Skip to content

පටුනට යන්න

අමුතු ජාතියේ බැටළුවෙක්!

අමුතු ජාතියේ බැටළුවෙක්!

අමුතු ජාතියේ බැටළුවෙක්!

එක් හිමිදිරි උදෑසනක අපි සිතියම්ද කැමරාද රැගෙන තොප්පියි බූට් සපත්තුයි දාගෙන ජීප් රථයට නැග්ගේ දැකගන්න අසීරු බැටළු වර්ගයක් බැලීමේ අරමුණ ඇතුවයි. උන් වැඩිපුර ඉන්නේ සයිප්‍රස් දූපතේ ට්රූඩොස් කඳු යායේ තිබෙන පාෆොස් වනාන්තරයෙයි. උන් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන බැටළු වර්ගයක් නෙවෙයි.

මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ප්‍රදේශ පුරා ගැවසෙන වල් බැටළුවන්ගේ එක් විශේෂයක් වන මූෆ්ලොන් ගැන තමයි අපි මේ කතා කරන්නේ. නමුත් අපේ කුතුහලය ඇවිස්සූ මුන්ගේ නිජබිම සයිප්‍රසයයි. එළුවෙකු මෙන් කඩිසර මේ සතුන්ට තිබෙන්නේ මුවෙකුගේ හැඩ රුවක්. ජීවවිද්‍යාඥයන් උන්ව දිග විද්‍යාත්මක නමකින් හැඳින්නුවත් සයිප්‍රස් වැසියන් උන්ව හඳුන්වන්නේ ආග්‍රීනෝ කියායි. උන් ඉන්නේ මිනිස් වාසයෙන් බැහැර ඈත කඳුකර ප්‍රදේශවලයි.

මහා මාර්ගයෙන් කඳුකර ප්‍රදේශයට ඇතුල් වූ අපි ඉන්පසු මනහර මිටියාවතක් මැදින් රිය පදවාගෙන ගියා. කඳු මත ගම්මානත්, මිටියාවත් දිගේ පලතුරු ගසුත් දකින්න තිබුණා. ටිකෙන් ටික අපේ ගමන දුෂ්කර වෙන්න පටන්ගත් අතර සමහර තැන්වලදී කඳු බෑවුම අද්දරින්ම වාහනය පදවන්න සිදු වුණා. දැන් අපි ඉන්නේ පයින් හා දේවදාර ගස්වලින් පිරි අක්කර 1,50,000ක් විශාල පාෆොස් කැලෑව මැද්දෙයි. අන්තිමේදී අපි කැලෑවේ වනජීවි ආරක්ෂක නිලධාරියා ඉන්න තැනට ආවා. ඔහුගේ නම ආන්ත්‍රියාස්. අපි කෝපි එකක් බිබී ආන්ත්‍රියාස් එක්ක කතා බහ කළා. කොළ පැහැති නිල ඇඳුමෙන් සැරසී සිටි ඔහු මූෆ්ලොන් බැටළුවන් ගැන විස්තර කළේ උද්‍යෝගයෙන්.

ඔහු කියන්නේ සයිප්‍රසයේ ඉන්න ක්ෂීරපායි සත්වයන්ගෙන් විශාලතම එකා මූෆ්ලොන් කියලයි. අතීතයේදී උන් විශාල රංචු පිටින් මේ දූපතේ නිදහසේ සැරි සැරුවා. ඉහළ පැලැන්තියේ අය පාෆොස් වනාන්තරයේ සිටි මේ සතුන්ව දඩයම් කළ ආකාරය පුරාණ කැටයම්වල හා ලියකියවිලිවල දකින්නත් කියවන්නත් තිබෙනවා.

ආන්ත්‍රියාස් අපිව උන් ඉන්න ඉසව්වට කැටුව යද්දී උන්ගේ අතීතය ගැන තවත් දේවල් කිව්වා. තුවක්කුවලින් දඩයම් කරන්න පටන්ගත්තාට පස්සේ පුදුම විදිහට මේ සත්වයන් හිඟ වෙන්න පටන්ගත්ත බවයි අපිට දැනගන්න ලැබුණේ. මෙම සත්ව විශේෂය ආරක්ෂා කිරීමට සයිප්‍රසයේ නීති පැනෙව්වේ 1938දීයි. වනජීවී ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිලධාරීන් එකතු වී දඩයම් කිරීම මර්දනය කළා. ඉන් වසරකට පසු මෙම කැලෑව දඩයම්කරුවන්ට තහනම් ප්‍රදේශයක් වුණා. මෙම වෙනස්කම් හා 1960 ගණන්වලදී ගත් අමතර පියවර හේතුවෙන් මූෆ්ලොන් ගහනය වැඩි වුණා.

මුල් හමුවීම

අපි ආන්ත්‍රියාස්ගේ මඟ පෙන්වීම ඔස්සේ උන් ගැවසෙන ඉසව්වට ගියේ තුරු ගොමු අතරින්වත් අපිට උන්ව දැකගත හැකි වේදැයි සිතමින්. එතකොටම නිහඬ වන ලෙස අපට ඉඟියක් කළ ආන්ත්‍රියාස් කඳු බෑවුමක් අසලට අපිව ගෙන ගොස් උන්ව පෙන්නුවා. හිරු කිරණෙන් නැහැවුණු එළිමහනට ඇවිත් බැටළු දෙනුන් තුන්දෙනෙක් හා පැටවුන් දෙන්නෙක් තණ කමින් හිටියා. දෙනුන්ගේ උස අඩි තුනක් විතර ඇති. ලා දුඹුරු පැහැති ලොම් කබායකින් සැරසී සිටින මුන්ගේ උදර ප්‍රදේශයේ පැහැය ඊටත් වඩා ලා දුඹුරු පැහැයක් ගන්නවා.

