Skip to content

පටුනට යන්න

සැබෑ ආදරය සොයාගැනීමට නම්. . .

සැබෑ ආදරය සොයාගැනීමට නම්. . .

සැබෑ ආදරය සොයාගැනීමට නම්. . .

සැබෑ ආදරය සොයාගැනීමටත් හැමෝගේම ආදරය දිනාගැනීමටත් රහස මොකක්ද? ධනවත් වීමද? පෙනුම ඔප්නැංවීමද?

ස්ත්‍රීන් පුරුෂයන් යන දෙපිරිසම වෙළඳ දැන්වීම්වලට සහ ජනමාධ්‍යයේ බලපෑමට හසු වී තිබෙනවා. ආදරය දිනාගැනීමට රූපවාහිනිය තුළින් හා පොත් පත්වලින් ඉදිරිපත් කරන යෝජනා ඔවුන් ක්‍රියාවට නංවනවා. ඔබේ පෙනුම ගැන ඔබ උනන්දු වීම සාමාන්‍ය දෙයක්. එහි වරදක් නැහැ. නමුත් පිටත අලංකාරය තාවකාලිකයි. එයින් සදාතන බැඳීමක් ඇති කරගන්න බැහැ. ධනය ගැනත් කියන්න තියෙන්නේ එයමයි. සැබෑ ආදරය සොයාගැනීමට අවශ්‍ය වන්නේ වාසි බලන්නේ නැතිව අවංකව අන් අයට ප්‍රේම කිරීමයි. “දීමට පුරුදු වන්න. එවිට අන් අය ඔබටද දෙන්නෝය” කියා යේසුස් ඉගැන්නුවා. (ලූක් 6:38) සරල ලෙස කියනවා නම් අන් අයගේ ආදරය දිනාගන්න ආදරය පෙන්වන්න අවශ්‍යයි.

අප කොහොමද එය කරන්නේ? දෙවිගේ බලයේ උපකාරය ඇතිව බයිබල් ලේඛකයෙක් වන පාවුල් එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. ප්‍රේමය ශක්තිමත් ගුණාංගයක් කියා ඔහු පැහැදිලි කළා. එය හැඟීම්වලින් පමණක් නොව ක්‍රියාවලින්ද පෙන්විය යුතු දෙයක්. ප්‍රේමය තිබෙන කෙනෙක් අන් අය වෙනුවෙන් කළ යුතු දේවල් හා නොකළ යුතු දේවල් තිබෙනවා. ඔහු ලියා තිබෙන්නේ මෙසේයි. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පුරසාරම් දොඩන්නේ නැත. අහංකාර වන්නේ නැත. අවිනීතව හැසිරෙන්නේ නැත. තමන්ගේම කාරණා සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. අමනාපයක් සිතේ තබාගන්නේ නැත. අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවී සත්‍යය ගැන ප්‍රීති වන්නේය. සියල්ල දරාගන්නේය. සියල්ල විශ්වාස කරන්නේය. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේය. සියල්ල විඳදරාගන්නේය.”—1 කොරින්ති 13:4-7.

යම් කෙනෙක් ඔබට කාරුණිකව සලකනවා නම්, නැතහොත් ඔබ හිත රිදෙන ආකාරයට යම් දේවල් කීවත් කළත් ඔහු හෝ ඇය ඔබව පිළිගන්නවා නම් ඔබට ඒ අය ගැන ඇති වෙන්නේ කොයි වගේ හැඟීමක්ද? ඔබ ගැන ඇත්තටම උනන්දුවක් දක්වන, ඉක්මනින් කේන්ති නොයන, සමාව දීමට කැමති, දුෂ්කර තත්වයන්වලදී පවා අවංකව කටයුතු කරන කෙනෙකු වෙත ඔබේ හිත ඇදී යන්නේ නැද්ද?

ඔබත් ඒ විදිහට අන් අයට සලකන්න. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය” කියා යේසුස් පැවසුවා. (මතෙව් 7:12) සෑමවිටම ප්‍රේමයෙන් අන් අයට සැලකීම පහසු නැහැ. ඒත් වෑයමක් දැරීම වටිනවා. එසේ කටයුතු කිරීමෙන් ඔබේ පවුලේ අය, මිතුරන්, සහකරු හෝ සහකාරිය නැතහොත් අනාගතයේ විවාහ වීමට සිටින කෙනා ඔබට හුඟාක් ආදරය කරාවී. ඒ වගේම අන් අයට ප්‍රේමය පෙන්වීමෙන් ඔබට සන්තෝෂය භුක්ති විඳීමටත් හැකි වෙනවා. ඔව් “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.”—ක්‍රියා 20:35.

ප්‍රේමයේ පරමාදර්ශයෙන් යමක් ඉගෙනගනිමු

යෙහෝවා දෙවි ප්‍රේමණීයයි. ප්‍රේමයේ ප්‍රතිමූර්තිය, පරමාදර්ශය ඔහුයි. (1 යොහන් 4:8) ප්‍රේමය ගැන ඉගෙනීමට කැමති අයට එය ඉගැන්වීමට ඔහු පෙලඹුණේ ඔහු තුළ ප්‍රේමය තිබෙන නිසයි. අන් අයට ආදරය කරන්නත් අන් අයගේ ආදරය ලබන්නත් අපට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති කිහිපයකට අවධානය යොමු කරමු.

