Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

ස්පාඤ්ඤ රජය, බදු ගෙවන හැම කෙනාම සියයට 0.5ක බද්දක් අසරණ සරණ සංවිධානයකට හෝ කතෝලික සංවිධානයකට දීමට නියෝග කරයි. ස්පාඤ්ඤ වැසියන්ගෙන් සියයට 80ක්ම කතෝලික අය වුවත් කතෝලික සංවිධානයකට බදු දීමට කැමති වුණේ සියයට 20ක් පමණයි.—ස්පාඤ්ඤයේ “EL PAÍS” පුවත්පත.

“වයස අවුරුදු 30දී දුම්පානය කරමින් සිටින පුරුෂයෙකුගේ ආයු කාලය වසර 5 1⁄2කින්ද ස්ත්‍රියකගේ ආයු කාලය වසර 61⁄2කින් හෝ ඊට වැඩි කාලයකින්ද අඩු විය හැකි” බව ජීවන සංඛ්‍යා ලේඛන ආයතනයකින් නිකුත් කළ වගුවක සඳහන් වෙයි. කෙසේවෙතත් අවුරුදු 30දී නවතා දමන කෙනෙක් දුම්පානය නිසා ඇති වන රෝගවලින් මිය යෑමේ අවදානම සෑහෙන දුරකට අඩු කරගන්නවා.—එංගලන්තයේ “THE TIMES” පුවත්පත.

වර්ෂ 2004දී මුළු ලෝකයේම ඛනිජ තෙල් දහනයේ සියයට ගණන බලනවා නම්, දවසකට තෙල් බැරල් සංඛ්‍යාව 82.4 දක්වා වැඩි වී තිබෙනවා. එය සියයට 3.5ක වැඩිවීමක්. මෙම වැඩිවීමෙන් අඩක් පමණ සිදු වී ඇත්තේ එක්සත් ජනපදයේ හා චීනයෙයි. එම රටවල් දෙක පිළිවෙළින් දවසකට බැරල් මිලියන 20.5ක් සහ 6.6ක් භාවිතයට ගන්නවා.VITAL SIGNS 2005,” WORLDWATCH INSTITUTE.

“ඔබේ මව වටිනා සම්පතක්”

කැනඩාවේ කම්කරු දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකට අනුව, පාසැල් දරුවන් දෙදෙනෙකු සිටින මවක් රැකියාවක් නොකරනවා නම් ඇගේ වැඩ කොටස වෙනුවෙන් ගෙවීමක් කළොත් වසරකට අතිකාල දීමනා ඇතුළුව කැනඩාවේ මුදල්වලින් ඩොලර් 1,63,852ක් ගෙවීමට සිදු වෙයි. එම ගණන සාදා තිබෙන්නේ සේවකයෙකුට දැනට පැයකට ගෙවන ගාන අනුවයි. සේවා කාලය ලෙස ගණන් ගත්තේ “සතියකට පැය 100ක සේවා කාලයක්. එනම් පැය 15වේ දවස් හයක් හා පැය 10හේ දවසක්” කියා කැනඩාවේ වැන්කූවර් සන් පුවත්පත පවසනවා. රැකියාවක් නොකරන මවකගේ වගකීම්වලට සේවාවන් රැසක් ඇතුළත්. දරුවන් බලාගැනීම, ඔවුන්ට ඉගැන්වීම, වාහනය පැදවීම, ගෙදර දොරේ වැඩ, ඉවුම් පිහුම්, බේත් හේත් දීම සහ වෙනත් නොයෙකුත් වැඩ කටයුතු ඇගේ දෑතින් ඉටු වෙනවා. එම පුවත්පතෙන් දෙන උපදෙස මෙයයි. “නිසි වැටුපක් නොලබන ඔබේ මව වටිනා සම්පතක් සේ සලකන්න.”

යෞවනයන්ගේ ගුණධර්ම වෙනස් වෙලා

ෆින්ලන්තයේ යෞවනයන් “තමන්ට කැමති විදිහට ගුණධර්ම” වෙනස් කරන්න පටන් අරගෙන කියා ෆින්ලන්තයේ යුවාස්ක්වේලා විශ්වවිද්‍යාලයේ පුවත් නිවේදනයක සඳහන් වුණා. එහි මෙසේද පැවසුවා. “තමන්ට සුදුසුයි කියා හැඟෙන දේ පමණක් විශ්වාස කිරීමට ජනයා නැඹුරු වී තිබෙන්නේ සාප්පුවකින් බඩු තෝරනවා වගෙයි.” යෞවනයන්ට එකිනෙකට පටහැනි ප්‍රතිපත්ති තිබෙනවා. උදාහරණයකට සමහර යෞවනයන්ගේ අදහස වන්නේ ධන සම්පත් සාධාරණව බෙදී ගොස් හැමෝම සමෘද්ධියට පත් විය යුතු බවයි. එහෙත් එසේ සිතන ගමන්ම ඔවුන් “ගත කරන්නේ තරඟකාරී කලහකාරී ජීවන රටාවක්” කියා එහි සඳහන් වුණා.

රෝග බෝ කරන ප්‍රෝටීනයක් රුධිරයේ

මෑතකදී ප්‍රංශයේ වෛද්‍ය ආයතනයකින් දැක්වූ අදහසක් පුවත්පතක පළ වුණා. ඔවුන් කියා සිටියේ රුධිරය ශරීරගත කිරීම මගින් ආසාදිත ප්‍රෝටීන අනු වර්ගයක් ශරීරයට ඇතුල් වීමට තිබෙන ඉඩ කඩ දැන් පෙරට වඩා වැඩි බවයි. එම ප්‍රෝටීන වර්ගය ගවයන්ගේ හා මිනිසුන්ගේ මොළයේ ස්නායු දුර්වල කරන බව පැවසෙයි. මෙම රෝගයේ අවසාන ප්‍රතිඵලය මරණයයි. එය සුව කළ නොහැකියි. එය පිස්සු ගව රෝගය කියා හැඳින්වෙනවා. එම ආයතනය එවැන්නක් පැවසුවේ බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් දෙදෙනෙකුට රුධිරය ලබා දීමෙන් පසුව එම රෝගය වැලඳුණ නිසයි. රෝග ලක්ෂණ පහළ වීමට පෙර මෙම රෝගය වැලඳී ඇද්දැයි දැනගත හැකි වෛද්‍ය පරීක්ෂණයක් නැහැ.

සිහින් සිරුරකට ආශාව

“පස් හැවිරිදි වියේ පසුවන කුඩා දැරියන් පවා තමන් මීට වඩා කෙට්ටු වුණා නම් හොඳයි කියා සිතන” බව පර්යේෂණයකින් සොයාගෙන ඇතැයි පුවත්පතක වාර්තා වෙනවා. (පුවත්පත The Sydney Morning Herald) එයට ඇතුළත් කර තිබුණේ ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු පහේ සිට අට දක්වා දැරියන්. ඔවුන්ගෙන් සියයට 50ක් පමණ සිහින් සිරුරකට ආශා වූ අතර හීන්දෑරි දැරියන්ගෙන් සියයට 50ක් කියා සිටියේ “බර වැඩි වුණොත් ආහාර අඩු කරන බවයි.” එක් පර්යේෂිකාවකගේ අදහස වූයේ තමන්ගේ සිරුරේ හැඩය ගැන ඕනෑවට වඩා සිතීමෙන් “අවතක්සේරු කරගැනීමට, අධෛර්යය වීමට හා නිසි ආහාර නොගැනීම නිසා රෝගවලට ගොදුරු වීමට” ඉඩ කඩක් තිබෙන බවයි.