Skip to content

පටුනට යන්න

පිළිපැද්ද නිසා උපදෙස් ගැලවුණා දිවි

පිළිපැද්ද නිසා උපදෙස් ගැලවුණා දිවි

පිළිපැද්ද නිසා උපදෙස් ගැලවුණා දිවි

එදා බදාදා දවසක්. දිනය 2005 අගෝස්තු 24වනදා. ටිකක් රස්නේ වුණත් අමෙරිකා එක්සත් ජනපදයේ ලුයිෂියානාහි නිව් ඕලියන්ස් නගරයේ හැමෝටම දැනුණේ එය සාමාන්‍ය දවසක් හැටියටයි. එහි විසූ ඇලන් ඔහුගේ පවුලේ අයත් සමඟ දවස් 5ක නිවාඩුවක් ගත කරන්න ටෙක්සස්වල බෝමන් නගරයට යන්න පිටත් වුණා. එය පිහිටා තිබෙන්නේ කිලෝමීටර් 300කට වඩා ඈත බටහිර දිශාවෙයි. ඇලන් ඒ ගැන පැවසුවේ මෙයයි. “කවුද දන්නෙ ඒ වන විටත් කැට්රීනා සුළිසුළඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ළං වී තිබුණ බව. ඒත් නිව් ඕලියන්ස්වලටත් දරුණු සුළිසුළඟක් එන්න යන බව අපි හොඳටම දැනගත්තේ සිකුරාදා.”

කැට්රීනා සුළිසුළඟ සාමාන්‍ය එකකට වඩා දරුණුයි කියා තොරතුරු ලැබුණේ අගෝස්තු 28වන ඉරිදායි. එසැනින් නිව් ඕලියන්ස් නගරාධිපති එහි නගරවාසීන්ට නගරයෙන් ඉවත් වෙන්න කියා දැනුම් දුන්නා. වාහන දහස් ගණනක් උතුරට හා නැඟෙනහිරට ගමන් කළ නිසා පාරවල් හැම පැත්තෙන්ම ඇහිරුණා. වාහන නැති අය ආරක්ෂිත ස්ථානවලට හෝ සුපර්ඩෝම් නමැති විශාල ගෘහස්ත ක්‍රීඩාංගණයට ගියා. තවත් සමහර අය තීරණය කළේ මොනවා වුණත් තම නිවසෙන් පිට වෙන්නේ නැහැ කියලයි.

‘මම ඉගෙනගත්තේ හොඳ පාඩමක්!’

යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන ජෝත් තීරණය කළේ නිවසේ රැඳෙන්නයි. ඔහු හිතුවේ කලින් ආව සැඩ කුණාටුත් ඒ තරම්ම දරුණු වුණේ නැති නිසා මේ පාරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියායි. අන්තිමේදී ඔහු අද්දැක්කේ මේ දෙයයි. “එක මොහොතකින් මගේ අදහස වෙනස් කරගන්න මට සිද්ධ වුණා. වැස්සත් එක්ක හුළඟ වේගයෙන් හමාගෙන ඇවිත් ගෙයි වහල ගැලවිලා ගියා. වතුර මට්ටම අඩි දහයක් උඩට නඟින්න පැය තුනක්වත් ගියේ නැහැ. වතුර උඩට එන වේගය කොයි තරම්ද කියනවා නම් මට සිද්ධ වුණා දෙවනි තට්ටුවට නැඟගන්න. ඒ විතරක් නෙවෙයි මහා හඬකින් හමාගෙන ආව සැඩ සුළඟට බිත්තිත් දඩ දඩගාලා හෙලවෙන්න පටන්ගත්තා. සීලිම් කඩාගෙන වැටුණා. කොහොමද බේරෙන්නේ කියලා මං කල්පනා කළා.

“හැම පැත්තෙම වතුර. වතුරට පනින්න වෙයිද කියලා මට හිතුණා. ඒත් චණ්ඩ මාරුතය නිසා වතුර පාර සැරයි. පාරවල් ඔක්කොම යට වෙලා. මම හොඳටම බය වුණා. මොකද මම දැනගත්තා වතුරට පැන්නොත් නං ආයි ගොඩ එන්න ලැබෙන්නේ නැහැ කියලා.”

අන්තිමේදී බෝට්ටුවක් ඇවිත් ජෝව බේරගත්තා. ඔහුව බැස්සුවේ උස පාළමක් උඩට. පහළ වතුරේ මිනී පාවුණා. බලන බලන හැම පැත්තෙම අසූචි. ඔහු එක රැයක් නිදාගත්තේ මෝටර් රථයක් උඩ. ඉන්පසු හෙලිකොප්ටරයෙන් හා බස් රියෙන් නිව් ඕලියන්ස්වලට යන්න ඔහුට ප්‍රස්තාව ලැබුණා. “එහෙ ඉන්න අය මට හොඳින් සැලකුවා. මට මොනවද වුණේ කියලා මට හිතාගන්නවත් බැරි වුණා. ‘මට එවෙලේ ඕන වුණේ වෙන මුකුත් නෙවෙයි බොන්න වතුර ටිකක් විතරයි.’”