“සෑම මිනිසෙක්ම ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය.” (යාකොබ් 1:19) යුවළයන් 20,000ක් යොදාගෙන කළ සමීක්ෂණයකින් හෙළි වුණේ වඩාත් හොඳින් ඇහුම්කන් දෙන සහකරුවෙක් හෝ සහකාරියක් සිටි යුවළයන් සතුටක් භුක්ති වින්ද බවයි. සබඳතාවකදී හොඳින් අදහස් හුවමාරු කරගැනීම ඉතා වැදගත්. සමාජ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරියක් මෙසේ කියනවා. “ඔබ යම් පීඩනයකට හෝ ගැටලුවකට මුහුණ දෙන බව ඔබේ සහකරුට හෝ සහකාරියට නොදැනෙනවා නම්, එහෙමත් නැත්නම් ඔහු හෝ ඇය දැනගෙනත් ඒ ගැන එතරම් තැකීමක් නොකරනවා නම් ඔබට විශාල තනිකමක් දැනේවි.” ඇය තවදුරටත් කියා සිටියේ දෙදෙනෙකු අතර බොහෝ පැතිවලින් වෙනස්කම් තිබුණත් “එක් කෙනෙක් අනෙකාගේ අදහස් උදහස්වලට ගරු කරනවා නම් වෙනස්කම් බාධකයක් වෙන්නේ නැහැ” කියායි.

“ගැඹුරු සෙනෙහස දැක්වීමේදී ඔබ ඔබ තුළම හිර වී ඇත. . . . සිත් විශාල කරගන්න.(2 කොරින්ති 6:12, 13) ලෝබ නැතුව අන් අයට ප්‍රේමය පෙන්වීමෙන් අපටත් ප්‍රයෝජන ලැබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් විසින් නිකුත් කළ සඟරාවක මෙසේ සඳහන් වුණා. “පවුල, මිතුරන් හා සමාජයේ අනෙක් අය සමඟ යහපත් සබඳතා පවත්වන පුද්ගලයන් සන්තෝෂය අද්දකිනවා. ඔවුන්ට තිබෙන සෞඛ්‍ය ගැටලුත් අල්පයි. වැඩි ආයු කාලයක්ද ඔවුන් භුක්ති විඳිනවා කියා බොහෝ අධ්‍යයනයන් මගින් පෙන්නුම් කළා.”

“ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු.” (හෙබ්‍රෙව් 10:24, 25) අපි ආශ්‍රය කරන අයගෙන් අපට යම් බලපෑමක් සිදු වෙනවා. සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමයක් පෙන්වන අයව ඇසුරු කිරීමෙන් ප්‍රේමය අත්විඳීමටත් එවැනි ප්‍රේමයක් ඔබේ ජීවිතය තුළ විදහා පෙන්වීමටත් ඉගෙනගත හැකියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන් අතර එවැනි ප්‍රේමයක් විදහා පෙන්වීමට වෑයම් කරනවා. යේසුස්ගේ සැබෑ ගෝලයෙකු වන්නේ එවැනි ප්‍රේමයක් තිබෙනවා නම් පමණයි කියා ඔවුන් දන්නවා. (යොහන් 13:35) ඔබත් එවැනි ප්‍රේමයක් අද්දකින්න කැමති නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණෙන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි.

ඔබට අන් අයගේ ආදරය දිනාගන්න බැරි නම් අධෛර්ය වෙන්න හෝ ඔබ සැර පරුෂ කෙනෙකු කියා තීරණය කරන්න එපා. ඔබේ තත්වය යෙහෝවා දකින බව මතකයේ තබාගන්න. මෙම ලිපි මාලාවේ පළමු ලිපියේ සඳහන් කළ ලෙයා නමැති තරුණියව ඔබට මතකද? යෙහෝවා දෙවි ඇයව අත්හැරියේ නැහැ. දෙවි ඇගේ තත්වය දුටු හෙයින් ඇයට පුතුන් හයදෙනෙක් සහ දියණියක් ලැබීමේ වරප්‍රසාදය ලබා දුන්නා. එය මහත් ආශීර්වාදයක්. මන්ද ඇය ජීවත් වූ කාල වකවාණුවේ දරුවෝ සම්පතක් ලෙසයි සැලකුවේ! ඊට අමතරව ලෙයාගේ පුතුන් සියලුදෙනාම ඊශ්‍රායෙල් ගෝත්‍රයේ මුතුන්මිත්තන් වුණා. (උත්පත්ති 29:30-35; 30:16-21) දෙවිගේ ප්‍රේමණීය සැලකිල්ල ලෙයාට කොතරම් සහනයක් වෙන්න ඇද්ද!

බයිබලයේ පොරොන්දු කර තිබෙන පාරාදීස පොළොවේදී මුළු මිනිස් සමාජය පුරාම සැබෑ ප්‍රේමය උතුරා යන හෙයින් හැමෝටම ආදරය, සෙනෙහස ලැබේවි. (යෙසායා 11:9; 1 යොහන් 4:7-12) එමනිසා දැන් අප බයිබලයේ සඳහන් වන ප්‍රේමය සහ එහි කර්තෘ වන යෙහෝවා දෙවි කියා දෙන ප්‍රේමය වර්ධනය කරගැනීමෙන් එම පාරාදීස පොළොවේ ජීවත් වීමට අපට අවශ්‍යයයි කියා පෙන්වමු. ඇත්තෙන්ම සැබෑ සතුට ලැබෙන්නේ ආදරය ලැබීමෙන් නොව අන් අයට අව්‍යාජ ආදරය පෙන්වීමෙනුයි.—මතෙව් 5:46-48; 1 පේතෘස් 1:22.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.’—ක්‍රියා 20:35

[8වන පිටුවේ පින්තූරය]

ඔබට ආදරය දිනාගන්න ඕනේ නම් ආදරය පෙන්වන්න