Skip to content

පටුනට යන්න

එංගලන්තයට අමිල නිධානයක් වූ “තේම්ස් නදිය”

එංගලන්තයට අමිල නිධානයක් වූ “තේම්ස් නදිය”

එංගලන්තයට අමිල නිධානයක් වූ “තේම්ස් නදිය”

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

ලන්ඩනයේ වැසියන් ආදි පියා ලෙස හඳුන්වන තේම්ස් නදියේ දිවි මඟ ඇරඹෙන්නේ දකුණු එංගලන්තයේ මධ්‍යම කඳුකරයෙන්. කොට්ස්වෝල්ඩ් නමැති ඉතාමත් සුන්දර කඳුකර ප්‍රදේශයේ දිය උල්පත් හතරකින් තමයි තේම්ස් නදිය පෝෂණය වෙන්නේ. රිද්මයක් නැති ගමන් මඟක යෙදෙන තේම්ස් නදිය නැඟෙනහිර දෙසට ගලා යන්නේ තවත් ගංගාවන් හා එක් වෙමිනුයි. කිලෝමීටර් 350ක දුරක් ගෙවා උතුරු මුහුදට ගලා බසින්නේ කිලෝමීටර් 29ක පළල මෝය කටින්. මෙම නදිය එංගලන්තයට අමිල නිධානයක් ලෙස සලකන්නේ මන්ද කියා බලමු.

ක්‍රිස්තු පූර්ව 55දී පමණ ජූලියස් සීසර් පළමු වතාවට එංගලන්තය ආක්‍රමණය කිරීමට උත්සාහ දැරුවා. ඊළඟ වසරේ නැවත පැමිණියත් ඔහුගේ අරමුණ ඉටු කරගැනීමට එංගලන්තයේ තිබූ නදියක් ඔහුට බාධා කළා. ඔහු එම නදිය නම් කළේ ටැමිසිස් යනුවෙන්. දැන් එය හඳුන්වන්නේ තේම්ස් නදිය කියායි. ඉන් වසර 90කට පසුව රෝම අධිරාජ්‍යයෙක් වූ ක්ලෝඩියස් විසින් එංගලන්තය ආක්‍රමණය කළා.

එවකට තේම්ස් නදිය දෙපස තිබුණේ මඩ වගුරු. නදිය මෝය කටින් මුහුදට ගලා බැසීමට කිලෝමීටර් 50ක් පමණ දුරින් රෝම හමුදාව ලී පාලමක්ද උතුරු ඉවුරේ වරායක්ද තැනුවා. එම වරාය ලොන්ඩිනියම් කියා ඔවුන් හඳුන්වනු ලැබුවා. *

ඉන්පසු ගත වූ සියවස් හතර පුරා රෝමවරු යුරෝපයේ වෙනත් රටවල් සමඟ වෙළඳ කටයුතුවල නිරත වූ අතර මධ්‍යධරණී දේශවලින් වටිනා ද්‍රව්‍ය ආනයනය කළා. ලෙබනනයෙන් දැව වර්ග පවා ආනයනය කළා. ලන්ඩනයට එංගලන්තයේ වෙනත් පැතිවලිනුත් බඩු ගෙන්වීමට ප්‍රවාහණ මාධ්‍ය වූයේ තේම්ස් නදියයි. මේ හේතුව නිසාත් ප්‍රධාන මං මාවත් නිසාත් ලන්ඩනය ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වුණා.

