Skip to content

පටුනට යන්න

දෙවි කෙරෙහි විශ්වාසය තබන්න මම ඉගෙනගත්තා

දෙවි කෙරෙහි විශ්වාසය තබන්න මම ඉගෙනගත්තා

දෙවි කෙරෙහි විශ්වාසය තබන්න මම ඉගෙනගත්තා

පැවසුවේ එලා ටූම්

අපි ජීවත් වුණේ රුසියාවේ දේශ සීමාවට කිලෝමීටර් 60ක පමණ දුරකින් තිබෙන දකුණු එස්ටෝනියාවේ ඕටෙපා කියන කුඩා නගරයට කිට්ටුවයි. පාසැල් අධ්‍යාපනය අවසන් කරලා මාස කීපයකට පස්සේ 1944 ඔක්තෝබර්වලදී 2වන ලෝක මහ යුද්ධය ඉවර වෙන්න ආසන්නව තිබුණා. රුසියානු හමුදාව එස්ටෝනියාව හරහා ජර්මානු හමුදාව ආපහු ජර්මනියට පළවාහැරියා. අපිට සිද්ධ වුණේ අපි ඇති කළ සතුන්වත් අරගෙන අපේ අසල්වැසියනුත් එක්ක කැලෑවේ හැංගෙන්නයි. අපේ කණ්ඩායමේ 20දෙනෙක් විතර හිටියා.

අපි මාස දෙකක් විතර කැලෑවේ හැංගිලා හිටියේ ඒ අවට තියුණු සටන් පවතිද්දිමයි. නිතරම අපි කට්ටිය එක තැනක රැස් වුණා. ඒ වෙලාවලදී මම බයිබලය එහෙන් මෙහෙන් කියෙව්වා. වැඩියෙන්ම කියෙව්වේ බයිබලයේ විලාප ගී පොතයි. මුල් වතාවට බයිබලය කියෙව්වේ ඒ කාලයෙයි. දවසක් මම කන්දක් උඩට නැඟලා දණගහගෙන යාච්ඤා කර දෙවිට පොරොන්දු වුණා “යුද්දේ ඉවර වුණාට පස්සේ හැම ඉරිදාම පල්ලියට යනවා කියලා.”

ඊට ටික දවසකට පස්සේ යුද්ධය යුරෝපයට ඇදිලා ගියා. දෙවන ලෝක මහා යුද්ධය අවසන් වුණේ ජර්මානු හමුදාව 1945 මැයි මාසයේදී යටත් වීමත් එක්කමයි. ඊට පස්සේ මම දෙවිට පොරොන්දු වුණ විදිහටම හැම සතියකම පල්ලි යන්න පටන්ගත්තා. ඒත් වයසක කාන්තාවන් කීපදෙනෙක් විතරයි පල්ලියට ආවේ. මට ලජ්ජාවක් දැනුණා. ඒ වගේම කවුරුහරි අපේ ගෙදරට එනකොට ඉක්මනටම මම බයිබලේ හැංගුවා.

වැඩි කල් නොගොස් මට ගමේ පාසැලකට ගුරු පත්වීමක් ලැබුණා. ඒ කාලයේදී කොමියුනිස්ට් බලය යටතේ හිටිය නිසා හුඟදෙනෙක් දෙවි කෙනෙකුව විශ්වාස නොකරන තත්වයට පත් වෙලා හිටියා. කොහොමවුණත් කොමියුනිස්ට් පක්ෂයට බැඳෙන්න මම කැමති වුණේ නැහැ. ඒ වෙනුවට දරුවන්ට නැටුම් කලාව ඉගැන්වීම වැනි කටයුතුවල නිරත වුණා.

සාක්ෂිකරුවන්ව මුණගැසෙයි

දරුවන්ගේ වේදිකා රඟදැක්මක් සඳහා විශේෂ ඇඳුම් මැසීමට අවශ්‍යව තිබුණා. ඒ නිසා 1945 අප්‍රියෙල්වලදී, දක්ෂ ඇඳුම් මසන්නියක් වන එමීලී සාන්නාමීස්ව හම්බ වෙන්න මම ගියා. ඇය කරුණාවන්ත මැදි වියේ කාන්තාවක්. හැබැයි ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක් බව මම දැනගෙන හිටියේ නැහැ. “ලෝක තත්වය ගැන ඔයා මොකක්ද හිතන්නේ” කියලා ඈ මගෙන් ඇහැව්වා. ඒ දවස්වල අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවල සාම සාකච්ඡා පැවැත්වෙමින් තිබුණ නිසා මම කිව්වා “මම හිතන්නේ මේ සාම සාකච්ඡා නිසා අලුත් ආණ්ඩුවක් බලයට පත් වෙයි” කියලා.

