Skip to content

පටුනට යන්න

මනහර ගෙවත්තක සිරි නරඹමුද?

මනහර ගෙවත්තක සිරි නරඹමුද?

මනහර ගෙවත්තක සිරි නරඹමුද?

ග්වාඩලූප්හි පිබිදෙව්! ලේඛක විසින්

අප්‍රිකානු වැසියන් දැකුම්කලු තැනක ජීවත් වුවත් එහි සුන්දරත්වයේ රස විඳින්න ඔවුන්ට බැරි වුණා. දාහත්වන සියවසේ පටන් ඔවුන්ව බුරුතු පිටින් අමෙරිකාවට ගෙන ගියා. අසරණ ඔවුන්ට සිදු වුණේ කැරිබියන් දූපත් දෙකක් වන ග්වාඩලූප් සහ මාර්ටිනීක්වල වහලුන් ලෙස සේවය කිරීමටයි. දිවා රෑ නොබලා උක්ගස් වතුවල දහඩිය මුගුරු හෙළීමට ඔවුන්ට සිදු වුණා.

එම දූපත්වල සිටි වැවිලි කර්මාන්ත හිමිකරුවන් බොහෝදෙනෙකුගෙන් ඔවුන්ට කිසි සහනයක් ලැබුණේ නැහැ. තමන්ගේ ආහාරපාන ගැනත් බලාගන්න සිදු වුණ නිසා ඔවුන් ගෙවතු වගාවේ යෙදුණා. මැරිලා මැරිලා වැඩ කරලා ආපහු ගෙවත්තෙත් වැඩ කළේ ආශාවෙන් නොවුණත් තමන් කැමති ආහාර වගා කරගන්න ඔවුන්ට පුළුවන් වුණා. මඤ්ඤොක්කා, බතල වැනි අල වර්ග සහ වෙනත් පෝෂ්‍යදායි ආහාර වර්ගත් වගා කළා. ඔවුන්ට තම ස්වාමිවරුන්ගෙන් ආහාර ලැබුණා නම් මෙතරම් පෝෂ්‍යදායි ආහාර කවදාවත් ලැබෙන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔවුන් ඖෂධ පැළෑටි මෙන්ම කුළු බඩු වර්ගත් වගා කරගත්තා.

ප්‍රංශ රජය ඉදිරිපත් වී 1848දී එම දූපත්වල වහල් සේවය නතර කළත් නිදහස් වුණ අය තම ගෙවතු වගාවේ දිගටම යෙදුණා. අද දින ග්වාඩලූප්වල හා මාර්ටිනීක්වල ඉන්න හුඟදෙනෙක් එදා දහඩිය මුගුරු හෙළූ අප්‍රිකානුවන්ගෙන් පැවත එන්නන්.

මාර්ටිනීක්හි වන ලැහැබ්

වහල් සේවයේ නිරතවූවන් දෙයාකාරයකින් ගෙවතු වගාවේ යෙදුණා. එළවලු වගා කළේ නිවසෙන් ටිකක් එහායින් පිහිටි තමන්ගේම හේන්වලයි. ඊට අමතරව ගෙවත්තෙත් නොයෙක් දෑ පැළ කළා. එවැනි වත්තක මල්, තණ කොළ වර්ග, ගස් හා පඳුරු දක්නට ලැබුණ නිසා සමහරවිට ඒවා ඝන වන ලැහැබ් වගෙයි දිස් වුණේ. මේ අලංකාර ගෙවත්තේ හැම පොඩි ඉඩකඩකම පැළ වගා කර තිබුණ නිසා අපිළිවෙළ ස්වරූපයක් ගත්තත් එය මනා සැලසුමකට අනුව කොටස්වලට බෙදා තිබුණා. එම කොටස් අතර තිබූ පටු තීරු දිගේ ගොස් තම පැළවලට සාත්තු කරන්න වවන්නාට පහසු වුණා.

නිවස පිටුපස මෙන්ම ඉදිරිපස එක වගේ ලස්සනයි. හරියට උද්‍යානයක් වගෙයි. අමුත්තන් නිවසට පැමිණෙන විට වෛවර්ණ ක්‍රෝටන් ගස්, රුක්අත්තන ගස්, දීප්තිමත් වර්ණ ඇති බෝගන්විලා ගස් සහ ඉක්සෝරා මල් ගස් ඔවුන්ව පිළිගන්න දෙපස සැරසී ඉන්නවා.

නිවසට යාබදව සෙවණ ඇති තැන් ඖෂධ පැළ සඳහා වෙන් වුණා. රසකාරක කොළ වර්ග වන බැසිල්, බේ සහ කුරුඳු, එම දූපතේ වැසියන්ගේ ඖෂධ පැළෑටි අතර වෙයි. ඊට අමතරව බෙහෙවින් දකින්න ලැබෙන්නේ සේර පැළයි. ඒවායේ වියළි කොළ මදුරුවන් පලවාහැරීමට පුළුස්සනු ලබනවා.

ඖෂධ පැළෑටි පිළිබඳ තම අවබෝධයෙන් එම දූපත්වල බොහෝ වැසියන් ප්‍රයෝජන ගන්නවා. ඉස්සර කාලයේ කවුරුහරි ලෙඩ වුණොත් හෝ අනතුරකට ලක් වුණොත් වෛද්‍යවරුන් ළඟපාත හිටියේ නැති නිසා ඔවුන්ගේ එකම පිහිට වුණේ ගෙවත්තේ තිබූ ඖෂධ පැළෑටියි. අත් බෙහෙත් කිරීමට තවමත් මේවා යොදාගන්නා නමුත් අවබෝධයකින් තොරව ඒවා පාවිච්චි කිරීම අනතුරුදායක විය හැකියි. වැරදි ඖෂධයක් භාවිත කළහොත් සුවය ලබනවා වෙනුවට රෝගය තවත් උත්සන්න විය හැකියි. එමනිසා එම දූපත්වල දැන් වෙසෙන ජනයා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වී සිටිනවා.

