Skip to content

පටුනට යන්න

ලොව වටා සැරි සැරූ පැළයක්

ලොව වටා සැරි සැරූ පැළයක්

ලොව වටා සැරි සැරූ පැළයක්

එක්තරා තැනැත්තෙක් කෝපි පැළයට දැක්වූ ඇල්ම පිළිබඳ කතන්දරයක් තිබෙනවා. එය “කෝපි පැළය ලොව පුරා සැරි සැරූ ආකාරය පිළිබඳ කතා පුවතේ අතිශයින් සිත්ගන්නා අංගයක්” බව එක් ප්‍රකාශනයක පළ වෙයි. (එම පොත “All About Coffee”) ඒ පුංචි පැළය යෝධ වැඩක් කළා. සඟරාවක පවසන පරිදි, අද දින ලොව පුරා කෝපි කර්මාන්තයෙන් වසරකට ඩොලර් බිලියන 70ක් උපදවනවා. එය දෙවනි වන්නේ ඛනිජ තෙල්වලින් ලැබෙන ආදායමට පමණයි.—එම සඟරාව “සයන්ටිෆික් අමෙරිකන්.”

කෝපි පිළිබඳ රස බර කතා පුවත පටන්ගන්නේ ඉතියෝපියාවේ උස් බිම්වලින්. කෝපිවල නිජ බිම ඉතියෝපියාවයි. අද ලොව පුරා භාවිතයට ගැනෙන කෝපිවලින් තුනෙන් දෙකක්ම නිෂ්පාදනය වන්නේ කොෆෙයා අරාබිකා නම් කෝපි වර්ගයෙන්. කෙසේවෙතත් කෝපි බදින්න පටන්ගත්තේ කොතැනද යන්න නම් හරියටම කිව නොහැකියි. අරාබිකා කෝපි අරාබි රටවල වගා කිරීම සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 15වන සියවසේදීයි. පැළ කළ හැකි අමු බීජ අපනයනය කිරීම තහනම් කර තිබුණත් 1616දී ඕලන්දයට කෝපි ගස් හෝ බීජ ගෙන්වාගත්තා. වැඩි කල් නොගොස් ශ්‍රී ලංකාවෙත්, ඉන්දුනීසියාවට අයත් ජාවා රටෙත් මහ පරිමාණයෙන් කෝපි වගා කිරීමට පටන්ගත්තා.

ඕලන්ද ජාතිකයන් 1706දී ජාවා රටේ තිබූ තම වතුවලින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්වල පිහිටි උද්භිද උද්‍යානයට පුංචි පැළයක් ලබා දුන්නා. සාරවත්ව වැඩුණු එම මව් ගසෙන් බෝ කරගත් පුංචි පැළ සූරිනෑම් හා කැරිබියන් දූපත්වල පිහිටි ඕලන්ද ජනපදවලට ගෙන ගියා. ඇම්ස්ටර්ඩෑම්හි පාලකයා 1714දී ප්‍රංශයේ 14වන ලුවී රජට එක් පැළයක් තෑගි කළා. ලුවී රජු එය පැරිසියේ රාජකීය උද්‍යානයක පිහිටි හරිතාගාරයේ සිටුවීමට කටයුතු සැලසුම් කළා.

කෝපි ව්‍යාපාරයට පිවිසෙන්න ප්‍රංශ ජාතිකයන් මහත් ආශාවක් දැක්වුවා. බීජ හා පැළ මිල දී ගත් ඔවුන් ඒවා රියූනියන් දූපතට යැව්වා. එහෙත් නොමැරී සාරවත්ව වැඩුණේ එකම එක පැළයක් පමණයි. ඒ ගසෙන් ගත් බීජ 15,000ක් 1720දී සිටුවා සාර්ථක වැවිල්ලක් ආරම්භ කළා. සාරවත්ව වැඩෙන මෙම ගස් මසුරන් මෙන් වූ අතර කවරෙකු හරි ඒ එකකටවත් හානි කළා නම් නියම වුණේ මරණ දණ්ඩනයයි! කැරිබියන් දූපත්වලත් කෝපි වගාව අරඹන්න ප්‍රංශ ජාතිකයන් උත්සාහ කළත් මුල් ප්‍රයත්නයන් දෙකක් අසාර්ථක වුණා.