එමීලී නම් කිව්වේ සාම සාකච්ඡාවලින් සම්පූර්ණ සාමයක් එන්නේ නැහැ කියලායි. ඒ ගැන ඇය මට බයිබලයෙන් පෙන්වන්නද කියලා ඇහැව්වත් ඒ වෙලාවේ මම එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. එතකොටම ඈ මගෙන් තව ප්‍රශ්නයක් ඇහැව්වා. “දෙවි ආදම්ව සහ ඒවව මැව්වේ කොහේ ජීවත් වෙන්නද කියලා ඔයා දන්නවාද?” මට උත්තර දෙන්න බැරි වුණ නිසා “ඔයාගේ තාත්තගෙන් අහලා බලන්න” කියා ඇය කිව්වා.

මම ගෙදර ඇවිත් තාත්තගෙන් ඒ ගැන ඇහුවත් හරි උත්තරයක් දෙන්න ඔහුට බැරි වුණා. බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න අපිට අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ ඇදහිලිවන්තව ඉන්න විතරයි කියලා තාත්තා කිව්වා. මහපු ඇඳුම් ටික ගන්න මම ආපහු එමීලී ළඟට ගියහම ඇගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න තාත්තා දන්නේ නැහැ කියලා මම ඇයට කිව්වා. ඇයත්, ඇගේ අක්කාත් ඔවුන්ගේ බයිබල්වලින් මට පෙන්නුවා ආදම් සහ ඒවට දෙවි දුන්න උපදෙස්. ඔවුන් පදිංචි වෙලා හිටිය උයන බලා කියාගෙන සදහටම සතුටෙන් ජීවත් වීමේ ප්‍රස්තාවයි ඔවුන්ට දෙවි දීලා තිබුණේ. ආදම් හා ඒව දරුවන් බිහි කිරීමත්, ඉන්පසු ඔවුන් පාරාදීසමය තත්වය මුළු පොළොව පුරාවටම ගෙන යෑමත් දෙවිගේ අරමුණ වූ බව ඒ දෙන්නා බයිබලයෙන් පෙන්නුවා. බයිබලයේ තියෙන මේ සාක්ෂි දැකලා මට පුදුම හිතුණා!—උත්පත්ති 1:28; 2:8, 9, 15; ගීතාවලිය 37:29; යෙසායා 45:18; එළිදරව් 21:3, 4.

මගේ මුල් ක්‍රිස්තියානි රැස්වීම

ටාටූ නගරයේ පැවැත්වුණු මාස තුනක ගුරු පුහුණු පාඨමාලාවකට සහභාගි වෙන්න මට තිබුණ නිසා ඒ නගරයේ ඉන්න සාක්ෂිකාරියකගේ ලිපිනයත් මැවුම්කරුවා පොතත් එමීලී මට දුන්නා. බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් ඒ පොතේ පැහැදිලි කරලා තියෙන විදිහ දැක්කම මම පුදුම වුණා. මම 1945 අගෝස්තු 4වෙනිදා ඇය දුන්න ලිපිනය තිබුණ තැන හොයාගෙන ගියා.

දොරට තට්ටු කරද්දී කිසි කෙනෙක් නාව නිසා ඊටත් වඩා හයියෙන් දොරට තට්ටු කළහම අල්ලපු ගෙදර එක්කෙනා මට එමීලීගේ අලුත් ලිපිනය දුන්නා. සාල්මේ වීදියේ නොම්මර 56 නිවස හොයාගෙන මම ගියා. එතන වැඩ පොළේ අල සුද්ද කර කර හිටිය කාන්තාවකගෙන් මම ඇහැව්වා “මෙහෙ ආගමික රැස්වීමක් පවත්වනවද” කියලා. කේන්තියෙන් ඇය මාව එළවගන්න හැදුවත් මම ඇයට පෙරැත්ත කළ නිසා උඩ තට්ටුවේ පැවැත්වෙමින් තිබුණ බයිබල් පාඩමට හවුල් වෙන්න කියලා ඈ මට කිව්වා. දවල් කෑම සඳහා දුන් විවේක වෙලාවේදී මම යන්න හැදුවත් අනිත් අය මාව නවත්වගත්තා.

විවේක කාලයේ වට පිට බලද්දී මම දැක්කා සුදුමැලි වෙලා ඇදිලා ගිය තරුණයන් දෙන්නෙක් ජනේලය ළඟ ඉඳගෙන ඉන්නවා. යුද්දේ කාලෙදී ඔවුන් අවුරුද්දකට වැඩි කාලයක් බිංගෙයක හැංගිලා හිටිය නිසාලු එහෙම වුණේ. * දහවල් සැසිවාරයේදී ෆ්‍රෙඩ්රීක් ආට්පෙරෙ කතාවක් දෙනකොට “හර්මගෙදොන්” කියන වචනය පාවිච්චි කළා. ඒක නුහුරු වචනයක් නිසා ඒ ගැන පස්සේ ඔහුගෙන් ඇහැව්වාම බයිබලයෙන් ඔහු ඒක මට පෙන්නුවා. (එළිදරව් 16:16) අලුත් දෙයක් ඇහැව්වා වගේ මම පුදුම වෙලා ඉන්නවා දැක්ක එක ඔහුටත් පුදුමයක් වුණා.

