Skip to content

පටුනට යන්න

ඉස්පන්ජියන් අරුම පුදුම වැඩකාරයෝ

ඉස්පන්ජියන් අරුම පුදුම වැඩකාරයෝ

ඉස්පන්ජියන් අරුම පුදුම වැඩකාරයෝ

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබ ඉස්පන්ජියන් කියන්නේ මොනවාද කියලා දන්නේ නැතුව ඇති. නමුත් සමහරුන් නාන අවස්ථාවේදී ඇඟ අතුල්ලන්න පාවිච්චි කරන්නේ මෙම සතුන් මිය ගිය විට උන්ගේ ඉතුරු වූ කොටසයි. එය තමයි ස්වාභාවික ඉස්පන්ජිය.

නැෂනල් ජියොග්‍රැෆික් සඟරාවට අනුව “ඉස්පන්ජියා තමයි සත්ව පවුලේ ආරම්භක පුරුක.” මේ නිසා සත්වයා සහ මිනිසා පරිණාමය වී තියෙන්නේ ඈත අතීතයේ සිටි ඉස්පන්ජියන්ගෙන් කියලා සිතන්න තරම් සමහරෙකු දැන් පෙලඹිල. එක් රූපවාහිනි වැඩසටහනක ඉස්පන්ජියන්ව “සත්ව ලෝකයේ මව්” හැටියට හඳුන්වනු ලැබුවා. ඔවුන් අදහස් කළේ “ජීවය ආරම්භ වුණේ ඉස්පන්ජියන්ගෙන්” කියන එකයි.

විද්‍යාඥයන් ඉස්පන්ජියන් ගැන සොයාගෙන තිබෙන්නේ මොනවාද? උන් නිකම්ම නිකම් සත්ව විශේෂයක්ද? නැත්නම් විශිෂ්ට නිර්මාණයක ප්‍රතිඵලයක් බවට සාක්ෂි පෙන්නුම් කරනවාද කියා අපි සොයා බලමු.

සැහැල්ලු ජීවිතයක්

ඉස්පන්ජියන්ගේ ජීවිතය හරිම සැහැල්ලුයි. උන්ට මොළයක්වත්, හෘදය වස්තුවක්වත් නැහැ. උන් පෙනුමෙන් ගස් වගේ වුණාට ඇරිස්ටෝටල් සහ ප්ලිනි උන්ව හඳුන්වා දුන්නේ සතුන් හැටියටයි. ලොව වටා තිබෙන වැව් හා සාගරවල ඉස්පන්ජියන් වර්ග 15,000ක් පමණ ඇතැයි කියා විශේෂඥයන් තක්සේරු කරනවා. මීට නොයෙකුත් මනස්කාන්ත වර්ණයන් හා හැඩයන් ඇතුළත්. සමහරක් උන් හීන්දෑරියි. තවත් සමහරක් බැරල් වගේ මහතයි, කොටයි. බිම් ඇතිරිලි, ආවානක හැඩැති හා ලස්සන වීදුරු මල් බඳුන් වගේ එවුනුත් ඉන්නවා. ප්‍රමාණයෙන් වී ඇටයක් තරම් පුංචි උන් වගේම මිනිසෙකු තරම් උසට වර්ධනය වන උනුත් ඉන්නවා. සමහර ඉස්පන්ජියන්ට අවුරුදු සිය ගණන් වයස ඇතැයි කියා විද්‍යාඥයන් විශ්වාස කරනවා.