ප්‍රංශ නාවුක හමුදා නිලධාරියෙකු වන ගබ්‍රිඑල් මතියෝ ඩි ක්ලියෝ නිවාඩු පිට පැරිසියේ සිටියදී මාර්ටිනික්හි තිබෙන තමන්ගේ වතු යායේ කෝපි ගසක් සිටු විය යුතුයි කියා කල්පනා කළා. පැරිසියේ තිබූ කෝපි පැළයක් රැගෙන ඔහු එම දූපත කරා යළි නාවුක ගමන ඇරඹුවේ 1723 මැයි මාසයේදීයි.

ගමනට ඔරොත්තු දීම සඳහා ඔහු එම අගනා පැළය පෙට්ටියක තැබුවා. පෙට්ටියේ අඩකට වීදුරු දමා තිබුණේ හිරු එළිය උරාගැනීමට හා වළාකුළු සහිත දිනවලදී උණුසුම රඳවාගැනීමටයි කියා එක් ප්‍රකාශනයක පැහැදිලි කරයි. (එම ප්‍රකාශනය All About Coffee) ඔහු සමඟ ගමන් ගත් සෙසු මගියෙක් ඔහුට ඊර්ෂ්‍යා කළ අතර ඔහුගේ ව්‍යාපාරය සාර්ථක වෙනවා දැකීමට අකමැතිව බලහත්කාරයෙන් පැළය ගන්න වෑයම් කළත් වෑයම අසාර්ථක වුණා. පැළය බේරුණා. ටියුනීසියා මංකොල්ලකරුවන් නැවට පැන්න විටත්, චණ්ඩමාරුතයන් හමද්දීත්, අත්ලාන්තික් සාගරයේදී නෞකාව නැවතුණ අවස්ථාවේ වතුර හිඟ වුණ විටත් එය බේරුණා.

“මේ විදිහට මට ඉතුරු වෙලා තිබුණ වතුර ටික මාසෙකට වැඩි කාලයක් පිරිමහගන්න සිද්ධ වුණත් බලාපොරොත්තු දහසක් තබාගෙන ගෙනා පැළයට සාත්තු කළෙත් ඒ වතුර ටිකෙන්. මගේ සතුට රැඳිලා තිබුණේ ඒ පැළය නිසයි” කියා ලියුවේ ඩි ක්ලියෝයි.

ඔහුගේ මහන්සියට ප්‍රතිඵල ලැබුණා. ඔහු ගෙන ගිය කෝපි පැළය මාර්ටිනික්වලට යද්දී හොඳ තත්වයක තිබුණා. ඉන්පසු එහි තිබූ දේශගුණය නිසා ගස සරුවට වැඩුණා. “බුරුතු පිටින් කෝපි ගෙඩි හැදුණ මේ එක ගසෙන් බ්‍රසීලය, ප්‍රංශ ගිනියා සහ සූරිනෑම් හැර අමෙරිකාවේ සියලුම රටවලට කෝපි ඇට සැපයීමට මාර්ටිනික්වලට හැකි වුණා” කියා ගෝර්ඩන් රිග්ලි විසින් ලියූ කොෆී නම් පොතේ සඳහන් වුණා.

මේ අතරතුර බ්‍රසීලය හා ප්‍රංශ ගිනියාවලටත් කෝපි ගස් වුවමනා වුණා. ඇම්ස්ටර්ඩෑම්වලින් සූරිනෑම්වලට ගෙන ගිය ගසේ හිමිකරුවන් වූ ඕලන්ද ජාතිකයන් එයින් බෝ කරගත් පැළ ඉතා පරෙස්සමින් ආරක්ෂා කළා. කෙසේවෙතත් ප්‍රංශ ගිනියාවේ අපරාධකරුවෙක් සූරිනෑම්වලට පලා ගිය අතර එහිදී කෝපි ඇට සොරකම් කළා. ඔහු ඒවා ටික ගෙනැවිත් තමන්ට භාර දෙනවා නම් ඔහුව අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රංශ ගිනියාවේ බලධාරීන් 1722දී ඔහුට පොරොන්දු වුණා.

