Skip to content

පටුනට යන්න

පාසැලේදී නොහොබිනා ක්‍රියාවලින් වැළකෙන්නේ කොහොමද?

පාසැලේදී නොහොබිනා ක්‍රියාවලින් වැළකෙන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

පාසැලේදී නොහොබිනා ක්‍රියාවලින් වැළකෙන්නේ කොහොමද?

“හැමදාම පාසැලේ ළමයි ලිංගික දේවල් ගැන කතා කරනවා. ගැහැනු ළමයින්ම පිරිමි ළමයි ළඟට ගිහිල්ලා ඉඟි බිඟි පාලා ඉස්කෝලේ ඇතුළේ ලිංගිකව හැසිරෙන්න පොලඹවාගන්නවා.”—අයිලීන්, අවුරුදු 16යි.

“අපේ ඉස්කෝලේ සමලිංගිකව හැසිරෙන පිරිමි ළමයි අනෙක් ළමයි ඉස්සරහ කිසිම ගානක් නැතිව කැත විදිහට හැසිරෙනවා.”—මයිකල්, අවුරුදු 15යි. *

ඔබේ පංතියේ ළමයිනුත් නිතරම ලිංගික දේවල් ගැන කතා කරනවාද? සමහර අය කතාවට පමණක් සීමා නොවී ඊට වඩා වැඩි යමක් කරන්න පෙලඹෙනවාද? ඔබ එවැනි තත්වයකට මුහුණ දෙනවා නම් ඔබත් එක් පාසැල් දැරියක් කියූ දෙයට එකඟ වෙයි. ඇය කියා සිටියේ පාසැල “වැඩිහිටියන්ට විතරක් නරඹන්න සුදුසු චිත්‍රපටියක් රූ ගත කරන තැනක් වගෙයි” කියලයි. මෙවැනි දෙයක් විශ්වාස කිරීමටත් අමාරුයි. නමුත් යථාර්ථය එයයි. පාසැලේදී ළමයින් හුඟදෙනෙක් හැම දවසකම වගේ ලිංගික කාරණා ගැන කතා කරනවා. එහෙමත් නැත්නම් එවැනි ක්‍රියාවල නිරත වෙනවා.

සමහරවිට ඔබේ පංතියේ ළමයිනුත් තම ලිංගික ආශාවන් පිනවාගැනීමට විතරක් මිතුරෙකුව හෝ මිතුරියක සොයනවා කියා ඔබට දැනගන්න ලැබිලා ඇති. සමහරුන් වැඩි දැන හැඳිනුම්කමක් නැති අය සමඟ පවා එකතු වී තම ආශාවන් පිනවගන්නවා. තවත් සමහර අවස්ථාවල කාගේ කවුද කියා නොදන්න අය සමඟ, එනම් අන්තර්ජාලයෙන් මුණගැසුණු පුද්ගලයන් එක්ක පවා ලිංගික ක්‍රියාවල නියැලෙනවා. මෙහිදී ඔවුන්ට අවශ්‍ය තම ආශාවන් පිනවාගැනීමටයි. එම පුද්ගලයන් සඳහා ආදරයක් සෙනෙහසක් ඔවුන් තුළ නැහැ. දහනමවන වියේ පසුවන ඩැනියෙල් මෙසේ කියා සිටියා. “ළමයින්ට ඕනේ තම හැඟීම් හා ආශාවන් පිනවගන්නයි. ඒගොල්ලන්ට ඉන් එහාට දෙයක් ඕනේ නැහැ.”

තමන්ගේ ආශාවන් පිනවාගැනීමට ගැහැනු ළමයෙකු හෝ පිරිමි ළමයෙකුව ඇසුරු කිරීම බොහෝ පාසැල්වල අලුත්ම රැල්ලක් බවට පත් වී තිබෙනවා. “සඳුදා ඉස්කෝලෙට ආවාම යාළුවෝ යාළුවෝ එකතු වෙලා සති අන්තයේදී කොල්ලෝ එක්ක නටපු නාඩගං කිසිම ලැජ්ජාවක් නැතුව කියනවා” කියා 17 හැවිරිදි දැරියක් පාසැලේ පුවත්පතට පැවසුවා.