“සැකැස්ම, ක්‍රියාකාරිත්වය හා වර්ධනය අතින් ඉස්පන්ජියන් අනෙක් සත්වයන්ට වඩා වෙනස්” කියා එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විශ්ව කෝෂය පවසනවා. මෙසේ පවසන්නේ ඉස්පන්ජියන්ගේ ශරීරය තුළ ඉන්ද්‍රියන් නැති නිසයි. එහෙමනම් මොළයක්, හෘදය වස්තුවක් හෝ ස්නායු නැතුව උන් කොහොමද ජීවත් වෙන්නේ? ඉන්ද්‍රියයන් වෙනුවට කුඩා සෛල මගින් ජීවිතය පවත්වාගැනීමට අවශ්‍ය ක්‍රියාවන් බොහොමයක් සිදු වෙනවා. සමහර සෛල ආහාර සොයා දීමට, පෝෂණය උරාගැනීමට සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සහය වෙනවා. තවත් සෛල සම හෝ සැකිල්ලක් හැටියටත් ක්‍රියා කරනවා. අවශ්‍යතා අනුව මෙම සෛලවලට හැකියි තම කාර්යය වෙනස් කරගන්න.

මේ ජීවියාට තවත් පුදුම හැකියාවන් තියෙනවා. බලන්න මේ වගේ දේවල් කාටද කරන්න පුළුවන් කියලා. උන්ව පෙනේරයකට දමා පොඩි කර පෙරාගත්තත් සෛල නැවත එකතු වී මුලින් සිටි සතා විදිහටම හැඩ ගැසෙනවා. ඒ වගේම ඉස්පන්ජියන් දෙන්නෙක්ව එකට දමා ඇඹරුවත් එක් එක් වර්ගයේ සෛල වෙන වෙනම වෙන් වී නැවත මුලින් සිටි සතුන් දෙදෙනා ලෙස සකස් වෙනවා. “කිසිම ශාකයකට හෝ සතෙකුට බැහැ මේ විදිහට නැවත ශරීරය සකස් කරගන්න” කියා නැෂනල් ජියොග්‍රැෆික් සඟරාව සඳහන් කරනවා.

ඉස්පන්ජියන් වර්ගයා බෝ කරන විදිහත් අද්විතීයයි. සමහර ඉස්පන්ජියන් තම දෙමාපියන්ගෙන් ඈත් වෙලා වෙනත් ස්ථානයකට යනවා. උන් එසේ ගමන් අරඹන විට තාවකාලිකව තම ශාරීරික ක්‍රියාකාරිත්වයන් අඩාළ කරනවා. ඉන්පසු නව වාසස්ථානයට ගොස් එම තනි ඉස්පන්ජියා දෙදෙනෙක් බවට බෙදී යනවා. තවත් උන්ට හැකියාවක් තියෙනවා අවශ්‍යතාව අනුව ගැහැනු සතා හෝ පිරිමි සතා බවට පත් වී වර්ගයා බෝ කරන්න. තවත් උන් බිත්තර දමනවා. මේ ගැන පුදුමයට පත් ලේඛක පෝල් මොරිස් පැවසුවේ “සරලම ජීවීන්ව පවා හොඳින් නිරීක්ෂණය කළොත් උන් කොතරම් සංකීර්ණද” කියා පෙනෙන බවයි.

පිරිසිදු කරන්නෙක්

සත්ව විද්‍යාඥයෙක් වන ඇලන් කොලින්ස් කියන ආකාරයට ඉස්පන්ජියන්ට තිබෙන්නේ “වෙනත් සතුන්ට වඩා අමුතු විදිහේ ආහාර පද්ධතියක්.” මොවුන්ගේ සමේ සිදුරු තිබෙන අතර ඒවා තුළ උමං මාර්ග දකින්න ලැබෙනවා. මෙම උමං බිත්තිවල විශේෂ සෛල මිලියන ගණනක් තිබෙනවා. ඒ හැම සෛලයකම ඉදිරියට හා පස්සට පැද්දෙන කෙඳි තිබෙනවා. “හබලකින් වතුර තල්ලු කරනවා හා සමානව මෙම කෙඳි පෝෂණ කොටස් උරාගන්නා සෛලවලට ජලය ලබා දෙනවා” කියා බෙන් හාඩර් නමැති ලේඛකයා පැහැදිලි කරනවා. ඉස්පන්ජියාට හැකියාවක් තියෙනවා පැයක් ඇතුළත උගේ ශරීරයේ බර ප්‍රමාණයට වඩා දහ ගුණයකින් වැඩි ජල ප්‍රමාණයක් එලෙස පොම්ප කරන්න. එයින්, උන්ට ජලයේ තිබෙන පෝෂණ කොටස්, විෂ රසායනික ද්‍රව්‍ය මෙන්ම බැක්ටීරියා වර්ගවලින් සියයට 90ක් පමණ උරාගත හැකියි. ඒ විතරක් නෙමෙයි දිය සුළි, මුහුදු පතුලේ ඇති වන බොර දිය තත්වයන් සහ උන්ගේම ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උන් තම පොම්ප කිරීමේ ක්‍රියාවලිය වෙනස් කරගන්නවා. “ඉස්පන්ජියන් තමයි . . . හොඳම පිරිසිදු කරන්නන්” කියා වෛද්‍ය ජෝන් හූපර් සඳහන් කරනවා.