බීජ හෝ පැළෑටි පැහැරගෙන බ්‍රසීලයට ගෙන යෑමට දැරූ මුල් වෑයම අසාර්ථක වුණා. ඉන්පසු සූරිනෑම් හා ප්‍රංශ ගිනියාව අතර විශාල ගැටුමක් ඇති වූ නිසා ප්‍රශ්නය නිරාකරණය කිරීමට මැදිහත් වන්න කියා බ්‍රසීලයෙන් ඉල්ලා සිටියා. හමුදා නිලධාරියෙකු වූ ෆ්‍රන්සිස්කූ මේලූ ඩි පාල්යෙටාව බ්‍රසීලයෙන් ප්‍රංශ ගිනියාවට යවනු ලැබුවේ අරගලය සමතයකට පත් කර කෝපි පැළ ටිකකුත් රැගෙන එන ලෙස උපදෙස් දීමෙන් අනතුරුවයි.

පාල්යෙටා සාර්ථකව ප්‍රශ්නය නිරාකරණය කළ පසු ආණ්ඩුකාරයා ඔහු වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පැවැත්වුවා. මෙම ආරාධිත අමුත්තාව අගය කිරීම සඳහා ආණ්ඩුකාරයාගේ භාර්යාව පාල්යෙටාට අලංකාර මල් කලඹක් තෑගි කළා. එනමුත් එහි මල් අතරේ කෝපි ඇට සහ කුඩා පැළෑටි සඟවා තිබුණා. එමනිසා දැන් බ්‍රසීලයේ ඩොලර් බිලියන ගණන් උපයන කෝපි කර්මාන්තය 1727දී මල් කලඹකින් බිහි වුණා කියා පැවසිය හැකියි.

මෙයාකාරයට ජාවා සිට ඇම්ස්ටර්ඩෑම්වලට 1706දී ගිය කුඩා කෝපි පැළයෙන් සහ පැරිසියට ගෙන ගිය එම පැළයේ පුංචි පැළයකිනුයි මධ්‍යම හා දකුණු අමෙරිකාවේ කෝපි ව්‍යාප්ත වී තිබෙන්නේ. රිග්ලි මෙසේ පැහැදිලි කරනවා. “මේ කර්මාන්තය පටන්ගත්තේ එක ගසකින් හෝ දෙකකින් නිසා කෝපි ගස්වල වැඩි විවිධත්වයක් නැහැ.”

අද දින රටවල් 80ක පමණ පවුල් මිලියන 25කට වැඩි සංඛ්‍යාවකගේ කෙත් වතුවල කෝපි ගස් බිලියන 15ක් වැඩෙන බවට ගණන් බලා තිබෙනවා. ඉන් නිපදවන කෝපිවලින් සෑම දවසකම පානය කරන කෝපි කෝප්ප බිලියන 2.25ක් සාදනු ලබනවා.

පමණ ඉක්මවා කෝපි නිෂ්පාදන කිරීම අද ගැටලුවක් වී තිබීම ඇත්තෙන්ම හාස්‍යයට කරුණක්. මෙම ගැටලුව වඩාත් උග්‍ර වන්නේ දේශපාලන හේතු, ආර්ථික තත්වයන් හා නිෂ්පාදිත භාණ්ඩ පිළිබඳ සම්මුතීන් යන කාරණා නිසයි. ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ රටවල කෝපි වවන්නන් දිලිඳුව හෝ අසරණව සිටිනවා. ඩි ක්ලියෝ මීට වසර 300කට පමණ පෙර ඔහු සතුව තිබුණ වතුර ටිකෙන් පැළයට සාත්තු කළ ආකාරය ගැන සිතනකොට දැන් තත්වය ගැන පුදුම හිතෙන්නේ නැද්ද?

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සුප්‍රසිද්ධ කෝපි දෙවර්ගය

“අමු කෝපි ගෙඩි සෑදෙන්නේ රූබියාසේ කුලයට අයත් ශාකයකයි. කොෆෙයා ගණයට අයත් එහි විශේෂ 66ක්වත් තිබෙනවා. වාසිදායක ආදායම් මාර්ගයක් වී තිබෙන දෙවර්ගය වන්නේ ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් දෙකකට දායක වන කොෆෙයා අරාබිකා සහ තුනෙන් එකකට දායක වන කොෆෙයා කනෙෆරායි. කනෙෆරා බොහෝවිට හඳුන්වන්නේ රොබුස්ටා කෝපි යන නමින්” කියා සයන්ටිෆික් අමෙරිකන් සඟරාවේ සඳහන් වෙනවා.

