Skip to content

පටුනට යන්න

ආගමික නිදහස සෙවූ පිරිසක්

ආගමික නිදහස සෙවූ පිරිසක්

ආගමික නිදහස සෙවූ පිරිසක්

උතුරු අමෙරිකාවේ මැසචුසෙට්ස්හි ප්ලිමත් නගරයේ ඇති වෙරළේ විශාල කලු ගලක් මත 1620 යන අංකය කොටා තිබෙනවා. එම පර්වතය හඳුන්වන්නේ ප්ලිමත් පර්වතය ලෙසයි. බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ මෙම පර්වතය තිබෙන නගරයට යාබද වෙරළට වසර 400කට පමණ පෙර ආගමික නිදහසක් සොයාගෙන යුරෝපයේ වැසියන් පිරිසක් පැමිණි බවයි. ඔවුන්ව හැඳින්වූයේ වන්දනාකරුවන් කියායි.

මෙම වන්දනාකරුවන් ගැන කතා කරන විට බොහෝදෙනෙක් හිතන්නේ ඔවුන් ආගන්තුක සත්කාරයට ලැදි මිත්‍රශීලී පුද්ගලයන් කියලා. ඒත් සැබෑව එය නොවෙයි. ඇත්තටම මෙම වන්දනාකරුවන් කවුද? ඔවුන් උතුරු අමෙරිකාවට පැමිණියේ මන්ද? මීට පිළිතුරු ලබාගැනීමට අපිට එංගලන්තයේ අටවන හෙන්රි රජුගේ කාලයට යන්න සිදු වෙනවා.

එංගලන්තයේ ආගමික ගැටුම්

මෙම පිරිස උතුරු අමෙරිකාවට පැමිණෙන්න පෙර ඔවුන් එංගලන්තයේ වැසියන්. එවකට එංගලන්තය රෝමානු කතෝලික රටක්. එමෙන්ම කතෝලික ධර්මය තිබුණේ අටවන හෙන්රි රජුගේ අණසක යටතේයි. නමුත් රජුගේ භාර්යාවන් හයදෙනාගෙන් පළමු භාර්යාව වූ ඇරගන්හි කැත්රීන්ව දික්කසාද කිරීමට රජු තීරණය කළ විට හත්වන ක්ලෙමන්ට් පාප්වරයා ඊට අනුමැතිය දුන්නේ නැහැ. එය විශාල මතභේදයකට තුඩු දුන්නා.

හෙන්රි රජු පවුල් හබයක පැටලී සිටින අතරතුරේ යුරෝපයේ රටවල් බොහොමයක ආගමික විප්ලවයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. කතෝලික සභාවෙන් හෙන්රි රජුට ලැබී තිබුණ උසස් තත්වය නිසා ආගමික විප්ලවකාරී අදහස් තම රටට ඇතුල් වීමට ඔහු ඉඩ දුන්නේ නැහැ. නමුත් පසුව තම දික්කසාදයට අනුමැතිය නුදුන් නිසා ඔහු කතෝලික සභාවෙන් ඉවත් වීමට තීරණය කළා. ඔහු 1534දී තමන් හා රටවැසියන් මත බලය ක්‍රියාත්මක කිරීමට පාප්ට තිබූ අයිතිය අවලංගු කර එංගලන්ත සභාවේ ප්‍රධානියා ලෙස පත් වුණා. වැඩි කල් නොගොස් ඔහු පූජකාරාම සියල්ල වසා දැමූ අතර ඊට අයිතිව තිබූ දේපළ සම්භාරය විකුණා දැමුවා. හෙන්රි රජ 1547දී මිය ගියා. එංගලන්තයේ වැසියන් රෙපරමාදු භක්තිකයන් වෙමින් සිටියේ ඒ කාලයේදීයි.