ඉස්පන්ජියන් තුළින් නිතරම වතුර ගලා යන නිසා කූණිස්සන්, කකුළුවන් වැනි වෙනත් කුඩා ජීවීන්ට ඉස්පන්ජියන් කදිම නිවහනක් වී තිබෙනවා. එක් ඉස්පන්ජියෙක් තුළ විවිධ ජීවීන් 17,128දෙනෙක් ජීවත් වෙන බව සොයාගන්න ලැබුණා. ඊට අමතරව, බැක්ටීරියා, ඇල්ගී සහ දිලීර බොහොමයක් ඉස්පන්ජියන් සමඟ සහයෝගයෙන් ජීවත් වෙනවා. ඉස්පන්ජියන්ගේ මුළු බරෙන් සියයට 50කටම දායක වී තිබෙන්නේ විවිධ බැක්ටීරියා වර්ග කියා කිව හැකියි.

ඉස්පන්ජියන් සහ උන් තුළ වෙසෙන සහජීවීන්ගෙන් වටිනා බෙහෙත් වර්ග නිපදවිය හැකි බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. එම ඖෂධ ඒඩ්ස්, පිළිකාව, මැලේරියාව සහ තවත් රෝග බොහොමයකට ප්‍රයෝජනවත් වෙයි කියා සමහරෙකුගේ විශ්වාසයයි. “නවීන තාක්ෂණයෙන් සොයාගන්න කෘත්‍රිම දේවල්වලට වඩා ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් මිල කරන්න බැරි තරම්” කියා මෙම පුදුම වැඩකාරයන් ගැන පර්යේෂණය කළ ෂර්ලි පොම්පොනි පැවසුවා.

පළිඟු වගෙයි

ඇඟ අතුල්ලන්න පාවිච්චි කරන ඉස්පන්ජි වර්ගය කෙඳි සහිත වුවත් එය සිනිඳුයි. ඒත් බොහෝ ඉස්පන්ජීන් වර්ග හරිම ගොරෝසුයි. මෙම ඉස්පන්ජියන් තුළ පුංචි පළිඟු කැට තිබෙනවා. මෙම පළිඟු කැට අන්වීක්ෂයකින් බැලූ විට එය කොතරම් මනස්කාන්තද කියා හොඳින් දැකගත හැකියි. එහි ඇති විවිධත්වය නම් සිතාගන්නවත් බැරි තරම්! පුංචි පළිඟු කැට එකට එකතු වී නොයෙක් හැඩයන් මවන අතර ඉස්පන්ජියන්ගේ සැකිලි තැනෙන්නෙත් මේවායින්. සමහර සැකිලි ආරක්ෂිත යුද්ධායුධ කට්ටලයක් වගයි. තවත් ඒවා සෑදෙන්නේ මීටර් තුනක් දිග සහ සෙන්ටි මීටරයක් පමණ පළල් රැහැන් ආකාරයටයි. මාංශභක්ෂක ඉස්පන්ජියන් වර්ගයක් තම ගොදුරු අල්ලාගැනීමට දැල් ගොතන්නෙත් මේවායින් තමයි.