මේ රැස්වීම සූදානම් කරලා තිබුණේ දන්නා හඳුනන විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ට පමණක් බව මට තේරුණා. යුද්දේ ඉවර වුණාට පස්සේ ඔවුන් පැවැත්වූ මුල්ම රැස්වීම ඒක බව මම දැනගත්තේ ටික දවසකට පස්සෙයි. එදා පටන් දෙවි කෙරෙහි විශ්වාස කිරීමේ අවශ්‍යතාව මං හොඳින් තේරුම්ගත්තා. (හිතෝපදේශ 3:5, 6) ඊට වසරකට පස්සේ 1946 අගෝස්තුවලදී 20-හැවිරිදි වියේ පසු වුණ මම සැබෑ දෙවි වන යෙහෝවාට කැප වෙලා හිටිය නිසා බව්තීස්ම වුණා.

පවුලේ විරුද්ධත්වයට මුහුණ දීම

දෙවි කෙනෙක් නැහැයි කියා පාසැලේදී ඉගැන්වීම අනිවාර්ය කළ නිසා බයිබල් ප්‍රමිති අනුව පුහුණු කරගත්ත මගේ හිතට ඒක වදයක් වුණා. මගේ රැකියාව වෙනස් කරන්න මම තීරණය කළා. මේ ගැන අම්මාට කිව්වහම ඇයට හොඳටම කේන්ති ගිහින් මගේ කොණ්ඩෙන් ඇදලා මට ගැහැව්වා. ගෙදරින් යන්න මම තීරණය කළත් තාත්තා කිව්වා ටිකක් ඉවසන්න මං උදව් කරන්නම් කියලා.

මගේ මල්ලිගේ නම ආන්ට්ස්. එයා අම්මාත් එක්ක එකතු වෙලා මට හිරිහැර කළා. ඒත් එක දවසක් එයා මගෙන් බයිබල් පොත් ටිකක් ඉල්ලගෙන කියෙව්වහම එයාට හුඟක් ආස හිතුණා. අම්මාගේ කේන්තිය දෙගුණ තෙගුණ වුණා. ආන්ට්ස් පාසැලේදී දෙවි ගැන කතා කරන්න පටන්ගත්තත් පීඩා එද්දී ඔහු සාක්ෂිකරුවන්ව ඇසුරු කරන එක නතර කළා. ඊට ටික කලකට පස්සේ කිමිදෙන්න ගිහින් ඔහුගේ ඔළුවට බරපතළ අනතුරක් සිද්ධ වුණා. කිසිවක් කරගන්න බැරි වුණ ඔහුව ගිලන් ඇඳක හාන්සි කරවලා තිබුණත් ඔහුගේ මතක ශක්තියට හානියක් වෙලා තිබුණේ නැහැ. “යෙහෝවා මට සමාව දෙයිද” කියලා ඔහු මගෙන් ඇහැව්වා. “ඔව්” කියලා මම කිව්වා. දවස් කීපයකට පස්සේ ආන්ට්ස් මැරුණා. එතකොට ඔහුගේ වයස 17යි.

වර්ෂ 1947 සැප්තැම්බර්වලදී මම ගුරු වෘත්තියෙන් අයින් වුණා. අම්මාගේ වෛරයෙත් අඩුවක් තිබුණේ නැහැ. ඈ මගේ ඇඳුම් ඔක්කොම එළියට විසි කරපු දවසේ මම ගෙදරින් පිට වුණා. සන්නාමීස් සහෝදරියන් මාව ඔවුන්ගේ නිවසේ නවත්වගත්තා. යෙහෝවා කවදාවත් තමන්ගේ සේවකයන්ව අත්හරින්නේ නැහැ කියලා ඔවුන් මට මතක් කරලා දුන්නහම ඒක මට ලොකු හයියක් වුණා.

