Skip to content

පටුනට යන්න

අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද?

අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද?

“මම ගොඩක් දේවල් ගන්නේ ඒවා අවශ්‍ය නිසාවත් සල්ලි තියෙන නිසාවත් නෙවෙයි. ඒවා ලාබෙට තියෙන හින්දයි.”—බ්‍රසීලයේ ඇනා. *

“සමහරවිට යාළුවන් මට කරන්න කියන දේවල් මිල අධිකයි. අතේ සල්ලි නැතත් සල්ලි නැ කියන්න ලැජ්ජයි. ඒත් මට ඕනේ මගේ යාළුවන් එක්ක විනෝද වෙන්නයි.”—ඕස්ට්‍රේලියාවේ ජොඈන්.

තව සල්ලි ටිකක් වැඩියෙන් තිබුණා නම්! නැත්නම් වැටුප ටිකක් වැඩි කළා නම් හිතේ හැටියට දේවල් ගන්න තිබුණා. ඔබට මෙහෙම හිතිලා තියෙනවාද? එහෙමනම් ඔබ ළඟ නැති සල්ලි ගැන ලත වෙවී ඉන්නවාට වඩා ඔබේ අතට ලැබෙන මුදල් අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද කියා දැනගන්න.

ඔබ තවමත් ජීවත් වන්නේ දෙමාපියන් සමඟ නම් මුදල් පාලනය කරන ආකාරය ඉගෙනගන්න නිවසෙන් පිට වෙන දා තෙක්ම සිටිනවා විය හැකියි. ඒක හරියට, පීනන්න දන්නේ නැතුව ගඟට පනිනවා වගේ වැඩක්. නැණවත් දේ හොඳින් පීනන්න පුහුණු වී ගඟට පනින එක නේද?

එමනිසා අනාගතයේදී මුදල් පිළිබඳව මුහුණ දෙන තත්වයට ඔබ දැන් සිටම පුහුණුවක් ලැබීම තමයි හොඳම දේ. එමනිසා නිවසේ සිටියදීම අරපරෙස්සමින් වියදම් කරන්න. “මුදල ආවරණයක්” කියා සාලමොන් රජ ලියා තිබෙනවා. (දේශනාකාරයා 7:12) නමුත් ඔබට මුදල ආවරණයක් වන්නේ අරපරෙස්සමින් වියදම් කළොත් පමණයි. එසේ කිරීමෙන් නාස්ති නොකිරීමට ඔබට පුහුණුවක් ලැබෙන අතර ඔබේ දෙමාපියන්ටද ඔබ ගැන තිබෙන විශ්වාසය වැඩි වෙයි.

මූලික දැනුම ලබාගන්න

ගෙදර වියදම ගැන ඔබ කවදා හෝ දෙමාපියන්ගෙන් අසා තිබෙනවාද? මාසික ගෙවල් කුලිය කීයද? විදුලි හා වතුර බිල්වලට, ආහාරවලට මෙන්ම රථයක් තිබෙනවා නම් එය නඩත්තු කිරීමට කීයක් වැය වෙනවාද? ඒ දේවල් දැනගන්න එතරම් අවශ්‍ය නැතැයි කියා ඔබට සිතෙන්න පුළුවන්. ඔබත් දැන් එම දේවල් භුක්ති විඳින බව අමතක නොකරන්න. එපමණක් නොව ඔබ නිවසෙන් පිට වූ දාක ඔබටම එවැනි දේවලට වියදම් කරන්න සිදු වේවි. එමනිසා වැය වෙන මුදල් ගැන දැන සිටීම වැදගත්. දෙමාපියන්ගෙන් ඉල්ලගෙන ඒ බිල් පත් බලන්න. එක් එක් බිල්පත් ගෙවීමට මුදල් වෙන් කරන ආකාරය ගැනත් ඔවුන්ගෙන් අසා ඉගෙනගන්න.

