Skip to content

පටුනට යන්න

ආදරය ලබන්න කවුරුත් කැමතියි

ආදරය ලබන්න කවුරුත් කැමතියි

ආදරය ලබන්න කවුරුත් කැමතියි

ඇගේ නම ලෙයා. ඇය ජීවත් වුණේ බොහෝ කාලයකට පෙර අද දින තුර්කිය ලෙස හඳුන්වන දේශයේ. ඇය සාමාන්‍ය පෙනුමක් තිබූ යුවතියක්. ඒත් ඇගේ නැඟණිය වන රාඛෙල් සුන්දර රූ සපුවකට උරුමකම් කීවා.

රාඛෙල්ට ආදරය කළ තරුණයා ඇගේ පියාට කියා සිටියේ ඇයව තමාට විවාහ කර දෙන බවට පොරොන්දු වෙනවා නම් අවුරුදු හතක් ඔහුට සේවය කරන්න තමන් කැමති බවයි. ඒත් අවුරුදු හත අවසන් වෙලා මංගල දින රාත්‍රියේදී එම යුවතියගේ පියා රාඛෙල් වෙනුවට ඇගේ වැඩිමල් සොහොයුරිය වන ලෙයාව මෙම තරුණයා වෙත යැව්වා. ලෙයාට මෙම කූට සැලැස්ම ගැන කෙසේ හැඟුණාද කියා අපි කිසිවක් දන්නේ නැහැ. නමුත් විවාහයට පා තබන සුදුසු ක්‍රමය මෙය නොවෙයි කියා ඇයට අනේක වාරයක් සිතෙන්න ඇති.

සිදු වූ දේ දැනගත් විගස මනමාලයා තම අකමැත්ත එකහෙළාම ප්‍රකාශ කළා. නමුත් ඔහුගේ මාමණ්ඩි කියා සිටියේ සිරිතට අනුව මුලින් විවාහ කර දෙන්නේ වැඩිමල් දියණිය බවයි. ලෙයා සමගෙ විවාහ වී සිටි පුරුෂයා ඇගේ නැඟණියවත් විවාහ කරගත් අතර ඔහු වැඩියෙන් ආදරය කළේ ඇයටයි. ලෙයාට කොතරම් දුකක් දැනෙන්න ඇද්ද! ආදරයක් නැති විවාහ ජීවිතයක් කුමකටද කියා ඇයට සිතෙන්න ඇති. රාඛෙල්ට වැඩි ආදරයක් ලැබෙන විට මේ වගේ ආදරයක් මට ලැබෙනවා නම් කියා ලෙයාට අනන්ත අප්‍රමාණ වාරයක් සිතුණ බව නිසැකයි. *

ලෙයා විඳි වේදනාව බොහෝදෙනෙකුට අද දින තේරුම්ගන්න පුළුවන්. මන්ද අපි හැමෝම ආදරය කරන්නත් ආදරය ලබන්නත් කැමතියි. එය සහජයෙන් උරුම වූ ආශාවක්. සමහරෙක් විවාහය තුළින් ආදරය සොයනවා. අපි කොයි කවුරුත් අපගේ දෙමාපියන්ගෙන්, දරුවන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් සහ මිතුරන්ගෙන් ආදරය හා සෙනෙහස ලබන්න කැමතියි. ඒත් අපි ආදරය ලබන්න කැමති වුණත් එය නොලැබෙනවා නම් ලෙයාට වගේ අපිටත් දුකක් දැනේවි.

ලස්සන යුවළක් ආදරය කර විවාහ වී සතුටෙන් කල් ගෙවන සුරංගනා කතා පුංචි කාලයේ පටන් අපිට නිතර අහන්න ලැබෙනවා. ආදරය ගීතවල ප්‍රධාන තේමාවක්. කවියන් ආදරය ගැන නොයෙකුත් වර්ණනාවන් කර තිබෙනවා. නමුත් පර්යේෂකයෙක් ආදරය ගැන කීවේ මෙවැන්නක්. “ආදරය තරම් සුන්දර දෙයක් නැහැ. ඒත් වැඩියෙන්ම බලාපොරොත්තු සුන් කරන්නෙත් ආදරයමයි.” ඇත්තෙන්ම අපගේ හදවතට සමීපම බැඳීම් නිසයි අප බොහෝ වේදනා විඳින්නේ. අද විවාහය වගේම දික්කසාදයත් ජනප්‍රිය වී තිබෙනවා. රටවල් බොහොමයක විවාහයන්ගෙන් සියයට 40ක් දික්කසාදයෙන් අවසන් වෙනවා. දික්කසාද නොවන අනෙක් හැමෝමත් සතුටෙන් කල් ගෙවනවා කියා කියන්න බැහැ.

තවත් බොහෝ රටවල පියෙක් හෝ මවක් නැති පවුල් සංඛ්‍යාව වැඩි වෙමින් තිබෙනවා. ආදරය, සුරක්ෂිතභාවය වැඩියෙන්ම ලැබිය යුතු අහිංසක දරුවන්ටත් මේ නිසා පීඩා විඳින්න සිදු වෙනවා. මිනිස් ජීවිතයට සතුට ගෙන දෙන ආදරය, සෙනෙහස හා බැඳීම වැනි දේවල් හැමදාටම පවතින්නේ නැත්තේ මන්ද? මේ අවංක ගුණාංගය ගැන හරි අවබෝධයක් ලබාගන්නේ කොහෙන්ද? ඊළඟ ලිපිවලින් ඊට පිළිතුරු ලැබෙයි.

[පාදසටහන]

^ 4 ඡේ. මෙම වාර්තාව බයිබලයේ මුල් පොත වන උත්පත්ති පොතේ 29 සහ 30වන පරිච්ඡේදවල සඳහන් වී තිබෙනවා.