Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

එක්සත් ජනපදයේ “හතරදෙනෙකුගෙන් එක් කෙනෙකුට සෑම වසරකම අඩුම තරමින් එක මානසික ආබාධයක්වත් සෑදෙන අතර දෙදෙනෙකුගෙන් එක් කෙනෙකුට පමණ තම ජීවිත කාලයේ යම් අවදියක එසේ සිදු වෙනවා.”—අ.එ.ජ., සයන්ස් නිව්ස්.

වර්ෂ 2004 සැප්තැම්බර්වලදී හටගත් අයිවන් සැඩ කුණාටුවෙන් මෙක්සිකෝ බොක්කේ අඩි 50කටත් වඩා උසට මුහුදු රැළි 24ක්වත් ගැසුවා. උසම රැල්ල අඩි 91යි.—අ.එ.ජ., සයන්ස් සඟරාව.

රිය පදවන ගමන් ජංගම දුරකථනය පාවිච්චි කිරීම නිසා ප්‍රතිකාර ගැනීමට තරම් අවශ්‍ය වන රිය අනතුරු හතර ගුණයකින් වැඩි වී තිබෙනවා. දුර කථනය අතට නොගෙන කතා කිරීමේ උපකරණ පාවිච්චි කළත් සිදුව ඇත්තේ එයයි.—බ්‍රිතාන්‍යයේ බීඑම්ජේ.

▪ බයිබල් පරිවර්තකයන්ට උපකාරවත් වන නාමාවලියක අලුත් පිටපතක භාවිත වන භාෂා 6,912ක් ඇතුළත් කර තිබෙනවා.—අ.එ.ජ., ද නිව් යෝක් ටයිම්ස්.

▪ දුම්පානයෙන් දරුවන්ටත් හානි විය හැකි බව අනතුරු අඟවා තිබුණත් පෝලන්තයේ ගැබිණි කාන්තාවන්ගෙන් හෝ මව් කිරි දෙන අම්මලාගෙන් සියයට 30ක් දුම්පානය කරනවා.—පෝලන්තයේ ස්ඩ්‍රොවී සඟරාව.

ධනසම්පත් පිළිබඳ දරන අදහස

ධනසම්පත් පිළිබඳ දරන අදහස ගැන ඕස්ට්‍රේලියානු පර්යේෂණ ආයතනයක් කළ අධ්‍යයනයකට අනුව එහි ධනකුවේරයන් 20කින් එක් කෙනෙක් පමණයි තමන්ට ලැබී තිබෙන දේවල් ප්‍රමාණවත් බව පිළිගත්තේ කියා අන්තර්ජාලයේ වෙබ් අඩවියක පැවසුවා. (එම වෙබ් අඩවිය ABC News Online) එම ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු වූ ක්ලයිව් හැමිල්ටන් පවසන්නේ “අපි මොන තරම් ධනවත් වුණත් ලැබෙන ආදායම ගැන නම් සෑහීමකට පත් වෙන්නේ නැහැ” කියලයි. ඇත්තවශයෙන්ම ඉහළ ආදායමක් ලබන කණ්ඩායමෙන් සියයට 13ක් විතරයි තම ජීවිතයෙන් තෘප්තියක් ලබන්නේ. හැමිල්ටන් මෙසේද පවසනවා. “අපේ ජීවිතය සාර්ථක වෙන්නේ මුදලින් විතරක් නෙවෙයි කියන එක පැහැදිලිව පෙනෙන්න තියෙද්දිත්, අන් කිසිවකට වඩා මුදලින් සාර්ථකත්වය සොයන්න අද සමාජය පෙලඹිලා තියෙන්නේ ඇයි කියලා තමයි අපිට අහන්න වෙන්නේ.”

