Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට අවශ්‍ය දේ

සැබෑ සතුටට අවශ්‍ය දේ

සැබෑ සතුටට අවශ්‍ය දේ

රස කෑමක් හදන්න දක්ෂ සූපවේදියෙක් සිටිය යුතු අතර හොඳ කෑම වට්ටෝරුවක්ද තිබිය යුතුයි. සතුටත් ඒ වගෙයි. එක් දෙයකින් එය ලැබෙන්නේ නැහැ. ඊට දායක වෙන දේවල් තිබෙනවා. වැඩවල නිරත වීම, විනෝදයට යම් කාලයක් මිඩංගු කිරීම, පවුලේ අය හා මිතුරන් සමඟ කාලය ගත කිරීම සහ ආගමික කටයුතුවල නිරත වීම වැනි දේවල් ඊට ඇතුළත් වෙනවා. ඒ වගේම අප නොහිතන දේවලුත් තියෙනවා. ඒවා නම් ආකල්ප, ආශාවන් සහ අපගේ ජීවිතයේ පරමාර්ථයන්.

සැබෑ සතුටට අවශ්‍ය වන දේ කුමක්ද කියා සොය සොයා එහෙ මෙහෙ යන්න අවශ්‍යතාවක් නැහැ. අපගේ මැවුම්කරු මඟ පෙන්වීම් ඇතුළත් පොතක් දී තිබෙනවා. එම පොත නම් බයිබලයයි. එය සම්පූර්ණයෙන්ම හෝ එහි සමහර කොටස් භාෂා සහ උප භාෂා 2,377කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගත හැකි අතර ලෝකයේ වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොතත් එයයි.

මෙසේ බෙදාහැර තිබීමෙන් පෙනෙන්නේ දෙවි සෑම පුද්ගලයෙකුගේම සතුට හා ශුභසාධනය ගැන දක්වන සැලකිල්ලයි. (ක්‍රියා 10:34, 35; 17:26, 27) දෙවි මෙසේ කියා තිබෙනවා. ‘ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නේ මමය.’ අප ඔහුගේ අණ පනත් පිළිපදිනවා නම් අපගේ ජීවිත තුළ සමාදානය “ගංගාවක් මෙන්” වන බවට ඔහු පොරොන්දු වෙනවා.—යෙසායා 48:17, 18.

මෙම පොරොන්දුව අපගේ මතකයට නඟන්නේ කලින් ලිපියේ යේසුස් කියූ වදන්. ඔහු පැවසුවේ “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්” කියායි. (මතෙව් 5:3) ආත්මික අවශ්‍යතා යන්නෙන් අදහස් කරන්නේ දෙවිට ඇහුම්කන් දීමත්, ඔහුගෙන් ඉගෙනගැනීමත්, අපි අප ගැන දන්නවාට වඩා දෙවි අප ගැන දන්නවා යන කාරණය පිළිගැනීමත්. වෙනත් විදිහකින් කියනවා නම් එය පිටාතරයට පමණක් සීමා වූ භක්තියක් නෙමෙයි. අපගේ ජීවන රටාවෙන් එය පිළිබිඹු විය යුතුයි. අවුරුදු 50කට වඩා වැඩි කාලයක් පුරා බයිබලය අධ්‍යයනය කරන එරල් නමැති පුද්ගලයා මෙසේ පවසනවා. “බයිබලය දෙවිගෙන් ලැබුණ දෙයක් කියලා මට හොඳින් පැහැදිලි වුණා. එහි තිබෙන ඉගැන්වීම් පිළිපදින විට ජීවිතය සාර්ථක වෙනවා.” ධනය හා විනෝදය පසුපස හඹා යෑම සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන උපදෙස් ගැන අපි දැන් බලමු.

ධනය පිළිබඳ නැණවත් උපදෙස්

‘යමෙකුට කොපමණ තිබුණත් ඔහු සන්තක දේවල්වලින් ඔහුට ජීවිතය ලැබෙන්නේ නැහැ’ කියා යේසුස් පැවසුවා. (ලූක් 12:15) දෙවිට වටින්නේ ඔබව මිසක් ඔබ සතු ධනය නෙමෙයි. ඇත්තටම ඔබ ධනය පසුපස හඹා යෑමෙන් සිදු වන්නේ ජීවිතයේ වැදගත් දේ සඳහා කාලය මිඩංගු කිරීමට ඔබට නොහැකි වීමයි. එවිට ඔබේ ජීවිතයේ සතුට අහිමි වී ඔබ මානසිකව ඇද වැටෙයි.—මාක් 10:25; 1 තිමෝති 6:10.

