Skip to content

පටුනට යන්න

සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්ද?

සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්ද?

බයිබලයෙන් පිළිතුරක්

සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්ද?

යේසුස්ගේ ප්‍රසිද්ධ දේශනයකදී ඔහු මෙසේ පැවසුවා. “සාමය ඇති කරන අය සන්තෝෂවත්ය.” ඒ වගේම “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙව් 5:5, 9) සාමකාමීව ඉන්නවා කියන්නේ ගැටුම් ඇති කරගන්නේ නැතුව හෝ සන්සුන්ව සිටීම විතරක් නෙමෙයි. සාමකාමී පුද්ගලයන් මිත්‍රශීලීව කටයුතු කිරීමට හා සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

ඒත් ඉහත උපුටා දැක්වූ යේසුස්ගේ වදන් වර්තමානයට ගැළපෙනවාද? අහිංසකව හිටියොත් නවීන සමාජය තුළ සාර්ථක වෙන්න නම් බැහැයි කියා සමහර අය සිතනවා. මේ හේතුව නිසා ඔවුන් අනිත් පුද්ගලයන් සමඟ රණ්ඩු කරමින්, බලය පාමින් හෝ තමන්ට අවශ්‍ය දේ කරගන්නවා. ඒත් එකට එක කිරීම හෝ පළිගැනීම හොඳ දෙයක්ද? සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්ද? “සාමය ඇති කරන අය සන්තෝෂවත්ය” යනුවෙන් යේසුස් පැවසූ වදන් ගැන අපි සැලකිලිමත් වීමට හේතු තුනක් දැන් සලකා බලමු.

▪ සන්සුන් සිතක් “සන්සුන් සිතක් ශරීරයට සුවයකි.” එසේ සඳහන් වෙන්නේ හිතෝපදේශ 14:30 (පැරණි අනුවාදය) වන පදයේ. වෛද්‍ය වාර්තා බොහොමයකින් පෙන්වන්නේ කෝපය හා වෛරය අංශභාගයට හා හෘදයාබාධවලට හේතු විය හැකි බවයි. මෑතකදී එක් වෛද්‍ය සඟරාවක හෘදයාබාධ රෝගීන් පිළිබඳව අදහස් පළ කරන විට තද කෝපය විසක් හැටියට සමාන කළා. “ලෙඩවලට මුල කෝපය කියා” එම සඟරාවේ තවදුරටත් සඳහන් වුණා. සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරන අය “සන්සුන් සිතක්” අත් කරගන්නා අතර මහඟු ප්‍රයෝජන නෙළාගන්නවා.

හැටඑක් වන වියේ පසුවෙන ජිම් මීට එක් නිදසුනක්. ඔහු වියට්නාම් භාෂාව කතා කරන ජනයාට බයිබල් සත්‍ය උගන්වනවා. ඔහු මෙහෙම කියනවා. “හමුදාවේ සේවය කළ අවුරුදු හය ඇතුළත වියට්නාමයට විරුද්ධව යුධ මෙහෙයුම් තුනකට මම සහභාගි වුණා. මේ නිසා සැහැසියාව, කෝපය, කලකිරීම කියන්නේ මොකක්ද කියලා මට හොඳට තේරෙනවා. අන්තිමේදී මගේ අතීතය හිතට වද දෙන්න පටන්ගත්තා. මට නිදාගන්න බැරුව ගියා. මානසික පීඩනය, බඩේ අමාරුව සහ ස්නායු ආබාධ වැනි රෝගවලින් මම පීඩා වින්දා.” ඔහුට සහනයක් ලැබුණේ කුමකින්ද? ඔහු මෙසේ පිළිතුරු දෙනවා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීම නිසා මගේ ජීවිතය බේරුණා. සාමකාමී පාරාදීස පොළොවක ජීවත් වීම පිළිබඳව දෙවිගේ පොරොන්දුව ගැනත්, ‘අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගන්නේ’ කොහොමද කියාත් ඉගෙනගත් නිසා මට සන්සුන් හදවතක් ලැබුණා. ඉන්පස්සේ මගේ සෞඛ්‍ය තත්වයත් දියුණු වුණා.” (එෆීස 4:22-24; යෙසායා 65:17; මීකා 4:1-4) තවත් බොහෝදෙනෙක් තම පෞද්ගලික අද්දැකීමෙන් සොයාගෙන තිබෙන්නේ සාමකාමීව කටයුතු කිරීමෙන් මානසිකවත්, ශාරීරිකවත් ආගමික වශයෙනුත් දියුණුවක් ලබාගත හැකි බවයි.—හිතෝපදේශ 15:13.

▪ සබඳතා ශක්තිමත් කරයි අප සාමකාමී අය නම් අප ඇසුරු කරන අයට පහසුවක් දැනෙයි. “වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම් . . ., සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න” යනුවෙන් බයිබලයේ සඳහන් වෙනවා. (එෆීස 4:31) ඉක්මනින් කේන්ති යන නිතර රණ්ඩුවට බර අය වෙත කවුරුත් ළං වෙන්න බයයි. දුකේදී සැපේදී ළඟින් ඉන්න මිතුරන් ඔවුන්ට නැහැ. එමනිසා එවැනි පුද්ගලයන් තනි වෙනවා. හිතෝපදේශ 15:18හි මෙසේ සඳහන් වෙනවා. “කෝපාවිෂ්ට මිනිසෙක් විවාද උපදවයි. නමුත් ඉක්මනින් කේන්ති නොයන්නා නිසා සණ්ඩු නතර වෙයි.”

