Skip to content

පටුනට යන්න

කෘත්‍රිම අත් පා නිමැවෙන අයුරු

කෘත්‍රිම අත් පා නිමැවෙන අයුරු

කෘත්‍රිම අත් පා නිමැවෙන අයුරු

නවසීලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

මම නවසීලන්තයේ වෙලිංටන් නගරයේ තිබෙන කෘත්‍රිම අත් පා නිෂ්පාදන මධ්‍යස්ථානයට ගියේ හේතු දෙකක් නිසයි. එක හේතුවක් මගේ කෘත්‍රිම පාදය අලුත්වැඩියා කරගන්න. අනෙක මට ඕනේ වුණා කෘත්‍රිම පාද හදන විදිහ ගැන අවබෝධයක් ලබාගන්න.

මෙම මධ්‍යස්ථානය දැකබලා ගැනීමට මම කළ ඉල්ලීම කෘත්‍රිම පාදය සවි කළ මගේ වෛද්‍යවරයා පිළිගත්තා. මෙය ඉතාමත් වැදගත් බැහැදැකීමක්. මෙයින් කෘත්‍රිම පාදයක් නිපදවන විදිහ ගැන අවබෝධයක් වගේම ඒ ක්ෂේත්‍රයේ සිටින අයගේ කැපවීම හා වෙහෙස අගය කරන්නත් මට හැකි වුණා.

කෘත්‍රිම පාදයක් නිපදවන්නේ කොහොමද?

මෙම ස්ථානයට හුඟාක් රෝගීන් එන්නේ කෘත්‍රිම පාදයක් දාගන්න. මේ සඳහා නිෂ්පාදකයා මුලින්ම කරන්නේ රෝගියාගේ සුව වී තිබෙන කකුලේ ඉතිරි කොටසට විශේෂ බදාමයක් දමා එම කොටසේ අච්චුවක් නිපදවාගැනීමයි. දැන් එම අච්චුව යොදාගෙන ආකෘතියක් සාදනවා. රෝගියාගේ කෘත්‍රිම පාදය සවි කිරීමට අවශ්‍ය කොපුව සාදන්නේ මෙම ආකෘතිය යොදාගෙනයි. ආකෘතියක් සාදාගැනීමට දැන් නවීන පරිගණක තාක්ෂණයත් උපයෝගි කරගන්නවා. පරිගණක යොදාගනිමින් කකුලේ ඉතිරි වී තිබෙන කොටසේ ප්‍රමාණය හරියාකාරව මැනගන්නවා. ඉන්පසු එම කොටසට සමාන ආකෘතියක් පරිගණකය මගින් නිර්මාණය කරනවා.

මධ්‍යස්ථානයේ ඇති නවීන තාක්ෂණික උපක්‍රම නැරඹූ පසු ආනයනය කරන ලද කෘත්‍රිම අවයව මට පෙන්නුවා. ඒවායින් එකකට මගේ හිත ඇදිලා ගියා. එම කෘත්‍රිම දණහිස සාදා තිබුණේ විශේෂ ප්ලාස්ටික් වර්ගයකින්. ඒ වගේම රෝගියාට පාදය පහසුවෙන් නැමීමට හා දිග හැරීමට හැකි වෙන පරිදි ඒ තුළ ද්‍රාවණයක් අඩංගු කර තිබුණා. මෙවැනි අවයව ගැන සවිස්තර තොරතුරු දැන් බොහෝ ස්ථානවලින් ලබාගන්න පුළුවන්.

කෘත්‍රිම පාදය නිෂ්පාදනයේ අවසන් අදියර තුළදී කොපුව, දණහිස, සම හා පාදයේ අඩිය යම් සකස් කිරීම්වලට ලක් කරනු ලබන්නේ රෝගියාට පහසුවෙන් ඇවිදීමටයි. ඉන්පසු සැකිල්ලක් ආකාරයට තිබෙන කෘත්‍රිම පාදයට පිට ආවරණයක් තනා හැකි තරම් දුරට රෝගියාගේ ඇත්ත පාදයට සමාන පෙනුමක් ලබා දීමට උත්සාහ කරනවා.