අභ්‍යවකාශයේ සුන් බුන්

“රථයේ ඉන්ධන ඉවර වූ විට නගරයේ වීදිවල තමන්ගේ රථ දමා යනවා නම් මොන තරම් කරදරයක් සිදු වෙයිද කියා සිතා බලන්න” යයි නිව් සයන්ටිස්ට් සඟරාව පවසනවා. නමුත් ක්‍රියා විරහිත වන චන්ද්‍රිකාවන්ට සිදු වන්නේ මෙයයි. එමනිසා අලුත් චන්ද්‍රිකාවන්වලට අනතුරු සිදුවීමට තිබෙන ප්‍රවණතාව වැඩියි. අභ්‍යවකාශයේ චන්ද්‍රිකා පතිතව තිබෙන ප්‍රදේශයේ සෙන්ටි මීටර් 60කට වඩා විශාල භාණ්ඩ 1,120ක් පමණ තිබුණත් එයින් 300ක් වැනි ප්‍රමාණයක් පමණයි ක්‍රියාත්මක වන්නේ. අභ්‍යවකාශයේ ඉතිරිව තිබෙන අනිත් ඒවා සියල්ල සුන් බුන් බවට පත් වෙලා. ඒවා අතරේ ක්‍රියා විරහිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයන් 32ක්ද තිබෙනවා.

යුධ අවි සහ යුද්ධ

නිරවි යුද්ධය අවසන් වෙත්ම අවි වෙළඳාම පහත වැටී තිබුණා. කෙසේවෙතත් පසුගිය වසර කීපයේදී නැවතත් අවි වෙළඳාම දියුණු වී තිබෙනවා. ස්ටොක්හෝම්හි ජාත්‍යන්තර සාම පර්යේෂණායතනය වාර්තා කරන පරිදි 2004දී ලොව පුරා යුධ අවිවලට ඩොලර් ප්‍රකෝටි ගණනක් වැය කර තිබෙනවා. එම මුදල මුළු පොළොවෙම සිටින පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන්ගේ මුළු සංඛ්‍යාවෙන් බෙදුවොත් එක් කෙනෙකු සඳහා ඩොලර් 162ක අගයක් එනවා. එමෙන්ම 2004දී පැවති යුද්ධ 19න් හැම එකකදීම 1,000කට වැඩි පිරිසක් මිය ගිය බව එම ආයතනය පවසනවා. එම ගැටුම් අතරින් 16ක්ම වසර දහයකට වැඩි කාලයක් පුරා ඇදි ඇදී පවතිනවා.

ඉන්ධන දෙවර්ගයකින් දුවන රථ

දැන් බ්‍රසීලයේ අලුත් වාහනවලින් තුනෙන් එකක් ඉන්ධන දෙවර්ගයකින් දුවන ඒවා බව වේජා සඟරාවේ පවසනවා. මේවා දුවන්නේ පෙට්‍රල්වලින් හෝ උක් සීනිවලින් සෑදූ මද්‍යසාරවලින් නැතහොත් එම දෙවර්ගයම මිශ්‍ර කර ලැබෙන ඉන්ධනයකින්. වර්ෂ 2003 සහ 2004 අතරතුරේදී මද්‍යසාර ඉන්ධන අලෙවිය සියයට 34කින් වැඩි වුණා. එහෙත් පරිසරයට නම් මේ අලුත් සොයාගැනීමෙන් යහපතක් වෙලා නැහැ. මද්‍යසාරවලින් වාහන පදවන්නන්ට වාසියක් තිබෙනවා. ඉන්ධන දෙවර්ගයකින් දුවද්දී “ඉන්ධන හිඟය හා මිල ඉහළ පහළ යෑම හමුවේ පාරිභෝගිකයාට” වාසියක් තිබෙනවා. “මද්‍යසාර මිල ඉහළ ගියොත් පෙට්‍රල්වලින් දුවන්න පුළුවන්. පෙට්‍රල් මිල ඉහළ ගියොත් මද්‍යසාරවලින් දුවන්න පුළුවන්” කියා යටිතල පහසුකම් සපයන බ්‍රසිලියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වන රෆෙල් ෂයිඩමාන් පැහැදිලි කළා.