යුද්ධයෙන් පසු එස්ටෝනියාවේදී පීඩා

සන්නාමීස් සහෝදරියන් එක්ක එකතු වෙලා ගොවිපොළවල්වල ඉන්න පවුල්වලට ඇඳුම් මහන්න මට අවස්ථාවක් ලැබුණා. ඔවුන් එක්ක නිතරම බයිබල් සත්‍යයන් කතා කරන්නත් අපිට පුළුවන් වුණා. මහන්න ඉගෙනගත්තා විතරක් නෙවෙයි ක්‍රිස්තියානි දේවසේවයේ හොඳ පළපුරුද්දකුත් ලැබුණ ඒ කාලය ප්‍රීතිමත් කාලයක්. මහනවාට අමතරව ගණිත ගුරුවරියක් හැටියටත් රැකියාවක් කළා. කොහොමවුණත් 1948දී රජයේ අවසරයෙන් සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට ගන්න පටන්ගත්තා.

ඊළඟ වසරේ ඔක්තෝබර්වලදී මම ගොවිපොළක වැඩ කර කර ඉන්නකොට මාව අත්අඩංගුවට ගන්න රජයේ බලධාරීන් සන්නාමීස්ලගේ ගෙදරට ගිය බව මට දැනගන්න ලැබුණා. සහෝදර හ්‍යූගෝ සූසිලාගේ ගොවිපොළේ නවතින්න හිතාගෙන මම එහෙට යද්දී ඔහුවත් අත්අඩංගුවට අරගෙන තිබුණා. මගෙන් ඇඳුම් මස්සවාගත්ත කාන්තාවක් ඇගේ නිවසේ මට ඉන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ ගොවිපොළෙන් ගොවිපොළට මාරු වෙමින් මගේ මැහුම් වැඩ කරන අතරෙම දේශනා සේවයෙත් දිගටම හවුල් වුණා.

මට වඩා ටිකක් වැඩිමල් ලින්ඩා මෙටීග් උද්‍යෝගයෙන් සේවය කළ තරුණියක්. ශීත ඍතුව පටන්ගත්තට පස්සේ දවසක් මම ඇගේ ගෙදර ඉන්නකොට සෝවියට් රජයේ ආරක්ෂක කමිටුවේ නිලධාරීන් (KGB) මාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළා. තරුණ පොලිස් නිලධාරීන් ඉදිරියේ මගේ ඇඳුම් ඔක්කොම ගලවන්න කියලා මට බල කළා. ඒ වෙලාවේ මට දැනුණේ දරාගන්න බැරි ලජ්ජාවක්. ඒත් යෙහෝවාට යාච්ඤා කළහම මගේ හිතට සහනයක් ලැබුණා.

ඊට පස්සේ හාන්සි වෙන්න තරම්වත් ඉඩ කඩක් නැති පුංචි හිර කාමරයකට මාව දැම්මා. ප්‍රශ්න කරද්දී විතරයි මාව එළියට ගත්තේ. “දෙවි කෙනෙක් නැහැයි කියලා කියන්න නෙවෙයි අපි ඔයාට කියන්නේ. ඔය මෝඩ දේශනා වැඩේ නවත්වන්න කියලයි අපි කියන්නේ! එහෙම කළොත් අනාගතය සුබ වෙයි” කියලා නිලධාරීන් මට කිව්වා. “එහෙම නැත්නම් ඔයාට ඕනේ ජීවත් වෙන්නද ඔයාගේ දෙවි එක්ක සයිබීරියාවේදී මැරෙන්නද” කියලා ඔවුන් මගෙන් තර්ජනාත්මකව ඇහැව්වා.

මේ විදිහට දවස් තුනක් පුරා නොකඩවා ප්‍රශ්න ඇහැව්වේ මට නිදාගන්නවත් ඉඩ දෙන්නේ නැතුවයි. බයිබල් ප්‍රතිපත්ති ගැන මෙනෙහි කිරීමෙන් මට පුළුවන් වුණා විඳදරාගන්න. අන්තිමට නිලධාරියෙක් මා ළඟට ඇවිත් දේශනා සේවය නවත්වන බවට ලියවිල්ලක අත්සන් කරන්න කියලා මට බල කළා. “මම මේ තීරණය අරගෙන තියෙන්නේ හොඳට හිතලා බලලා. නිදහස් වෙලා දෙවිගේ අනුමැතිය නැති කරගන්නවාට වඩා හිරගෙදරම මැරිලා යන එක හොඳයි කියලා” මම කිව්වා. ප්‍රශ්න කළ නිලධාරියා කෝපයෙන් “මහ මෝඩියක්! තමුසෙලා ඔක්කොම හිර කරලා සයිබීරියාවට යවනවා!” කියලා බෙරිහන් දුන්නා.

