Skip to content

පටුනට යන්න

‘මැරෙන්න කලින් මම දෙවිට සේවය කරන්න ඕනේ’

‘මැරෙන්න කලින් මම දෙවිට සේවය කරන්න ඕනේ’

‘මැරෙන්න කලින් මම දෙවිට සේවය කරන්න ඕනේ’

මාමි ෆ්‍රීගේ කතාව

වර්ෂ 1990දී ලයිබීරියාවේ සිවිල් යුද්ධය පටන්ගත්තා. දොළොස් හැවිරිදි මාමි සහ ඇගේ පවුලේ අය ජීවත් වුණේ ලයිබීරියාවේ අගනුවර වන මොන්රොවිය නගරයෙයි. ඔවුන් බටහිර අප්‍රිකාවේ ක්‍රාන් නම් ගෝත්‍රයට අයත් අයයි. රට අභ්‍යන්තර යුද්ධය දරුණු වුණා. මාමි මෙවැන්නක් පවසනවා. “අපේ අල්ලපු ගෙදරට බෝම්බයක් වදිනවා අපිට ඇහුණා. ගේ පිච්චිලා ගියා. ඒ ගිනිදැල් අපේ ගෙටත් ආවා. අපේ ගේත් පිච්චුණා.” දරුණු සටන මැද මාමියි, ඇගේ මවයි, ඇගේ මාමයි දිවි ගලවාගෙන දිව්වා.

“එක පාරටම මගේ ඇඟට මොකක්ද වැදුණා” කියා මාමි පැවසුවා.

“ඇයි මොකද” කියා මගේ මව විමසුවා.

“මොකක්ද මගේ ඇඟේ වැදුණා! මං හිතන්නේ වෙඩි උණ්ඩයක්” යයි මම පිළිතුරු දුන්නා.

වේදනාවෙන් බිම ඇද වැටුණ මාමි මෙලෙස යාච්ඤා කළා. “දෙවි පියාණෙනි කරුණාකරලා මට ඇහුම්කන් දෙන්න. මං හිතන්නේ මම මැරෙයි. ඒත් මැරෙන්න කලින් මට ඔබට සේවය කරන්න ඕනේ.” එතකොටම ඇයට සිහි නැති වුණා.

මාමි මැරුණයි කියා සිතමින් අසල්වැසියන් ඇයව අසල මුහුදු වෙරළේ වළලන්න උත්සාහ කළා. ඒත් ඇගේ මව එයට ඉඩ නොදී තරයේ කියා සිටියේ ඇයව ළඟම තියෙන රෝහලකට ගෙනියන්න කියලයි. ඒත් එතරම් තුවාලකරුවන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කරන්න ප්‍රමාණවත් පහසුකම් රෝහලේ තිබුණේ නැහැ. තුවාල වී සිටි මාමා එදිනම රාත්‍රියේ මිය ගියා. මාමි බේරුණත් ඇගේ ඉණෙන් පහළ පණ නැතුව ගියා.

පිටතට නොපෙනුණත් ඇගේ ශරීරය ඇතුලේ තිබූ තුවාලයෙන් ලේ ගැලූ අතර ඇය දැඩි වේදනාවකින් පසු වුණා. මාස හතරකට පස්සේ වෛද්‍යවරුන් ඇයව X-රේ පරීක්ෂණයකට ලක් කළ විට වෙඩි උණ්ඩයක් සිරුර තුළ තිබෙන බව සොයාගත්තා. ඒක තිබුණේ ඇගේ හෘදයවස්තුව හා පෙණහලු අතරයි. සැත්කමක් කිරීම ඉතා අවදානම් නිසා මව ඇයව ගමේ වෙදමහතෙකු ළඟට ගෙන ගියා. “ඔහු බ්ලේඩ් තලයෙන් කැපුමක් සිදු කර කැපුමට ඔහුගේ කට තබා වෙඩි උණ්ඩය එළියට ගැනීමට තැත් කළා” කියා මාමි මතකයට නඟනවා. එවිට “ඔහුගේ කටෙන් වෙඩි උණ්ඩයක් ගෙන ‘හරි මේ තියෙන්නේ ඒක’ කියා ඔහු පැවසුවා. ඔහුගේ ගාස්තුව ගෙවා අපි ආවා.”

ඒත් ඔහු කළේ බොරුවක්. තවත් X-රේ පිටපත් කීපයක් ගැනීමෙන් වෙඩි උණ්ඩය තවදුරටත් එහි තිබෙන බව හෙළි වුණා. එමනිසා මාමි හා ඇගේ මව යළිත් වෙදමහතා ළඟට ගිය විට ඔහු කියා සිටියේ උණ්ඩය ඉවත් කළාට එය X-රේ පිටපත්වල ඒක නොවැටෙන්න තව මාස නවයක්වත් ගත වෙයි කියලයි. ඔවුන් ආපසු නිවසට විත් ඉවසීමෙන් කල් යැව්වා. ඒ අතරතුර වේදනාව සමනය කරගැනීමට මාමි නොයෙකුත් බේත් වර්ග ගත්තා. මාස නවයකට පස්සේ නැවතත් X-රේ පිටපත් කීපයක්ම ගත්තා. වෙඩි උණ්ඩය එලෙසම තිබුණා. වෙදා බයේ පැනලා ගියා.