“ඥානවන්තයා අසා උගත්කමෙහි වර්ධනය වේ. තේරුම් ඇත්තාට හොඳ ගුරුකම් ලැබේ” කියා බයිබල් හිතෝපදේශයක පවසනවා. (හිතෝපදේශ 1:5) කලින් සඳහන් කළ ඇනා මෙවැන්නක් පැවසුවා. “අවශ්‍ය දේවල්වලට සල්ලි වෙන් කරන විදිහ තාත්තා මට කියලා දුන්නා. ඒ වගේම තියෙන මුදල අරපරෙස්සමින් වියදම් කිරීම මොන තරම් වැදගත්ද කියලත් තාත්තා මට පැහැදිලි කළා.” ඊට අමතරව ඇනාගේ මවත් වෙනත් ප්‍රායෝගික පාඩම්ද ඇයට ඉගැන්නුවා. “යමක් මිල දී ගන්න කලින් ගාන අඩුද වැඩිද කියලා බලන විදිහ අම්මා මට කියලා දුන්නා. සල්ලි ටිකක් තිබුණත් ඒ ටිකෙන් සෑහෙන දෙයක් කරන්න අම්මාට පුළුවන්” කියලා ඇනා පැවසුවා. දැනුවත් වීමේ ප්‍රතිඵලය මොකක්ද? “දැන් මට මගේ වියදම් ගැන බලාගන්න පුළුවන්. පරෙස්සමෙන් වියදම් කරන නිසා හිතට බයක් නැහැ. මට අවශ්‍ය දේවල් ණය නොවී ගන්නත් පුළුවන්” කියා ඇනා පවසනවා.

අභියෝග මොනවද?

ඔබ දෙමාපියන් සමඟ සිටියදීම රැකියාවක් කරනවා නම් අරපරෙස්සමින් වියදම් කිරීමට තිබෙන පෙලඹීම හුඟක් අඩුයි. එයට හේතුව ඔබේ දෙමාපියන් බිල්වලින් වැඩි හරියක් ගෙවීමයි. ඒ නිසා ඔබට ලැබෙන මුදල හිතේ හැටියට වියදම් කරන්න පුළුවන් වෙයි. “අත දිග ඇරලා වියදම් කරන එක හරි ලේසියි. ඒක මට විනෝදයක්.” ඉන්දියාවේ යෞවනයෙකු වූ පැරෙෂ්ගේ අදහස එයයි. ඕස්ට්‍රේලියාවේ සාරාටද හැඟෙන්නේ එයාකාරයටමයි. ඇය පවසන්නේ “හිතේ හැටියට බඩු ගන්න එක තරම් වෙන සතුටක් මට නැහැ” කියායි.

ඊට අමතරව යාළුවන් නිසාත් සීමාව ඉක්මවා වියදම් කරන්න ඔබ පෙලඹිය හැකියි. විසිඑක් හැවිරිදි එලෙනා මෙසේ පැවසුවා. “මගේ යාළුවන්ගේ එකම විනෝදය සාප්පු සවාරියේ ගිහින් වියදම් කරන එකයි. ඒ අය නොකියා කියන්නේ සල්ලි වියදම් කරන තරමට තමයි නියම වින්දනයක් ලැබෙන්නේ කියලා.”

කවුරුත් කැමති තම යාළුවන්ගේ ප්‍රසාදය දිනාගන්නයි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ‘මගේ යාළුවෝ එක්ක ඉන්නකොට මම වියදම් කරන්නේ මා ළඟ වැඩිපුර සල්ලි තියෙන නිසාද නැත්නම් එහෙම කරන්නේ ඔවුන්ගේ බලපෑම් නිසාද’ කියා ඔබෙන්ම අසාගන්න. බොහෝදෙනෙක් වියදම් කරන්නේ මිතුරන් හා ආශ්‍රිතයන් හමුවේ තමන්ගේ තත්වය වැඩි කරගැනීමේ අදහසිනුයි. ඔබ මෙවැනි කෙනෙක් නම් සහ ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ ණයවර පතක් ඔබ භාවිත කරනවා නම් යථා කාලයේදී ඔබ මුදල් හිඟයකට මුහුණ දිය හැකියි. මුදල් පරිහරණය සම්බන්ධයෙන් උපදේශක සූසී ඕර්මන් මෙවැනි අවවාදයක් දෙනවා. “ඔබේ ගුණාංගවලට වඩා ඔබ සතු මුදල්වලින් යාළුවෝ ඇති කරගන්න පුළුවන් කියා ඔබට හිතෙනවා නම් එවැනි කාඩ්පතක් භාවිත කිරීම ඔබට උගුලක් විය හැකියි.”

කාඩ්පතෙන් ලබාගත හැකි මුළු මුදල හෝ මාසික පඩිය එක දවසකින් ඉවර කරනවාට වඩා ඉලේනා කළ දේ අත්හදා බලන්න. “මගේ පඩිය යන්නේ බැංකුවටයි. ඒ නිසා යාළුවෝ එක්ක සාප්පු යන්න කලින් මම වියදම් කරන්න බලාපොරොත්තු වෙන ගාන ගැන කල්පනා කරලා අවශ්‍ය කරන ප්‍රමාණයට විතරයි බැංකුවෙන් සල්ලි ගන්නේ. මම සාප්පු යන්න තෝරගන්නේ දකින දකින දේ ගන්නේ නැතුව අරපරෙස්සමින් වියදම් කරන යාළුවන්ව විතරයි.”—හිතෝපදේශ 13:20.