විලියම් රජුගේ පාලනය

ක්‍රිස්තු වර්ෂ 410දී රෝම අධිරාජ්‍යය බිඳ වැටුණු පසු රෝම හමුදාව බ්‍රිතාන්‍ය අත්හැර ගියා. ලන්ඩනය පාලු නගරයක් බවට පත් වූ අතර තේම්ස් නදිය ප්‍රධාන ප්‍රවාහණ මාධ්‍යයක් ලෙස යොදාගනිමින් කළ වෙළඳ කටයුතුද අඩාළ වුණා. එතැන් පටන් ඉංග්‍රීසි ජාතික රජවරුන් පාලනය කළා. ඔවුන් තම ආධිපත්‍යය දියත් කරමින් සිටියේ ලන්ඩනයට කිලෝමීටර් 19ක් එහායින් පිහිටි කිංස්ටන් නගරයේ සිටයි. එකොළොස්වන සියවසේදී ප්‍රංශයේ නෝමන්ඩි නගරයේ රජෙක් එංගලන්තය යටත් කරගත්තා. වර්ෂ 1066දී ඔහු වෙස්ට්මින්ස්ටර් නගරයේ සිට තම බලය ක්‍රියාත්මක කළා. ලන්ඩනය තම බලය යටතට ගැනීමටත්, වෙළඳ කටයුතු නැවත ඇරඹීමටත්, වරායට පිවිසුම් මාර්ගය පාලනය කිරීමටත් ඔහු ලන්ඩනයේ බලකොටුවක් තැනුවා. මේ නිසා නැවත ලන්ඩනයේ වෙළඳ කටයුතු දියුණු වූ අතර ජනගහනය 30,000ක් දක්වා වර්ධනය වුණා.

විලියම් රජ ලන්ඩනයේ සිට කිලෝමීටර් 35ක් පමණ බටහිර දෙසින් පිහිටි කුඩා කඳු වැටියක් මත තවත් බලකොටුවක් තැනුවා. වර්තමානයේ එම ප්‍රදේශය හඳුන්වන්නේ වින්ඩ්සර් ලෙසයි. එම ස්ථානයේ සිට ඕනෑම කෙනෙකුට තේම්ස් නදිය හොඳින් දැකගත හැකියි. මෙම රාජකීය වින්ඩ්සර් බලකොටුවට නොයෙකුත් අමතර අංග ඇතුළත් කළ අතර අලුත්වැඩියාවන්ද සිදු කළා. තවමත් මෙය බ්‍රිතාන්‍යයේ සංචාරයේ යෙදෙන අයගේ වඩාත් සිත් ඇදගන්නා ස්ථානයන්ගෙන් එකක් ලෙසට ගණන් ගැනෙනවා.

යුරෝපයේ පළමු ගල් පාලම තැනුවේ ලන්ඩනයේ තේම්ස් නදිය හරහායි. ඒ 1209දීයි. එම පාලම තැනීමට අවුරුදු 30ක් ගත වුණා. මෙය නිකම්ම පාලමක් විතරක් නෙමෙයි සාප්පු, ගෙවල් සහ දේවස්ථානයක්ද එහි තිබුණා. ඊට දකුණින් ආරක්ෂාව සඳහා ඇරෙන වැහෙන පාලම් දෙකක් සහ බලකොටුවක් තිබුණා.

වර්ෂ 1167ත් 1216ත් අතර කාලය තුළ එංගලන්තය පාලනය කළ ජෝන් රජු 1215දී ගිවිසුමක් අත්සන් කළේ තේම්ස් නදිය අසල පිහිටි රනිමේඩ් නගරයේදීයි. එය තිබෙන්නේ වින්ඩ්සර් නගරයට නුදුරින්. මෙම ගිවිසුම තුළ එංගලන්ත වැසියන්ගේ නිදහස විතරක් නෙමෙයි ලන්ඩන් නගරයේ නිදහස ගැනත් එහි වෙළඳ හා වරාය කටයුතු පිළිබඳවත් යම් නිදහස් ප්‍රතිපත්ති ඇතුළත් කළා.