නොහිතුව ලෙස නිදහස

පුදුමෙක මහත! එදාම මැදියම් රැයට කලින් ප්‍රශ්න කළ නිලධාරීන් මාව නිදහස් කරලා මගේ ඇඳුම් ටිකත් අරගෙන යන්න කිව්වා. මගේ පිටිපස්සෙන් ඇවිත් මං යන තැන බලාගනියි කියලා මට හිතුණ නිසා කිසිම ක්‍රිස්තියානි සහෝදරයෙක් ළඟට මම ගියේ නැහැ. එහෙම ගියා නම් මම කරන්නේ ඔවුන්ව පාවා දීමක්. පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන යද්දී තුන්දෙනෙක් පිටිපස්සෙන් එනවා දැක්කා. යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීමක් ඉල්ලා යාච්ඤා කර කරයි මම ඇවිදගෙන ගියේ. එක පාරටම මම කළුවර පාරකට හැරිලා විදුලි වේගයෙන් දුවලා වත්තක් ඇතුළට රිංගගත්තා. බිම දිගා වෙලා කොළ අතුවලින් මාව වහගත්තා. ඒ මිනිස්සු මා ළඟින්ම ඇවිදින සද්දේ මට ඇහුණා. ඔවුන්ගේ විදුලි පන්දම්වල සැර එළිය ගගහා මාව හෙව්වා.

කිසි හැලහොල්මනක් නැතුව පැය කීපයක්ම ඒ විදිහට හිටිය නිසා මගේ මුළු ඇඟම සීතලෙන් හිරි වැටුණා. ඊට පස්සේ හෙමින් සීරුවේ නැඟිටලා සද්දේ ඇහෙන්නැති වෙන්න සපත්තු දෙකත් අතට අරගෙන බොරළු පාරවල් දිගේ ඇවිදගෙන ගියා. ඒ නගරය පහු කරලා මහ පාරට ආපුවහම මහ පාර අයිනේ කාණු දිගේ ඇවිද්දා. වාහන ළං වෙද්දී බිම දිගා වුණා. මේ විදිහට උදේ පහට විතර යූරි සහ මීටා ටූමෙල්ගේ ගෙදරට යාගන්න මට පුළුවන් වුණා. ටාටූවල ඉඳලා එහෙට වැඩි දුරක් නැහැ.

මීටා ඒ මොහොතේම ගිනි උදුන රත් කරලා මට උණුසුම් වෙන්න සැලැස්සුවා. ඊළඟ දවසේ ඇය ටාටූවලට ගිහින් ලින්ඩා මීටිග්ට පණිවිඩේ දුන්නා. “අපි ආයි දේශනා සේවය පටන්ගමු. එස්ටෝනියාව පුරාම දේශනා කරමු” කියලා ලින්ඩා මාව උනන්දු කළා. කොණ්ඩ මෝස්තරෙත් වෙනස් කරලා, මූණටත් රූපලාවන්‍ය ටිකක් දාලා, ඇස් කණ්ණාඩියකුත් දාගෙන මගේ පෙනුම වෙනස් කරගත්තා. ඊට පස්සේ අපි දේශනා සේවය පටන්ගත්තා. මාස කීපයක්ම ඈත පළාත්වලට බයිසිකල්වලින් ගිහින් දේශනා කළා. එහෙම යද්දී අපි ගොවිපොළවල හිටිය අපේ සාක්ෂිකරුවන්ව ධෛර්යවත් කළා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් 1950 ජූලි 24වෙනිදා ඕටෙපවලට කිට්ටුව තිබුණ බයිබල් ශිෂ්‍යයෙකුගේ විශාල පිදුරු ගබඩාවක සමුළුවක් පවත්වන්න කටයුතු යෙදුවා. මේ සැලසුම ගැන KGB කමිටුව දැනගෙන තියෙන බව අපි දැනගත්තහම සමුළුවට එමින් හිටිය සාක්ෂිකරුවන් වැඩිදෙනෙකුට ඒ බව දන්වන්න අපිට පුළුවන් වුණා. ඊළඟ දවසේ වෙන තැනක ඒක පවත්වන්න සැලසුම් කළා. එදා 115දෙනෙක් විතර ආවා. හැමෝම ඒක ඉවර වෙලා ගෙවල්වලට ගියේ හරිම සතුටකින්. ඕනෑම පරීක්ෂණයක් යටතේ දෙවිට පක්ෂපාතව ඉන්න ගත්ත තීරණය තවත් ශක්තිමත් වුණා. *

ඊට පස්සේ ලින්ඩයි මායි දිගටම දේශනා සේවය කරගෙන යන අතර ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්වත් දිරිගැන්නුවා. ඒ වසර අවසානයේදී අල උදුරා අස්වැන්න එකතු කිරීමේ වැඩේට අපි හවුල් වුණා. අනිත් සේවකයන්ට රාජ්‍ය පණිවිඩය කියන්නත් අපි ඒක අවස්ථාවක් කරගත්තා. එක ගොවිපොළක අයිතිකරුවෙක් ඔහුගේ වැඩේ නවත්වලා පැයක් පුරා අපිට සවන් දුන්නා. ඔහු පැවසුවේ “මේ වගේ ආරංචි නිතර අහන්න ලැබෙන්නේ නැහැ” කියලයි.

