛකයෙක් කියා සිටියේ “ලෝකයේ තිබෙන දැකුම්කලුම ගොඩනැඟිල්ල” අල්හම්බ්‍රා මාලිගාව බවයි.

අල්හම්බ්‍රා මාලිගාවෙන් මෙන්ම එහි අවට පරිසරයෙන්ද දිස්වන්නේ ප්‍රතාපවත් බවක්. මීටර් 3,400ක් උස හිමෙන් වැසී ගිය සද්දන්ත සියරා නෙවාඩා කඳු යාය තිබෙන්නේ මාලිගාවට පිටු පසින්. ඒ වගේම අල්හම්බ්‍රා මාලිගාව තනා තිබෙන්නේ මීටර් 150ක් උස හරිත වර්ණයෙන් වැසී ගිය සබීකා කියන මිටි කන්ද මතයි. ඇත්තෙන්ම මෙය සොඳුරු දසුනක්. මෙම කඳු ග්‍රනාඩා නගරය දෙස බලා සිටින්නේ හද පිරි බැතියෙන් තම ආදරණීය භාර්යාව දෙස බලා සිටින ස්වාමි පුරුෂයෙක් බලා සිටින්නාක් මෙන් කියා 14වන සියවසේ අයිබන් සැම්රාක් නමැති කවියා කීවේ ඒ නිසා විය හැකියි.

නගරය තුළ නගරයක්

අරාබි බසින් අල්හම්බ්‍රා කියන්නේ “රතු පාටට.” සමහරවිට මෙම මාලිගාවේ පිටත බිත්ති තැනීමට යොදාගෙන තිබෙන ගඩොල්වල වර්ණය නිසා එසේ හඳුන්වන්න ඇති. නමුත් අරාබි ඉතිහාසඥයන් පවසන්නේ රාත්‍රි කාලයේ “විදුලි පන්දම්වල ආලෝකය” දල්වාගෙන ගොඩනැඟීමේ කටයුතු සිදු කරද්දී බිත්ති රතු වර්ණයෙන් දිස් වූ නිසා එසේ හඳුන්වන්න ඇති කියලා.

අල්හම්බ්‍රා මාලිගාවක් විතරක් නෙමෙයි. ග්‍රනාඩා නගරය තුළ තිබෙන තවත් නගරයක් වගෙයි. එහි තිබෙන විශාල පවුරු, උයන්, වියන්, මාලිගා සංකීර්ණය හා බලකොටුවට අමතරව කුඩා නගරයක්ද තිබෙනවා. අල්හම්බ්‍රා මාලිගයට යුරෝපයේ කලාවට හා සංස්කෘතියට අයත් යම් දේවල් එක් වුණත් එය මූලිකවම මුස්ලිම් ජාතිකයන්ගේ සැලසුමකට අනුව ගොඩනැඟූ මාලිගාවක්.

මුස්ලිම්වරු දැකුම්කලු අල්හම්බ්‍රා මාලිගය ගොඩනැඟීමේදී පුරාණ ග්‍රීක්වරුන්ගේ ගොඩනැඟිලි තැනීමේ ක්‍රම අනුගමනය කළා. මුලින්ම විවිධ වර්ණවලින් යුත් ගල් නියමිත ප්‍රමාණයෙන් තෝරාගෙන ඉතාමත් සරල විදිහට ගොඩනැඟිල්ල තනනවා. පසුව එම ගොඩනැඟිල්ල අලංකාර කරනවා. ගොඩනැඟිලි පිළිබඳ එක් විද්වතෙක් කීවේ “මුස්ලිම්වරු වාස්තු විද්‍යාවේ පළමුවෙනි ප්‍රතිපත්තිය පිළිපැද තිබෙනවා කියායි. එම ප්‍රතිපත්තිය නම් ගොඩනැඟිල්ල තනා පසුව එය අලංකාර කිරීමයි.”

මාලිගයට පිවිසෙමු

මාලිගයට ඇතුල් වෙන්න තිබෙන්නේ ආරුක්කු හැඩැති විශාල දොරටුවකින්. එය හඳුන්වන්නේ අධිකරණයේ දොරටුව කියලා. මෙම ස්ථානයට තමයි මුස්ලිම්වරු කුඩා නඩු හබ විසඳීමට පැමිණ තිබෙන්නේ. මෙයාකාරයට නඩු ඇසීම මැද පෙරදිග දේශවල සාමාන්‍ය සිරිතක් වී තිබුණා. බයිබලයේ පවා ඒ පිළිබඳව සඳහන් කර තිබෙනවා. *