සෞභාග්‍ය ළඟා කළ තේම්ස් නදිය

ගත වූ සියවස් ගණනාව තුළ වෙළඳ කටයුතු දියුණු වුණා. වෙළඳාම දියුණු වන විට පහසුකම් ප්‍රමාණවත් වුණේ නැහැ. අවුරුදු 200ට පෙර තේම්ස් නදියේ වරාය තුළ නැව් 600කට පමණයි ඉඩ කඩ තිබුණේ. නමුත් බඩු බෑම සඳහා නැව් 1,775කට වැඩි ප්‍රමාණයකට තම වාරය එනතුරු බලාගෙන ඉන්න සිදු වුණා. නැව් වරායට සේන්දු වීමේදී ඇති වන තදබදය මුහුදු කොල්ලකරුවන්ට වාසියක් වුණා. වරායේ නවතා තිබෙන නැව්වලට රාත්‍රි කාලයේදී මුහුදු මංකොල්ලකරුවන් පැන බඩු සොරාගත්තා. මෙසේ නැව්වලින් සොරාගත් බඩු කුඩා බෝට්ටුවල පටවාගෙන නදිය දිගේ වෙනත් ස්ථානවලට ගෙන ගොස් වෙළඳාම් කිරීම ජීවන මාර්ගයක් බවට පත් වුණා. මෙම ගැටලුව මැඩලීමට විශේෂ පොලිස් බලකායක් ලෝකයේ පළමු වතාවට ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. එය අදටත් ක්‍රියාත්මක වෙනවා.

වරාය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟුණා. එමනිසා 19වන සියවසේදී එංගලන්ත පාර්ලිමේන්තුව විසින් තටාක විශාල ප්‍රමාණයකින් යුත් වරායක් ඉදි කිරීම සඳහා අනුමැතිය දුන්නා. එම වරාය ඉදි කිරීමට නදියේ දෙපස පස් ඉවත් කරමින් වරායේ ඉඩ කඩ පුළුල් කළා. වර්ෂ 1800 මුල් කාලයේදී සරේ වෙළඳ නැව් තටාකය, ලන්ඩන් නැව් තටාකය හා වෙස්ට් සහ ඊස්ට් ඉන්ඩියා නැව් තටාකය තනා නිම කළා. පසුව 1855දී රාජකීය වික්ටෝරියා තටාකයත් 1880දී රාජකීය ඇල්බට් තටාකයත් නිම කළා.

වර්ෂ 1840දී ලෝකයේ පළමු දිය යටින් යන උමං මාර්ගය තැනුවා. එය තේම්ස් නදිය හරහා තනනු ලැබුවේ එකම පවුලේ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන මාක් සහ ඉසම්බාඩ් කේ. බෘනෙල් විසින්. මෙය දිගින් මීටර් 459ක් වූ අතර තවමත් ලන්ඩනයේ දුම්රිය සේවය සඳහා භාවිතයට ගන්නවා. සංචාරකයන්ව ආකර්ෂණය කරන තවත් ස්ථානයක් තමයි ටවර් පාලම. එය තනනු ලැබුවේ 1894දීයි. පාලමේ දෙපැත්තේ කුළුණු දෙකක් තිබූ අතර පාලම ඉහළට එසවිය හැකි නිසා විශාල නැව්වලට පවා කිසිම බාධාවකින් තොරව යාත්‍රා කරන්න හැකි වුණා. ඔබ පඩි 300ක් නැග්ගොත් පාලමට උඩින් දිවෙන පටු පාරේ සිට නදියේ සුන්දරත්වය තවත් හොඳින් බලාගැනීමට ඔබට හැකියි.

විසිවන සියවස වන විට වෙළඳ කටයුතු සිදු කළ විශාල දුම් නැව් පවා ලන්ඩන් වරායේ නැවැත්වීමට හැකි වුණා. වර්ෂ 1921දී තමයි එහි අවසන් තටාකය තැනුවේ. එය නම් කළේ පස්වන ජෝර්ජ් රජ යනුවෙන්. එවකට “ලෝකයේ විශාලතම හා ධනවත්ම වරාය” ලෙස නම් කෙරුවේ ලන්ඩනයේ වරායයි.

රාජකීයයන්ගේ ජීවිත හා බැඳුණ තේම්ස් නදිය

ලන්ඩනය සංවර්ධනය වෙන අවධියේ මහා මාර්ග තිබුණේ අබල දුබල තත්වයේ. ශීත කාලයේදී එම මාර්ගවල ගමනාගමනය ඉතාමත් දුෂ්කරයි. එමනිසා පහසු හා ඉක්මන් ගමන් මාර්ගය ලෙසට භාවිත කළේ තේම්ස් නදියයි. මෙය අවුරුදු කිහිපයක් යන තුරු ප්‍රධාන ගමනාගමන මාධ්‍යය හැටියට භාවිත කළා. මහජනයා නිතර නදිය දෙපස රැස් වන විට බෝට්ටුකරුවන් කෑ කෝ ගසමින් ඔවුන්ව බෝට්ටුවල නග්ගගත්තා. එදා ඔවුන් යාත්‍රා කළ සමහර ඇල මාර්ග දැන් ලන්ඩනයේ ප්‍රධාන වීථි බවට පත් වෙලා. ෆ්ලීට් හා වෝල්බෲක් මීට නිදසුන් ලෙස දැක්විය හැකියි.