ඔබ බයිබල් ප්‍රමිති අනුව ජීවත් වෙන්න උත්සාහ දරනවා නම් හැම තිස්සෙම ලිංගික කාරණා ගැන කතා කරන පරිසරයක සිටින විට ඔබ කොන් වී ඇතැයි කියා සිතෙන්න පුළුවන්. ඔබ පංතියේ ළමයින්ගේ කතාවලට හවුල් නොවන විට ඔබව විහිළුවට ලක්වීමටත් ඉඩ තිබෙනවා. මෙවැනි දෙයක් යම් ප්‍රමාණයකට බලාපොරොත්තු විය යුතුයි. ඔබ ක්‍රිස්තියානියෙකු ලෙස ගුණ යහපත්ව ජීවත් වෙන්න උත්සාහ දරන බව වෙනත් අය නොදන්න නිසා ‘නිග්‍රහාත්මක ලෙස කතා කරන්න’ ඉඩ තිබෙනවා කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 පේතෘස් 4:3, 4) ඒත් කවුද කැමති විහිළුවට ලක්වෙන්න. පාසැලේ සිදු වෙන මෙම නුසුදුසු ක්‍රියාවලට හවුල් නොවී ක්‍රිස්තියානියෙක් හැටියට ස්ථාවරය රැකගන්නේ කොහොමද කියලා අපි බලමු. මෙහිදී පළමුවෙන්ම ලිංගික කටයුතුවලට මෙතරම් පෙලඹීමක් තිබෙන්නේ මන්ද කියා සොයා බැලීම වැදගත් වෙනවා.

ඔබව තේරුම්ගන්න

නහඹර වියේදී ශාරීරික හා මානසික වෙනස්කම් සිදු වෙනවා. මේ කාලයේදී ලිංගික ආශාව දැඩිව දැනෙන්න පුළුවන්. මෙය අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පාසැලේදී වෙනත් අය වෙත සිත ඇදී යනවා නම් ඔබට මොකක් හරි ලෙඩක් තිබෙනවා කියා හෝ ඔබ හැදියාවක් නැති කෙනෙකු කියා හෝ හිතන්න එපා. නමුත් ඔබට ක්‍රිස්තියානි කෙනෙකු ලෙස හැසිරෙන්න වුවමනාවක් තිබෙනවා නම් ඔබට හැසිරෙන්න පුළුවන්.

යොවුන් සිතේ තිබෙන නොයෙකුත් හැඟීම් ගැන ඔබ දැනුවත් විය යුතුයි. ඒ වගේම ඔබ දැනුවත් විය යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ අපි සියලුදෙනා තුළම වැරදි දේට වැඩි නැඹුරුවාවක් තියෙනවා කියන එක. බයිබල් ලේඛක පාවුල් පවා එය තේරුම්ගත්තා. “මගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධව යුද්ධ කරන වෙනත් නීතියක් මගේ අවයවයන් තුළ තිබෙන බව මට පෙනේ. මෙය මාව මගේ අවයවයන් තුළ තිබෙන පාපයේ නීතියට වහලෙකු මෙන් ගෙන යන්නේය” කියා ඔහු පැවසුවා. පාවුල්ගේ අසම්පූර්ණකම නිසා ඔහුට සිතුණේ ඔහු “කාලකණ්ණි” මිනිසෙක් කියායි. (රෝම 7:23, 24) නමුත් ඔහු සටනින් ජයගත්තා. ඒ නිසා ඔබ අධෛර්යය වෙන්න එපා. ඔබටත් පුළුවන් සාර්ථකව කටයුතු කරන්න.

පංතියේ මිතුරන්ව තේරුම්ගන්න

කලින් පෙන්වූ ආකාරයට ඔබේ පංතියේ ළමයි කොයි වෙලෙත් ලිංගික කාරණා ගැන කතා කරනවා ඇති. තමන් කළ දේවල් හෝ තමන් කරන්න සිතා සිටින දේවල් ගැන ඔබත් එක්ක කතා කරනවා ඇති. මේ අයගේ බලපෑමෙන් ඔබත් වැරදි දේට පෙලඹෙන්න පුළුවන්. (1 කොරින්ති 15:33) ඒත් ඔබේ පංතියේ ළමයි හතුරෝ විදිහට සලකන්න හොඳ නැහැ. ඇයි එහෙම කියන්නේ?

පංතියේ ළමයින්ට තියෙන්නේ ඔබට තියෙන හැඟීම්මයි. වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔවුන්ටත් තියෙනවා. ඒත් ඔබත් පංතියේ ළමයිනුත් අතර වෙනසක් තියෙනවා. ඒ සමහර ළමයි “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය” වීමයි. එහෙමත් නැත්නම් “ජන්ම ස්නේහය නැති” පවුල් පරිසරයක හැදෙන ළමයි වෙන්න ඇති. (2 තිමෝති 3:1-4) තවත් සමහර ළමයින්ට හොඳ පුහුණුවක් හා රැකවරණයක් දෙමාපියන්ගෙන් ලැබෙන්නේ නැතුව ඇති.—එෆීස 6:4.

