Skip to content

පටුනට යන්න

ඔබේ දියණියගේ මල්වර විය

ඔබේ දියණියගේ මල්වර විය

ඔබේ දියණියගේ මල්වර විය

යොවුන් විය කියන්නේ බොහෝ වෙනස්කම්වලට භාජනය වෙන අවධියක්. ගැහැනු දරුවන් මල්වර වියට පා තබන්නේ නැතහොත් ඔවුන්ගේ “ඔසප් වීම ආරම්භ වන්නේ” මේ කාලයේදියි.

මල්වර විය යොවුන් දියණියට ගැටලු සහිත කාලයක් වීමට ඉඩ තිබෙනවා. මන්ද මෙම කාලයේදී කායිකව මෙන්ම මානසිකවත් යම් ගැටලු අද්දැකිය හැකි නිසයි. යොවුන් වියේදී ඇති වන නොයෙක් වෙනස්කම් ගැන හරි අවබෝධයක් නැති කොට එය පීඩාකාරී කාලයක් විය හැකියි. මල්වර විය ගැන කියන්න තියෙන්නෙත් එයමයි. නිසි ලෙස දැනුවත් නොවීම නිසා හෝ වැරදි තොරතුරු නිසාහෝ බොහෝ දැරියන් තම පළමු ඔසප් වීමේදී බියට පත් වෙනවා.

මල්වර විය ගැන හොඳින් දැනුවත් වී සිටින දැරියන් තම පළමු ඔසප් වීමේදී අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවී තත්වයට හොඳින් මුහුණ දෙනවා. ඒත් සිදු කළ අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ බොහෝ දැරියන්ට මේ සම්බන්ධයෙන් හරි අවබෝධයක් නැති බවයි. රටවල් 23කින් දැරියන් පිරිසක් තෝරාගෙන කළ සමීක්ෂණයකින් හෙළි වුණේ තුන්දෙනෙකුගෙන් එක් අයෙක් තම පළමු ඔසප් වීම සිදු වන තුරු ඒ පිළිබඳව කිසිවක් දැන නොසිටි බවයි. මේ නිසා එම අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද කියා ඔවුන් දැන සිටියේ නැහැ.

මල්වර විය ගැන යොවුන් වියේදී කිසිම දැනුමක් නොතිබූ කාන්තාවන් අමිහිරි අද්දැකීම්වලට මුහුණ දුන් බවට වාර්තා වී තිබෙනවා. එම අවස්ථාවේදී තමන්ට හැඟුණේ කුමක්ද කියා ඇසූ විට ඔවුන් යොදාගත්තේ මෙවැනි වචනයි. “ගැස්සුණා,” “ක්ලාන්තේ වගේ හැදුණා,” “ලජ්ජාවක් ඇති වුණා,” “භය වුණා.”

රුධිරය දකින විට ඕනෑම කෙනෙකු තුළ බියක් ඇති වෙනවා. මන්ද සාමාන්‍යයෙන් රුධිර ගැලීමක් සිදු වෙන්නේ තුවාලයක් වූ විටයි. සංස්කෘතිය, බොරු විශ්වාසයන් හෝ මල්වර වීම ගැන තැකීමක් නොකිරීම වැනි දේවල් නිසා ඒ ගැන නිසි දැනුමක් ලැබී නැති අයට පළමු ඔසප් වීම සිදු වූ විට එය යම් රෝගයක් හෝ අනතුරක්, එසේ නැතහොත් ලජ්ජාවක් කියා සිතීමට ඉඩ තිබෙනවා.

ඔසප් වීමේදී රුධිරය ගැලීම ඕනෑම නිරෝගි දැරියකට සිදු වන සාමාන්‍ය දෙයක් බව ඔබේ දියණිය දැනගත යුතුයි. මේ ගැන ඔබේ දියණියට යම් බියක් සැකයක් තිබේ නම් දෙමාපියන් හැටියට ඔබට උපකාර කළ හැකි ආකාරය ගැන දැන් අප අවධානය යොමු කරමු.