තේම්ස් නදිය අසල රාජකීය මාලිගා හා සුවිසල් මන්දිර ගොඩනඟා තිබුණා. මේ නිසා ලන්ඩන් නගරයේ පෙනුමත් වැනිසිය මෙන් වුණා. මීට හේතුව රාජකීය පවුල්වල අය තේම්ස් නදිය අසල ජීවත් වීමට වැඩි මනාපයක් දැක්වීමයි. ග්‍රිනිච්, වයිට්හෝල් හා වෙස්ට්මින්ස්ටර් වැනි රාජකීය මන්දිර මීට උදාහරණ ලෙස දැක්විය හැකියි. එංගලන්තයේ රජවරුන්ගේ හා රැජිනියන්ගේ නිවස වුණේ හැම්ටන් මාලිගාවයි. ඒ වගේම වින්ඩ්සර් මාලිගය තවමත් රාජකීය මන්දිරය හැටියට භාවිත කරනවා.

වර්ෂ 1717දී පළමුවෙනි ජෝර්ජ් රජ බෝට්ටු සවාරියක් ගියා. එම අවස්ථාව සඳහා සංගීතඥයෙක් වූ ජෝර්ජ් ෆ්‍රිඩ්රික් හැන්ඩල් විශේෂ සංගීත කාණ්ඩයක් රචනා කළා. රජුගේ පාරුව සමඟ “බෝට්ටු විශාල සංඛ්‍යාවක් යාත්‍රා කළ නිසා මුළු නදියම බෝට්ටුවලින් වැසී ගියා කියා” එක් පුවත්පත් වාර්තාකරුවෙක් වාර්තා කළා. රජු යාත්‍රා කළේ චෙල්සි සිට වෙස්ට්මින්ස්ටර් දක්වායි. ඒ අතර කිලෝමීටර් 8ක දුර ප්‍රමාණයක් තිබුණා. රජුගේ පාරුවට එහායින් යාත්‍රා කළ පාරුවේ සිටි සංගීතකරුවන් 50දෙනෙක් පමණ හැන්ඩල් රචනා කළ සංගීත කාණ්ඩය තුන් වතාවක් එම ගමන අතරවාරයේදී වාදනය කළා.

විනෝදය හා විවේකය ගෙන දුන් නදිය

වර්ෂ 1740දී වෙස්ට්මින්ස්ටර් පාලම තනන තුරු තේම්ස් නදිය හරහා තිබූ එකම පාලම වූයේ ලන්ඩන් පාලමයි. ප්‍රතිසංස්කරණයට ලක් වූ ලන්ඩන් පාලම නැවත 1820දී භාවිතයට ගැනුණා. ලන්ඩන් පාලම මුලින් තනන විට දමනු ලැබූ ආරුක්කු 19, නිදහසේ ගලා ගිය ජලධාරාවට බාධා කළා. ප්‍රතිඵලයක් වශයෙන් පාලම තැනීමෙන් ගත වූ අවුරුදු 600ක කාලය තුළ අඩු තරමින් අට වතාවක් හෝ තේම්ස් නදියේ ජල කඳ මිදී තිබෙනවා. මෙසේ ජලය මිදෙන කාලයට ජල කඳ මත විශාල සල්පිල් පැවැත්වුවා. නොයෙකුත් ක්‍රීඩා උත්සවද පැවැත්වුවා. රාජකීය පවුල්වල උදවිය පුළුස්සන ලද ගොන්නු ආහාරයට ගන්නා ආකාරයත් දැකගැනීමට හැකි වුණා. “තේම්ස් නදියේ සල්පිලෙන් මිල දී ගත්තා” යනුවෙන් ලේබල් කරන ලද පොත් හා සෙල්ලම් බඩුද විකුණනු ලැබුවා. නදියේ අයිස් මත තාවකාලිකව තිබූ මුද්‍රණාලවලින් ප්‍රවෘත්ති පත්‍ර හා යාච්ඤා පවා මුද්‍රණය කරනු ලැබුවා!