සැර සුවඳක් තිබෙන රොබුස්ටා කෝපි බොහෝදුරට භාවිත වන්නේ පහසුවෙන් දිය වන ක්ෂණික කෝපි වර්ග නිෂ්පාදනය කිරීමටයි. හොඳ අස්වැන්නක් ලැබෙන මෙය රෝගවලටත් ඔරොත්තු දෙන ගසක්. මෙතරම් ශක්තිමත් නැති, හොඳ අස්වැන්නක්ද නොලැබෙන කප්පාදු නොකළ අරාබිකා ගස මෙන් දෙගුණයක් උස යන මෙය මීටර් 12ක පමණ උසට වැඩෙයි. රොබුස්ටා බීජයක කැෆේන් සියයට 2.8ක් තිබෙන අතර අරාබිකාවල කවදාවත් සියයට 1.5 ඉක්මවන්නේ නැහැ. අරාබිකාවල වර්ණදේහ 44ක් තිබුණත් රොබුස්ටා හා අනෙක් කෝපි ශාක සියල්ලේම තිබෙන්නේ වර්ණදේහ 22ක් වුණත් දෙමුහුන් පැළ ලබාගැනීමට මේවායින් සමහරක් සමඟ අරාබිකා බද්ධ කළ හැකියි.

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පල්ලියෙන් පිළිගත් පානයක්!

යුරෝපීයයන් පළමු වතාවට කෝපිවල රස බැලුවේ 17වන සියවසේදී වුවත් කතෝලික පූජකයන් කීපදෙනෙක් එය කතෝලිකයන්ට නුසුදුසු යක්ෂයාගේ පානයක් හැටියට නම් කළා. ඔවුන් භය වුණේ යේසුස් විසින් අනුමත කළ වයින් වෙනුවට පූජාවලදී කෝපිත් භාවිතයට ගනියි කියලයි. එහෙත් අටවන ක්ලෙමන්ට් පාප් තුමා කෝපිවල රස බැලූ විගසම එයට කැමති වුණා කියා කොෆි නම් පොතේ සඳහන් වෙයි. ඉන්පසු ඔහු පූජාවක් පවත්වා මෙම පානය කතෝලිකයන්ට සුදුසු ශුද්ධ පානයක් බවට පත් කළා.

[18, 19වන පිටුවේ රූප සටහන⁄සිතියම]

ව්‍යාප්ත වීම

(මුද්‍රිත පිටපත බලන්න)

1. 1400 ගණන්වල අරාබියේ කෝපි වගා කරනු ලැබුවා

2. 1616 ඕලන්ද ජාතිකයන් කෝපි පැළ හෝ බීජ ලබාගත්තා

3. 1699 ඕලන්ද ජාතිකයන් ජාවා රටට හා අනික් නැඟෙනහිර දූපත්වලට පැළ ගෙන ගියා

4. 1700 ගණන්වලමධ්‍යම අමෙරිකාවේ හා කැරිබියන් දූපත්වල කෝපි වගා කරනු ලැබුවා

5. 1718 ප්‍රංශ ජාතිකයන් රියුනියන්වලට කෝපි ගෙන ගියා

6. 1723 ජී. එම්. ඩි ක්ලියෝ මාර්ටිනික්වලට ප්‍රංශයෙන් කෝපි පැළයක් ගෙන ගියා

7. 1800 ගණන්වල හවායිවල කෝපි වගා කරනු ලැබුවා

[හිමිකම් විස්තර]

Source: From the book “Uncommon Grounds”

[18, 19වන පිටුවේ පින්තූරය ]

ගබ්‍රිඑල් මතියෝ ඩි ක්ලියෝ 1723දී මාර්ටිනික්වලට ගිය ගමනේදී කෝපි පැළය රැකගත්තේ තමාට බීමට තිබූ වතුර ටිකෙන්

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Map: © 1996 Visual Language; De Clieu: Tea & Coffee Trade Journal