හෙන්රි රජුගේ පුත් හයවන එඩ්වඩ් පියාගේ අඩි පාරේ යමින් පාප්ගේ අධිකාරයට දමා තිබූ තහංචි එලෙසින්ම ක්‍රියාත්මක කළා. වර්ෂ 1553දී එඩ්වඩ් රජුගේ මරණින් පසු හෙන්රි රජුගේ හා කැත්රීන්ගේ දියණිය වූ මේරි බලයට පත් වුණා. ඇය රෝමානු කතෝලික ධර්මය ඇදහූ නිසා නැවතත් එංගලන්ත වැසියන්ව පාප්ගේ අධිකාරය යටතට ගෙන ඒමට උත්සාහ දැරුවා. ඇය බොහෝ රෙපරමාදු භක්තිකයන්ව රටින් පිටුවහල් කළ අතර මිනිසුන් 300දෙනෙකුට වඩා වැඩි පිරිසක් කණුවල එල්ලා පිළිස්සුවා. ඇයව හැඳින්වූයේ ලේ පිපාසිත රැජින කියායි. නමුත් ඒ වන විට ආගමික විප්ලවකාරී අදහස් රට පුරා බොහෝදුරට පැතිර ගොස් තිබූ නිසා ඇගේ අරමුණ ඉටු කරගැනීමට ඇයට හැකි වුණේ නැහැ. ඇය 1558දී මිය ගියා. ඇගේ ඥාති සොහොයුරියක වන පළමුවන එළිසබෙත් රැජින බලයට පත් වුණා. ඇය එංගලන්ත වැසියන්ගේ ආගමික නිදහසට බලපෑම් කිරීමට පාප්ට ඉඩ දුන්නේ නැහැ.

සමහර රෙපරමාදු භක්තිකයන්ට හැඟී ගියේ රෝමානු කතෝලික සභාවෙන් වෙන්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඔවුන්ට අවශ්‍ය වුණේ කතෝලික සභාවේ අනවශ්‍ය චාරිත්‍ර ඉවත් කර රෝමානු කතෝලික පල්ලියේ නමස්කාර පිළිවෙත සම්පූර්ණයෙන්ම පවිත්‍ර කිරීමටයි. ඒනිසා ඔවුන්ව හැඳින්වූයේ පවිත්‍රවරු හෙවත් පියුරිටන්වරු කියායි. ඒ වගේම තවත් සමහරුන්ගේ මතය වුණේ බිෂොප්වරුන්ගේ තනතුරු මුළුමනින්ම අහෝසි කර තම තමන්ගේ සභා විසින් පාලනය ගෙන යෑමට කටයුතු කළ යුතු බවයි. මෙම ගැටලු නිසා පියුරිටන්වරුන් එංගලන්ත සභාවෙන් වෙන් වී ගියා. ඉන්පසු ඔවුන්ව හැඳින්වූයේ බෙදුම්වාදීන් ලෙසයි.

පියුරිටන්වරු අතර බෙදීම් ඇති වුණේ එළිසබෙත් රැජිනගේ පාලන සමයේදීයි. ඊට හේතු වූයේ සමහර පූජකයන් ඇඳ පැළඳ සිටි ආකාරයට රැජින මනාපයක් නොදැක්වීමයි. එමනිසා 1564දී ඇය පූජකවරුන්ට පොදු නිල ඇඳුමක් සම්මත කරන මෙන් එංගලන්ත සභාවේ අග්‍ර බිෂොප්වරයාට අණ කළා. කතෝලික පූජකයන්ගේ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳීම කතෝලික සභාවට යටත් වීමක් විදිහටයි පියුරිටන්වරු දුටුවේ. එමනිසා ඔවුන් රැජිනගේ අණට කීකරු වුණේ නැහැ.

එමෙන්ම මෙම පියුරිටන්වරු බිෂොප්වරු හා අග්‍ර බිෂොප්වරුන්ගේ පාලනයට තම අකමැත්ත ප්‍රකාශ කළා. එවිට එළිසබෙත් රැජින බිෂොප්වරුන්ගේ පදවිය එලෙසම තිබෙන්න හැර එංගලන්ත සභාවේ හිස හැටියට කටයුතු කළා. ඒ වගේම බිෂොප්වරුන් තමාට යටත් විය යුතුයි කියා ඇය නියෝග කළා.