අදදින ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මගින් වාර්ෂික බෝට්ටු තරඟ පවත්වනවා. මෙම තරඟය පැවැත්වෙන්නේ පට්නේ හා මොට්ලේක් යන නගර දෙක අතරයි. ඊට අයත් වන දුර ප්‍රමාණය කිලෝමීටර් හතකට වඩා අඩුයි. විනාඩි 20ටත් වඩා අඩු කාලයකින් එම දුර නිම කළ හැකියි. තරඟයට සහභාගි වන එක් බෝට්ටුවක අටදෙනෙකු සිටින අතර තරඟකරුවන් තරඟ වදින විට අත් පොළසන් දීමට නදිය දෙපස සෙනඟ රැස් වෙනවා. එම තරඟ මුලින්ම පැවැත්වූයේ 1829දී හෙන්ලි නගරයේයි. පසුව එම තරඟය වෙනත් ප්‍රදේශයකට ගෙන ගිය විට හෙන්ලි නගරයේ වෙනම තරඟයක් පැවැත්වුවා. එය තමයි යුරෝපයේ ඇති පැරණිතම හා ප්‍රසිද්ධම බෝට්ටු තරඟය. ලොව වටා සිටින තරඟකරුවන් හා තරඟකාරියන් හුඟදෙනෙකු මෙම තරඟයට සහභාභි වන අතර මීටර් 1,600ක් පමණ ඊට ඇතුළත් වෙනවා. මෙම තරඟය දැන් ලොව සුප්‍රසිද්ධ බෝට්ටු තරඟය බවට පත් වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ මාර්ග උපදේශකයෙක් තේම්ස් නදිය ගැන මෙසේ පැවසුවා. “මේ නදිය එංගලන්තයේ පිටිසර පළාත්, කඳු මිටියාවත්, වනවදුලු, ලස්සන කුඩා ගම්මාන හා නගර හරහා ගලා යනවා. . . . එහෙත් විශාල දුරක් යන තුරු නදිය දෙපස මහා මාර්ගයක් නැහැ. කුඩා අඩි පාරක් තමයි තිබෙන්නේ. යම් කෙනෙක් වාහනයකින් යන විට නදිය නගර හරහා හා මහා මාර්ග අසලින් ගලා යන විදිහත් දැකගන්න පුළුවන්. නමුත් නියම සුන්දරත්වය විඳගන්න පුළුවන් වෙන්නේ බෝට්ටුකින් හෝ පයින් ගියොත් විතරයි.”

ඔබට එංගලන්තයේ සංචාරයක යෙදෙන්න අදහසක් තිබෙනවාද? අවස්ථාවක් ලැබුණොත් තේම්ස් නදිය බලන්නත් එහි වතගොත විමසන්නත් අමතක කරන්න එපා. තේම්ස් නදිය ඇරඹෙන ස්ථානයේ සිට මුහුදට ගලා බසින තුරු දැකගන්න හා ඉගෙනගන්න තිබෙන දේ බොහොමයි. ඇත්තෙන්ම සුන්දරත්වය දෝත දරාගත් තේම්ස් නදිය අමිල නිධානයක් කියා හැඳින්විය හැකියි.

[පාදසටහන]

^ 5 ඡේ. ලන්ඩන් යන වචනයට ලතින් භාෂාවෙන් කියන්නේ ලොන්ඩිනියම් කියලා. සමහරවිට මෙම වචන දෙකම රැගෙන තිබෙන්නේ ‘විල උඩ නගරය’ යන අරුත් දෙන ලින් හා ඩින් යන කෙල්ටික් භාෂාවේ වචන දෙකකින්.