එක්සත් ජනපදයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන රිචඩ් රයන් පවසන්නේ මිනිසුන් මිල මුදල්වලින් සතුට සොයන්න ගොස් ජීවිතයේ තෘප්තිය අහිමි කරගන්නා බවයි. බයිබල් ලේඛකයෙක් වන සාලමොන් මෙසේ පවසනවා. “ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින්වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි.” (දේශනාකාරයා 5:10, නව අනුවාදය) මෙය මදුරුවෙක් කෑ විට දිගින් දිගටම කසන්න පෙලඹීමක් ඇති වෙනවා හා සමානයි. එවිට එම ස්ථානයේ තුවාලයක් ඇතිවීමට පුළුවන්.

බයිබලයේ අපට උනන්දු කරන්නේ වෙහෙස මහන්සි වී වැඩ කර එහි ප්‍රතිඵල භුක්ති විඳින්න කියලා. (දේශනාකාරයා 3:12, 13) මෙසේ කිරීමෙන් සැබෑ සතුටට අත්‍යවශ්‍ය ආත්ම ගෞරවය අප තුළ වර්ධනය වෙන අතර අපට ජීවිතයෙන් තෘප්තියකුත් අද්දැකිය හැකියි. මිල මුදල් තිබීමත් එයින් සැපවත් ජීවිතයක් ගත කිරීමත් වැරදි දෙයක් නෙමෙයි. ඒත් මුදල් හම්බ කරගැනීම සඳහා මුළු ජීවිතයම කැප කිරීමෙන් සැබෑ සතුට අත්කර ගන්න බැහැ.

විනෝදයට නිසි තැන

දෙවි ජීවිතය දෙස බලන ආකාරයට ජීවිතය දෙස බැලීමෙන් විනෝදයට නිසි තැන දී එයින් ප්‍රීතිය භුක්ති විඳින්න අපට පුළුවන්. යේසුස් පවා හොඳ ආහාරපාන තිබුණ උත්සව අවස්ථා භුක්ති වින්දා. (ලූක් 5:29; යොහන් 2:1-10) නමුත් ඔහුගේ ජීවිතයේ සතුටට මූලිකවම දායක වුණේ මේ දේවල් නෙමෙයි. ඔහුට වැඩි සතුටක් ලැබුණේ දෙවිට සේවය කිරීමෙන්. එනම් දෙවි ගැනත් දෙවිගේ අරමුණු ගැනත් අන් අයට කියා දීමෙන්.—යොහන් 4:34.

සාලමොන් රජු තම හිතේ හැටියට විනෝද වූ කෙනෙක්. “මම විනෝදය සොයා එයින් ප්‍රමුදිත වීමට සිතා ගතිමි” කියා කියූ සාලමොන් විනෝද සාගරේ කිමිදුණා. ඉන්පසු ඔහුගේ මුවින් පිට වුණේ “එය ද නිස්සාර දෙයක්” කියායි.—දේශනාකාරයා 2:1, න.අ.

විනෝදය පසු පස හඹා යන අයට අන්තිමට අද්දකින්න වෙන්නේ නිස්සාරකම හෙවත් හිස්බවයි. සතුටට වැඩියෙන්ම දායක වෙන්නේ විනෝද වීමට වඩා අර්ථවත් වැඩවල නිරත වීම, ආගමික කටයුතුවල යෙදීම හා පවුල සමඟ කාලය ගත කිරීම වැනි දේවල් බව සමීක්ෂණ බොහොමයකින් හෙළි වුණා.

ත්‍යාගශීලී වීම හා අගය පෙන්වීම

බොහෝදුරට ප්‍රීතිමත් පුද්ගලයන් තමන් ගැන විතරක් නෙමෙයි අනුන් ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ත්‍යාගශීලීයි. යේසුස් පවා පැවසුවේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියායි. (ක්‍රියා 20:35) විශේෂයෙන් පවුලේ අනිත් අය වෙනුවෙන් අප සතු දේවල් විතරක් නෙමෙයි අපගේ කාලය හා ශක්තියත් දෙනවා නම් ඔවුන් එය හුඟාක් අගය කරාවි. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් තම විවාහයේ බැඳීම ශක්තිමත්ව තබාගැනීමටත් ප්‍රීතිය පවත්වාගැනීමටත් එකට කාලය ගත කළ යුතුයි. ඒ වගේම දෙමාපියන් දරුවන් සමඟ කතා කිරීමට, ඔවුන්ට ආදරය පෙන්වීමට හා ඉගැන්වීමට ප්‍රමාණවත් කාලයක් වෙන් කළ යුතුයි. මෙසේ පවුල් සාමාජිකයන් එකිනෙකා වෙනුවෙන් කැප වෙන විට නිවස තුළ සාමය, සතුට රජයයි.