වන්දනාකරුවන් වූ බෙදුම්වාදීන්

එළිසබෙත් රැජිනගෙන් පසු පළමුවන ජේම්ස් රජ 1603දී රජකමට පත් වුණා. ඔහු බෙදුම්වාදීන්ව තම අණසක යටතට ගැනීම සඳහා ප්‍රබල වෑයමක් දැරුවා. වර්ෂ 1608දී ස්කෲබී නගරයේ තිබූ බෙදුම්වාදීන්ගේ සභාව ඕලන්දයට රැගෙන ගියේ එම රටේදී ඔවුන්ට ආගමික නිදහස ලැබුණ නිසයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඕලන්දයට පැමිණි අනෙකුත් ආගම් නිසාත්, එහි සදාචාරය බිඳ වැටීම නිසාත් බෙදුම්වාදීන්ට එංගලන්තයේ අත් විඳි අපහසුතාවන්ට වඩා වැඩි අපහසුතා එහිදී විඳින්න සිදු වුණා. එමනිසා ඔවුන් යුරෝපය අත්හැර උතුරු අමෙරිකාවේ පදිංචිය සඳහා පිටත් වුණා. දුර කතර ගෙවාගෙන උතුරු අමෙරිකාවට ගියේ තම ආගමික විශ්වාසයන් රැකගැනීමටයි. ඔවුන්ව පසුව වන්දනාකරුවන් යන නාමයෙන් හැඳින්වූයේ ඒ නිසයි.

බෙදුම්වාදීන් බොහෝදෙනෙක් ඇතුළත් වූ මෙම වන්දනාකරුවන්ගේ කණ්ඩායම එවකට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි වීමට අවසර ලබාගෙන 1620දී සැප්තැම්බර්වලදී මේෆ්ලවර් නමැති නැවෙන් උතුරු අමෙරිකාවට ගොඩබැස්සා. එම කණ්ඩායම වැඩිහිටියන් සහ දරුවන් 100දෙනෙකුගෙන් පමණ සමන්විත වුණා. ඔවුන් උතුරු අත්ලාන්තික් සාගරයේ මාස දෙකක් ගත කර ගොඩ බැස්සේ කොඩ් තුඩුවටයි. එය පිහිටා තිබෙන්නේ වර්ජිනියා ප්‍රාන්තයට කිලෝමීටර් 800ක් පමණ උතුරින්. ඔවුන් එම ප්‍රදේශයේ පදිංචි වීමටත් නීති රීතිවලට යටත් වීමටත් කැමැත්ත ප්‍රකාශ කරමින් ගිවිසුමක් අත්සන් කළා. ඉන්පසු 1620 දෙසැම්බර් 21වනදා මැසචුසෙට්ස්හි පිහිටි ප්ලිමත් නගරයේ ඔවුන් පදිංචි වුණා.

නුහුරු දේශයක ජීවිතය ඇරඹීම

උතුරු අමෙරිකාවට වන්දනාකරුවන් පැමිණියේ ශීත කාලයේයි. ඊට ඔවුන් සූදානම් වී සිටියේ නැහැ. මාස කිහිපයක් යන විට කණ්ඩායමෙන් අඩක් මිය ගියා. ඒත් වසන්ත සමය එළඹෙනවාත් සමඟම ඔවුන්ට යම් සහනයක් ලැබුණා. ඔවුන් සුදුසු නිවාස තනාගෙන එම ප්‍රදේශයට උචිත බෝග වගා කරන ආකාරයත් ආදි වාසීන්ගෙන් ඉගෙනගත්තා. වර්ෂ 1621 අවසාන භාගය වන විට වන්දනාකරුවන්ගේ අත මිට සරු වූ අතර දෙවියන්ගෙන් ඔවුන් ලැබූ ආශීර්වාදවලට ස්තුති දීම සඳහා දිනයක් වෙන් කළා. එම දිනය තමයි දැන් එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල ස්තුති දීමේ උත්සවය ලෙස පවත්වන්නේ. ක්‍රම ක්‍රමයෙන් සංක්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය අතර වසර 15කට වඩා අඩු කාලයකදී ප්ලිමත් නගරයේ ජනගහනය 2,000 ඉක්මවා ගියා.

