Skip to content

පටුනට යන්න

වැල්ලේ වැජඹෙන දූපත පාරාදීසයක්

වැල්ලේ වැජඹෙන දූපත පාරාදීසයක්

වැල්ලේ වැජඹෙන දූපත පාරාදීසයක්

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

බ්‍රිතාන්‍ය ගවේෂකයෙකු වූ කැප්ටන් ජේම්ස් කුක් 1770දී ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර මුහුදු තීරය ඔස්සේ නැවෙන් ගමන් කළා. බ්‍රිස්බේන් නගරයෙන් උතුරට, කිලෝමීටර් 150කට ටිකක් වැඩි දුරකින් පිහිටි විශාල වෙරළක් සහිත දූපතද ඔහු පසු කළා. එහෙත් කුක් මහතා ඒ දූපත ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. ඔහු සහ අනෙක් අය සිතුවේ එය දූපතක් නොව අර්ධද්වීපයක් කියලයි. ඊට වසර කීපයකට පසු ගවේෂක මැතිව් ෆ්ලින්ඩර්ස් මෙම වෙරළට පැමිණියා. ‘මේ අර්ධද්වීපය තරම් පාළු තැනක් නම් තවත් නැතුව ඇති’ කියා ඔහු ලිව්වා. එහෙත් කාලයාගේ ඇවෑමෙන් එම දූපත නරඹන්න වාර්ෂිකව 3,00,000ක් පමණ පිරිසක් පැමිණෙන්න පටන්ගත්තා.

කුක් මහතා සහ ෆ්ලින්ඩර්ස් මහතා එම දූපත ගැන යමක් පැවසීමට පෙර සුදෝ සුදුවන් මුහුදු වෙරළ හා වැලි කඳු වැටි හරහා කිලෝමීටර් කීපයක් දූපත තුළට එදා ඇවිද්දා නම් ඔවුන්ගේ අදහස වෙනස් වන්න ඉඩ තිබුණා. ඔවුන්ට සදාහරිත වැසි වනාන්තරද, නිල් කැටේ වගේ දිලිසෙන විල්ද, වෛවර්ණ දර්ශනීය කඳු වැටිද, සිය ගණන් සත්ව විශේෂයන්ද දැකගන්න පුළුවන්කම තිබුණා. වැල්ලෙන් ගහණ මෙම විශාලතම දූපත දැන් හඳුන්වන්නේ ෆ්‍රේසර් දූපත කියායි. එය මොන තරම් විශිෂ්ටද කියනවා නම් 1992දී ස්වභාව රක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබුවා. *

කඳුකරයෙන් බිහි වුණු දූපතක්

කිලෝමීටර් 120ක් දිග, කිලෝමීටර් 25ක් පළල ෆ්‍රේසර් දූපත හෙක්ටෙයාර 1,60,000ක භූමි ප්‍රදේශයක්. විශාල වැලි කඳු මුහුදු මට්ටමෙන් මීටර් 240ක් ඉහළට නැඟ ඇති නිසා මෙය උසම වැලි කඳු තිබෙන දූපත බවට පත් වෙලා. මෙම අතිවිශිෂ්ට භූමි ප්‍රදේශය බිහි වුණේ කෙසේද?

මේ දූපත සෑදෙන්න හේතු වූ වැලි කන්දරාවන් ගසාගෙන ඇවිත් තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර මුහුදු තීරයේ තිබූ කඳු යායෙනුයි. ධාරාණිපාත වැසි ඇදහැලෙද්දී කැඩී ගිය ගල් කෑලි ගංගාවලට හා මුහුදට ගහගෙන යෑමෙන් පසු මුහුදු ප්‍රවාහ මගින් එම ගල් සියුම් වැලි කැබලිවලට කැඩීමෙන් අනතුරුව ඒවා උතුරු මුහුදු පතුල දිගේ ගසාගෙන ගිහින් තිබෙනවා. මුහුද යට පිහිටා ඇති පර්වත අතරේ එම වැලි රැඳීම නිසයි ෆ්‍රේසර් දූපත ක්‍රම ක්‍රමයෙන් බිහි වුණේ.

එවක් පටන් පැසිෆික් සාගරයෙන් නැඟෙන රැළි වෙරළ තීරයන් කරා වැලි ඇදගෙන යනවා. සුළං හමද්දී එම වැලි දූපත ඇතුළට ගසාගෙන ගොස් වැලි කඳු බිහි කරනවා. ඉන්පසු එම කඳු වසරක් ඇතුළත මීටරයක් පමණ ඉදිරියට යන්නේ වැලි ගසාගෙන යන මාර්ගයන්ද කඳු බවට පත් කරමින්.