ලින්ඩයි මායි ආපහු ටාටූවලට ගියහම දැනගත්තා ලින්ඩගේ අම්මා ඇතුළු සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙන බව. සන්නාමීස් සහෝදරියන් ඇතුළු අපේ මිතුරන්ගෙන් වැඩිදෙනෙක් අත්අඩංගුවේ හිටියා. අපිවත් KGB කණ්ඩායම හොයනවා ඇති කියලා දැනගත්ත නිසා ටාටූවලින් පිට තැන්වලට බයිසිකල් දෙකකින් ගිහින් දේශනා කළා. අලුත බව්තීස්ම වුණ සාක්ෂිකාරියක් වන අල්මා වාජාගේ ගෙදර ඉන්නකොට එක් රැයක KGB නිලධාරීන් ඇවිත් මාව අල්ලගත්තා. මගේ විදේශ ගමන් බලපත්‍රය බලලා එක නිලධාරියෙක්, “මෙයානේ එලා! අපි හැම තැනම මෙයාව හෙව්වා” කියලා කිව්වා. එදා 1950 දෙසැම්බර් 27 වෙනිදායි.

මුලින් හිරභාරයට පසුව සයිබීරියාවට

ආල්මයි මමයි කලබල නොවී අපිට අවශ්‍ය දේවල් කීපයක් මල්ලක දාගෙන කෑම ටිකක් කන්න ඉඳගත්තා. “අඬන්නෙවත් නැතුව කන්න ඉඳගත්තා නේද” කියලා KGB නිලධාරීන් පුදුමයෙන් කිව්වා. “අපි අපේ අලුත් වැඩේ පටන්ගන්න යනවා. ඊළඟ කෑම වේල කොයි වෙලාවේ හම්බවෙයිද කියලා අපි දන්නේ නැහැනේ” කියලා අපි පිළිතුරු දුන්නා. ගොරෝසු බ්ලැන්කට්ටුවකුත් මම අරගත්ත එක මට පස්සේ දවසක ලොකු උපකාරයක් වුණා. ශීත කාලේදී මම ඒකෙන් මේස් සහ අත්වැසුම් හදාගත්තා. මාස ගණනාවක් හිරේ හිටියට පස්සේ 1951 අගෝස්තුවලදී එස්ටෝනියාවේ හිටිය අනිත් සාක්ෂිකරුවන් එක්කම මාවත් පිටුවහල් කළා. *

එස්ටෝනියාවෙන් අපිව රුසියාවේ ලෙනින්ග්‍රැඩ්වලට යැව්වා. ඊට පස්සේ ආක්ටික් වෘත්තයටත් ඉහළින් තියෙන කෝමී ජනරජයේ වොර්කූටාවල පිහිටා තිබෙන සිර කඳවුරුවලට යැව්වා. අපේ කණ්ඩායමේ සාක්ෂිකාරියන් තුන්දෙනෙක් හිටියා. පාසැලේදී මම රුසියානු භාෂාව ඉගෙනගෙන තිබුණ නිසා අත්අඩංගුවට ගත්ත කාලේදීම රුසියානු භාෂාව කතා කරන්නත් පුරුදු වුණා. මේ කඳවුරුවලදී ඒක ලොකු උපකාරයක් වුණා.

වොර්කූටාවලදී අපිට යුක්‍රේනියානු තරුණියක් මුණගැසුණා. ඇය පෝලන්තයේ නාට්සි කඳවුරක හිටිය කාලෙදී සාක්ෂිකාරියක් වෙලා. වර්ෂ 1945දී ඇයවත් තවත් සාක්ෂිකරුවන් 14දෙනෙකුවත් නැවකට පැටෙව්වලු. බෝල්ටික් මුහුදේදී ඒක ගිල්වීමේ බලාපොරොත්තුවෙනුයි ජර්මානුවන් එහෙම කරලා තියෙන්නේ. කොහොමවුණත් නැව ගිලෙනවා වෙනුවට ඩෙන්මාර්කයට ඇදිලා ගිහිල්ලා. ඊට පස්සේ ඇය ආපහු රුසියාවට ගිහින් දේශනා කරද්දී ඇයව අත්අඩංගුවට අරගෙන වොර්කූටාවලට එවලා. ඇගේ විස්තර කියද්දී අපිටත් ඒක ලොකු දිරිගැන්වීමක් වුණා.