වැඩි වගකීම දෙමාපියන් අතේ

පාසැල් ගුරුවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, පොත් පත් සහ අධ්‍යාපනික වැඩසටහන් වැනි නොයෙක් මාර්ග තුළින් මෙම විෂය පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. ඔසප් වීම සිදු වන ආකාරය හා පිරිසිදුකම පිළිබඳව වටිනා තොරතුරු මෙවැනි මාර්ග තුළින් සපයන බව දෙමාපියන් හුඟදෙනෙක් සොයාගෙන තිබෙනවා. ඒත් මෙවැනි මාර්ග තුළින් පිළිතුරු ලබාගත නොහැකි ප්‍රශ්න දැරියන්ට තිබෙන්න පුළුවන්. ඔවුන් පළමු වතාවට කළ යුතු දේ ගැන දැනුවත් වුණත් ඒ කාලයේ ඇති වන මානසික පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද කියා හරි හැටි නොදන්නවා ඇති.

ආච්චිලාට, වැඩිමල් සහෝදරියන්ට හා විශේෂයෙන් මව්වරුන්ට හැකියි ඔවුන්ට අවශ්‍ය කරන දැනුම හා මානසික සහනය ලබා දෙන්න. බොහෝවිට දැරියන් සිතන්නේ මේ සම්බන්ධයෙන් යම් තොරතුරු දැනගැනීමට සිටින හොඳම කෙනා තම මව කියායි.

මේ සම්බන්ධයෙන් පියාට යමක් කරන්න බැරිද? හුඟාක් දැරියන් මේ ගැන තම පියාට කියන්න ලැජ්ජ නිසා තම පියා මේ කාරණයේදී කිසිම දෙයකට සම්බන්ධ නොවී සිටිනවාට කැමතියි. ඒත් සමහර දැරියන් තම පියා සමඟ කෙළින්ම කතා නොකළත් ඔහුගේ උපකාරය අගේ කරනවා.

තවත් කාරණයක් නම් පසු ගිය කාලය තුළ බොහෝ රටවල පියා පමණක් සිටින පවුල් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. * එමනිසා තම දියණියන්ට මල්වර විය ගැන කියා දීමේ වගකීම පැවරී තිබෙන්නේ එම පියවරුවන්ටයි. ඔවුන් ඔසප් වීම පිළිබඳවත් දියණියන් අද්දකින කායික හා මානසික වෙනස්කම් පිළිබඳවත් දැනුවත් විය යුතුයි. පියවරුන්ට හැකියි තම මව්වරුන්ගෙන් හෝ සහෝදරියන්ගෙන් ප්‍රායෝගික උපදෙසක් ලබාගන්න.

කොයි වයසේදීද?

මල්වර වියට පා තබන වයස් සීමා විවිධයි. සමහර දැරියන් අවුරුදු අට තරම් බාල වියේදීම මල්වර වියට පත් වෙනවා. තවත් දැරියන්ට අවුරුදු 16 හෝ 17 වන විටයි මෙය සිදු වන්නේ. එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ බටහිර යුරෝපය වැනි සමහර රටවල දැරියන් මල්වර වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 12ත් 13ත් අතර කාලයේදීයි. අප්‍රිකාවේ සහ ආසියාවේ සමහර රටවල සාමාන්‍යයෙන් මල්වර වීමට ප්‍රමාද වෙනවා. උදාහරණයකට, නයිජීරියාවේ දැරියක් සාමාන්‍යයෙන් මල්වර වියට පා තබන්නේ අවුරුදු 15න්. ආර්ථිකය, පෝෂණය, ආරයට යෑම, ශාරීරික ක්‍රියාකාරකම් සහ රටක පිහිටීම වැනි කාරණා මල්වර වියට පා තබන වයස තීරණය වීමට බලපානවා.