මේ අතරතුර එංගලන්තයේ සිටි සමහර පියුරිටන්වරුත් බෙදුම්වාදීන් කළාක් මෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට අත්ලාන්තික් සාගරය හරහා උතුරු අමෙරිකාවට පැමිණියා. වර්ෂ 1630දී ඔවුන්ගෙන් තවත් කණ්ඩායමක් පැමිණ ප්ලිමත් නගරයේ උතුරු දිශාවේ පිහිටි මැසචුසෙට්ස් බොක්ක අසල ජනපදයක් පිහිටුවාගත්තා. වර්ෂ 1640 වන විට එංගලන්තයෙන් පැමිණි සංක්‍රමිකයන් 20,000ක් පමණ එක්සත් ජනපදයේ නිව් ඉංග්ලන්ඩ් පළාතේ පදිංචි වී සිටියා. නිව් ඉංග්ලන්ඩ් පළාතට ප්‍රාන්ත හයක් අයත්ව තිබුණා. මැසචුසෙට්ස් ජනපදය ප්ලිමත් නගරයේ පාලනය තමන්ට නතු කරගත්තේ 1691දීයි. එතැන් සිට බෙදුම්වාදී වන්දනාකරුවන් අනෙක් පියුරිටන්වරු සමඟ එකතු වුණා. ඔවුන් තම ආගමික මධ්‍යස්ථානය බොස්ටන් නගරයේ ස්ථාපිත කළ අතර නිව් ඉංග්ලන්ඩ් පළාතේ තම ආගම ව්‍යාප්ත කළා. ඔවුන් තම ආගමික වත් පිළිවෙත් ක්‍රියාත්මක කළේ කොයි අයුරින්ද?

පියුරිටන්වරුන්ගේ නමස්කාරය

නුහුරු පරිසරයක පදිංචියට පැමිණි පියුරිටන්වරු තම ආගමික රැස්වීම් පැවැත්වූයේ ඉරිදා දිනයන්වලයි. ඔවුන්ගේ රැස්වීම් ශාලා තනා තිබුණේ ලීයෙන්. එම ශාලා යහපත් කාලගුණ තත්වයන්ට සුදුසුයි. නමුත් සීත කාලයට නම් ඔරොත්තු දුන්නේ නැහැ. එම ශාලා තුළ කිසි උණුසුමක් නොතිබුණ අතර රැස්වීමට පැමිණි අය ඊට සවන් දුන්නේ සීතලේ ගැහි ගැහීයි. දේශකයන් අත්වැසුම් පැළඳගෙනයි කතා ඉදිරිපත් කළේ.

පියුරිටන්වරු තම විශ්වාසයන් පදනම් කරගත්තේ ප්‍රංශ රෙපරමාදු භක්තිකයෙක් වූ ජොන් කැල්වින්ගේ ඉගැන්වීම් මතයි. ඔවුන් දෛවය වැනි ඉගැන්වීම් පිළිගත්තා. එය ගැලවීම ලැබෙන්නේ කාටද හා නිරයට යවන්නේ කාවද කියා දෙවි කලින්ම තීරණය කර තිබෙනවා යන විශ්වාසයයි. පුද්ගලයෙක් කුමක් කළත් දෙවිගෙන් ලැබූ තීරණය වෙනස් කිරීමට ඔහුට නොහැකියි කියාත් ඔවුන් විශ්වාස කළා.

කාලයක් යන විට පියුරිටන් දේවගැතියන් පසුතැවිලි වීමේ අවශ්‍යතාව ගැන දේශනා කළා. ඔවුන් කියා සිටියේ දෙවි දයානුකම්පිත වුණත් ඔහුගේ නීතිවලට අකීකරු වන අය කෙළින්ම ගිනි විලට නැතහොත් නිරයට යන බවයි. පූජකයන් මෙසේ දේශනා කළේ බියගන්වා හෝ මිනිසුන්ව පාලනය කරගැනීම සඳහායි. දහඅටවන සියවසේදී ජොනතන් එඩ්වඩ් නමැති දේවගැතිවරයා පව්කාරයන්ට දෙවිගෙන් ලැබෙන දැඩි දඬුවම් ගැන පැහැදිලි කිරීමක් කළා. එය අසා සිටි අය කොතරම් බියට පත් වුණාද යත් පූජකයන්ට ඔවුන්ව සනසවන්න සිදු වුණා.