ඒ වෙනකොට 18 මාසයක් පුරා මාමිගේ සිරුර තුළ උණ්ඩය තිබිලා තියෙනවා. ඉන්පසු ඔවුන්ගේ නෑදෑයෙක් ඇයව යකැදුරියක් ළඟට ගෙන ගියා. බෙහෙත් කරනවා වෙනුවට ඇය කියා සිටියේ මාමි හෝ ඇගේ මව එක්තරා දිනයකදී මිය යන බවයි. මාමි 13වන වියටත් පා තැබුවා. ඇය මෙසේ කියනවා. “මම ඇඬූ කඳුලෙන් කාලය ගෙව්වා. ඒත් නියම කළ දිනය ආ විට අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් මැරුණේ නම් නැහැ.”

ඊට පස්සේ පල්ලියක පූජකයෙක් ළඟට මාමිව අරගෙන ගියා ඇගේ බාප්පා කෙනෙක්. පූජකයා පැවසුවේ මාමිගේ කකුල් පණ නැති වෙලා තියෙන්නේ උණ්ඩයක් හින්දා නෙවෙයි භූත බලපෑමක් හින්දා කියලයි. ඔහු ඒ බව දර්ශනයකින් තමයි දැකලා තියෙන්නේ. ඔහු කියන විදිහටම පිළිපැද්දොත් සතියක් ඇතුළත ඇය නැවතත් ඇවිදින බවට ඔහු පොරොන්දු වුණා. “ඔහු ආශීර්වාද කළ මුහුදු වතුරෙන් මම නිතරම නෑවා. නිරාහාරව හිටියා. හැම මැදියම් රැයකම බිම පෙරළෙමින් සෑහෙන පැය ගානක් ගත කරන්න ඇති. ඒත් මගේ තත්වය යන්තම්වත් හොඳ අතට හැරුණේ නැති නිසා කළ හැම දෙයක්ම ගඟට ඉණි කැපුවා වගේ වුණා.”

කෙසේවෙතත් කාලයක් යද්දී වෛද්‍ය පහසුකම් වැඩිවීම හේතුවෙන් මාමිට සහනයක් ලැබුණා. වසර දෙකකට වැඩි කාලයක් පුරා නිරතුරුවම වේදනා වින්දායින් පස්සේ ඇගේ සිරුර තුළ තිබූ වෙඩි උණ්ඩය ඉවතට ගන්න හැකි වුණා. “ශල්‍යකර්මයෙන් පසුව වේදනාව සම්පූර්ණයෙන්ම නැති වුණා. පහසුවෙන් හුස්ම ගන්නත් පුළුවන් වුණා. කකුල් පණ නැති ගතිය තිබුණත් ආධාරකයක උපකාරයෙන් හිටගන්න පුළුවන් වුණා” කියා ඇය පවසනවා.

මාමිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුණගැසෙයි

සැත්කමෙන් සති කීපයකට පස්සේ මාමිගේ මවට යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු මුණගැසුණා. දුව ආශාවෙන් බයිබලය කියවන නිසා ඈ සාක්ෂිකරුවන්ව නිවසට කැඳෙව්වා. මාමි ඒ වෙලාවෙම කැමති වුණා බයිබලය අධ්‍යයනය කරන්න. මාස කීපයකට පස්සේ ඇයට යළිත් රෝහලට යන්න සිද්ධ වුණ නිසා සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න බැරුව ගියා.

එහෙත් බයිබල් දැනුම ලබාගැනීමේ ආශාව නැති වුණේ නැහැ. ඒ නිසා පල්ලියක ආගමික නායකයෙක් ඇයට උපකාර කරන්න ඉදිරිපත් වූ විට ඇය ඊට කැමැත්ත පළ කළා. එක දවසක් ඉරිදා පාසැලේදී ඇගේ පංතියේ වෙනත් ශිෂ්‍යයෙක් ගුරුවරයාගෙන් ඇහැව්වා “යේසුස් දෙවිට සමානද” කියලා.

“ඔව්. ඔවුන් සම්පූර්ණයෙන්ම එක සමානයි. නමුත් හැම අතින්ම නෙවෙයි” කියා ගුරුවරයා පැවසුවා.

‘සම්පූර්ණයෙන්ම එක සමාන නම් හැම අතින්ම සමාන නොවෙන්නේ කොහොමද? මේක ඇත්ත වෙන්න බැහැ’ කියා මාමි සිතුවා. ඇය ඉගෙනගන්න බයිබල් සත්‍යය ගැන සෑහීමකට පත් නොවුණ නිසා එම පල්ලිය සමඟ තිබුණ ඇසුර ඇය නවතා දැමුවා.