මිරිදිය විල් හා දුර්ලභ වනාන්තර

පුදුමයට කරුණක් වන්නේ මේ දූපතේ වැල්ලේ මිරිදිය සහිත විල් 40ක් තිබීමයි. මේවායින් සමහර විල් උස් වැලි කඳු මත පිහිටා තිබෙනවා. එමෙන්ම ජලය වැල්ලට උරා නොගෙන රැඳී තිබෙන්නේ දිරාපත් වූ අතු හා කොළ රොඩුවලින් තට්ටුවක් සෑදී තැන්පත් වී තිබෙන නිසයි. බොහෝදුරට මෙවැනි විල් ලැඟුම් විල් ලෙස හඳුන්වනවා.

දූපතේ ඊට වෙනස් විල්ද තිබෙනවා. ඒවා සෑදෙන්නේ වැල්ලේ හෑරෙන වලවල් භූ ජල මට්ටමෙනුත් පහළට යන විටයි. එම වළවල්වලට නැවුම් මිරිදිය කාන්දු වී ලස්සන පොකුණු සෑදෙනවා.

සෙන්ටිමීටර් 150ක වැසි ජල ප්‍රමාණයක් වසරකට ඇදහැලෙන නිසා දූපතේ විල්වල ජලය නිතරම පිරී තිබෙනවා. විල්වල නොරැඳුණ හෝ වැල්ලට උරා නොගත් ජල කඳ වේගයෙන් දිවෙන දුම්රියක් සේ මුහුදට ගලාබසියි. එම එක දිය පාරකින් පැයකට ජලය ලීටර් මිලියන 5කට වඩා පැසිෆික් සාගරයට මුදාහැරෙයි.

මෙම ෆ්‍රේසර් දූපත නිරතුරුවම කොළ පැහැය ගන්නේ ජලය බහුලව තිබෙන නිසයි. නිසරු වැල්ලේ සාමාන්‍යයෙන් වැසි වනාන්තර බිහි වන්නේ නැහැ. නමුත් වැල්ලේ වැජඹෙන දූපත් ස්වල්පය අතරින් මෙම දූපතද සාරවත් වැසි වනාන්තර තිබෙන තැනක්. එක් කාලෙකදී මෙය මොන තරම් ඝන කැලෑවක්ව තිබුණාද කියනවා නම් වසර 100කට වැඩි කාලයක් පුරා දැව සහ ලාටු ගැනීම සඳහා ගස් කපා දමා තිබෙනවා. කැලෑව ගැන මනා දැනුමක් ඇති කෙනෙක් 1929දී පැවසුවේ මෙයයි. “මෙහි පැමිණෙන කෙනෙකුට මීටර් 45ක පමණ උස අරටුව සහිත යෝධ ගස් දැකගැනීමට හැකියි. . . . වනාන්තරයේ වැජඹෙන මෙම යෝධ ගස් මීටර් දෙකක් හෝ තුනක් පළලයි.” සූවස් ඇලේ තාප්ප සෑදීමටත් මෙම වනාන්තරයෙන් ටර්පන්ටයින් වැනි විශාල ගස් යොදාගත්තා. කෙසේවෙතත් අද දින ෆ්‍රේසර් දූපතේ ගස් නිදැල්ලේ වැඩෙනවා.

දුක්ඛිත අතීතය වැළලූ පාරාදීසය

දූපතේ නම පටබැඳුණේ දුක්ඛිත සිදුවීමක් මුල් වූ නිසයි. වර්ෂ 1836දී කැප්ටන් ජේම්ස් ෆ්‍රේසර් හා ඔහුගේ බිරිඳ වූ ඉලයිසා, ස්ටර්ලිං කාස්ල් නම් කුඹල් නැවේ සිටියදී නැව මූදුබත් වුණා. ඔවුන් දෙදෙනා බේරුණු අතර මෙම දූපතේ වෙරළට ගසාගෙන ආවා. එහි සිටි ගෝත්‍රිකයන් කපිතාන්ව මරා දමන්න ඇති. නමුත් ඉලයිසාව බේරුණා. මේ ඛේදවාචකයේ සලකුණක් ලෙස මහ වැලි දූපත යන නමින් ප්‍රසිද්ධව තිබූ මෙම දූපත ෆ්‍රේසර් දූපත බවට පත් වුණා.

එහි වැසියන්ද ඛේදවාචකයකට මුහුණ දුන්නා. එක් කාලයකදී ෆ්‍රේසර් දූපතේ ආදි වාසීන් 2,000ක් පමණ සිටියා. ඔවුන් හැඩි දැඩි මිනිස්සු. ඔවුන් මෙම දූපත හැඳින්නුවේ පාරාදීසය කියායි. ඔවුන්ගේ ප්‍රබන්ධ කථාවක සඳහන් වන්නේ මවා ඇති ලස්සනම දූපත එය බවයි. කෙසේවෙතත් යුරෝපයෙන් පැතිර ආ රෝග හේතුවෙන් ඔවුන්ගෙන් විශාල සංඛ්‍යාවක් මිය ගියා. ඊට අමතරව 20වන සියවස ඇරඹෙත්ම ඉතිරිව සිටි ආදිවාසීන්වද ඕස්ට්‍රේලියාවේ ඔවුන් සඳහා වෙන් කළ ප්‍රදේශවල පදිංචි කෙරෙව්වා.