වෙනත් ආගම්වල සිටි දේවගැතියන් මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දේශනා කළේ ජීවිත පරදුවට තබමිනුයි. වෙනත් ආගමකට අයත් දේවගැතිවරියක වූ මේරි ඩයර් එම ප්‍රදේශයේ දේශනා කළ විට එය නැවැත්වීමට පියුරිටන්වරු තුන් වතාවක් උත්සාහ කළා. නමුත් ඇය දිගටම ඇගේ සේවය කරගෙන ගියා. වර්ෂ 1660 ජූනි මස පළමු දින බොස්ටන් නගරයේදී පියුරිටන්වරු ඇයව එල්ලා මැරුවා. ෆිලිප් රැට්ක්ලිෆ් නමැති දේවගැතිවරයාට පියුරිටන්වරු ඔවුන්ගේ විරුද්ධවාදීන්ට කළ දේ අමතක වූ ආකාරයකුයි පෙනෙන්න තිබෙන්නේ. ඔහු ආණ්ඩුවට සහ පියුරිටන් සභාවට විරුද්ධව කතා කළ නිසා ඔවුන් ඔහුට කසයෙන් තළා දඩ ගැසුවා. යළි කිසිදා එම දඬුවම ඔහුට අමතක නොවෙන්න ඔහුගේ කන් දෙකද කපා දැමුවා. පියුරිටන්වරුන්ගේ මෙවැනි දැඩි ක්‍රියා කලාප නිසා පුද්ගලයන් බොහෝදෙනෙක් මැසචුසෙට්ස් නගරයෙන් පලා ගොස් වෙනත් ප්‍රදේශවල පදිංචි වුණා. මෙය වෙනත් ජනපද බිහිවීමට මඟ පෑදුවා.

විනාශයට මුල උඩඟුකමයි

පියුරිටන්වරු සිතුවේ ඔවුන් දෙවි “තෝරාගෙන” තිබෙන විශේෂ සෙනඟක් කියලා. එමනිසා පියුරිටන්වරුන්ගෙන් බොහෝදෙනෙක් ප්‍රදේශයේ මුල් වැසියන්ව සැලකුවේ පහත් අය හැටියටයි. මෙම ආකල්පය ගැටුමකට මඟ පෑදූ අතර පියුරිටන්වරුන්ට විරුද්ධව ප්‍රහාරයන් දියත් කිරීමට මුල් ආදි වාසීන්ගෙන් සමහරෙකු පෙලඹුණා. මේ හේතුව නිසා පියුරිටන් සභාවේ නායකයන් තම නමස්කාරකයන්ට පූජාවට පැමිණෙන විට තුවක්කු රැගෙන ඒමට අවසර දුන්නා. ගැටුම්කාරී තත්වය උග්‍ර වුණේ 1675දීයි.

රතු ඉන්දියානු නායකයෙක් වූ ෆිලිප් රජට පෙනී ගියේ තම රට වැසියන්ට දේශය අහිමි වෙන බවයි. ඔහු පියුරිටන්වරුන්ගේ දේපළ කොල්ලකමින් ඔවුන්ගේ ගෙවල් දොරවල් පුලුස්සා දැමුවා. ඒ වගේම පියුරිටන්වරුන් හුඟදෙනෙකුවත් මරා දැමුවා. පියුරිටන්වරුන්ද පළි ගත් අතර ගැටුම මාස ගණනාවක් පුරා ඇදී ගියා. වර්ෂ 1676 අගෝස්තු මාසයේ රෝඩ් දූපතේ සිටි ෆිලිප් රජුව පියුරිටන්වරු අල්ලාගත්තා. ඔවුන් ඔහුගේ හිස කපා දමා ශරීරය හතරට පැලුවා. මෙයින් ෆිලිප් රජු ගෙන ගිය යුද්ධය අවසන් වූ අතර නිව් ඉංග්ලන්ඩ් පළාතේ ආදි වාසීන්ට තම නිදහසද අහිමි වුණා.

දහඅටවන සියවසේදී පියුරිටන්වරු තවත් පියවරක් ගනු ලැබුවා. ඒ දේශපාලනික නිදහසක් ලබාගැනීම සඳහායි. මැසචුසෙට්ස්හි සිටි සමහර දේවගැතියන් එංගලන්ත ආණ්ඩුවේ පාලනය ප්‍රතික්ෂේප කළා. ඔවුන් නිදහස් ආණ්ඩු ක්‍රමයක් සඳහා කළ සාකච්ඡාවලදී ආගම හා දේශපාලනය එකට මුසු කළා.