අපිට තවත් කාන්තාවන් දෙන්නෙක් හමු වුණා. ඒ එක්කෙනෙක් යුක්‍රේනියානු බසින් ඇහැව්වා “මෙහේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන අය ඉන්නවාද” කියලා. ඔවුන් අපේ ක්‍රිස්තියානි සහෝදරියන් බව ඒ වෙලාවෙම අපි තේරුම්ගත්තා. ඔවුන් අපිව දිරිගන්නුවා විතරක් නෙවෙයි අපිව ආදරෙනුත් බලාගත්තා. මේක දැක්ක අනිත් සිරකරුවන් ‘ඕගොල්ලන්ගේ නෑදෑයන් ඕගොල්ලෝ මෙහෙට එනකම් බලාගෙන හිටියා වගෙයිනේ’කියලා අපිට කිව්වා.

මෝර්ඩෝවියාවේ කඳවුරුවලට යවයි

මට වායුගෙඩියක් හැදිලා තියෙන බව වෛද්‍ය පරීක්ෂණයකින් හෙළි වුණ නිසා 1951 දෙසැම්බර්වලදී කිලෝමීටර් 1,500ක් පමණ දුරින් තිබුණ සිරකඳවුරකට යැව්වා. ඒක තිබුණේ මොස්කව් නගරයේ ගිණිකොණ දිශාවෙන් කිලෝමීටර් 400ක් පමණ එහායින් පිහිටි මෝර්ඩෝවියාවෙයි. ඊළඟ වසර කීපයේදී මාව හිර කරලා තිබුණ කඳවුරුවලදී මට ජර්මානු, හංගේරියානු, පෝලන්ත හා යුක්‍රේනියානු සාක්ෂිකාරියන්ව මුණගැසුණා. දේශපාලනික හේතු මත හිර කරලා හිටිය එස්ටෝනියාවේ මයිමූව මුණගැහුණෙත් එතකොටයි.

මෝර්ඩෝවියා කඳවුරේදී මයිමූ මාත් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඉගෙනගත්ත දේවල් පිළිගත්ත ඇය තම මවටත් බයිබල් සත්‍යයන් ගැන ලියා යැව්වහම ඇයත් ඒවා පිළිගෙන මයිමූගේ පුංචි දුව වන කාරීන්ටත් ඒවා ඉගැන්නුවා. මයිමූට මේ පුංචි දරුවාව ලැබුණේ එස්ටෝනියාවේ සිරකඳවුරේදීයි. කරුණාවන්ත ආරක්ෂක භටයෙක් මයිමූගේ මවට දරුවාව භාර දීලා තියෙනවා. වසර හයකට පස්සේ මයිමූට හිරෙන් නිදහස් වෙලා තම දරුවා ළඟට යන්න පුළුවන් වුණා. කාරීන් ලොකු මහත් වුණාට පස්සේ සාක්ෂිකරුවෙක් එක්ක විවාහ වුණා. පසුගිය වසර 11 පුරාම ඔවුන් දෙදෙනා එස්ටෝනියාවේ ටාලින්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරලා තියෙනවා.

මෝර්ඩෝවියාවේ සිර කඳවුරු සංකීර්ණයේ එක කොටසක් අනිත් ඒවායින් වෙන් කරලා තිබුණා. වෙන් කළ මෙම කුඩා කොටසට විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණා. සිරකරුවන් මේ කොටසට කූඩුව කියලා කිව්වේ ඒ නිසයි. අපේ ක්‍රිස්තියානි දේවසේවය නිසා මාවයි තව සාක්ෂිකාරියන් හයදෙනෙකුවයි ඒ කොටසට දැම්මා. ඒ වුණත් අපිව නවත්වන්න ඔවුන්ට බැරි වුණා. අපි මුරටැඹ ලිපිවල පිටපත් පුංචි අකුරෙන් ලියලා අවට කඳවුරුවල හිටිය අයටත් ඒවා යැව්වා. මේක රහසින් කරන්න අපි සබන් බාර්වල ඇතුළ හාරලා සබන් ටික අයින් කරලා ලිපිය ඒක ඇතුළට දාලා ආපහු සබන්වලින් ඒක වහලා අලුත් එකක් වගේ යැව්වා.

මෝර්ඩෝවියාවේ කඳවුරුවල හිටිය කාලයේදී දහදෙනෙකුට වැඩි පිරිසකට දෙවිට සේවය කරන්න උපකාර කරන්න මට පුළුවන් වුණා. අන්තිමේදී 1956 මැයි 4වෙනිදා “ඕගොල්ලන්ට නිදහස් වෙලා ගිහින් ඕගොල්ලන්ගේ යෙහෝවා දෙවිට විශ්වාසයෙන් ඉන්න පුළුවන්” කියලා මට කිව්වා. ඒ මාසයේදීම මම ආපහු එස්ටෝනියාවේ මගේ ගමට ආවා.

