Skip to content

පටුනට යන්න

හදිසි ඇමතුම් ඒකකය ලන්ඩනයේ

හදිසි ඇමතුම් ඒකකය ලන්ඩනයේ

හදිසි ඇමතුම් ඒකකය ලන්ඩනයේ

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

“අපේ මේ සේවාවේ අරමුණ වන්නේ වර්ග කිලෝමීටර් 1,600කින් යුත් ලන්ඩන් නගරය තුළ බරපතළ රෝගීන්ට හා හදිසි අනතුරකට ලක් වන ඕනෑම රෝගියෙකුට විනාඩි අටක් ඇතුළත උපකාර කිරීමයි. වාර්ෂිකව සිදු වන මෙවැනි සිද්ධීන් එන්න එන්නම වැඩි වුණත් ඒවායින් සියයට 75කටත් වඩා වැඩි ප්‍රමාණයකට උපකාර පිරිනමන්න අපට හැකි වී තිබෙනවා” කියා ගිලන් රථ සේවා මූලස්ථානයේ කලමනාකරු වන රොබ් ඇෂ්ෆර්ඩ් පැවසුවා.

මෙම ප්‍රධාන ගිලන් රථ පාලක මධ්‍යස්ථානය නරඹන්න මට ඇරයුමක් ලැබුණා. එය තිබෙන්නේ ලන්ඩනයේ තේම්ස් නදිය අසල පිහිටි වෝටර්ලූවලයි. මෙම ස්ථානයෙන් දිනපතා මිලියන 7ක ජනතාවකට සේවාවක් සපයන අතර දිනකට හදිසි ඇමතුම් 3,000කට පමණ ප්‍රතිචාරය දක්වනවා. එම ජනකාය අතරේ සිටින පුද්ගලයන් භාෂා 300කට වැඩියෙන් කතා කරනවා. මෙය යුරෝපයේ තිබෙන විශාලතම හදිසි ඇමතුම් ඒකකයයි. මෙහි කාර්ය මණ්ඩලයට අයත් 300දෙනා එවන් භාරදූර කාර්යයක් ඉටු කරන්නේ කොහොමද?

ඇමතුම් වර්ග කිරීම

බ්‍රිතාන්‍යයේ හදිසි අවස්ථාවකදී උපකාරය සඳහා ඇමතිය යුතු දුරකථන අංකය 999යි. දුරකථනය හසුරුවන්නිය “999 හදිසි ඇමතුමකට” ප්‍රතිචාරය දක්වන ආකාරය මම දැක්කා. ඇමතුමක් ලැබූ සැනින් ස්ථානය හා ඊට ආසන්නම මංසන්ධිය පරිගණකයේ දිස් වන සිතියමේ ලකුණු කරනවා. ඉන්පසු තත්වයේ බරපතළකම තීරණය කිරීමට ඇය කීදෙනෙකුට උපකාරය අවශ්‍යද, ඔවුන් පිරිමිද ගැහැනුද, ඔවුන්ගේ වයස, ඔවුන්ට සිහි නැති වෙලාද, ඔවුන්ගේ හුස්ම වැටෙනවාද, පපුවේ අමාරුවක් තියෙනවාද, අධික ලෙස ලේ ගලනවාද යන ප්‍රශ්න ඇසුවා.

එම තොරතුරු ඇතුළත් කළ වහාම තත්වය බරපතළකම අනුව වර්ණ තුනකින් ඇමතුම වර්ග කරනවා. එය ඉතා බරපතළ නම් රතු වර්ණයෙන්ද, බරපතළ නමුත් ජීවිතයට තර්ජනයක් නොවන එකක් නම් තැඹිලි වර්ණයෙන්ද, එතරම් බරපතළ නැත්නම් කොළ වර්ණයෙන්ද පරිගණකයේ සටහන් වෙනවා. ඉන්පසු අවශ්‍යතාව අනුව උපකාර පිරිනමන අයට එම තොරතුරු ලබා දෙනවා.