ඔබේ දියණියගේ පළමු ඔසප් වීම සිදුවීමට පෙර ඒ ගැන ඇයව දැනුවත් කිරීම තමයි හොඳම දේ. ඔබේ දියණියට අවුරුදු අටක් පමණ වන විට ශරීරයේ සිදු වෙන වෙනස්කම් ගැන හා ඔසප් වීම පිළිබඳව ඇය සමඟ කතා කළ යුතුයි. අවුරුදු අට බාල වැඩියි කියා ඔබට සිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබේ දියණියගේ ශරීරයේ හෝමෝනවල වෙනස්කම් සිදු වෙන්න පටන්ගන්නේ අවුරුදු අටත් දහයත් අතර වයසේදීයි. ඒ වගේම පියයුරු හා රෝම වර්ධනය වීම වැනි බාහිරෙන් සිදු වෙන වෙනස්කම්ද ඔබ දකීවි. හුඟාක් දැරියන් මල්වර වන අවධියේ ඉක්මනින් උස් මහත් වෙනවා.

කොහොමද මේ ගැන කතා කරන්නේ

මල්වර වියට පා නඟමින් සිටින දැරියන්ට කුතුහලයක් තිබෙනවා. ඊට හේතුව පංතියේ වෙනත් ළමයි මේ ගැන කතා කරනවා ඔවුන් අසා තිබීමයි. ඒ නිසා ඔවුන්ගේ මනසේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් ඒවා අහන්නේ කොහොමද කියලා ඔවුන් හරි හැටි දන්නේ නැහැ. සමහරවිට මේ විෂය ගැන කතා කරන්න ඔවුන්ට ලැජ්ජාවකුත් ඇති.

අනෙක් අතට දෙමාපියන්ටත් ලැජ්ජාවක් දැනෙන්න පුළුවන්. දූවරුන්ව දැනුවත් කිරීමට සිටින හොඳම කෙනා මව වුණත් හුඟාක් අවස්ථාවල මේ විෂය ගැන කතා කරන්නේ කොහොමද කියලා ඔවුන් දන්නේ නැහැ වගේම ඔවුන් අදිමදි කරනවා. සමහරවිට මවක් හැටියට ඔබටත් මෙසේ හැඟෙන්න පුළුවන්. ඔබේ දියණිය සමඟ මේ ගැන කතා කරන්නේ කොහොමද කියලා අපි බලමු.

මල්වර වියට පා ඔසවමින් සිටින දැරියන්ට සරල තොරතුරු තේරුම්ගන්න පුළුවන්. ඔසප් වීම සිදු වන්නේ කොයිතරම් කාලයකට වතාවක්ද, දවස් කීයක් එය තිබෙනවාද, කොතරම් රුධිර ප්‍රමාණයක් පිට වෙනවාද වැනි කාරණා ඊට ඇතුළත් කළ හැකියි. ඔසප් වීම සිදු වන විට විගස කළ යුතු දේවල් හා යම් යම් ප්‍රායෝගික උපදෙස් මුලින් ලබා දීම නැණවත්. ඊට අමතරව, ඒ අවස්ථාවේදී ඇඟට දැනෙන ආකාරයත්, එම කාලයේදී සිදු විය හැකි වෙනත් අපහසුතා ගැනත් ඔබට කතා කළ හැකියි.

පසු කාලයකදී ඔසප් වීමේදී ඇත්තටම සිදු වන ක්‍රියාවලිය විස්තරාත්මකව කියා දීමට ඔබට හැකියි. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගෙන්, පුස්තකාලවලින්, පොත් සාප්පුවල ඇති පොත්වලින් තොරතුරු ලබාගත හැකියි. සමහර දැරියන් මෙයාකාරයේ තොරතුරු තනියම කියවන්න කැමතියි. තවත් සමහරු ඔබ ඔවුන්ට ඒ දේවල් කියවා තේරුම් කර දෙනවාට කැමතියි.