මහ මුහුදේ සිටින තවත් ඉස්පන්ජීන් විශේෂයක් (එම වර්ගය Venus’s flower-basket) හරි දැකුම්කලුයි. බැලූ බැල්මට වීදුරු කෙඳිවලින් ගෙතූ රේන්දයක් වගෙයි. ස්පන්ජීන් විසින් සාදාගන්නා මෙම පළිඟු වැනි කෙඳි පෙනුමෙන් කෘත්‍රිම ඒවා වගේ වුණත් ඒවා ඊට වෙනස්. “මෙම කෙඳි ඉතාමත් ශක්තිමත්. කෘත්‍රිම ලෙස සාදන වීදුරු කෙඳි කැඩී යා හැකි වුවත් ස්වාභාවිකව සෑදෙන මෙම කෙඳි එකිනෙකට ගැටගැසුවත් කැඩෙන්නේ නැහැ” කියා එක් විද්‍යාඥයෙක් පවසනවා. මහ මුහුදේ තිබෙන්නේ අඩු උෂ්ණත්වයක් නිසා මේ විදිහට කෙඳි තැනෙන්නේ කොහොමද කියා විද්‍යාඥයන්ට තේරුම්ගන්න තවමත් නොහැකි වී තිබෙනවා. “අපි තාක්ෂණය අතින් දියුණු තත්වයක සිටියත් සමහර දේවල් අපිට තවම සංකීර්ණයි. ඒත් ඉස්පන්ජියන් සරල ජීවීන් වුණත් උන්ට පුළුවන් මේ සංකීර්ණ දේවල් පවා පහසුවෙන් කරගන්න” කියා බෙල් විද්‍යාගාරයේ ෂෙරි මරේ පවසනවා.

ඉබේ ඇති වූවක්ද නැත්නම් නිර්මාණයක්ද?

ඉස්පන්ජියන් සතු විස්මිත හැකියාවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වෛද්‍ය හූපර් මෙසේ පවසනවා. “ඉස්පන්ජියන් කැපී පෙනෙන සත්වයන් නොවුණත් උන්ට තිබෙන හැකියාවන් විස්මිතයි. අදටත් උන් සතු හැකියාවන් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ.” මෙවැනි විස්මිත හැකියාවන් උන්ට ලැබුණේ කොහොමද සහ ඇයි ලැබුණේ කියා ඇසීම සාධාරණයි. ඉස්පන්ජියන් ඉබේ ඇති වුණ සතුන්ද? නැත්නම් බුද්ධිමත් නිර්මාණකරුවෙකු සිටින බවට එය සාක්ෂියක්ද?

සමහරු මැවුම්කරුවෙකු සිටින බව පිළිගන්න අකමැති වුණත් හුඟදෙනෙක් පුරාණයේ විසූ ගීතිකාකරු කියූ දේ සමඟ එකඟ වෙනවා. “යෙහෝවා, ඔබගේ වැඩ කොපමණ නානාප්‍රකාරද? ඔබ මේ සියල්ල ඥානයෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය. එහි . . . , කුඩා මහත් සත්වයෝ අසංඛ්‍යාත ගණන් සිටිති.”—ගීතාවලිය 104:24, 25.

[23වන පිටුවේ රූප සටහන/පින්තූර]

සාමාන්‍ය ඉස්පන්ජියෙක්. ජලය පොම්ප කරන සෛලවල පින්තූරයක්

[24වන පිටුවේ පින්තූරය]

ඉස්පන්ජියන්ගේ පළිඟු කැටයක්

[24වන පිටුවේ පින්තූරය]

ඉස්පන්ජියන් වර්ගයක්

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Sea horse: Rudie H Kuiter; 3 right-hand inset photos: Dr. John Hooper, Queensland Museum

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: Eye of Science/Photo Researchers, Inc.; bottom: Kim Taylor/Warren Photographic