මුලින්ම දෙන උපකාරය

මෙම සේවාව සඳහා වෛද්‍ය සහයකයන් සිටින අතර ඔවුන්ගේ උපකාරයට පැය 24 පුරාම දොස්තරවරුන් 12දෙනෙක්ද සිටිනවා. ඒ සඳහා ඔවුන්ට ගිලන් රථ 395ක්, වේගවත් වාහන 60ක් සහ වාහන තදබදය වැඩි ප්‍රදේශවලට යවන යතුරුපැදිද තිබෙනවා.

මම එතන ඉන්නකොට මහමාර්ගයක සිදු වූ දරුණු අනතුරක් ගැන පොලිසියෙන් හදිසි ඇමතුමක් ආවා. ඒ වෙනකොටත් ගිලන් රථයක් එහි තිබුණත් ඔවුන් මධ්‍යස්ථානයට ඇමතුවේ අවශ්‍යතාවක් වුණොත් හෙලිකොප්ටර් යානයක සේවාව ලබාගැනීමටයි. මෙහි තිබෙන හෙලිකොප්ටර් යානය වසරකට හදිසි සේවාවන් 1,000කට පමණ යොදාගැනෙනවා. මෙම හෙලිකොප්ටරයේ වෛද්‍යවරයෙක් හා වෛද්‍ය සහයකයෙක් සිටින අතර ප්‍රතිකාර ලබා දීමට ඔවුන් බරපතළ තුවාලකරුවන්ව ලන්ඩනයේ රාජකීය රෝහලට වහාම ගෙන යනු ලබනවා.

වර්ෂ 2004දී ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපොළෙහි අලුත් දෙයක් අත්හදාබැලුවා. එය පාපැදි ගිලන් සේවාවක්. එම පාපැදියකට නිල් පැහැති විදුලි බුබුලක් සහ අනතුරු අඟවන නළාවක් සවි කර තිබෙන අතර කිලෝ 35ක් පමණ බරකින් යුත් බඩු රැගෙන යෑමට හැකි මලුද සවි කර තිබෙනවා. එම මලුවල ඔක්සිජන්, බේත්හේත් හා වෛද්‍ය උපකරණ රැගෙන යෑමට හැකියි. මෙම අංශයේ හදිසි අවස්ථාවන්වල සේවයේ යොදවන වෛද්‍ය සහයකයින් කණ්ඩායමක් සිටියා. ගුවන් තොටුපොළේ හදිසි අවශ්‍යතා මෙම අංශයෙන් ඉටු වන නිසා වෙනත් තැන්වල අවශ්‍යතා සඳහා ගිලන් රථ යැවීමට හැකියි.

මෙම පාපැදි ගිලන් සේවය අරඹා කෙටි කලක් ඇතුළත එය ප්‍රයෝජනදායක බව පෙනී ගියා. හීත්‍රෝ ගුවන් තොටුපොළේදී 35 වියේ පසුවන ස්ත්‍රියක් අසනීප වුණ අතර ඇගේ නාඩි වැටීමද නතර වුණා. අංක 999ට ඇමතූ විට වෛද්‍ය සහයකයන් දෙදෙනෙක් තප්පර කිහිපයකින් පැමිණ ඇයට අවශ්‍ය ඔක්සිජන් ලබා දුන් අතර නැවත ඇගේ හෘදය ස්පන්දනය වීමට පටන්ගත්තා. ඉන්පසු ගිලන් රථයකින් ඇයව ළඟම රෝහලකට ගෙන ගියා. ඇය සුව වූ පසු තම ජීවිතය බේරා දුන් වෛද්‍ය සහයකයින්ට ස්තුති කළා.