අලංකාර කැටයම් සහිත අල්හම්බ්‍රා මාලිගාව වැනි අරාබි ගොඩනැඟිලි තනන්නේ සිමෙන්ති සහ හුණු මිශ්‍ර කර සාදාගන්න බදාමයකින්. ශිල්පීන් මෙම බදාමයෙන් තනන බිත්තිවල රේන්ද ආකාරයට කැටයම් නෙළනවා. බිත්ති බොහොමයක මෙවැනි කැටයම් කරනවා. සමහර ආරුක්කුවල එක ගානට කැටයම් මෝස්තර නෙළා තිබෙනවා. මාලිගාවේ තවත් විශේෂ දෙයක් තමයි බිත්තියට ඔබ්බවා තිබෙන ඔප දැමූ ටයිල්. බිත්තිවල පහළට අල්ලා තිබෙන දිදුලන වර්ණවලින් යුත් ටයිල් ඉහළ බිත්තිවල ලා වර්ණ සමඟ කදිමෙට ගැළපෙනවා.

මාලිගාවේ තිබෙන විවිධ ස්ථානවලින් කැපී පෙනෙන ස්ථානය තමයි සිංහ මළුව. එය හඳුන්වන්නේ “ස්පාඤ්ඤයේ තිබෙන අරාබි කලා නිර්මාණවලින් විශිෂ්ටම නිර්මාණය” ලෙසයි. එක් පොතක මෙසේ විස්තර කර තිබුණා. ‘මෙය දකිද්දී මේ වගේ දෙයක් කවදාකවත් නැවත නිර්මාණය කරන්න බැහැ කියන හැඟීම තමයි අප තුළ ඇති වෙන්නේ. ඒ තරම්ම මෙම මළුව අලංකාරයි.’ ඒ මළුව වටා අලංකාර පටු ආලින්ද තිබෙන අතර මළුව මැද තිබෙන්නේ කිරිගරුඬ සිංහයන් 12දෙනෙකුගෙන් සෑදුණ වතුර මලක්. මෙතරම් නෙත් සිත් ආකර්ෂණය කරන දසුනක් ස්පාඤ්ඤයේ තවත් නැති තරම්.

ගතට සිසිල දෙන මල් උයන්

අල්හම්බ්‍රා මාලිගයේ නෙත් සිත් පිනවන මල් උයන්, වතුර මල් හා පොකුණු තිබෙනවා. * මේවා කොතරම් සුන්දරද යත් එන්රිකේ සොර්ඩො නමැති ලේඛකයා ඔහු ලියූ පොතක සඳහන් කළේ මෙම උයන් “පාරාදීසයක් හා සමානයි” කියලා. (පොතේ නම Moorish Spain) “මුස්ලිම්වරුන්ගේ ආගමික ග්‍රන්ථයක් වන කුරානයේ පාරාදීසයක් ගැන සඳහන් වී තිබෙනවා. එය විස්තර කර තිබෙන්නේ ජල උල්පත් තිබෙන ඉතාමත් සරුසාර උයනක්” ලෙසයි. එසේ පැවසුවේ ගර්සියා ගොමෙස් නමැති ස්පාඤ්ඤ ලේඛකයා. සාමාන්‍යයෙන් කාන්තාරයේ ජීවත් වන වැසියන්ට වතුර ලැබෙන්නේ ඉතා සීමිත ලෙසයි. නමුත් අල්හම්බ්‍රා මාලිගයට නම් ජලයෙන් අඩුවක් නැහැ. ජලය පරිසරයට සිසිලක් වගේම ජල ධාරාව ගලාගෙන යන විට නැඟෙන මිමිනුම් හඬ කනට මිහිරියාවක් ගෙන දෙන බව උයන් සාදන්නන්ට වැටහී ගියා. ඒ විතරක් නෙමෙයි සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුත් පොකුණුවල ජලතලාව මත පතිත වන අහස් කුසේ ඡායාව නිසා උයනට පුළුල් බවක් හා දීප්තිමත් බවක් ලැබෙනවා.