මේ වගේ කාරණයක් සාකච්ඡා කිරීමට නිස්කලංක තැනක් තෝරගන්න. සාමාන්‍ය දේවල් කතා කරමින් සාකච්ඡාව අරඹන්න. ඔබට පුළුවන් මේ විදිහට අහන්න. “තව ටික දවසකින් ඔයාගේ වයසේ ඉන්න හැම ගැහැනු ළමයෙකුටම සිදු වෙන දෙයක් ඔයාටත් වෙයි. ඒ මොකක්ද කියලා ඔයා දන්නවාද?” නැත්නම් “දුව දන්නවාද, මම ඔයාගේ වයසේ ඉන්නකොට ලොකු ළමයෙක් වෙනවා කියන්නේ මොකක්ද කියලා මමත් කල්පනා කෙරුවා. මම ඉස්කොලේ යාළුවොත් එක්ක එකතු වෙලා ඒ ගැන කතා කළා. ඔයාගේ යාළුවෝ ඒ ගැන කතා කරන්නේ නැද්ද?” ඒ වගේම දැනටමත් ඔබේ දියණිය මේ විෂය ගැන දන්නේ මොනවද කියලා හොයලා බලන්න. වැරදි වැටහීම් තිබෙනවා නම් ඒවා නිවැරදි කරන්න. සමහරවිට මේ ගැන කතා කරද්දී ඔබටම වැඩිපුර කතා කරන්න සිදු වෙයි.

ඔබත් කාන්තාවක් නිසා මල්වර විය පිළිබඳ ඔබේ පෞද්ගලික අද්දැකීම්ද ඔබේ දියණියට කියන්න පුළුවන්. උදාහරණයකට ඔබ දැන සිටි හා නොදැන සිටි දේවල් වගේම ඔබට උපකාරවත් වූ දේවල්ද දුවට කියා දෙන්න. දරුවාට චකිතයක් නොදැනෙන සේ ඔසප් වීමේ තිබෙන අපහසුතා ගැන කතා කරන්න. ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන්න.

එක දවසකින් බැහැ

මල්වර විය ගැන දැනුවත් කිරීම දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය යම් කාලයක් පුරා කළ යුතු දෙයක්. පළමු අවස්ථාවේම හැම දෙයක්ම කියන්න අවශ්‍ය නැහැ. තරුණ දියණියකට එකපාරටම හැම දෙයක්ම දරාගන්න අපහසුයි. දරුවෝ ඉගෙනගන්නේ පියවරෙන් පියවර. සමහරවිට වරින් වර එකම දේ කියන්නත් සිදු වෙයි. ඒත් දැරියන් ටිකෙන් ටික ලොකු වෙද්දී තවත් අමතර කරුණු තේරුම්ගන්න ඔවුන්ට පුළුවන්.

දැරියකට ඔසප් වීම සම්බන්ධයෙන් තිබෙන අදහස් ඇගේ තරුණ වියත් සමඟම වෙනස් වෙනවා. ඔසප් වීම සිදු වූ පසු ඇය යම් ගැටලු අද්දකින්න ඉඩ තිබෙනවා. එවිට උපදෙස් සපයමින් ඇගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න. ඔබේ දියණියගේ වයස හා තේරුම්ගැනීමේ හැකියාව අනුව ඇයට ලබා දිය යුතු උපදෙස් මොනවාද කියා සිතා බලන්න.

මුල් පියවර ගන්න

ඔබේ දියණිය මේ විෂය ගැන කතා කිරීමට අකමැති බවක් පෙන්වනවා නම් මොනවද කරන්න පුළුවන්? සමහරවිට ඇය පෞද්ගලික දේවල් කතා කරන්න අකමැති ඇති. නැත්නම් එකපාරටම මේ දේවල් ගැන කතා කරන්න ඇයට අපහසුතාවක් දැනෙනවා ඇති. නැතහොත් ඇය කියන්න පුළුවන් මම දැනගත යුතු දේවල් දැනටමත් දන්නවා කියලා.

