Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ ලෝක ජනගහනයෙන් වයස අවුරුදු 15ත් 64ත් අතර වයස් මට්ටමක සිටින මිලියන 200ක් පමණ පිරිසක් පසුගිය වසරේ තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා කියා සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරනවා.—2005 WORLD DRUG REPORT, UNITED NATIONS OFFICE ON DRUGS AND CRIME.

අධ්‍යයනයන් පෙන්වන්නේ තුවක්කුවලින් සිදු කරන සැහැසික ක්‍රියා දකින නව යොවුන් වියේ සිටින අය ඊළඟ වසර දෙක ඇතුළත සැහැසික ක්‍රියාවල නියැලීමට තිබෙන පෙලඹීම දෙගුණයකින් වැඩි වෙන බවයි.—SCIENCE MAGAZINE, U.S.A.

බ්‍රසීලයේ සඕ පවුලෝ නගරයේ පිහිටි රෝහලක වසරක් තුළ පියයුරු පිළිකාව තිබෙනවා කියා සොයාගත් රෝගීන්ගෙන් සියයට 16.8ක් අවුරුදු 35ට අඩු කාන්තාවන්. රෝගය කලින්ම සොයාගැනීමට හැකි නම් සුවවීමට ඇති හැකියාව සියයට 90යි.—FOLHA ONLINE BRAZIL.

ඒකාකාරිබවෙන් මිදීමට

ඒකාකාරිබව “අද තිබෙන රෝගවලින් දරුණුතම එකක්” කියා ඒ පිළිබඳව අධ්‍යයනයක නියැලෙන පර්යේෂකයන් පවසනවා. එසේ වාර්තා වුණේ පුවත්පතක. “උතුරු අමෙරිකානු වැසියන් හතරදෙනෙකුගෙන් තුන්දෙනෙක් තම ජීවිතය තුළ අලුත් යමක් සිදු වෙනවාට ආශාවක් දක්වනවා” කියා සමීක්ෂණයකින් සොයාගැනුණා. ඒකාකාරිබවට පිළියමක් ලෙස පුවත්පතේ සඳහන් වූ යෝජනාවලින් කිහිපයක් මෙන්න. “ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න උත්සාහ කරන්න,” “අලුත් යමක් ඉගෙනගන්න,” “අර්ථවත් සමාජ සේවයක නියැලෙන්න,” “ඇවිදීම වැනි. . . ව්‍යායාම කරන්න. කෘතඥපූර්වක වෙන්න.”—එම පුවත්පත The Vancouver Sun.

නවීන දින වහලුන්

“ලොව පුරා අඩුම තරමින් පුද්ගලයන් මිලියන 12.3ක සංඛ්‍යාවකගෙන්වත් බලහත්කාරයෙන් වැඩ ගන්නා” බව එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික කම්කරු සංවිධානය වාර්තා කරනවා. මෙම සංඛ්‍යාවෙන් මිලියන 2.4කට වැඩි සංඛ්‍යාවක් වහලුන් ලෙස මුදලට විකුණනු ලබනවා. ගණිකා වෘත්තිය, බලෙන් හමුදාවට බඳවාගැනීම හෝ ණය ගෙවීම සඳහා වැටුපක් නොමැතිව වැඩ කිරීමට සිදුවීම මීට උදාහරණ ලෙස දැක්විය හැකියි. කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් වන හුවන් සොමාවියාට අනුව එසේ වැඩගැනීම “පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් හා ගෞරවය උල්ලංගනය කිරීමක්.”

මුල්ම ක්‍රියොල් බයිබලය

“ඕස්ට්‍රේලියාවේ මුල් වතාවට ස්වදේශීය භාෂාවෙන් සම්පූර්ණ බයිබලය පරිවර්තනය කර තිබෙනවා” කියා ඕස්ට්‍රේලියානු පුවත්පතක සඳහන් වුණා. ක්‍රියොල් භාෂාවට පරිවර්තනය වූ බයිබලය 2007 දී මුදාහැරීමට නියමිතයි. උතුරු ඕස්ට්‍රේලියාවේ ගම්බද පළාත්වල වෙසෙන ආදි වාසීන් 30,000කට පමණ එම පරිවර්තනයෙන් ප්‍රයෝජන ලැබෙයි. “පරිවර්තනය සඳහා අවුරුදු 27ක් ගත වූ” බව පුවත්පතෙහි සඳහන් වුණා. එක්සත් බයිබල් සමාගම පවසන්නේ “වර්ෂ 2004දී නව ගිවිසුම අලුත් භාෂා 22ට පරිවර්තනය කළ බවයි.” දැන් මුළු බයිබලයම හෝ එහි කොටස් භාෂා සහ උප භාෂා 2,377කින් කියවීමට හැකියි.—එම පුවත්පත The Sydney Morning Herald.

නවතා ඇති වාහන ඇතුළත රස්නෙයි

වර්ෂ 2004 ඇතුළතදී එක්සත් ජනපදයේ දරුවන් 35දෙනෙකු වාහන තුළ තබා යෑම නිසා මිය ගියා. එසේ මිය ගියේ වාහනය තුළ තිබූ දැඩි උණුසුමට හසුවීමෙනුයි කියා එක් සඟරාවක් වාර්තා කළා. පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා යන විට නවතා තිබෙන වාහනය ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 57ත් 68ත් දක්වා ඉහළ යන බව අධ්‍යයනයන්වලින් සොයාගැනුණා. පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ක්ව තිබියදී පවා නවතා තිබෙන වාහනය ඇතුළත උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 22කින් ඉහළ යා හැකියි. බොහෝවිට මෙම උෂ්ණත්වය ඉහළ යෑම සිදු වන්නේ වාහනය නැවැත්වූ පසු ගත වන විනාඩි 15ත් 30ත් අතර කාලයේදීයි. ජනෙල් සෙන්ටිමීටර් 4ක් පමණ විවෘත කර තැබීමවත් එන්ජිම නතර කිරීමට පෙර වායු සමීකරණය දමා තිබීමවත් මෙයට විසඳුමක් නොවෙයි. මීට විසඳුම හැටියට වාර්තාව සැකසූ ලේඛකයන් කියා සිටින්නේ සිදු විය හැකි අනතුරු ගැන මහජනයාව දැනුවත් කළ යුතු බවයි.—එම සඟරාව Pediatrics.