Skip to content

පටුනට යන්න

යේසුස් මිය ගියේ කුරුසයක් මතද?

යේසුස් මිය ගියේ කුරුසයක් මතද?

බයිබලයෙන් පිළිතුරක්

යේසුස් මිය ගියේ කුරුසයක් මතද?

කුරුසය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ආගමික සංකේතයක් ලෙස සලකා බොහෝදෙනෙක් ඊට නමස්කාර කරනවා. ඔවුන් සිතන්නේ යේසුස්ව මරණයට පත් කළේ කුරුසය මත කියායි. එමනිසා ඔවුන් එය ශුද්ධ වස්තුවක් ලෙස සලකනවා. රෝමානු කතෝලික ලේඛකයෙකු වන පුරාවිද්‍යාඥ ඇඩොල්ෆ්-නැපෝලියන් මෙසේ පැවසුවා. “ක්‍රිස්තුස්ට නමස්කාර කරනවා හා සමානවම කුරුසයටත් නමස්කාර කර තිබෙනවා; ලීවලින් සාදා තිබෙන මෙම ශුද්ධ කුරුසයට දෙවිට දෙන ගෞරවයම දී තිබෙනවා.”

කුරුසය පාවිච්චි කරමින් දෙවිට යාච්ඤා කරනකොට දෙවිට කිට්ටු වෙන බව හැඟෙනවා කියා සමහරු පවසනවා. තවත් අය ඒක යක්ෂයාගෙන් ආරක්ෂා වීමට පළඳින යන්තරයක් හැටියටත් භාවිත කරනවා. ඒත් ක්‍රිස්තියානීන් නමස්කාරය සඳහා කුරුසය භාවිත කළ යුතුද? යේසුස් ඇත්තෙන්ම මිය ගියේ කුරුසයක් මතද? බයිබලයේ මේ ප්‍රශ්නවලට මොන වගේ පිළිතුරක් සපයයිද?

කුරුසයක්ද? කණුවක්ද?

ඉපැරණි බැබිලෝනි ජාතිකයන් සශ්‍රීකත්වයේ දෙවි වන තම්මුස්ට නමස්කාර කිරීම සඳහා කුරුස යොදාගෙන තිබෙන්නේ ක්‍රිස්තියානි යුගය ඇරඹීමට බොහෝ කලකට පෙර සිටයි. කුරුසය භාවිතය ඊජිප්තුව, ඉන්දියාව, සිරියාව හා චීනය දක්වා ව්‍යාප්ත වුණා. ඉන් සියවස් කීපයකට පසු ඊශ්‍රායෙලිතයන් යෙහෝවාට පමණක් නමස්කාර කරනවා වෙනුවට බොරු දෙවි වන තම්මුස්ටත් වන්දනාමාන කිරීමට පටන්ගත්තා. මෙවැනි නමස්කාරයක් ‘පිළිකුල් දෙයක්’ හැටියටයි බයිබලයේ දක්වන්නේ.—එසකියෙල් 8:13, 14.

යේසුස්ව මැරීමට යොදාගත් දේ විස්තර කිරීමට මතෙව්, මාක්, ලූක් සහ යොහන් සුවිශේෂ වාර්තාවල භාවිත කර තිබෙන්නේ ස්ටෝරස් (stau·rosʹ) යන ග්‍රීක් වචනයයි. (මතෙව් 27:40; මාක් 15:30; ලූක් 23:26) ස්ටෝරස් යන වචනයෙන් අදහස් වන්නේ සිරස් අතට තිබෙන පොල්ලක්, ඉන්නක් හෝ කණුවක් යන්නයි. “නව තෙස්තමේන්තුවේ ලියවිලි ගණනාවකින් එකකවත් ස්ටෝරස් යන වචනයට විශේෂ අරුතක් දෙන එක වාක්‍යයක්වත් නැහැ. යේසුස්ව ඇණ ගැසුවේ සාමාන්‍ය කණුවකයි. සිරස් ලී කණුවක හරස් අතට සවි කළ ලීයක් යොදාගෙන කුරුසයක හැඩය ගත් දෙයක් භාවිත කළ බව තහවුරු කිරීමට එහි සාක්ෂි නැහැ” කියා ලියා තිබෙන්නේ ජේ. ඩී. පාර්සන්ස් විසින් සම්පාදිත පොතකයි.—එම පොත The Non-Christian Cross.