අල්හම්බ්‍රා මාලිගයට එහායින් තිබෙන්නේ සෙරෝ ඩෙල් සොල් කන්ද. ඒ මත තනා තිබෙන සුවිසල් නිවස සහ උයන හඳුන්වන්නේ ජෙනරලයිෆ් යන නමින්. අරාබි සැලසුමකට අනුව තනා තිබෙන මෙය “ලෝකයේ තිබෙන ලස්සනම උයන්වලින් එකක්” ලෙසට නම් කරනවා. * කලින් මෙම නිවස අල්හම්බ්‍රා මාලිගයට පාලමකින් යා වී තිබුණා. මෙම ස්ථානයට තමයි ග්‍රනාඩා නගරයේ පාලකයන් විවේක සුව ලැබීමට පැමිණ තිබෙන්නේ. උයනේ තවත් අලංකාර අංගයක් තමයි ජල තරප්පු පෙළ. මෙම ස්ථානය නොයෙකුත් වර්ණ, සුවඳ වර්ගවලින් හා ආලෝකයන්ගෙන් පිරි නිස්කලංක තැනක්.

රජෙක් වැලපුණු ස්ථානය

ෆඩිනැන්ඩ් හා ඉසබෙලා විසින් ග්‍රනාඩා නගරය අල්ලාගත් පසු හයවන මොහාමද් රජුව හා ඔහුගේ පවුල රටින් පිටුවහල් කළා. ඔහු තමයි ස්පාඤ්ඤයේ සිටි අවසන් මුස්ලිම් රජ. ඔහු නගරය අත්හැර යන විට එක් උස් ස්ථානයක සිට නගරය දෙස බැලුවා. එම ස්ථානය තවමත් හඳුන්වන්නේ මුස්ලිම්වරයා වැලපුණු ස්ථානය ලෙසයි. ඔවුන් එසේ අවසන් වරට තම තේජවත් රතු මාලිගය දෙස බලද්දී මොහාමද් රජුගේ මව මෙසේ පැවසූ බවට වාර්තා වෙනවා. “මිනිහෙක් වගේ එය රැකගන්න බැරි වුණා නම් දැන් ඉතිං ගැහැනියෙක් වගේ වැලපෙන්න!”

වසරකට මිලියන තුනකට වැඩි පිරිසක් අල්හම්බ්‍රා මාලිගය නැරඹීමට යනවා. ඒ යන අය මෙම ස්ථානයටත් යන්න අමතක කරන්නේ නැහැ. අල්හම්බ්‍රා මාලිගයේ සිටි අන්තිම රජු බැලූ ආකාරයට මෙම ස්ථානයේ සිට ග්‍රනාඩා නගරය හා අලංකාර මාලිගය දෙස බැලිය හැකියි. ඔබත් ග්‍රනාඩා නගරයට යම් දිනක ගියොත් එම රජ එතරම් වැලපුණේ මන්ද කියා තේරුම්ගනීවි.

[පාදසටහන්වල]

^ 4 ඡේ. ක්‍රිස්තු වර්ෂ 711දී අරාබි සහ උතුරු අප්‍රිකානු හමුදාවන් ස්පාඤ්ඤයට ඇතුල් වූ අතර ඊළඟ වසර හත ඇතුළත ස්පාඤ්ඤයේ බොහෝ පළාත් මුස්ලිම්වරුන්ගේ පාලනයට නතු වුණා. සියවස් දෙකක් ඇතුළත කොර්ඩොබා නගරය යුරෝපයේ විශාලතම හා දියුණුතම නගරය බවට පත් වුණා.

^ 13 ඡේ. දෙවි මෝසෙස්ට මෙසේ උපදෙස් දුන්නා. “සියලු දොරටුවල විනිශ්චයකාරයන්ද අධිපතීන්ද පත් කරගන්න. ඔවුහු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කරන්නෝය.”—ද්විතීය කතාව 16:18.

^ 17 ඡේ. අරාබිවරුන් ස්පාඤ්ඤය ඇතුළු මධ්‍යධරණී දේශවල උයන් තනන විට පර්සියානු හා බයිසන්තියානු ක්‍රම අනුගමනය කළා.

^ 18 ඡේ. මෙම නම රැගෙන තිබෙන්නේ අරාබි භාෂාවෙන්. එහි තේරුම “උස් ස්ථානයේ උයන්” යන්නයි. ඒත් වැඩිපුර හඳුන්වන්නේ “ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උයන” ලෙසයි.

[15වන පිටුවේ පින්තූරය]

බලකොටුව

[16වන පිටුවේ පින්තූරය]

සිංහ මළුව

[16, 17වන පිටුවේ පින්තූරය]

ජෙනරලයිෆ් උයන්

[17වන පිටුවේ පින්තූරය]

ජල තරප්පුව

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Line art: EclectiCollections

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All except top photo: Recinto Monumental de la Alhambra y Generalife

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos: Recinto Monumental de la Alhambra y Generalife

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Above photos: Recinto Monumental de la Alhambra y Generalife; bottom photo: J. A. Fernández/San Marcos