රෝගියාට කෘත්‍රිම පාදය හුරු වූ පසු කෘත්‍රිම අවයව තනන ස්ථානයේදීම වෛද්‍යවරයෙක්ව මුණගැසීමට සලස්වනවා. වෛද්‍යවරයාගේ උපදෙස්වලට අනුව එම කෘත්‍රිම පාදය තවදුරටත් යම් වෙනස්කම්වලට ලක් කිරීමට අවශ්‍ය නම් එය සිදු කර එම පාදයෙන් නිසි ප්‍රයෝජන නෙළාගැනීමට ඉඩ සලසා දෙනවා.

ළමා රෝගීන් සහ මලල ක්‍රීඩකයන්

මධ්‍යස්ථානය වටා යන අතර මම දැක්කා පුංචි දැරියක්. ඒ දැරිය අපට කෘත්‍රිම පාදය පෙන්වන්න ලැජ්ජා වුණේ නැහැ. මම දැක්කා ඇය කිසිම ගානක් නැතුව පැන පැන යනවා.

දරුවන්ටත් විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා මගේ වෛද්‍යවරයා කිව්වා. ඔහු චූටි දරුවෙකුට සවි කළ හැකි කෘත්‍රිම අතක් මට පෙන්නුවා. එම අත මාස හයක දරුවෙකුට සාදා තිබෙන එකක්. පුංචි කාලේදීම කෘත්‍රිම අත පාවිච්චි කරන්න පුරුදු වෙන්න අවශ්‍යයි කියා ඔහු කිව්වා. නැත්නම් දරුවා පුරුදු වෙන්නේ තනි අතින් කටයුතු කරන්නයි. උස් මහත් වූ පසු කෘත්‍රිම අතකට පුරුදු වෙන්න අපහසුයි.

මෑතකදී යුරෝපයේ සමාගමක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වූ ආබාධිතයන්ගේ ඔලිම්පික් තරඟයට සහභාගි වන අය සඳහා නොමිලයේ කෘත්‍රිම අවයව තොගයක් ලබා දුන්නා. ක්‍රීඩකයන්ට මේවා පාවිච්චි කරන ආකාරය කියා දීම සඳහා විශේෂ වෛද්‍යවරුන් පිරිසක්ද සිටියා. මෙයින් සමහර වෛද්‍යවරුන් නවසීලන්තයෙන් පැමිණි අයයි.

සමහර කෘත්‍රිම අවයව සකස් කර තිබෙන්නේ මලල ක්‍රීඩකයන් සඳහායි. මට පෙන්නුවා විශේෂයෙන් සකසා තිබූ කෘත්‍රිම පාදයක් හා වළලුකරක්. මෙය ස්වාභාවික විදිහටම ක්‍රියා කළ හැකියි.

නවීන තාක්ෂණික දියුණුව

නව තාක්ෂණික දියුණුව මෙම ක්ෂේත්‍රයට බලපා තිබෙන්නේ කොහොමද? දැනටමත් නවසීලන්තයේ අඩුම තරමින් එක්කෙනෙක් හෝ පරිගණකගත කරන ලද කෘත්‍රිම පාදයක් පළඳිනවා කියලා මගේ වෛද්‍යවරයා කිව්වා. එය පුද්ගලයාගේ ස්නායුවලින් දෙන සංඥාවලට අනුව තමයි ක්‍රියා කරන්නේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගියාට ස්වාභාවික ලෙස ඇවිදීමට පුළුවන්.

සමහර රටවල ශල්‍ය විශේෂඥයන් වෙනත් ක්‍රමයක් අත්හදා බලමින් සිටිනවා. මේ ක්‍රමයට අනුව අවයවයක් කපා ඉවත් කරන්න සිදු වුණොත් එම ස්ථානයට විශේෂ ඇණයක් ඇතුල් කරනවා. ඉන්පසුව කෘත්‍රිම අවයවයක් මෙම ඇණයට පහසුවෙන්ම සවි කරගත හැකියි.