වසරේ එම කාලයේදී තුරු ලතාවලින් වනය පිරී තිබෙන නිසා බඩ කට පුරවගනිමින් හිටි උන්ට අප දෙස බැලීමටවත් වුවමනාවක් තිබුණේ නැහැ. ඒත් දුව පැන නටමින් සිටි පැටවුන් නම් ඒක නවතා පියවරක් දෙකක් ඉදිරියට තබා අපි දිහා බැලුවා. මොන තරම් ආස්වාදජනක අවස්ථාවක්ද! අපේ කණ්ඩායමේ එක්කෙනෙක් සැනෙකින් කැමරාව ක්‍රියාත්මක කළා විතරයි නිමේෂයකින් උන් රංචුවම කැලේට වැද සැඟවුණා.

දසුනෙන් කුල්මත් වූ අපි කැලෑව තුළ ඉන්න මූෆ්ලොන්ලාව දැකගැනීමේ අදහසින් පයින්ම කැලෑව පීරන්න හිතාගත්තා. ආන්ත්‍රියාස් කිව්වා අපි පාන්දරින්ම ගියොත් හොඳයි මොකද ඒ වෙලාවට කෑම හොයාගෙන උන් කැලේ අද්දරට එනවා කියලා. අපි තීරණය කළා රාත්‍රියේදී කූඩාරම් ගසාගෙන මිටියාවතේ ඉන්න. එතකොට ඒ මිටියාවත එක්කම තියෙන කඳුකරයේ ඉන්න උන්ව දැකගත හැකියි. උණුසුම් කාලයේදී උස් කඳුකරයට යන උන් කඳු මුදුන් හිමෙන් වැසී යන ශීත කාලයේදී ආහාර සොයාගෙන කඳු බෑවුම් පහළට එන බව අපිට දැනගන්න ලැබුණා.

උන් සාමාන්‍යයෙන් තම වර්ගයා බෝ කරන්නේ සරත් කාලයේදීයි. ශීත කාලයේදී උන් 10ත් 20ත් අතර සංඛ්‍යාවක් රංචු ගැසී එහෙ මෙහෙ සැරි සරනවා. පැටවු දමන අප්‍රියෙල් හෝ මැයි මාසවලදී උන් කුඩා රංචුවලට වෙන් වෙනවා. අපි මුලින්ම දැක්කේ ඒ වගේ රංචුවක්. බැටළුවෝ සාමාන්‍යයෙන් ආහාර බුදින්නේ දෙනුන් හා පැටවුන්ගෙන් වෙන්ව තනියෙන්.

විශිෂ්ට ගණයේ බැටළුවෙක්!

පහුවදා හිමිදිරි පාන්දර අපි ආපහු වාහනයෙන් කන්දට නැග්ගා. එළිමහන් තැනක වාහනය නවත්වලා අපි ඉර එළිය වැටෙන්න කලින් කැලෑව තුළට ඇවිදගෙන ගියා. මීදුම් සළු පොරවාගෙන ගස්කොළන් තවමත් සුව නින්දේ පසුවන නිසාදෝ මුළු කැලෑවම නිහඬයි. නිහැඬියාවේ රසය විඳගන්න අපි මොහොතක් නැවතිලා ඉන්නකොට විශිෂ්ට ගනයේ පුෂ්ටිමත් බැටළුවෙක්ව දැක්කා. ශීත කාලයේදී හොඳින් වැඩුණ ලොම් ඒ වෙනකොට හැලිලයි තිබුණේ. බෙල්ල යට ලොම් තද පැහැතියි. අහංකාර ලීලාවෙන් ඔළුව උස්සාගත් ඌ ඝනඳුර අතරෙන් අප දෙස බලන්නේ ඉව ඇල්ලීමටයි. උගේ වකගැහුණු සවිමත් අං අඟල් 18ක්වත් දිග විය යුතුයි. අපි ඊයේ දැක්ක දෙනුන්ට වඩා උගේ බර වැඩියි. කිලෝග්‍රෑම් 35ක්වත් බර ඇති.

අපි එකපාරටම ගල් ගැහිලා හැල හොල්මනක් නැතුව හිටියා. කොහොමවුණත් ඌට අපේ ඉව වැටුණා විතරයි භය වී කන්ද පහළට වේගයෙන් දිව ගියා. මේ දවස් දෙකේදී අපි දැක්ක දේවල්, ඉගෙනගත්ත දේවල් අපිව මොනතරම් විස්මිත කළාද! අපේ මැවුම්කරු කෙරෙහි අපේ අගය තව තවත් වැඩි වුණා. “වනයෙහි සියලු සතුන් හා දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය” කියා ඔහු පවසා තිබෙනවා.—ගීතාවලිය 50:10.

[24, 25වන පිටුවේ පින්තූර]

සයිප්‍රසයේ මූෆ්ලොන් (පසුබිමේ) සහ යුරෝපීය මූෆ්ලොන්

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top right: Oxford Scientific/photolibrary/Niall Benvie; European Mouflon: Oxford Scientific/photolibrary