Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

බ්‍රසීලයේ 1997 සිට 2004 දක්වා බර අඩු කරගැනීමට ඖෂධ භාවිත කර ආහාර රුචිය නැති කරගත් සංඛ්‍යාව සියයට 500කින් වැඩි වුණා.—බ්‍රසීලයේ ෆෝල්‍යා ඔන්ලයින් පුවත්පත.

ඇහේ සුද ඒමේ රෝගය ගුවන් නියමුවන්ට අන් අයට වඩා තුන් ගුණයකින් වැඩියි. ඊට හේතුව විවිධ කිරණවලට ඔවුන් වැඩියෙන් නිරාවරණය වීමයි.—අ.එ.ජ. ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත.

ඊළඟ දශකයේදී ආසියාවේ සිටින දරුවන් බිලියන 1.27න් අඩකට පමණ පිරිසිදු ජලය, ආහාර, සනීපාරක්ෂාව, අධ්‍යාපනය හා හිසට සෙවණක් යන මූලික අවශ්‍යතාවලින් සමහරක් අහිමි වේවි.—තායිලන්තයේ ප්ලෑන් ඒෂියා කාර්යාලය.

අනුන්ගේ දුම්වැටි පානය කිරීමෙන් “සිදු වන හානිය අධිකයි.” අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝවල පූවෙබ්ලෝහි කාර්යාලවල, ආවන්හල්වල සහ වෙනත් ගොඩනැඟිලි තුළ දුම් පානය කිරීම තහනම් කර මාස 18ක් ඇතුළත ඒවාවල පදිංචිකරුවන්ට හෘදයාබාධ සෑදීමේ ප්‍රවණතාව සියයට 27කින් අඩු වුණා.—අ.එ.ජ. ටයිම් සඟරාව.

ස්පාඤ්ඤයේ විවාහයන් බිඳවැටෙයි

වර්ෂ 2000දී ස්පාඤ්ඤයේ සිදු වූ විවාහයන්ගෙන් අඩක් දෙදරා යෑමට හා දික්කසාදයට ලක් වුණා. නමුත් 2004 වෙද්දී එම සංඛ්‍යාව තුනෙන් දෙකක් දක්වා වැඩි වුණා. දික්කසාද වීම සඳහා නීතියෙන් අවසරය ලබා දීම එහි ස්ථාපිත කරනු ලැබුවේ 1981දීයි. එවක් පටන් දරුවන් මිලියනයකට අධික සංඛ්‍යාවක් තම දෙමාපියන් වෙන් වෙන ආකාරය දැක තිබෙනවා. මෙවන් වැඩිවීමකට හේතුව කුමක්ද? මනෝවිද්‍යාඥ පැට්‍රිෂියා මාර්ටිනෙස් පවසන්නේ මෙයයි. “සංස්කෘතික වෙනස් වීම්, ආගමික ප්‍රතිපත්ති හා ගුණධර්ම බිඳ වැටීම, ස්ත්‍රීන්ද පුරුෂයන් මෙන් හරි හරියට වැඩ කිරීම හා ගෙදර දොරේ වැඩකටයුතුවලට ස්වාමිපුරුෂයාගේ සහයෝගය නොලැබීම යන හේතු නිසයි විවාහයන් දෙදරා යන තත්වයක පවතින්නේ.”

චීනයේ තරබාරුකම

චීනයේ “ඊළඟ වසර 10 තුළදී රෝග ඇති වන තරමට තරබාරු වන ජන සංඛ්‍යාව මිලියන 200ක් වේවි” කියා ලන්ඩනයේ ද ගාර්ඩියන් පුවත්පත පවසයි. “බොහෝ නගරවල අස්සක් මුල්ලක් නෑර හැම තැනකම” ක්ෂණික ආහාර අවන්හල් “තිබෙනවා. මධ්‍යම පංතියේ ජනයා ව්‍යායාමයේ යෙදෙන ක්‍රියා අඩු කර රූපවාහිනිය නැරඹීම, පරිගණකය හෝ වීඩියෝ ක්‍රීඩාවල යෙදීම මෙන්ම හැම ගමනක්ම වාහනයෙන් යෑම වැඩි කර තිබෙනවා.” එහි සෑම වසරකම තරබාරු දරුවන්ගේ සංඛ්‍යාව සියයට අටකින් වැඩි වෙනවා. එමෙන්ම ෂැංහයිහි පෙර පාසැල් දරුවන්ගෙන් සියයට 15කට වඩා දැනටමත් තරබාරුයි.

ගංගාවලත් මත් ද්‍රව්‍යය

ඉතාලියේ පෝ ගඟේ ජලය පරීක්ෂා කළ විට සොයාගත්තේ ඵහි ජලය ප්‍රයෝජනයට ගන්නා අයගේ කොකේන් භාව්තය තිබෙන වාර්තාවලට වඩා හුඟක් වැඩි බවයි. එසේ පවසන්නේ පරිසරය පිළිබඳ සඟරාවකයි. (Environmental Health) කොකේන් භාවිත කරන අයගේ මුත්‍රාවල බෙන්සොයිලෙකොනයින් නමැති රසායනික ද්‍රව්‍යය තිබෙනවා. මෙම ද්‍රව්‍යය තිබෙනවා නම් කෙනෙක් කොකේන් භාවිත කරන බව ඔප්පු කළ හැකියි. කැළි කසළ පද්ධති මගින් ගංගාවට මුදාහැරෙන මෙම රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයෙන් පෙන්වන්නේ ගංගා වාසීන් දිනකට කොකේන් කිලෝ ග්‍රෑම් හතරක් හෝ මාත්‍රා 40,000ක් පමණ භාවිත කරන බවයි. මෙය වාර්තා වී ඇති ගණනට වඩා 80 ගුණයකින් ඉහළ සංඛ්‍යාවක් වෙනවා.

අකල් මරණ

“මෙම වසරේදී වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 11ක් පමණ නිරපරාදේ මිය යාවි” කියා 2005දී ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කළා. මින් සියයට 90ක්ම සිදු වන්නේ නොමේරූ දරු උපත්, ආසාදනයන්, හුස්ම හිරවීම, පෙණහලු ආසාදන, විශේෂයෙන්ම නිව්මෝනියාව, පාචනය, මැලේරියාව, සරම්ප සහ ඒඩ්ස් වයිරසය වැනි හේතු නිසයි. “අධික මුදලක් වැය නොකර සුව කරගත හැකි ප්‍රතිකාර පහසුවෙන් දීමට දැන් හැකිකම තිබෙන නිසා එම මරණවලින් වැඩිහරියක් වළක්වාගත හැකි” බව වාර්තා වෙයි. ඊට අමතරව සෑම වසරකම ගර්භිණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී කාන්තාවන් 5,00,000කට වැඩිදෙනෙක් මිය යන්නේ “දක්ෂ වෛද්‍යවරුන් කරා යෑමට ඔවුන්ට නොහැකි වන” නිසයි.