ඒ වගේම අන් අය ඔබ වෙනුවෙන් කරන කැපවීම් ඔබ අගය කරනවාද? නැතහොත් ඔබ ‘ස්තුතියි’ කියා කියන්න පෙලඹෙනවාද? (කොලොස්සි 3:15) ඔබ ස්තුතියි කියන වචනය පාවිච්චි කරන තරමට අන් අය සමඟ යහපත් සබඳතාවක් පැවැත්වීමටත් අපගේ ජීවිතය තුළ සතුට රඳවාගැනීමටත් හැකි වෙනවා. යම් කෙනෙක් අවංකවම තම අගය පළ කරන විට ඔබගේ හදවත ප්‍රීතියෙන් ඉපිළ යන්නේ නැද්ද?

අගය කිරීමේ ස්වභාවය අප තුළ තිබෙනවා නම් අපට ලැබී තිබෙන හොඳ දේවල් අගය කරන්න පෙලඹෙනවා. කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයක සිදු කළ සමීක්ෂණයකදී, පර්යේෂිකාවක් සමීක්ෂණයට භාජනය කළ අයට “තමන් අගය කරන දේවල් පිළිබඳව ලැයිස්තුවක්” සාදන්න කියා පැවසුවා. ඔවුන් එසේ කිරීමට පටන්ගත් පසු සති හයකින් ඔවුන්ගේ ජීවිත තුළ වැඩි තෘප්තියක් අද්දකින බව ඔවුන්ට තේරුම් ගියා.

මෙයින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? ඔබ කුමන තත්වයක සිටියත් ඔබට ලැබී තිබෙන දේවල් අගය කරන්න. බයිබලයෙත් එසේ කරන මෙන් අපට උනන්දු කරනවා. “නිතරම ප්‍රීති වන්න. සියල්ලෙහිදී ස්තුති දෙන්න.” (1 තෙසලෝනික 5:16, 18) මෙසේ කිරීමට නම් අප භුක්ති විඳින යහපත් දේවල් ගැන නිතරම සිතන්න වෑයමක් දැරිය යුතුයි. ඒ ගැන සිතා නොබලන්නේ මන්ද?

ආදරය හා බලාපොරොත්තුව ජීවිතයට අත්‍යවශ්‍යයි

ඉපදුණ දා සිට මැරෙන මොහොත දක්වා මිනිසෙකුට ආදරය අවශ්‍යයි. ආදරය නොලැබුණ විට ජීවිතය අඳුරුයි. අද ආදරය කියන වචනය නිතරම අසන්න ලැබෙනවා. ඒත් ඇත්තටම ආදරය නැතහොත් ප්‍රේමය කියන්නේ මොකක්ද? බයිබලයේ ඉතාමත් අලංකාරවත් ලෙස එය විග්‍රහ කර තිබෙනවා. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පුරසාරම් දොඩන්නේ නැත. අහංකාර වන්නේ නැත. අවිනීතව හැසිරෙන්නේ නැත. තමන්ගේම කාරණා සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. අමනාපයක් සිතේ තබාගන්නේ නැත. අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවී සත්‍යය ගැන ප්‍රීති වන්නේය. සියල්ල දරාගන්නේය. සියල්ල විශ්වාස කරන්නේය. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේය. සියල්ල විඳදරාගන්නේය.”—1 කොරින්ති 13:4-8.

සැබෑ ප්‍රේමය පරාර්ථකාමීයි. සැබෑ ප්‍රේමය තිබෙන කෙනෙක් මුල් තැන දෙන්නේ ‘තමන්ගේම කාරණාවලට’ නොව අන් අයගේ සතුට වෙනුවෙන්. ඒත් කනගාටුවට කාරණයක් වන්නේ මෙවැනි ප්‍රේමයක් දක්නට ලැබෙන්නේ කලාතුරකින් වීමයි. දැන් තිබෙන සමාජ ක්‍රමයේ අවසානය ගැන යේසුස් කියූ අනාවැකියේ මෙසේ සඳහන් වෙනවා. “වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය.”—මතෙව් 24:3, 12; 2 තිමෝති 3:1-5.

