Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

රැකියාවක් සොයාගෙන රැකගන්නා අයුරු (2005 ජූලි 8) උසස් රැකියාවක් ලැබෙන තුරු බලා නොසිට ඕනෑම රැකියාවක් සඳහා තිබෙන ඇබෑර්තු ගැන සලකා බැලීමට ඔබ දුන් යෝජනාවලට ස්තුතියි. මගේ කාලය ක්‍රිස්තියානි දේවසේවයට වැඩිපුර යොදවන්න ඕන නිසා මෑතකදී මට අර්ධ කාලීන රැකියාවක් සොයාගන්න ඕන වුණා. ඒත් මම රැකියාවේ තත්වය ගැන ඕනෑවට වඩා හිතුවා. පසුව මට තවත් රැකියා ප්‍රස්තාවක් උදා වුණා. ඒක සුළු රැකියාවක් වුණත් එයින් සෑහීමට පත් වෙන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මානසික පීඩනයක් නැතුව ගෙදර එන්නත්, ප්‍රතිඵලයක් වශයෙන් හොඳ අවධානයක් දෙමින් බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කරන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා.

ජපානයේ එම්. අයි.

මැයි දිනය ඔබට වැදගත්ද? (2005 අප්‍රියෙල් 22, සිංහලෙන් නැහැ.) මම උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්. මගේ පාසැලේ හැම වසරකම මැයි දින උත්සවය පවත්වනවා. එදිනට කලින් අවසාන පූර්ව දර්ශන පවත්වද්දී සියලුම පාසැල් සිසුන්ට එය නරඹන්න කියා ආරාධනා කළා. මම ඒවා බලන්න ගියත් මගේ අක්කා කිව්වේ ඒකට යන එක සුදුසු නැහැ කියලයි. එයා හරි බව තේරුම්ගන්න මට මේ ලිපිය උපකාර වුණා. ඔබට හුඟක් ස්තුතියි. නියම වෙලාවටයි මේ ලිපිය ලැබුණේ!

එක්සත් ජනපදයේ සී. සී.

සතුටින් රෝගයට මුහණ දීම (2005 අප්‍රියෙල් 22, සිංහලෙන් නැහැ.) ගර්භාශ පිළිකාවක් නිසා පසුගිය අවුරුදු හයේම මම දුක් වින්දා. කීප වතාවක්ම ශල්‍යකර්මවලටත්, කිරණ චිකිත්සාවටත් භාජන වුණා. කොන්චි වගේ මමත් සමුළුවලටත්, සභා රැස්වීම්වලට හා වෙනත් කටයුතුවලටත් හැකි තරම් සහභාගි වෙන්න උත්සාහ කරනවා. පිළිකා රෝගීන්ට නිතරම වෛද්‍යවරුන්ගෙන් අහන්න ලැබෙන අශුභ පණිවුඩයට මුහුණ දෙන්න කොන්චිගේ අදහස් හුඟක් ප්‍රයෝජනවත්. මං ඇයට ස්තුතිවන්ත වෙනවා. කොන්චිගේ අද්දැකීම මට ලොකු ශක්තියක්!

එක්සත් ජනපදයේ බී. එෆ්.

මට දරුණු සමේ රෝගයක් තිබෙනවා. එක කාලෙක මම අවසිහියෙන් පවා හිටියා. හොඳ අතට හැරෙද්දී මම හිනා වෙලා ඉන්න උත්සාහ කළා. මෑතකදී බඩේ අමාරුවක් නිසා රෝහල්ගත වෙන්න සිදු වුණ අවස්ථාවේ එලෙසම ඉන්න වෑයම් කළා. කොන්චිගේ අදහසට මමත් එකඟයි. “ලෙඩ වෙන එක සෙල්ලමක් නෙවෙයි. ඒත් හිනා වෙලා ඉන්න නම් වෑයම් කරන්න ඕන.”

වෙනිසුවේලාහි එම්. ඒ.

දස දෙසින් (2005 ජූලි 8, සිංහලෙන් නැහැ.) “විටමින් වර්ග සහ පිළිකාව” යන ලිපිය සම්බන්ධයෙන් යමක් කියන්න මම කැමතියි. වෛද්‍ය සුලිවාන් පවසන දේට පෝෂණවේදීන් බොහෝදෙනෙක් එකඟ නැහැ. විද්‍යා ප්‍රකාශනවල නිතර පළ වෙන වාර්තා සහ අධ්‍යයනයන් දස දහස් ගණනකින් පෙන්වන්නේ සමහර පිළිකා වර්ග වැළැක්වීමට හා ඒවාට ප්‍රතිකාර කිරීමට ඔබ ඉදිරිපත් කර තිබෙන ඖෂධ ඵලදායී වී තිබෙන බවයි. හැබැයි මෙවැනි විෂයක් සම්බන්ධයෙන් එක් පාර්ශ්වයක තොරතුරු පමණක් සැපයීම, පැති නොගන්න පිබිදෙව්! සඟරාවට පහරක් විය හැකි බවයි මගේ අදහස.

නෙදර්ලන්තයේ ඒ. බී.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි. අපි සඳහන් කළ ප්‍රතිකාර ක්‍රම පිළිකා රෝගීන්ට ප්‍රයෝජන වී ඇති බව අධ්‍යයනයන් මගින් සොයාගෙන තිබෙනවා. මෙම විෂය යටතේ අපි පළ කළ දෙයින් යම් වරදවා වටහාගැනීමක් සිදු වී ඇත්නම් අපේ කනගාටුව පළ කරන්න කැමතියි. ප්‍රතිකාර සම්බන්ධයෙන් “පිබිදෙව්!”දැඩි මත දරන්නේ නැහැ. අපේ පාඨකයන්ට සෞඛ්‍යය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ ඒවා ගන්න කියා නිර්දේශ කිරීමට නොවෙයි. යම් ක්ෂේත්‍රයක නියැලෙන ප්‍රවීණයෙකුගේ හෝ ප්‍රකාශනයක අදහස් අපි උපුටා දක්වන විට විවිධ අදහස් පළ විය හැකි බව අපි පිළිගන්නවා. පාඨකයන් තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙද්දී එම තොරතුරු අනුව තම තමන්ගේ තීරණ ගත යුතුයි.