සේවා පුළුල් කිරීම

අංක 999ට අමතන කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට බැරි නම් භාෂා පරිවර්තකයෙකු ඔවුන්ගේ උපකාරයට සිටිනවා. නමුත් හදිසි ඇමතුමක් දෙන තැනැත්තා කලබලයට පත් වී වේගයෙන් කතා කරන නිසා විගස කුමන භාෂාවෙන්ද කතා කරන්නේ කියා දැනගැනීම අභියෝගයක්.

හදිසි සෞඛ්‍ය සේවාවන් ගැන මහජනයාව දැනුවත් කිරීමට ඉංග්‍රීසි උපසිරැසි සහිත තැටිගත කළ කෙටි DVD චිත්‍රපටියක් මෙම ඒකකයෙන් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමේ අරමුණ ලන්ඩනයේ පදිංචි වී සිටින දකුණු ආසියානු වැසියන්ට “හෘද ස්පන්දනය නතර වී තිබෙන රෝගියෙකුට කළ යුතු ප්‍රතිකාර ගැන යම් දැනුමක් ලබා දීමයි” කියා හදිසි ඇමතුම් ඒකකය පළ කළ ප්‍රකාශනයක සඳහන් වුණා. (එම ප්‍රකාශනය LAS News) මෙම චිත්‍රපටිය තුළ අංක 999ට ඇමතුමක් ලැබුණු විගස සිදු කෙරෙන කාර්යයන් පිළිබඳවත් දැනුවත් කර තිබෙනවා.

අවශ්‍යතාව තිබෙන්නේ එක පුද්ගලයෙකුට හෝ කිහිපදෙනෙකුට වුණත්, අනතුරක් මහ පොළොවේ යට තිබෙන දුම්රිය උමං මාර්ග හෝ අහස උසට නැඟෙන ගොඩනැඟිල්ලක සිදු වුණත් ගිලන් රථ සේවාවෙන් ලබා දෙන වෛද්‍ය උපකාර ගැන ලන්ඩනයේ වැසියන් අගය කරනවා. මෙම ඒකකයේ සේවය කරන කාර්යය මණ්ඩලය ගැන එක් ස්වේච්ඡා වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේ මෙයයි. “මම වැඩ කර තිබෙන හොඳම කාර්යය මණ්ඩලය ඔවුන් කියා මට කියන්න පුළුවන්.” මෙම ප්‍රශංසාව ලැබුණේ නොමිලයේ ගිලන් සේවා සපයන ලෝකයේ තිබෙන විශාලතම ගිලන් රථ ඒකකයටයි.

[11වන පිටුවේ කොටුව]

මුහුණ දෙන අභියෝග තොරතුරු විමසීම,

සුළු අසනීපයක් හෝ තුවාලයක් ඇති වුණත් ඇමතීම සහ වැරදීමකින් අංක 999ට කතා කිරීම හෝ විහිළුවට එම අංකය ඇමතීම නිසා හදිසි සේවා ඒකකයට ගැටලුවලට මුහුණපාන්න සිදු වී තිබෙනවා. දරුණුම අපහසුතාව තමයි සමහර රෝගීන් හෝ රෝගීන්ගේ පවුලේ අය උපකාරයට පැමිණෙන වෛද්‍ය සහයකයන්ට බැණ වැදීම හෝ පහර දීම! ඔවුන් එසේ කරන්නේ ඇති වී තිබෙන පීඩනය, මත් ද්‍රව්‍ය ගෙන තිබීම නැතහොත් උපකාරය දීමට පමා වුණා කියා සිතන නිසා විය හැකියි. මහජනයාව දැනුවත් කිරීමෙන් යම් දුරකට මෙම ගැටලුවලට මුහුණ දෙන්න හැකි වුණත් ස්ථිර විසඳුමක් නැහැ.

[10වන පිටුවේ පින්තූර]

මෙම ඒකකයේ දිනකට හදිසි ඇමතුම් 3,000කට පමණ ප්‍රතිචාරය දක්වනවා

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos: Courtesy of London Ambulance Service NHS Trust