මෙම තත්වය හැමදාටමත් තියෙන්නේ නැහැ. එය මැවුම්කරුට අවමානයක්. මන්ද ඔහු ප්‍රේමයේ පරමදාර්ශයයි! (1 යොහන් 4:8) දෙවි ළඟදීම වෛරයෙන් හා ගිජුකමෙන් පිරී සිටින පුද්ගලයන්ව සහමුලින්ම විනාශ කර දමනවා. ඔහු ආරක්ෂාව ලබා දෙන්නේ ඉහත සඳහන් ආකාරයේ ප්‍රේමයක් වර්ධනය කරගන්න උත්සාහ දරන අයට පමණයි. එවිට පොළොව පුරා රජයන්නේ සාමය හා සතුටයි. “තව ටික කලකින් දුෂ්ටයා නැත්තේය; එසේය, ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නෙහිය; ඔහු නැත්තේය. එහෙත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය” යනුවෙන් බයිබලයේ සඳහන් පොරොන්දුව ඉටු වෙන බව නිසැකයි.—ගීතාවලිය 37:10, 11.

හැමදාටමත් “ප්‍රීති වෙන්න” පුළුවන් කාලයක්! මොන තරම් සතුටුදායක බලාපොරොත්තුවක්ද කියලා ටිකක් හිතලා බලන්න. “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න” යනුවෙන් බයිබලයේ සඳහන් වීම පුදුමයක් නෙමෙයි. (රෝම 12:12) කීකරු මිනිසුන් වෙනුවෙන් දෙවි ඉටු කරන පොරොන්දුව ගැන තවදුරටත් ඉගෙනගන්න කැමතිද? එහෙමනම් අනෙක් ලිපියත් කියවන්න.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.”—ක්‍රියා 20:35.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සාර්ථකත්වය පිළිබඳ කතා—කොතරම් සැබෑද?

සමහරු සියලු අභියෝග ජයගෙන ධනවත් පුද්ගලයන් වූ ආකාරය පිළිබඳ කතා විටින් විට අපට අසන්න ලැබෙනවා. “එම කතාවලින් පෙන්වන්න උත්සාහ කරන්නේ තම ළමා කාලය කොතරම් කටුක වුණත් ඒ සියල්ල ජයගෙන ධනයෙන් හා සැපසම්පත්වලින් පිරී ඉතිරී යන ජීවිතයක් ගොඩනඟා ගත හැකි බවයි. ඒත් පර්යේෂණවලින් පෙනී යන්නේ ඔවුන්ගේ ජීවිතේ සෑම දෙයක්ම සාර්ථක වී නැති බවයි. ඔවුන් සාර්ථක වී තිබෙන්නේ මුදලින් පමණයි.” එසේ සඳහන් වුණේ සතුට පිළිබඳ ලියැවුණු පුවත් වැකියකයි.එම පුවත්පත San Francisco Chronicle.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සතුටයි නිරෝගිකමයි

සතුට නිරෝගි දිවියකට දායක වෙනවා. “සතුට, බලාපොරොත්තුව, ශුභවාදීව ජීවිතය දෙස බැලීම සහ තෘප්තිය වැනි දේවල් හෘදයාබාධ, දියවැඩියාව, රුධිර පීඩනය, සෙම්ප්‍රතිශ්‍යාව සහ සමහර ශ්වසන ආබාධ සෑදීමේ අවදානම අඩු කරනවා. එහෙමත් නැත්නම් එහි බරපතළකම අඩු කරනවා.” එසේ වාර්තා කළේ ටයිම්ස් සඟරාව. ඕලන්දයේ අවුරුදු නවයක් පුරා සිදු කළ අධ්‍යයනයකින් හෙළි වුණේ මහලු වියේ පසු වෙන රෝගීන් සතුටෙන් කල් යවන විට මිය යෑමේ අවදානම සියයට 50කින් අඩු වෙන බවයි.

මානසික තත්වය ශරීරයට බලපාන්නේ කෙසේද යන්න තවම පැහැදිලි නැහැ. ඒත් පර්යේෂකයන් පෙන්වන්නේ ශුභවාදී පුද්ගලයන්ට ප්‍රතිශක්ති පද්ධතියට හානි කරන කෝටිසෝල් නමැති හෝමෝනය අඩුවෙන් නිපදවෙන බවයි.

[4, 5වන පිටුවේ පින්තූරය]

හොඳ කෑම වට්ටෝරුවකට අනුව රසවත් කෑම වේලක් හදන්න පුළුවන් වගේම දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැද්දොත් ජීවිතයට සතුට ළඟා වෙයි