Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

සමේ පිළිකාව—ආරක්ෂා වන අයුරු (2005 ජූනි 8, සිංහලෙන් නැත.) මෙම ලිපි තුළින් පළ වූ තොරතුරු ඉතාමත් විශිෂ්ටයි. මම චර්ම රෝග සායනයක ප්‍රධාන වෛද්‍යවරයෙක්. මම කැමතියි මෙම සඟරාවේ පිටපත් කිහිපයක් ලබාගන්න. එම පිටපත් මට තවත් අයට දෙන්න පුළුවන්.

ඩෙන්මාර්කයේ කේ. ඩබ්ලිව්.

මේ ලිපි කියෙව්වාට පස්සේ මගේ පිටේ තිබුණ ගැටය වෛද්‍යවරයෙකුට පෙන්වන්න මම තීරණය කළා. එය පිළිකාවක් බවට පත්වීමට ඉඩ තිබෙනවා කියලා වෛද්‍යවරයා මට කිව්වා. මම ඉක්මනින්ම සැත්කමක් කරගත්තා. මේ ලිපි මාලාව නිසයි ඉක්මන් පියවරක් ගන්න මම පෙලඹුණේ.

ජපානයේ එස්. එම්.

හත්වන පිටුවේ තිබූ කොටුව කියෙව්වට පස්සේ මගේ වෛද්‍යවරයා ලවා මගේ ඇඟේ තිබූ ලපය පරීක්ෂා කරගන්න මම තීරණය කළා. පරීක්ෂණයෙන් එම ලපය පිළිකාවක මුල් අවධියේ රෝග ලක්ෂණ පෙන්වන බව සොයාගත්තා. එම ලිපිවල පෙන්වා දුන් පරිදි එයට මුල් අවධියේ නිසි ප්‍රතිකාරය ලබා නුදුන්නා නම් එය දරුණු විය හැකියි. මගේ ජීවිතය ගලවාගත් මගේ වෛද්‍යවරයාටත් පිබිදෙව්! සඟරාවටත් මම ස්තුති කරනවා!

එක්සත් ජනපදයේ එල්. එස්.

පවුලේ අයගේ විනෝදයට (2005 මැයි 8, සිංහලෙන් නැත.) සාමාන්‍යයෙන් මම කියවන්නේ ආස කරන ලිපි විතරයි. ඒත් “පවුලේ අයගේ විනෝදයට” කියන කොටස දැක්කට පස්සේ ඒ ප්‍රශ්නවලට උත්තර සොයන්න මම මුළු සඟරාවම කියෙව්වා. වැඩි දවසක් යන්න කලින් මුළු සඟරාවම කියවන එක පුරුද්දක් වුණා.

රුසියාවේ වයි. සෙඩ්.

මම හරි ආසයි මේ පිටුවේ තිබෙන අංගයට. එයින් විනෝදයක් විතරක් නෙමෙයි මම කියවන දේට වැඩි අවධානයක් දීමේ අවශ්‍යතාවත් මම තේරුම්ගත්තා.

බ්‍රිතාන්‍යයේ ඩී. එස්.

යෞවන අය අසති . . . නුසුදුසු අය වෙත මගේ සිත ඇදී යන්නේ ඇයි? (2005 අගෝස්තු 8) අවුරුදු දහයක් පුරා ‘ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී’ සිටියත් මගේ මේ දුර්වලකමෙන් ගොඩ එන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නැහැ. (1 කොරින්ති 15:58) මම තවම මේරූ විදිහට හිතන්නේ නැහැ කියලා මම දන්නවා. ඒත් මේ ගැටලුවෙන් ගොඩ එන්නේ කොහොමද කියලා මට හරි අවබෝධයක් තිබුණේ නැහැ. වර්තමානයේ කල්පනාකාරීව ජීවත් වෙන්න උපකාරවත් වන මේ වගේ ලිපි පළ කිරීම ගැන මම යෙහෝවාට ස්තුති කරනවා.

එක්සත් ජනපදයේ ජේ. එෆ්.

මෙම ලිපියේ සඳහන් වෙලා තිබුණා ‘බයිබල් සත්‍යයන් නොදන්නා නිසා සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ඇසුරෙන් වැළකීම අවශ්‍ය නැහැයි’ කියලා. මේ ගැන තවත් පැහැදිලි කරන්න පුළුවන්ද? ක්‍රිස්තියානියෙක් ඇදහිල්ලේ නැති කෙනෙකු සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වනවා නම් ඒ ගැන මොනවද කියන්න පුළුවන්? මේ ගැන සැලකිලිමත් විය යුතු නැද්ද?

එක්සත් ජනපදයේ ඩී. පී.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: ඇදහිල්ලේ නැති අය සමඟ කිට්ටු සබඳතාවක් පැවැත්වීමට ලිපියෙන් දිරිගන්වන්නේ නැහැ.“නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” යන බයිබල් ප්‍රතිපත්තිය ඕනෑම තත්වයකට අදාළයි. (1 කොරින්ති 15:33) මෙයින් අදහස් කරන්නේ නැහැ අපි ඇදහිල්ලට අයිති නැති අය සමඟ කිසිම ගනු දෙනුවක් කරන්නේ නැති බව. ලිපියේ සඳහන් ආකාරයට බයිබලයේ අපව උනන්දු කරන්නේ ඇදහිල්ලට අයිති වූවන්ට විතරක් නොව ‘සියල්ලන්ට යහපත්කම් කරන්න’ කියායි. (ගලාති 6:10) අපේ ක්‍රිස්තියානි සේවය සඳහා මනුෂ්‍යයන්ට අවංක උනන්දුවක් හා ගෞරවයක් පෙන්විය යුතුයි. මනුෂ්‍යයන්ට සැලකිය යුතු ආකාරය ගැන යේසුස් කදිම ආදර්ශයක් තැබුවා. දෙවිගේ කැමැත්ත කිරීමට උනන්දුවක් නැති අය සමඟ ඔහු කොයිම අයුරකින්වත් කිට්ටු සබඳතාවක් පැවැත්වූයේ නැහැ. (යොහන් 15:14) ඒත් ඔහු මිනිසුන් වෙත ගොස් ඔවුන් සමඟ කතා බහ කරන ආකාරයත් ඔවුන්ට ඉගැන්විය යුතු ආකාරයත් හොඳින් අවබෝධ කරගෙන සිටියා. මේ නිසා ඔහුට හොඳ සාක්ෂියක් දරන්න හැකි වුණා. (උදාහරණයකට ලූක් 7:36-50 දක්වා බලන්න.) යේසුස් මෙන් ඇදහිල්ලට අයිති නැති අය ගැන ගෞරවාන්විත ආකල්පයක් තබාගත හැකියි. අපේ ඉලක්කය ‘සාධාරණව, සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම පෙන්වීමයි.’—තීතස් 3:2.