කෘත්‍රිම අවයවයන්ටත් ශරීරයේ ස්නායු සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිබඳව දැන් නව ක්‍රම අත්හදා බලමින් සිටිනවා. මෙමගින් පුද්ගලයාට මොළය හා ස්නායු මාර්ගයෙන් කෘත්‍රිම අවයවය පාලනය කරගත හැකි වෙයි. එක්සත් ජනපදයේ සහ වෙතත් සමහර රටවල මේ ආකාරයේ අත් බද්ධ කිරීමේ සැත්කම් කිහිපයක් කර තිබෙනවා. නමුත් මෙම ක්‍රමයට සියයට සියයක්ම අනුමැතිය ලැබී නැහැ. ඊට හේතුව මෙම සැත්කමට භාජනය වන රෝගීන්ට තම ජීවිත කාලය පුරාම විශේෂ ඖෂධ ගැනීමට සිදුවීමයි.

කෘත්‍රිම අත් සැකසීමට තවත් ක්‍රමයක් යොදාගන්නවා. මේ සඳහා අතේ ඉතිරි කොටසේ මාංශ පේශිවලින් නිකුත් කරන සංඥා විද්‍යුත් උපක්‍රමයකින් ලබාගෙන එය කෘත්‍රිම අත ක්‍රියා කරවීමට උපයෝගි කරගන්නවා. කෘත්‍රිම අත් නිසි පරිදි ක්‍රියා කරවීම සඳහා නවීන පරිගණක තාක්ෂණයත් යොදාගන්නවා.

මෙවැනි නවීන කෘත්‍රිම අවයව තියෙනවා කියලා දැනගත්තාම මම පුදුම වුණා. ඒත් මෙම අවයව ස්වාභාවික අතක් පයක් ක්‍රියා කරන විදිහ සමඟ සන්සන්දනය කරන්න පුළුවන්ද කියා මම මගේ වෛද්‍යවරයාගෙන් ඇසුවා. ඔහු කීවේ කෘත්‍රිම අවයව ඇත්ත අත් පා ළඟින්වත් තියන්න බැහැයි කියලා. ඔහු එසේ කියද්දී මට මතක් වුණේ ගීතිකාකරු ඔහුගේ මැවුම්කරුට යාච්ඤා කරද්දී පැවසූ දෙයයි. “ඔබට ස්තුති කරන්නෙමි; මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි.”—ගීතාවලිය 139:14.

[23වන පිටුවේ රූප සටහන/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

[පින්තූර]

මෙම විශේෂිත කෘත්‍රිම අත මාංශ පේශි නිකුත් කරන සංඥා මාර්ගයෙන් ක්‍රියාත්මක වෙනවා

[හිමිකම් විස්තර]

Hands: © Otto Bock HealthCare

[පින්තූර]

පරිගණක තාක්ෂණයට අනුව සාදා තිබෙන මෙම දණහිස රෝගියා ඇවිදින ආකාරයට අනුව සකස් කරගත හැකියි

[හිමිකම් විස්තර]

Knee: Photos courtesy of Ossur

[පින්තූරය]

කෘත්‍රිම පාදයේ වැස්මක් හා වළලුකර ආකෘතියක්

[හිමිකම් විස්තර]

© Otto Bock HealthCare

[හිමිකම් විස්තර]

© 1997 Visual Language

[21වන පිටුවේ පින්තූරය]

කෘත්‍රිම පාදයක් සකසමින්

[22වන පිටුවේ පින්තූරය]

රෝගියෙකුට කෘත්‍රිම පාදයක් සවි කරන ආකාරය

[23වන පිටුවේ පින්තූරය]

කුඩා දරුවන්ට කෘත්‍රිම අවයව හුරු කිරීම සඳහා යොදාගන්න කුඩා කෘත්‍රිම අතක්

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2004දී ආබාධිතයන්ගේ මීටර් 100 ඔලිම්පික් ධාවන තරඟය තත්පර 10.97ක වේගයකින් නිමා කර ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයා පැළඳ සිටියේ විශේෂ ආකාරයේ කෘත්‍රිම පාදයක්

[හිමිකම් විස්තර]

Photo courtesy of Ossur/Photographer: David Biene

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Otto Bock HealthCare