වසර 50කට ආසන්න කාලයක් ගෙවෙයි

ආපහු එද්දී මට රැකියාවක්වත්, මුදල්වත්, ගෙයක් දොරක්වත් තිබුණේ නැහැ. ඒත් ඇවිත් ටික දවසක් යන්න කලින් බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න ආස කාන්තාවක් මට මුණගැහුණා. ඔවුන්ගේ කුඩා නිවසේ තිබුණේ එක කාමරයයි. ඒත් ඇය සහ ඇගේ සැමියා ඔවුන්ගේ නිවසේ නවතින්න මට ඉඩ දුන්නා. ණයට ඉල්ලගත්ත මුදල් ටිකකින් වූල් අරගෙන ශීත කබා ගොතලා ඒවා වෙළඳ පොළට ගෙනිහින් විකුණලා තමයි මම කීයක් හරි හොයාගත්තේ. ඊට පස්සේ ටාටූවල තියෙන පිළිකා රෝහලේ මට රැකියාවක් ලැබුණා. නොයෙකුත් වැඩ කරන්න සිද්ධ වුණත් අවුරුදු හතක්ම මම ඒ රැකියාව කළා. මේ අතරතුරේ සයිබීරියාවේ හිටිය ලෙම්බිට් ටූම් ආපහු එස්ටෝනියාවට ආවා. අපි දෙන්නා 1957 නොවැම්බර්වලදී විවාහ වුණා.

කොහොමවුණත් KGB නිලධාරීන් අපි ගැන ඇහැ ගහගෙනයි හිටියේ. අපේ දේශනා වැඩයට දමා තිබුණ තහනම ඉවත් කරලා තිබුණේ නැති නිසා නිතරම ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වුණා. අපේ උත්සාහය අත් නොහැර අපේ ආගමික විශ්වාසයන් ගැන අනිත් අයට අපි කිව්වා. අපේ ජීවිත කතාවේ මේ විස්තරය ගැන 1999 මාර්තු 8 පිබිදෙව්! කලාපයේ ලෙම්බිට් පැහැදිලි කරලා තියෙනවා. පිටුවහල් කරලා හිටිය සාක්ෂිකරුවන් 1950 ගණන්වල අග භාගයේ ඉඳලා 70 ගණන් වෙනකම්ම ආපහු තම රටට ආවා. එක්දාස් නවසිය අසූ ගණන් වෙනකොට එස්ටෝනියාවේ සාක්ෂිකරුවන් 700කට වැඩි පිරිසක් හිටියා. වර්ෂ 1991දී අපේ ක්‍රිස්තියානි දේවසේවය නීත්‍යනුකූල කළා. එදා පටන් මේ වන තුරු එස්ටෝනියාවේ සාක්ෂිකරුවන් 4,100කට වඩා වැඩි වෙලා තියෙනවා.

දෙවන ලෝක මහා යුද්ධයෙන් පස්සේ එස්ටෝනියාවේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට මම රහසින් සහභාගි වුණ දවසේ ඉඳලා දැන් වසර 60කට වැඩි කාලයක් ගෙවිලා ගිහින්. එදා පටන් මගේ අධිෂ්ඨානය වුණේ “යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරන්න” කියන බයිබල් උපදෙස පිළිපැදීමයි. එහෙම කරනවා නම් ‘මගේ සිතෙහි කැමැත්ත’ ඉටු වන බව මම දන්නවා.—ගීතාවලිය 37:3, 4.

[පාදසටහන්වල]

^ 14 ඡේ. මොවුන්ගෙන් කෙනෙකු වන ලෙම්බිට් ටූම්ගේ ජීවිත කතාව 1999 මාර්තු 8 පිබිදෙව්! කලාපයේ තිබෙනවා.

^ 30 ඡේ. මෙම සමුළුවේ වැඩි විස්තර සඳහා 1999 පිබිදෙව්! මාර්තු 8 කලාපයේ 12-13 පිටු බලන්න.

^ 34 ඡේ. එස්ටෝනියාවේ හිටිය සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් 1951 අප්‍රියෙල්වල මුල් කාලේදීම පිටුවහල් කරලයි තිබුණේ. වර්ෂ 2001 අප්‍රියෙල් 22 පිබිදෙව්! 6-8වන පිටු සහ සෝවියට් ජනරජයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පීඩා හමුවේ ඇදහිලිවන්තව යන වීඩියෝ පටය බලන්න. (මේවා සිංහලෙන් නැහැ.)

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අපි දැන් දේශනා සේවය පටන්ගමු. එස්ටෝනියාව පුරාම දේශනා කරමු.”—ලින්ඩා මීටිග්

[24වන පිටුවේ පින්තූරය]

මෝර්ඩෝවියා සිර කඳවුර තුළ තවත් සාක්ෂිකාරියන් නවදෙනෙක් එක්ක

[24වන පිටුවේ පින්තූරය]

අද මගේ සැමියා වන ලෙම්බිට් සමඟ