නිව් යෝර්ක් නගරයේ ජීවත් වෙන 42-හැවිරිදි ඇන්ඩි ක්‍රිස්තියානි සභාවේ අවේක්ෂකයෙක්. ඔහු හැදී වැඩුණේ නිතර රණ්ඩු දබර කරන පරිසරයකයි. ඔහු මෙසේ පවසනවා. “මම අවුරුදු අටක් වෙද්දී බොක්සිං ක්‍රීඩාව ඉගෙනගත්තා. එහිදී මට ඉගැන්නුවේ ‘මම ගැහැව්වේ නැත්නම් මටයි වදින්නේ’ කියලා. එනිසා තරඟකරුවන්ව සැලකුවේ මිනිසුන් හැටියට නෙමෙයි සතුරන් හැටියටයි. වැඩි කල් නොගොස් කල්ලියකට සම්බන්ධ වුණා. නිතරම වගේ මම රණ්ඩුවලට පැටලුණා. තුවක්කුවලින් පිහිවලින් මට තර්ජන එල්ල වුණා. මටම කියලා යහළුවෙක්වත් හිටියේ නැහැ.”

ඇන්ඩි සාමකාමී පුද්ගලයෙක් වුණේ කොහොමද? ඔහු මෙසේ පවසනවා. “මම එක දවසක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවක පැවැත්වූ රැස්වීමකට සහභාගි වුණා. එතැන හිටිය අයගේ ප්‍රේමණීය ස්වභාවය දැනෙන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ. සාමයට ලැදි මෙම සෙනඟව ඇසුරු කරන්න පටන්ගත් දා සිට මම සන්සුන් පුද්ගලයෙක් වී තිබෙනවා. කලින් තිබිච්ච දඩබ්බර ගති පැවතුම් නැති වෙලා ගිහින්. දැන් මට හොඳ මිත්‍රයෝත් ඉන්නවා.”

▪ අනාගතය ගැන බලාපොරොත්තුවක් අපි සාමකාමී වීමට ප්‍රධාන හේතුවක් තිබෙනවා. සාමකාමී වීමෙන් අප දෙවිගේ කැමැත්තට ගරු කරනවා. දෙවිගේම වචනය වන බයිබලයේ අපට දිරිගන්වන්නේ මෙයයි. “සමාදානය සොයමින් එය අනුව යන්න.” (ගීතාවලිය 34:14) යෙහෝවා කියා දෙවි කෙනෙක් සිටින බව පිළිගෙන, ඔහු ගැන අප ඉගෙනගත යුතුයි. ඒ වගේම ජීවිතයට නව බලාපොරොත්තුවක් ලබා දෙන ඔහුගේ ඉගැන්වීම් අනුව ජීවත් වෙනවා නම් යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක්ද භුක්ති විඳිය හැකියි. දෙවිත් සමඟ අපට ශක්තිමත් සබඳතාවක් තිබෙනවා නම් “දෙවිගේ සමාදානය” අපට ලැබෙනවා. මෙම සමාදානයට සම කරන්න කිසිම දෙයක් නැහැ. ජීවිතයේ කුමන බාධක පැමිණියත් අපට සන්සුන්ව කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනවා.—ෆිලිප්පි 4:6, 7.

ඊට අමතරව, සාමකාමී වීමෙන් අප කොයි ආකාරයේ පුද්ගලයන් වෙන්න කැමතිද කියා යෙහෝවා දෙවිට අප පෙන්වනවා. දෙවි පොරොන්දු කර තිබෙන සාමකාමී පාරාදීස පොළොව තුළ ජීවත් වීමට අප සුදුසුයි කියා ඔහුට ඔප්පු කිරීමටද අපට ඉන් හැකියාවක් ලැබෙනවා. දෙවි දුෂ්ටයන් ඉවත් කරන විට යේසුස් කියූ ආකාරයට මෘදු ගුණැති අය “දේශය උරුම කරගනියි.” අප මෘදු, සාමකාමී පුද්ගලයන් නම් එම උදාර අවස්ථාව දකින්න අපටත් හැකි වෙයි. එය මොනතරම් අනගි වරප්‍රසාදයක්ද කියා සිතා බලන්න!—ගීතාවලිය 37:10, 11; හිතෝපදේශ 2:20-22.

“සාමය ඇති කරන අය සන්තෝෂවත්ය” යනුවෙන් යේසුස් කියූ වදන් කොතරම් සත්‍යයද කියා පැහැදිලියි. ඒ මගින් සන්සුන් හදවතක්, යහපත් සබඳතා සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් තබාගැනීමට අපට හැකියි. “සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න” අපි උපරිම උත්සාහයක් දරනවා නම් මෙම ආශීර්වාද අපට අත් කරගන්න පුළුවන්.—රෝම 12:18.

[28වන පිටුවේ පින්තූර]

“මගේ සෞඛ්‍යය හොඳ අතට හැරිලා තියෙනවා.”—ජිම්

[29වන පිටුවේ පින්තූර]

“මට හොඳ මිත්‍රයෝත් ඉන්නවා.”—ඇන්ඩි