ඔබට නම් බයිබලයේ තිබෙන ප්‍රඥාවන්ත උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා ඔබ දන්නවා හැඟීම් පාලනය නොකළොත් වෙන දේ. ඒත් ඔබේ පංතියේ ළමයින්ට බයිබලයේ තිබෙන දැනුම ලැබී නැහැ. (රෝම 1:26, 27) මේ විදිහට ඒක නිදර්ශනය කරන්න පුළුවන්. දෙමාපියන් ඒ ළමයින්ට රිය පදවන්න පුහුණු නොකර කාර් එකක් අරන් දීලා වාහනවලින් පිරි පාරක පදවන්න යවනවා වගේ වැඩක්. පදවද්දී විනෝදයක් ලැබෙයි. ඒත් අනතුරක් නොවී තියෙයිද? ඔබේ පංතියේ ළමයි ලිංගික කාරණා ගැන කතා කරනවා නම් හෝ වැරදි ක්‍රියාවල ඔබට නියැලෙන්න බල කරනවා නම් මොනවාද කරන්න පුළුවන්.

අසභ්‍ය දේවල් කතා කරන්න එපා

ඔබේ පංතියේ ළමයි නුසුදුසු දේවල් කතා කරන කොට සමහරවිට ඔබටත් හිතෙයි ඒ කතාවලට ලුණු ඇඹුල් ටිකක් එකතු කරන්න. එහෙම කළොත් මොකද වෙන්නේ? ඔබත් ඒ ළමයින්ගේ තත්වයටම වැටෙනවා. ඔබ බයිබලයේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න කැමති කෙනෙක් කියලා ඒ ළමයින්ට හිතෙයිද?

පංතියේ ළමයි අතර සිදු වෙන කතා බහක් වැරදි පැත්තට හැරෙනකොට ඔබට මොනවද කරන්න පුළුවන්? එතැනින් නැඟිටලා යන එක තමයි නැණවත්ම දේ. (එෆීස 5:3, 4) බයිබලයේ සඳහන් වන්නේ “බුද්ධිමත් අය නපුර දැක සැඟ වෙයි” කියලා. (හිතෝපදේශ 22:3) එමනිසා නැඟිටලා යන එක මුහුණට දමලා ගහනවා වගෙයි කියලා හිතන්න එපා.

නමුත් මෙහෙම හිතන්න. පංතියේ ළමයි කට්ටියක් හොරකමක් කරන්න ලෑස්ති වෙනවා. ඔබත් ඒ ළමයි එක්ක එකතු වෙලා සාකච්ඡාවට ඇහුම්කන් දෙමින් ඉන්නවාද? ඔබ එහෙම කළොත් ඔබත් ඒ වැරදි වැඩේට හවුල් වෙනවා හා සමානයි. ඒ නිසා ඔබ මොළේ පාවිච්චි කරලා එතැනින් ඉවත් වෙලා යන්න තීරණය කරනවා. මේ දේ තමයි නොහොබිනා දේවල් කතා කරන කොටත් කරන්න තියෙන්නේ. කාගෙවත් සිනහවට ලක් නොවීත් ඔබ ශුද්ධවන්තයෙක් කියලා පෙන්වන්නේ නැතුවත් නැණවත්ව ඒ දේ කරන විදිහක් ඔබට සොයාගන්න පුළුවන්.

හැමවිටම මේ විදිහට කටයුතු කරන්න බැරි වෙන්න පුළුවන්. පංතියේ ඔබ ළඟම ඉඳගෙන ඉන්න ළමයා නිතර ඔබත් එක්ක ලිංගික දේවල් කතා කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක කාරුණිකව කියන්න ඔබට එය වදයක් කියලා. ඒ ක්‍රමයත් හරි ගියේ නැත්නම් බ්‍රෙන්ඩා කළ දේ කරන්න. ඇය මෙසේ පැවසුවා. “මම කාටත් නොදැනෙන විදිහට ගුරුතුමියගෙන් ඇහැව්වා මට වෙන තැනක් දෙන්න පුළුවන්ද කියලා.”

