Skip to content

පටුනට යන්න

මහලු නොවන කාලය වැඩි ඈතක නොවෙයි!

මහලු නොවන කාලය වැඩි ඈතක නොවෙයි!

මහලු නොවන කාලය වැඩි ඈතක නොවෙයි!

යේසුස් ක්‍රිස්තුස් වධකණුවේ මරණාසන්නව සිටියදී ඔහුගේ පසෙකින් එල්ලා සිටි මරණයට නියම වූ අපරාධකරුවෙක් ඔහුගෙන් මෙසේ ඉල්ලුවා. “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වූ විට මාව සිහි කරන්න.” එවිට යේසුස් මෙහෙම කිව්වා. “සැබවින්ම මම අද ඔබට කියමි, ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.” (ලූක් 23:42, 43) නම සඳහන්ව නැති ඒ මිනිසා මිය ගියේ මහලු වී අසනීපයක් සෑදුණ නිසා නොවුණත්, වියපත් වෙමින් සිටින අයට හැකියි ඔහු පැවසූ දෙයින් අස්වැසිල්ලක් ලබන්න.

ඒ මිනිසා තුළ තිබූ ස්ථිර විශ්වාසය ඇත්තෙන්ම පැසසිය යුතුයි. තමාගේ පසෙකින් වධකණුවේ සිටි යේසුස්ද මරණාසන්නව සිටියත් යේසුස් අනිවාර්යයෙන්ම දෙවිගේ රාජ්‍යයේ රජ ලෙස අනාගතයේදී පාලනය කරයි යන විශ්වාසය ඔහුට තිබුණා. එමෙන්ම යේසුස් තමාවත් සිහිපත් කරයි කියාද ඔහුට නිසැකකමක් තිබුණා. ඉදිරියේදී යේසුස්ගේ පාලනය යටතේ ඒ අපරාධකරුවා මනහර පාරාදීස පොළොවක් උදා වන විට යළි ජීවත් වන ආකාරය සිතා බලන්න.

මුළු මිනිස් වර්ගයා ඒ අපරාධකරුවාට සමානව මරණයට නියම වෙලයි සිටින්නේ. අපේ වයස කුමක් වුවත් අපි සියලුදෙනාම පාපයේ කුලිය ගෙවමින් සිටින නිසා ඉන් මිදීමට මඟක් සොයමින් සිටිනවා. (රෝම 5:12) යේසුස් ක්‍රිස්තුස්ගේ පිහිට පැතීමෙන් අපටද හැකියි සහනය ලබාගැනීමට. එමෙන්ම ජීවිතයේ සැඳෑ සමයේදී අද්දකින දුෂ්කරතාවලින් මිදීමට බලාපොරොත්තු වෙන්නත් අපට පුළුවන්! මේ ගැන අපට නිසැක විය හැක්කේ පාරාදීස පොළොවේදී හැම අතින්ම පිරිපුන් තෘප්තිමත් ජීවිතයක් සදහටම භුක්ති විඳීමේ ප්‍රස්තාව යේසුස් මිනිසාට උදා කළ නිසයි.—යොහන් 3:16, 36.

තරුණ මහලු සැමට නව ජීවයක්!

ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ පොළොවේ වැසියන් “දසත පැතිරී ඇති සාමය නිසා . . . මහත් සේ ප්‍රීති වන්නෝය.” (ගීතාවලිය 37:11) කිසි කෙනෙක් “මම රෝගාතුර වෙමියි” කියන්නේ නැහැ. (යෙසායා 33:24) අපට විඳදරාගන්න සිදු වුණ සෑම අබල දුබල තත්වයක්ම තුරන් වන්නේ “කොරා මුවෙකු මෙන් පැන යන්නේය; ගොළුවාගේ දිව ගී කියන්නේය” යන්න සැබෑ කරමින්. (යෙසායා 35:6) වයසක අයට යළි තම තරුණ ශක්තිය ලැබෙයි. ඔවුන්ගේ මාංසය “දරුවෙකුගේ මාංසයට වඩා අලුත්” වෙයි.—යෝබ් 33:25, පැරණි අනුවාදය.