හයවන පංතියේ සිටින සිසුවියන් යොදාගෙන එක්සත් ජනපදයේ කළ අධ්‍යයනයකදී දැරියන් හුඟදෙනෙක් කියා සිටියේ තමන් එම විෂය ගැන දැනුවත් වී සිටින බවයි. ඒත් තවදුරටත් ප්‍රශ්න ඇසූ විට පෙනී ගියේ ඔවුන්ට ප්‍රමාණවත් දැනුමක් නොතිබූ බවයි. ඒ වගේම සංස්කෘතික බලපෑම් හා මිථ්‍යා විශ්වාසයන්ට අනුව විවිධ අදහස් සත්‍ය තොරතුරු ලෙස ඔවුන් පිළිගෙන තිබුණා. ඒ නිසා ඔබේ දියණිය එම විෂය ගැන දන්නවා කියා කීවත් ඔබ ඇයව දැනුවත් කළ යුතුයි.

දැරියන් මේ විෂය ගැන කතා කිරීමට මැළිකමක් දැක්වූවත් දෙමාපියෙක් වශයෙන් මුල් පියවර ගෙන ඔවුන්ව දැනුවත් කිරීම ඔබේ වගකීමයි. ඔබේ දියණිය එය තේරුම්ගත්තත් නැතත් ඇයට ඔබේ උපකාරය අවශ්‍යයි. ඔබට මේ ගැන තේරුම් කර දෙන්න හැකියාවක් නැහැ කියා සිතුණොත් ඔබ අධෛර්යය වෙන්න පුළුවන්. ඉවසන්න. ඒත් උත්සාහය අත්හරින්න එපා. කාලයක් යන විට ඔබේ උපකාරය කොතරම් වටිනවාද කියා ඇය අගය කරන බව නිසැකයි.

[පාදසටහන]

^ 12 ඡේ. ජපානයේ පියා පමණක් සිටින පවුල්වල ඉහළම සංඛ්‍යාව වාර්තා වුණේ 2003දියි. එක්සත් ජනපදයේ තනි මාපිය පවුල්වලින් හයෙන් එකක් පමණ පියා විතරක් සිටින පවුල්.

[[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දියණිය මල්වර වීමට පෙර ඒ ගැන ඇයව දැනුවත් කරන්න

[13වන පිටුවේ කොටුව]

ඔබේ දියණිය එක්ක ඒ ගැන කතා කරන්න

ඇය දැනටමත් ඵ් ගැන දන්නේ මොනවද කියා සොයා බලන්න. වැරදි වැටහීම් නිවැරදි කරන්න. ඔබ දෙදෙනාම දැනටමත් දන්න තොරතුරු නිවැරදිද කියා පරීක්ෂා කර බලන්න.

ඔබේ අද්දැකීම් බෙදාගන්න. ඔසප් වීම පිළිබඳ ඔබේ අද්දැකීම් දියණිය සමඟ බෙදාගැනීමෙන් ඇයට අවශ්‍ය කරන මානසික සහනය ලබා දීමට ඔබට හැකියි.

ප්‍රායෝගික තොරතුරු ලබා දෙන්න. සාමාන්‍යයෙන් ගැහැනු ළමයි අසන ප්‍රශ්න: “මට ඉස්කෝලේදී ඒ වගේ වුණොත් මොකද කරන්නේ?” “ඒ වෙලාවට අවශ්‍ය දේ හොයාගන්නේ කොහොමද?” “ඒවා පාවිච්චි කරන්නේ කොහොමද?”

සරල විදිහට කියා දෙන්න. දියණියගේ වයස හා තේරුම්ගැනීමේ හැකියාව අනුව දැනුවත් කරන්න.

දිගටම දැනුවත් කරන්න. ඔබේ දියණිය මල්වර වීමට පෙර ඇය සමඟ මේ ගැන කතා කරන්න. ඉන් පසුවත් ඇය සමඟ අවශ්‍ය තොරතුරු බෙදාගැනීම නතර කරන්න එපා.

[12, 13වන පිටුවේ පින්තූරය]

පෞද්ගලික දේවල් කතා කිරීමට දියණිය අදිමදි කරන්න පුළුවන් නිසා ඇයව තේරුම්ගන්න