Skip to content

පටුනට යන්න

සැබෑ සතුට සොයාගත හැකියි

සැබෑ සතුට සොයාගත හැකියි

සැබෑ සතුට සොයාගත හැකියි

ලෝකයේ සිටින බොහෝදෙනෙකුගේ මතය වන්නේ තමන්ට නවීන පන්නයේ කාර් එකක්, විශාල බැංකු ගිණුමක්, හොඳ රැකියාවක් සහ නවීනතම අංගෝපාංග සහිත ලොකු නිවසක් මෙන්ම නෙත් සිත් වශී කරන පෙනුමක් තියෙනවා නම් ජීවිතයේ සතුට රැඳී තිබෙන බවයි. මේ මතය නිවැරදිද? සතුට රඳා පවතින්නේ මෙවැනි දේවල් මතද?

ටයිම් සඟරාවේ පළ වූ විශේෂ වාර්තාවක සඳහන් වුණේ “සතුට හා සාර්ථකත්වය පිළිබඳ බොහෝ පර්යේෂණ කර තිබෙන” බවයි. ඒත් ඒ හැම පර්යේෂණයකින්ම හෙළි වුණේ මුදල්, ප්‍රසිද්ධිය සහ පෙනුම වැනි දේවලින් පමණක් සැබෑ සතුට අත්කර ගන්න බැරි බවයි. එවැනි දේවල් ලබාගැනීමට වෑයම් කරන අය බොහෝදුරට අද්දකින්නේ මානසික පීඩනයයි.

එම සඟරාව තවදුරටත් පැවසුවේ වෙන කවදාටත් වඩා එක්සත් ජනපදයේ ජනයා ධනවත්ව සිටියත් ඔවුන්ගේ “ජීවිතවලින් සතුට ගිලිහී ගොස් ඇති බවයි.” අනිකුත් රටවල් ගැනත් කියන්න තිබෙන්නේ එයමයි. චීනයේ ආර්ථිකය ශීඝ්‍ර ලෙස දියුණු වී තිබුණත් සතුටෙන් තොර ජීවිතයක් ගත කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතා විශාල ලෙස වැඩි වී තිබෙනවා. චීනයේ “වයස 15ත් 34ත් අතර පුද්ගලයන්ගේ මරණයට ප්‍රධානම හේතුව” සිය දිවි නසාගැනීමයි කියා එක් පුවත්පතක සඳහන් වෙනවා. (එම පුවත්පත Access Asia) එයට එක් හේතුවක් වී තිබෙන්නේ තරුණ පරපුරට රැකියා ක්ෂේත්‍රයේ උසස් වීම් ලබාගැනීමට තිබෙන තරඟකාරිත්වයයි.

ධනය රැස් කරගත් පමණින් ජීවිතයේ ඇති වන කාන්සාව හා පීඩනය අඩු නොවන බව පැහැදිලියි. “අපගේ ජීවන රටාවම අපගේ මානසික පීඩනයට හේතු වී තිබෙන” බව එක් විශ්වවිද්‍යාලයකින් සිදු කළ අධ්‍යයනයකදී පෙන්නුම් කළා. “සමාගම් විසින් ලබා දෙන වෛද්‍ය රක්ෂණයට මානසික රෝගද ඇතුළත් කිරීමට වැඩි ඉල්ලුමක් තිබෙනවා” කියා සමාජ සුබසාධන විශ්ලේෂකයෙකු වන වැන් විෂාර්ඩ් කියා සිටිනවා.

ලෝකයේ ශීඝ්‍රයෙන් සිදු වන වෙනස්කම් දරුවන්ටද බලපානවා. වයස අවුරුදු අටක් තරම් කුඩා දරුවන්ටත් “මානසික පීඩනය හඳුනාගෙන ඉන් ගොඩ එන ආකාරය” පෙන්වා දෙන පොත් පත් දැන් වෙළඳ පොළේ තිබෙන බව විෂාර්ඩ් කියා සිටිනවා. බටහිර රටවල් බොහොමයක වාර්ෂිකව මානසික අවපීඩනයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සියයට 23කින් ඉහළ යන බවට වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි “මානසික පීඩනය සඳහා දෙන ඖෂධ දැන් වැඩි වැඩියෙන් පෙර පාසැල් දරුවන්ටත් අවශ්‍ය වී තිබෙනවා.”

සතුට අහිමි වීමට බියත් හේතුවක් වෙනවා. ආර්ථික අස්ථිරභාවය නිසාත්, දේශපාලන හා ආගමික අන්තවාදීන් නිසාත් මිනිසුන් ජීවත් වෙන්නේ තමන්ගේ හෙට දවස ගැන බියෙන්. මෙම තත්වයන්ට පිළියමක් තියෙනවාද?

වසර 2000කට පෙර යේසුස් ක්‍රිස්තුස් මානසික පීඩනය අඩු කරන ජීවන රටාවකට අවශ්‍ය කරන දේ කියා දුන්නා. ඔහුගේ ඉගැන්වීම් සරලයි. නමුත් එහි ගැඹුරු සත්‍යයක් අඩංගු වී තිබෙනවා. ඔහු පැවසුවේ “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්” කියායි. (මතෙව් 5:3) ඔහු මින් අදහස් කළේ පුද්ගලයෙකු තම මැවුම්කරු ගැනත් ඔහුගේ අරමුණ ගැනත් සැබෑ සත්‍යය ඉගෙනගන්නා විට ඔහුගේ ජීවිතයට සතුට ළඟා වන බවයි.

සතුටට හා අර්ථවත් ජීවිතයකට වැදගත් වන්නේ කුමක්ද කියා තේරුම්ගැනීමට යේසුස් කියා දුන් සත්‍යය අපට උපකාරවත් වෙන ආකාරය ඊළඟ ලිපි තුළින් බලමු. දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමෙන් ජීවිතයට දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලැබෙනවා.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දේපළ වස්තුව මතද සතුට රැඳෙන්නේ?