රජදහනක්

මෙම දූපත අද දින වන ජීවීන්ගේ රජදහනක් වෙලා. ඕස්ට්‍රේලියාවේ වල් බල්ලන් එහි ගහනව සිටින බව ප්‍රචලිතයි. ඕස්ට්‍රේලියාවේ ගෙවල්වල ඇති කරන බල්ලන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මෙම බල්ලන් වෙසෙන්නේ නැඟෙනහිර ඕස්ට්‍රේලියාවෙයි. ගෙවල්වල ඇති කරන බල්ලන්ගේ පෙනුම උන්ට තිබුණත් උන් ඊට වඩා වෙනස් වර්ගයක් බැවින් උන් අවට ගැවසෙද්දී පරෙස්සම් විය යුතුයි.

මෙම දූපතේ පක්ෂි වර්ග 300කටත් වඩා දක්නට ලැබෙනවා. බමුණු පියාකුස්සන් හා කුසඇලි සයුරුකුස්සන් මුහුදු වෙරළ ආශ්‍රිතව ගැවසෙන අතර නිල් කැලෑ පිලිහුඩුවෝ විල් අද්දර එහාට මෙහාට පියාසර කරනවා. සයිබීරියාවේදී තම වර්ගයා බෝ කරන මොන්ගෝලි හීන් වැලි ඔලෙවියා වැනි සංක්‍රමික පක්ෂීන්ද ශීත කාලයේදී දකුණු දෙසට පියාසර කරනවා. උන්ගේ සංචාරය අවසන් කිරීමට පෙර උන් කෙටි කාලයක් ගිමන් හරින්නේ ෆ්‍රේසර් දූපතේදීයි. ඊට අමතරව, කපුටන් තරම් විශාල මාවවුලන් 30,000ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් යුකැලිප්ටස් මල්වලින් රොන් බීමට කලින් කලට මෙම දිවයිනට එනවා.

ෆ්‍රේසර් දූපත වටා මුහුදු ජීවීන්ද සැරි සරනවා. ශීතාධික ඇන්ටාර්ක්ටික් සිට මහා බාධක කොරල් පරය කරා පිට කුදු තල්මසුන් පැමිණ තම වර්ගයා බෝ කරනවා. යළි ආපසු යද්දී මෙම තල්මසුන් දියෙන් උඩට පිම්මක් පැන සැතපුම් ගණනක් ඈතට විහිදෙන සේ මුඛයෙන් දිය විසි කරමින් ආචාර කරන්නේ මෙම දූපතේ අසිරිය තව තවත් වැඩි කරමින්!

[පාදසටහන]

^ 4 ඡේ. යුනෙස්කෝ සංවිධානය ස්වභාව රක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කරන්නේ එය සංස්කෘතික, භෞතික, ජීව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක හෝ විද්‍යාත්මක වටිනාකමක් තිබෙන ස්වාභාවික භූමියක් නම් පමණයි.

[14වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පැසිෆික් සාගරය

ෆ්‍රේසර් දූපත

[15වන පිටුවේ පින්තූර]

දකුණේ ඉහළ සිට පහළට:

කර්නං දිය පහරේ මුව දොර

මිරිදිය පිරුණ විල්

කලාතුරකින් දක්නට ලැබෙන වැල්ලේ ඇති වැසි වනාන්තර

[හිමිකම් විස්තර]

All photos: Courtesy of Tourism Queensland

[16, 17වන පිටුවේ පින්තූරය]

වල් බල්ලෝ සහ ක්වාලා

[හිමිකම් විස්තර]

Courtesy of Tourism Queensland

[16, 17වන පිටුවේ පින්තූරය]

ෆ්‍රේසර් දූපතේ කිලෝමීටර් 120ක දිගින් යුත් වෙරළ, ලොවේ දිගම වෙරළක්

[17වන පිටුවේ පින්තූරය]

කුසඇලි සයුරුකුස්සා

[17වන පිටුවේ පින්තූරය]

කුකබරා පක්ෂීන්

[17වන පිටුවේ පින්තූරය]

පැස්තුඩුවෝ

[17වන පිටුවේ පින්තූරය]

ඇන්ටාර්ක්ටිකාවලට යන අතරතුරේ තල්මසුන් විවේක සුව ලබයි

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Eagle: ©GBRMPA; all other photos except pelicans: Courtesy of Tourism Queensland