බොහෝවිට නිවස පිටුපස තිබෙන වත්ත වෙන් කර තිබෙන්නේ එළවලු හා පලතුරු වගා කිරීමටයි. එහි අල වර්ග, බටු වර්ග, ධාන්‍ය වර්ග, තම්පලා වර්ග සහ රට දෙල් ගසුත් දකින එක පුදුමයක් නෙවෙයි. ඒ වගේම වෙනත් භෝග වර්ග මෙන්ම ආහාර රස ගන්වන කුළුබඩු ජාතිත් වගා කර තිබුණා. පලතුරු ගස් අතර අලිගැට පේර, පේර හෝ අඹ වැනි පලතුරුත් එහි දකින්න ලැබෙනවා.

සුන්දර සිරි නරඹමු

ඔබ මෙවැනි ලස්සන ගෙවත්තක ඇවිදින විට එහි සුන්දරත්වය විඳින්න එහි ඇති සෑම දෙයක්ම කිට්ටුවෙන් නැරඹීමට ආස වෙයි. හිරු කිරණෙන් වර්ණවත් වූ තුරුලිය ගොමු හා වෛවර්ණ මල් ජාති අගය කරන්න ඔබට පුළුවන් වෙයි. ඒ අතරතුර හමන සුළඟින් මල්වල සුවඳ වත්ත පුරා පැතිර යයි. මේ සුවඳ පරදවන්න කිසිම සුවඳ විලවුන් වර්ගයකට හැකියාවක් නෑ. නැරඹීමෙන් පමණක් ඔබට මෙතරම් සුන්දරත්වයක් විඳගන්න හැකි වුණා නම් මෙය වගා කිරීමට සැම දිනකම කාලය ගත කළ ගෙවතු හිමියාට මොන තරම් සතුටක් දැනෙනවා ඇද්ද!

මෙවැනි ලස්සන ගෙවතු වගාවන් හැමදාකම දකින්න ලැබෙයිද? මනබඳින, ප්‍රයෝජනවත් මෙම සම්ප්‍රදායානුකූල ගෙවතු පවත්වාගෙන යෑමට යොවුන් පරපුර උනන්දුවක් නොදක්වයිදෝ කියා ඇතැම් ආදි දූපත් වාසීන් දුක් වෙනවා. තරුණ මහලු බොහෝදෙනෙක් ගෙවත්තේ අලංකාරය හා ආවේණික ක්‍රම රැකගන්න උත්සාහ කරනවා. අප්‍රිකානු වහලුන්ට කටුක ජීවිතයක් ගත කරන්න සිදු වුණත් ඔවුන් දැරූ උත්සාහයෙන් අලංකාර මෙන්ම ප්‍රයෝජනවත් දෙයක් අපට උරුම කර දී ඇති බව සෑම ගෙවත්තකින්ම සිහිගන්වනවා.

[27වන පිටුවේ කොටුව]

කලාවක්ද, සංස්කෘතියක්ද?

මෙම මනහර ගෙවතු බොහෝවිට හඳුන්වන්නේ ‘ක්‍රියෝල් ගෙවතු’ ලෙසයි. “ක්‍රියෝල්” යන වචනයෙහි විවිධ අර්ථයන් තිබෙනවා. මුලින්ම මෙම වචනය භාවිත කළේ අමෙරිකාවේ උපන් යුරෝපීයයන්ව විස්තර කිරීමටයි. හේටි දූපතේ අලංකාර දෙයක් තියෙනවා නම් එය විස්තර කරන්න මෙම වචනය යොදාගන්නවා. ජැමෙයිකා, හේටි හා තවත් සමහර දූපත්වල වැසියන් කතා කරන භාෂාවත් හඳුන්වන්නේ ක්‍රියෝල් කියලයි.

එහෙත් “ක්‍රියෝල්” යන වචනය වැඩිහරියක්ම යොදාගන්නේ කැරිබියන් දූපත්වල තිබෙන ජීවන රටාවක් හෝ සංස්කෘතියක් විස්තර කිරීමටයි. පුවටෝ රිකෝ හා ඩොමිනිකන් ජනරජයේ ජනයාගෙන් වැඩිදෙනා කතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. ඔවුන්ද ක්‍රියෝයෝ යන ස්පාඤ්ඤ වචනය භාවිත කරද්දී අඟවන්නේ එවැනි සංස්කෘතියක්. කැරිබියානු දූපත්වල ආදි වාසීන්, අප්‍රිකානුවන් හා යුරෝපීයයන් සියවස් ගණනාවක් පුරා මිශ්‍ර විවාහයන් සිදු කරගෙන ලස්සන දරුවන් මෙන්ම ඔවුන්ටම ආවේණික සංස්කෘතියක් බිහි කර තිබෙනවා. අප සඳහන් කළ ගෙවතු අලංකාර කලාවක් වගේම මෙම සංස්කෘතියට අනුව බිහි කළ නිර්මාණයක් නිසා ඒවා ක්‍රියෝල් ගෙවතු කියාද හඳුන්වනවා.

[26වන පිටුවේ පින්තූර]

පුංචි පින්තූර (ඉහළ සිට): ඇල්පයිනියා, ගම්මිරිස්, අන්නාසි, කොකෝවා සහ කෝපි