වර්ෂ 1996දී මොන්රොවියාවේ යළිත් සටන් ඇරඹුණා. මාමිගේ පවුලේ තවත් සාමාජිකයන් දෙදෙනෙක් මිය ගියා. දෙවන වරටත් ඇගේ ගේ පිළිස්සී ගියා. මාස කීපයකට පස්සේ ගෙයින් ගෙට දේශනා සේවයේ යෙදෙමින් සිටි සාක්ෂිකාරියන් දෙන්නෙක් මාමිට මුණගැසුණා. යළිත් ඈ ඔවුන් සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. මුල් වතාවට ඇය රැස්වීමට ගිය විට සභාවේ වැඩිමහල්ලන් ඇතුළු සෑමදෙනෙක්ම රාජ්‍ය ශාලාව පිරිසිදු කරන්න උපකාර කරනවා දැකලා ඇය පුදුම වුණා. ඒ වසරේම අගභාගයේදී ඇයට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ “දේවසමාදානයේ දූතයෝ” නම් දිස්ත්‍රික් සමුළුවට යෑමට අවස්ථාව ලැබුණා. සාක්ෂිකරුවන් විශාල පිරිසක් රැස් වූ තැනකට ඇය ගිය මුල් වතාව එයයි.

“මම හුඟක් පුදුම වුණේ සාක්ෂිකරුවන් අතරේ විවිධ ගෝත්‍රිකයන් සිටියත් ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වපු අවංක ප්‍රේමය දැකලයි. ඒ වගේම හැම දෙයක්ම හොඳ පිළිවෙළකටයි කෙරුණේ” කියා මාමි පවසනවා.

ඇය ආශාවෙන් දෙවිගේ සේවයේ යෙදෙයි

වර්ෂ 1998දී සටන දරුණු වූ නිසා මාමිට හා ඇගේ මවට සිදු වුණා අසල්වැසි රට වන අයිවරි කෝස්ට්වලට පලා යන්න. එහේ කඳවුරක තවත් ලයිබීරියානුවන් 6,000ක් පමණ සංඛ්‍යාවක් එක්ක අපි නැවතුණා. මාමි සාක්ෂිකරුවන් එක්ක බයිබලය දිගටම පාඩම් කරමින් දියුණුවක් ලැබුවා. වැඩි කල් නොගොස් ඇයට වුවමනා වුණා ඇය විශ්වාස කරන දේ අන් අයට පවසන්න. සාක්ෂිකාර සහෝදර සහෝදරියන් ඇගේ රෝද පුටුව තල්ලු කරමින් ඇයට ප්‍රසිද්ධියේ දේවසේවයේ යෙදෙන්න උපකාර කළා. මේ විදිහට සරණාගතව සිටි බොහෝදෙනෙකුට කදිම සාක්ෂියක් දරන්න ඇයට පුළුවන් වුණා.

ශාරීරික ආබාධය නිසා අසීරුතාවලට මුහුණ දුන්නත් කිලෝ මීටර් හයක දුරින් පිහිටි රාජ්‍ය ශාලාවේ පැවැත්වුණ සෑම රැස්වීමකටම ඇය ගියා. වර්ෂ 2000හේ මැයි 14වනදා ඇය කිලෝමීටර් 120කට වැඩි දුරක් ගෙවා විශේෂ එක් දින එක් රැස්වීමට සහභාගි වී තමා දෙවිට කැප වී සිටින බව පෙන්වමින් බව්තීස්ම වුණා. (මතෙව් 28:19, 20) කඳුලින් පිරි දෑසින් බලා සිටි විශාල පිරිසක් ඉදිරියේ මාමිව කුඩා ගඟකට රැගෙන ගියා. ඇය බව්තීස්ම වුණා. වතුරෙන් ඇය උඩට මතු වෙද්දී ඇගේ ප්‍රීතිය කොතරම්ද කියනවා නම් ඇගේ මුහුණ මලක් මෙන් පිපිලා තිබුණා.

දැන් ඝානාවල සරණාගත කඳවුරේ සිටින මාමිගේ ඉලක්කය දෙවිට වැඩියෙන් සේවය කිරීමට ස්ථාවර පුරෝගාමි සේවයේ හෝ පූර්ණ කාලීන දේවසේවයේ යෙදෙන්නයි. ඇගේ මවත් දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරනවා පමණක් නොව ඇය ඉගෙනගත් දේ අන් අයටත් පවසනවා. දෙදෙනාම දැන් ඉතා උනන්දුවෙන් බලා සිටින්නේ බයිබලයේ පොරොන්දු වී ඇති පරිදි ‘කොරා මුවකු මෙන් පැන යන, ගොළුවාගේ දිව ගී කියන’ කාලය පැමිණෙන තුරුයි.—යෙසායා 35:5-7.

[22වන පිටුවේ පින්තූරය]

මාමිගේ සිරුරෙන් ඉවතට ගත් වෙඩි උණ්ඩය

[23වන පිටුවේ පින්තූරය]

මාමිව බව්තීස්මය සඳහා කුඩා ගඟකට ගෙන යයි

[23වන පිටුවේ පින්තූරය]

ඇගේ මව වන එමා සමඟ බයිබල් පාඩමක් පවත්වමින්