කෙසේවෙතත් එවැනි බලාපොරොත්තුවක් තබාගැනීමෙන් වැඩක් වෙයිද? මිය යමින් සිටි මිනිසාට පාරාදීස පොළොවක ජීවත් වීමේ බලාපොරොත්තුව දුන් තැනැත්තා ගැන නිකමට හිතන්න. බොහෝ අවස්ථාවලදී ජනයා යේසුස් ළඟට කොර, අබ්බගාත, අන්ධ හා බිහිරි අයව ගෙනාවා. ඔහු උනන්දුවෙන් “සියලු ආකාර රෝග සහ ආබාධ” සුව කළා. (මතෙව් 9:35, 36; 15:30, 31; මාක් 1:40-42) තමන්ගේ පාලනය තුළින් ඉටු කරන දේ සක් සුදක් සේ පෙන්නුම් කළා. ඒ විතරක් නෙවෙයි මිය ගිය කීපදෙනෙකුවත් යළි ජීවත් කෙරෙව්වා. (ලූක් 7:11-17; යොහන් 11:38-44) එසේ කිරීමෙන් “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය” කියා ඔහු දුන් පොරොන්දුව විශ්වාස කිරීමට හේතු සැපයුවා.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

අලුත් ශරීරයක්, හොඳට පෙනෙන ඇස් දෙකක්, කුරුල්ලන්ගේ කන්කලු නාදයෙන් හා ප්‍රියජනක කටහඬෙන් පිරී ඇති කන් දෙකක් මෙන්ම වේදනාවෙන් තොර අත් පා සහ හොඳින් ක්‍රියා කරන මනසක් ලැබී ඇති කෙනෙක් පාරාදීසයේදී අවදි වෙන ආකාරය ඔබේ සිතේ මවාගන්න. ඒ දිනයේදී මහලු වියේ ඡායාමාත්‍රයක්වත් ඉතිරි නොවී “නපුරු දවස්” සදහටම පහව තිබේවි. (දේශනාකාරයා 12:1-7; යෙසායා 35:5, 6) එදාට මරණය පවා “නැති කර” දමනු ලබයි. ඇත්තෙන්ම “සදහටම මරණය ගිල දමා” තිබේවි.—1 කොරින්ති 15:26, 54.

බයිබලයේ පුරෝකථනය කර ඇති දේ සමඟ වත්මන් ලෝක තත්වයන් සසඳා බලන කල පෙනී යන්නේ මහලු වියට පත්වීම කෙළවර වන කාලය ශීඝ්‍රයෙන් ළඟා වන බවයි. (මතෙව් 24:7, 12, 14; ලූක් 21:11; 2 තිමෝති 3:1-5) දෙවි කෙරෙහි ඇදහිල්ල තබාගෙන ඔහුට සේවය කර තිබෙන වයසක අය යළි සදහටම යෞවනත්වය භුක්ති විඳින දා වැඩි ඈතක නොවෙයි!

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මොළයට ව්‍යායාම්!

ව්‍යායාම් කිරීමෙන් පේශීන් ශක්තිමත් වෙනවා හා සමානව මනස පුහුණු කිරීමෙන්ද මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වෙයි. මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා අප අලුත් දේවල් අත්හදා බැලිය යුතුයි. මොළයේ පණිවිඩ ගෙන යන ස්නායු ක්‍රියා කරවීමට හා ඒවා ශක්තිමත් කිරීමට ක්‍රම කීපයක් මතු දැක්වෙයි.

▪ චිත්‍ර ඇඳීම, අලුත් කෑම වර්ග සෑදීම, යම් විෂයක් හැදෑරීම වැනි දේවල් කෙරෙහි මනස යොමු කරන්න. තවත් භාෂාවක් ඉගෙනගන්න.

▪ පාලුව මකාගැනීමට විවිධ පුද්ගලයන් සමඟ ඇසුරු කරන්න. වැදගැන්මක් ඇති දේවල් ගැන ඔවුන් එක්ක කතා කරන්න.

▪ දෙවි සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වය වැඩි කරගන්න. කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.”—ෆිලිප්පි 4:6, 7.

▪ ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු පොත් පත් කියවන්න. ඔබ කියෙවූ දේ ගැන වෙනත් අයට පවසන්න.

▪ අතීතයේ සහ මෑතක සිද්ධීන් මතකයට නැඟීම සඳහා ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ඇසූ ප්‍රවෘත්ති මතක් කර කාට හරි පවසන්න.

▪ රූපවාහිනිය ක්‍රියා කරවීම, දුරකථනය භාවිත කිරීම හෝ දත් මැදීම යනාදී වැඩ කටයුතු කරගැනීමට හුරු නැති අත පාවිච්චි කරන්න.

▪ හැකි නම් මුළු දවස පුරාම ඔබේ පංචේන්ද්‍රියයන් පාවිච්චි කරන්න.

▪ ළඟ හෝ ඈත තිබෙන ලස්සන තැන් ගැන ඉගෙනගන්න. ඒ තැන්වලට සංචාරය කරන්න.

[8, 9වන පිටුවේ පින්තූරය]

වේදනාකාරී මහලු විය තුරන් කර සදහටම යෞවනව සිටීමේ ප්‍රස්තාව ලබා දෙන බවට යේසුස් පොරොන්දු වෙයි