ඉල්ලන සියල්ල නොලැබීමෙන් පාඩමක්

ඔබ තාම රැකියාවක් නොකළත් නිවසේ සිටින කාලයේදී මුදල් ගැන යම් වටිනා පාඩම් ඉගෙනගත හැකියි. උදාහරණයකට ඔබ දෙමාපියන්ගෙන් සල්ලි ඉල්ලුවොත් එහෙමත් නැත්නම් ඔබට යමක් අරන් දෙන්න කියා කිව්වොත් සමහරවිට ඔවුන් බැහැ කියයි. ඒකට හේතුව වියදමට තියෙන සීමිත මුදලෙන් ඔබ ඉල්ලන දේට මුදලක් වෙන් කරන්න ඔවුන්ට නොහැකි වීමයි. ඔබේ දෙමාපියන් ඔබ ඉල්ලන දේ දෙන්න කැමති වුණත් එය නොදීමෙන් ආත්මදමනය ගැන ඔබට කදිම ආදර්ශයක් තබනවා. මුදල් අරපරෙස්සමින් වියදම් කිරීමට ආත්මදමනය අත්‍යවශ්‍ය ගුණාංගයක්.

ඔබ ඉල්ලන දේ දෙන්න ඔබේ දෙමාපියන් ළඟ ප්‍රමාණවත් මුදලක් තිබුණත් ඔවුන් එය නොදී සිටිය හැකියි. එය ලෝබකමක් නම් නෙවෙයි. මේ ගැන සිතා බලන්න. ඔබේ සතුට රඳා පවතින්නේ ඔබ ගන්න හිතන දේවල් මත නොවන බව උගන්වන්න ඔවුන් වෑයම් කරනවා විය හැකියි. මේ සම්බන්ධයෙන් බයිබලයේ මෙසේ පවසනවා. “රිදීයට ආලය කරන්නා රිදීයෙන්වත් බොහෝ ලැබීමට ආලය කරන්නා වැඩි වීමෙන්වත් තෘප්තියට නොපැමිණෙයි.”—දේශනාකාරයා 5:10.

ඉල්ලන සියල්ල ලැබුණු දරුවන්ගේ අද්දැකීම ඉහත සඳහන් දෙයයි. එවැනි දරුවන් කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඔවුන්ට කොච්චර ලැබුණත් මදි. ස්තුතිවන්ත නොවන වැඩිහිටියන් බවට පත් වෙන්නේ බොහෝදුරට මෙවැනි දරුවන්. “සේවකයෙකුට බාල කාලයේ සිටම සියලු දේ දෙන්නේ නම්, පසු කාලයේදී ඔහු ඔබට කිසි ස්තුතිවන්තකමක් නොපෙන්වයි” කියා සාලමොන් රජ පැවසුවා.—හිතෝපදේශ 29:21, NW.

මුදල් කියන්නේ කාලයයි

කාලය කියන්නේ මුදල් කියා සමහර සංස්කෘතීන්වල ජනප්‍රිය කියමනක් තිබෙනවා. මේකෙන් අදහස් කරන්නේ මුදල් ඉපැයීමට කාලය වැය වන බවයි. එමනිසා කාලය අපතේ යැවීමෙන් සිදු වන්නේ මුදල් අපතේ යෑමක්. මුදල් නාස්ති කරනවා නම් එම මුදල ඉපැයීමට වැය කළ කාලයත් ඔබ නාස්ති කරනවා. එමනිසා මුදල් කියන්නේ කාලය කියා කිව්වත් එය නිවැරදියි. එබැවින් අරපරෙස්සමින් වියදම් කිරීමට ඉගෙනගන්න. එවිට කාලය අපතේ නොයැවීමටත් ඔබ ඉබේම ඉගෙනගන්නවා. ඒ කෙසේද?

ඉලේනා පවසන්නේ මෙයයි. “පරෙස්සමින් වියදම් කරද්දී මුදල් හම්බ කරන්න ගත කරන කාලයත් පාලනය කරන්න පුළුවන්. පාලනයක් ඇතුව මුදල් වියදම් කරද්දී ඒ මුදල හම්බ කරන්න වැය වෙන කාලයත් පාලනය කරන්න පුළුවන්. ණයට සල්ලි අරගෙන ඒ මුදල ගෙවන්න අතිකාල සේවයක් කරන්න මට අවශ්‍ය නැහැ. මම මගේ කාලය නාස්ති කරන්න කැමති නැහැ.” එවැනි අර්ථවත් ජීවිතයක් ගත කරන්න ඔබත් කැමති නැද්ද?