ඥානවන්ත වෙන්න

කවදාහරි දවසක ඔබේ පංතියේ ළමයි හොයලා බලයි ඇයි ඔබ ඔවුන්ගේ කතා බහට හවුල් නොවන්නේ කියලා. ඔවුන් ඒ ගැන ඔබෙන් ඇසුවොත් කල්පනාකාරීව උත්තර දෙන්න. සමහර ළමයි ඔබට සමච්චල් කරන්න ඔබෙන් යම් දේවල් අසයි. ඒත් ඇත්තටම උනන්දුවක් දක්වන කෙනෙකුට ඔබේ ඇදහිල්ල ගැන බය නැතුව කතා කරන්න. හුඟාක් දරුවන් තම පංතියේ මිතුරන්ට බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති අනුව ජීවත් වීමේ ප්‍රයෝජන පෙන්වා දීමට යෞවන අය අසන ප්‍රශ්නක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොත යොදාගෙන තිබෙනවා. *

ස්ථිරයෙන් ඉන්න

පංතියේ ළමයෙක් ඔබව අනවශ්‍ය ලෙස ඇල්ලීමට හෝ සිපගැනීමට උත්සාහ කළොත් මොනවාද කරන්න පුළුවන්? ඔබ මෙයට ඉඩ දුන්නොත් දිගින් දිගටම මේ දේ කරන්න ඔහු හෝ ඇය පෙලඹෙයි. නරක ගැහැනියෙකුට තමන්ව වැලඳගන්න ඉඩ දුන් තරුණයෙක් ගැන බයිබලයේ සඳහන් වී තිබෙනවා. එම තරුණයා එම ස්ත්‍රිය සමඟ නොහොබිනා දේ පවා කතා කළා. මෙම තරුණයාට සිදු වුණේ මොකක්ද කියා ඔබ දන්නවාද? ‘මරන්න ගෙන යන ගොනෙකු මෙන් ඇය පසුපස ගියා.’—හිතෝපදේශ 7:13-23.

මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් තවත් කෙනෙක් ගැන බලමු. ඔහුගේ නම යෝසෙප්. ඔහුගේ ස්වාමියාගේ භාර්යාව ඔහුව වැරදි දේට පොලඹවාගන්න හැමදාම උත්සාහ දැරුවා. ඒත් ඔහු ස්ථිරයෙන්ම ඇගේ වැරදි යෝජනා ප්‍රතික්ෂේප කළා. ඇය ඔහුව වැලඳගන්න උත්සාහ කළ විට ඔහු පැන දිව්වා.—උත්පත්ති 39:7-12.

ඔබේ පංතියේ ළමයෙක් හෝ වෙන කෙනෙක් ඔබව වැරදි දේට නම්මාගැනීම සඳහා ඇල්ලීමට තැත් කළොත් යෝසෙප් මෙන් ස්ථිරයෙන් කටයුතු කරන්න. අයිලීන් මෙහෙම කියනවා. “කවුරුහරි පිරිමි ළමයෙක් මාව අල්ලන්න හැදුවොත් මම ඔහුට කියනවා ඒක නවත්වන්න කියලා. එහෙම කියලත් ඇහැව්වේ නැත්නම් මම හයියෙන් කියනවා මම ඕකට කැමති නැහැ ඕක නවත්වන්න කියලා.” ඇගේ පාසැලේ ඉන්න පිරිමි ළමයි ගැන ඇය මෙවන් දෙයක් කියනවා. “මම කොයි වගේ කෙනෙක්ද කියලා ඒ අයට කිව්වොත් තමයි ඒ අය මට ගරු කරන්නේ.”

ඔබත් පංතියේ ළමයින්ගේ නුසුදුසු කතා බහට හවුල් නොවී සිටියොත් ඔබටත් ඔවුන් ගරු කරයි. සුදුසු අවස්ථාවක් ආ විට ඔබේ සදාචාර ප්‍රතිපත්ති ගැන ඒ අයට කියන්න. වැරදි දේට පොලඹවන්න හැදුවොත් ස්ථිරයෙන් ඒ දේ ප්‍රතික්ෂේප කරන්න. මෙසේ කිරීමෙන් ඔබට ඔබ ගැනම ආඩම්බර වෙන්න පුළුවන්. වැදගත්ම දේ ඔබ කටයුතු කරන ආකාරය ගැන යෙහෝවා සතුටු වීමයි.—හිතෝපදේශ 27:11.

[පාදසටහන්වල]

^ 4 ඡේ. සමහර නම් සැබෑ ඒවා නොවෙයි.

^ 22 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

සිතා බලන්න

▪ අසභ්‍ය දේ කතා කරනකොට ඔබට එතැනින් ඉවත් වෙන්න පුළුවන් කොහොමද?

▪ පංතියේ ළමයෙක් වැරදි යෝජනාවක් කළොත් ඔබ මොනවද කියන්නේ? මොනවද කරන්නේ?

[27වන පිටුවේ පින්තූරය]

අසභ්‍ය දේවල් ගැන කතා කරනකොට එතැනින් නැඟිටලා යන්න

[28වන පිටුවේ පින්තූරය]

වැරදි යෝජනාවක් කළොත් ස්ථිරයෙන්ම ප්‍රතික්ෂේප කරන්න