[27වන පිටුවේ කොටුව]

තේම්ස් නදිය අලළා ගෙතූ පොත්

ඉංග්‍රීසි ජාතික ගත් කතුවරයෙක් වන ජෙරොම් කේ. ජෙරොම් පොතක් රචනා කළා. (එම පොත Three Men in a Boat) එහි කතා වස්තුව වී තිබෙන්නේ යාළුවෝ තුන්දෙනෙක් තම සුනඛ සුරතලා සමඟ හැම්ටන් නගරයේ සිට ඔක්ස්ෆර්ඩ් දක්වා තේම්ස් නදිය හරහා ගිය සවාරියක්. වර්ෂ 1889දී ලියනු ලැබූ එම පොත විවිධ භාෂාවන්ට පරිවර්තනය කර තිබෙනවා. එය “සම්භාව්‍ය ගණයේ හාස්‍ය උපදවන ග්‍රන්ථයක්” ලෙසට තවමත් ජනප්‍රියයි.

තේම්ස් නදිය අසල නගරයක් වූ පැංබන්හි ජීවත් වූ කෙනත් ග්‍රැහැම් නම් කතුවරයා බාල මහලු කොයි කාටත් කියවා රස විඳිය හැකි පොතක් ලිව්වා. (එම පොත The Wind in the Willows) ඔහු එය ලියා අවසන් කළේ 1908දීයි. එය නදිය අසබඩ ජීවත් වූ සතුන් ගැන ලියැවුණු ප්‍රබන්ධ කථාවක්.

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රජෙකුට හිස නොනැමූ තේම්ස් නදිය

දාහත්වන සියවසේ මුල් කාලයේදී පාලනය කළ පළමු ජේම්ස් රජු ලන්ඩනයේ නගරාධිපතිගෙන් පවුම් 20,000ක් ඉල්ලා සිටියා. නගරාධිපති ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විට රජු ඔහුට තර්ජනය කරමින් මෙසේ පැවසුවා. “මම නගරය නැත්තටම නැති කරනවා. ලන්ඩනයේ තිබෙන උසාවිය, මාලිගාව, පාර්ලිමේන්තුව වින්චෙස්ට හෝ ඔක්ස්ෆර්ඩ් නගරයට රැගෙන යනවා. වෙස්ට්මින්ස්ටර් මාලිගාව මිනිස් පුලුටක්වත් නැති පාළු කාන්තාරයක් කරනවා. එවිට ලන්ඩන් නගරය කොයි වගේ වෙයිද කියලා හිතලා බලන්න!” මෙයට නගරාධිපති දුන් පිළිතුර මෙයයි. “ඒත් ලන්ඩනයේ වෙළඳාම් කරන අයට එක සැනසිල්ලක් තියෙනවා. මගේ රජ්ජුරුවෙනි, ඔබට බැහැ තේම්ස් නදිය කොහේවත් ගෙනියන්න.”

[හිමිකම් විස්තර]

From the book Ridpath’s History of the World (Vol. VI)

[24වන පිටුවේ සිතියම]

එංගලන්තය

ලන්ඩන් නුවර

තේම්ස් නදිය

[හිමිකම් විස්තර]

Map: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[25වන පිටුවේ පින්තූරය]

න්ඩනයේ වෙස්ට්මින්ස්ටර්හි ඔරලෝසු කණුව හා පාර්ලිමේන්තුව

[25වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1756දී ගලින් තැනූ ලන්ඩන් පාලම

[හිමිකම් විස්තර]

From the book Old and New London: A Narrative of Its History, Its People, and Its Places (Vol. II)

[26වන පිටුවේ පින්තූරය]

මෙම 1803 කැටයමින් පෙන්වන්නේ තේම්ස් නදිය සහ ලන්ඩන් වරායේ නවතා තිබෙන විශාල නැව් සංඛ්‍යාවයි

[හිමිකම් විස්තර]

Corporation of London, London Metropolitan Archive

[26, 27වන පිටුවේ පින්තූරය]

මෙම 1683 කැටයමින් පෙන්වන්නේ මිදුණු දිය මත තිබුණු සල්පිලක්

[හිමිකම් විස්තර]

From the book Old and New London: A Narrative of Its History, Its People, and Its Places (Vol. III)