[පාදසටහන]

^ 3 ඡේ. සැබෑ නම් නොවෙයි.

මේ ගැනත් හිතන්න

▪ අරපරෙස්සමින් වියදම් කරන්න ඔබට අමාරුද? ඒ ඇයි?

▪ මුදලට ඇලුම් වීමෙන් වැළකිය යුත්තේ ඇයි?—1 තිමෝති 6:9, 10.

[12වන පිටුවේ කොටුව⁄පින්තූර]

වැඩිපුර මුදල් තිබීම විසඳුමක්ද?

පරෙස්සමින් වියදම් කරන්න ඔබට නොහැකි නම් එයට විසඳුම වැඩිපුර මුදල් තිබීමද? “මුදල් හිඟ නොවීමට එකම විසඳුම ලොකු පඩියක් ලැබීම කියා අපි හිතන්න පුළුවන්. ඒත් ඒක එහෙම වෙන්නේ කලාතුරකින්” කියා මුදල් සම්බන්ධයෙන් උපදේශක සූසී ඕර්මන් පවසනවා.

නිදසුනකට ඔබ දෙනෙත් පියාගෙන පාලනයකින් තොරව රිය පදවන කෙනෙක් නම් රථයේ තෙල් ටැංකියට වැඩිපුර තෙල් පිරෙව්වයි කියා ඔබ යායුතු තැනට ආරක්ෂිතව යාවිද? එලෙසම ඔබ පරෙස්සමින් වියදම් කිරීමට පුරුදු වී නැත්නම් වැඩිපුර හම්බ කිරීමෙන් පලක් වේද?

[13වන පිටුවේ කොටුව⁄රූප සටහන]

මුදල් පාලනය

පසුගිය මාසේ ඔබ කොපමණ මුදලක් වියදම් කළාද? ඒ මොනවටද? මතක නැද්ද? වියදම ඔබව පාලනය නොකර ඔබට පරෙස්සමින් වියදම් කළ හැකි ක්‍රම කීපයක් මෙන්න.

වාර්තාවක් තබාගන්න. අඩුම තරමින් මාසයකටවත් ඔබට ලැබෙන මුදල හා එය ලැබුණ දිනය සටහන් කරන්න. ඔබ ගන්න හැම දෙයක්මත්, ඒවාට ගිය වියදමත් සටහන් කරන්න. මාසේ අවසානයේදී ලැබුණ මුදල හා වියදම් වුණ මුදල වෙන වෙනම එකතු කරන්න.

අයවැයක් සාදාගන්න. හිස් පිටුවක සිරස් අතට තීරු තුනක් වෙන් කරගන්න. පළවෙනි තීරුවේ ඔබට මාසෙකට ලැබෙන ආදායම සඳහන් කරන්න. දෙවෙනි තීරුවේ එක එක දේවල් සඳහා වෙන් කර තිබෙන මුදල සටහන් කරන්න. මාසේ ටිකෙන් ටික ගෙවී යද්දී වියදම් වන ගණන් සටහන් කරන්න. සැලසුම් නොකර සිදු වූ වියදම් පවා සටහන් කරන්න.

සකස් වෙන්න. ඔබ හිතුවට වඩා වියදම් කර ණය වෙන්න සිදු වෙනවා නම් ඔබේ සැලසුම යළි සකස් කරන්න. ණය ගෙවා දමා වියදම අඩු කරන්න.

[වගුව]

මෙය භාවිතයට ගන්න!

මගේ මාසික අයවැය

ආදායම වෙන් කරන ලද මුදල වැය වූ මුදල

පඩිය ආහාර

වෙනත් ආදායම් ඇඳුම් පැළඳුම්

දුරකථනය

විනෝදය

පරිත්‍යාගයන්

ඉතිරි කිරීම්

වෙනත් වියදම්

 

 

එකතුව එකතුව එකතුව

රු. රු. රු.

[පින්තූරය]

සල්ලි නාස්ති කරනවා නම් ඒ මුදල හම්බ කරන්න වැය කළ කාලයත් ඔබ නාස්ති කර දමන බව මතක තබාගන්න

[11වන පිටුවේ පින්තූරය]

අරපිරිමැස්මෙන් වියදම් කරන විදිහ දෙමාපියන්ගෙන් අසා ඉගෙනගන්න