පියුරිටන්වරු උත්සාහවන්ත, අවංක, ආගමට ලැදි අය හැටියට ප්‍රසිද්ධියක් ඉසිලුවා. තවමත් මිනිසුන් ඔවුන්ගේ අවංකකම ගැන ප්‍රශංසා කරනවා. නමුත් අවංක වූ පමණින් කෙනෙකු පරිශුද්ධ නමස්කාරයේ යෙදෙනවා කියා පැවසිය නොහැකියි. මන්ද එවැනි නමස්කාරයකට නිවැරදි ඉගැන්වීම් ඇතුළත් විය යුතුයි. ආගම දේශපාලනය සමඟ සම්බන්ධ වීම යේසුස් ප්‍රතික්ෂේප කළ දෙයක්. (යොහන් 6:15; 18:36) ඒ වගේම “ප්‍රේම නොකරන්නා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමයය” යන පරම සත්‍යයට හාත්පසින්ම විරුද්ධ දෙයක් තමයි කෲර ලෙස කටයුතු කිරීම.—1 යොහන් 4:8.

ඔබ අදහන ආගමේ ගිනි විල හෝ නිරය, දෛවය හෝ බයිබලයට පටහැනි වෙනත් දෙයක් උගන්වනවාද? ඔබේ ආගමේ නායකයන් දේශපාලන කටයුතුවල නිරත වෙනවාද? දෙවිගේ වචනය වන බයිබලය හොඳින් අධ්‍යයනය කිරීමෙන් දෙවි ඇත්තටම පිළිගන්න “පිරිසිදු වූ, දූෂ්‍ය නොවූ නමස්කාර පිළිවෙත” කුමක්ද කියා ඔබට දැනගත හැකියි.—යාකොබ් 1:27.

[13වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පියුරිටන්වරු සහ නිරය

පියුරිටන්වරුන්ගේ නිරය පිළිබඳ ඉගැන්වීම බයිබලයේ තිබෙන සත්‍යයට පටහැනි දෙයක්. බයිබලයේ සඳහන් වන්නේ මිය ගිය අය කිසිම දෙයක් නොදන්නා බවයි. ඒ වගේම ඔවුන්ට කිසිම වේදනාවක් හෝ සතුටක් හෝ දැනෙන්නේ නැති බවයි. (දේශනාකාරයා 9:5, 10) තවද මනුෂ්‍යයන්ට වද හිංසා කිරීම දෙවිට සිතාගන්නවත් බැරි දෙයක්. (යෙරෙමියා 19:5 1 යොහන් 4:8.) තම වැරදි මාර්ග අත් හරින ලෙස මනුෂ්‍යයන්ගෙන් ඔහු බැගෑපත්ව ඉල්ලා සිටින අතර පසුතැවිලි නොවන වැරදිකරුවෙකුට පවා ඔහු අමානුෂික ලෙස සලකන්නේ නැහැ. (එසකියෙල් 33:11) ඒත් පියුරිටන්වරු ඉගැන්වූයේ දෙවි කෲර, පළිගන්න කෙනෙකු කියායි. එමෙන්ම ඔවුන් අන් අයගේ ජීවිත ගැනද සැලකිලිමත් වුණේ නැහැ. ඔවුන්තමන්ට විරුද්ධ වෙන අයව ප්‍රචණ්ඩත්වයෙන් හෝ නිහඬ කළා.

[10වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1620දී වන්දනාකරුවෝ උතුරු අමෙරිකාවට ගොඩබැස්සා

[හිමිකම් විස්තර]

Harper’s Encyclopædia of United States History

[12වන පිටුවේ පින්තූරය]

පළමුවෙනි ස්තුති දීමේ උත්සවය සැමරුවේ 1621දීයි

[12වන පිටුවේ පින්තූරය]

මැසචුසෙට්ස්හි පිහිටි පියුරිටන්වරුන්ගේ රැස්වීම් ශාලාවක්

[12වන පිටුවේ පින්තූරය]

ජොන් කැල්වින්

[12වන පිටුවේ පින්තූරය]

ජොනතන් එඩ්වඩ්ස්

[13වන පිටුවේ පින්තූරය]

අවි රැගෙන පල්ලියට යන යුවළක්

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Library of Congress, Prints & Photographs Division

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top left: Snark/Art Resource, NY; top right: Harper’s Encyclopædia of United States History; John Calvin: Portrait in Paul Henry’s Life of Calvin, from the book The History of Protestantism (Vol. II); Jonathan Edwards: Dictionary of American Portraits/Dover

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photos: North Wind Picture Archives