පේතෘස්, ක්‍රියා 5:30හි සඳහන් කර තිබෙන්නේ “ගස” හෝ කණුව යන අර්ථය දෙන සයිලොන් (xyʹlon) නමැති ග්‍රීක් වචනයයි. එය ස්ටෝරස් යන වචනයට සමානාර්ථ වචනයක්. ඉන් අඟවන්නේ කුරුසයක හැඩයට ලී දෙකක් සම්බන්ධ කර තිබෙන බව නොව කෙළින් අතට තිබෙන ලීයක් හෝ ගසක් බවයි. යේසුස්ගේ මරණයෙන් වසර 300ක් වැනි කාලයක් ගත වූ පසුවයි ඇතැම් ක්‍රිස්තියානීන් යේසුස් මිය ගියේ කුරුසයක යන අදහස දරන්න පටන්ගත්තේ. ඊට හේතුව යම් සිරිතක් මත පදනම් කරගැනීම හා ස්ටෝරස් යන ග්‍රීක් වචනයද වරදවා වටහාගැනීමයි. රෝමවරුන්ගේ ඝාතනයන් ගැන දක්වා ඇති ඇතැම් පැරණි චිත්‍රවල දක්නට තිබෙන්නේ ඝාතනය සඳහා තනි ලී කණුවක් හෝ ගහක් යොදාගෙන ඇති බවයි.

“දේවතා රූපවලින් පරෙස්සම් වන්න”

යේසුස්ව මරන්න භාවිත කළ දෙයකට සැබෑ ක්‍රිස්තියානීන් වන්දනාමාන කළ යුතුද කියන ප්‍රශ්නය සලකා බැලීම වැදගත්. එය වධ කණුවක්, කුරුසයක්, ඊතලයක්, හෙල්ලයක්, පිහියක් යන කුමක් හෝ වේවා නමස්කාරය සඳහා භාවිත කිරීම සුදුසුද?

මෙහෙම හිතමු. ඔබ ආදරේ කරන කෙනෙකුව කවුරුහරි මරා දාලා. මරා දැමීමට භාවිත කළ ආයුධය සාක්ෂියක් වශයෙන් උසාවියට ඉදිරිපත් කරලා. එම ආයුධය ගැන ඔබට කොහොම හැඟෙයිද? එම ආයුධය ඔබ සන්තක කරගෙන, ඒකේ ඡායාරූප අරගෙන බෙදාහැරීමට ඔබ උත්සාහ කරයිද? එම ආයුධයට සමාන විවිධ රූප ගණනාවක් සාදවාගනියිද? ආභරණ ලෙස ඒවා සකස් කරයිද? එසේ නැතහොත් ලාභයක් ඉපයීමේ අටියෙන් ඒවා නිපදවා වන්දනාමාන කිරීම සඳහා ඔබේ මිතුරන්ට හා නෑදෑයන්ට ඔබ ඒවා විකුණයිද? ඒ වගේ දෙයක් අහන්නවත් ඔබ කැමති වෙන එකක් නැහැ. කොහොමනමුත් ඉහත සඳහන් කළ හැම දෙයක්ම කුරුසය සම්බන්ධයෙන් සැබෑවක් වී තිබෙනවා.

ඊට අමතරව නමස්කාරය සඳහා කුරුසයක් යොදාගැනීම රූප වන්දනාවකට සමානයි. එය බයිබලයේ හෙළාදැක තිබෙන දෙයක්. (නික්මයාම 20:2-5; ද්විතීය කථාව 4:25, 26) යොහන් සෙසු ක්‍රිස්තියානීන්ට සැබෑ ක්‍රිස්තු ධර්මයට ඇතුළත් වන ඉගැන්වීම් ගැන පවසද්දී “දේවතා රූපවලින් පරෙස්සම් වන්න” කියා අවවාදයක් දුන්නා. (1 යොහන් 5:21) රෝම රංග පීඨයේදී මරණය විඳින්න සිදු වුණත් ඔවුන් ඒ අවවාදය පිළිපැද්දා.

ඒ වගේම මුල් සියවසේ ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස්ගේ පූජනීය මරණයත් ඉහළින්ම සැමරුවා. එලෙසම අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ව වධ දී මරණයට පත් කළ දෙයට නමස්කාර නොකළත් යේසුස්ගේ මරණය සිහි කරනවා. පාපය උරුම වී තිබෙන මිනිසාට ගැලවීම ලබා දීමට දෙවි සපයන මාධ්‍යය එය බව ඔවුන් දන්නවා. (මතෙව් 20:28) දෙවිගේ ප්‍රේමය අතිවිශිෂ්ට ලෙස පෙන්වූ මේ ක්‍රමයෙන් සත්‍යයට ඇලුම් කරන අයට සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව ඇතුළු අසංඛ්‍යාත ආශීර්වාද රැසක් ලැබෙනවා.—යොහන් 17:3; එළිදරව් 21:3, 4.

[12වන පිටුවේ පින්තූරය]

රෝමවරුන්ගේ ඝාතනයන් ගැන දක්වා ඇති ඇතැම් පැරණි චිත්‍රවල දක්නට තිබෙන්නේ ඝාතනය සඳහා තනි ලී කණුවක් යොදාගෙන ඇති බවයි

[හිමිකම් විස්තර]

Rare Books Division, The New York Public Library, Astor, Lenox and Tilden Foundations