සිද්ධ වුණ දේ ගැන කල්පනා කරද්දී මේ අනතුරෙන් වැළකෙන්න තිබුණ බව ජෝට වැටහුණා. “මම ඉගෙනගත්තේ හොඳ පාඩමක්. අනතුරුදායක ස්ථානවලින් ඉවත් වෙන්න කියලා කිව්වොත් මම තමයි ඉස්සෙල්ලම යන්නේ!”

ඇය නිවේදනයට සවන් නොදුන් නිසා ගසක සරණ පතා

මිසිසිපි මුහුදු තීරයේ පිහිටි බිලොක්සි හා ගල්ෆ්පෝට් නගර මහත් ව්‍යසනයකට ලක් වෙද්දී බොහෝදෙනෙක් මිය ගියා. බිලොක්සි නගරයේ මහජන කටයුතු පිළිබඳ කළමනාකාර වින්සන්ට් ක්‍රීල් 2005 අගෝස්තු 31 ද නිව් යෝර්ක් ටයිම්ස් සඟරාවෙහි මෙවැන්නක් පැවසුවා. “වර්ෂ 1969දී කැමීල් සැඩ කුණාටුව ආව වෙලාවේ තම නිවෙස්වලට හා තමන්ට හානියක් නොවූ නිසා මේ පාරත් අනතුරුදායක ස්ථානවලින් ඉවත් වීමට දෙන ලද නිවේදනය ඔවුන් නොසලකාහැරියා.” කැමීල් කුණාටුව කැට්රීනාට වඩා ප්‍රබල එකක් ලෙස සැලකුවත් කැට්රීනා ‘කුණාටුවෙන් සුනාමියකට සමාන ජල කඳක් ඇදී ආවා’ කියා ක්‍රීල් පැවසුවා.

එම නිවේදනය නොසලකාහැරිය කෙනෙක් තමයි ජීවිත කාලයෙන් වැඩිහරියක් බිලොක්ස්හි ගත කළ ඉනෙල්. ඇය පැවසුවේ “පහුගිය කාලවලදී ඇති වුණ කුණාටුවලින් අපි බේරුණ නිසා කැට්රීනා කුණාටුව ගැන වැඩි තැකීමක් කළේ නැහැ” කියලයි. ඉනෙල්ගේ නිවස සවිමත්ව ඉදි කර තිබුණ නිසා ඇගේ 88-හැවිරිදි නැන්දම්මා, පුතා, දුව හා බෑනාව ඇගේ නිවසට ගෙන්නගත්තා. බල්ලෝ දෙන්නව හා පූසෝ තුන්දෙනාවත් ගේ ඇතුළට ගත්තා. අගෝස්තු 29වෙනිදා උදේ 10:00ට විතර බිලොක්සිවලට කුණාටුව ආවා. සිදු වූ දේ මතකයට නඟමින් ඉනෙල් කතාව කිව්වේ මෙලෙසින්. “ගෙයි පිටිපස්සේ කාමරයකට වතුර කාන්දු වෙනවා මම දැක්කා. ඊට පස්සේ හැම පැත්තෙන්ම ගේ ඇතුළට වතුර ආවා. අපි උඩුමහල් කාමරයට නැග්ගත් වැඩක් වුණේ නැහැ. එන්න එන්නම වතුර මට්ටම වැඩි වුණා. මේක ඇතුළේ කොටු වෙලා හිටියොත් හරියන්නේ නැහැ කියලා අපිට තේරුණා. අපි එතනින් එළියට ආව විදිහ හරි පුදුමයි.

“මගේ පුතා කවුළුවට දාලා තිබුණ දැල කපලා සිදුරක් හැදුවා. අපි ඒකෙන් රිංගලා අමාරුවෙන් පීනගෙන ගිහින් වහල අල්ලගත්තා. අපි තුන්දෙනෙක් ගෙයි දකුණු පැත්තට යද්දී දුව වම් පැත්තට ගියා. වහලේ අල්ලගෙන පාවෙවී ඉන්දැද්දී මම දැක්කා ලොකු ගහක්. ඉතින් පුතයි, නැන්දම්මයි, මමයි පීනගෙන ගිහින් ඒ ගහ තදින් අල්ලගෙන හිටියා. එතකොට මට ඇහුණා “අම්මේ! අම්මේ!” කියලා දුව කෑගහනවා. බෑනා කාමරෙන් එළියට ආවේ අන්තිමටයි. එතකොටම එයා පීනලා ගිහින් දුවව බේරගත්තා. පාරක රඳවලා තිබුණ බෝට්ටුවක් නිදැල්ලේ පාවෙවී තිබුණා. ඒ දෙන්නා කොහොමහරි ඒකට ගොඩ වුණා. අම්මේ එන්නකෝ කියලා ඒගොල්ලෝ මට ආයාචනා කළත් රුදුරු දිය පහරට අහු වෙනවට වඩා ගහේ ඉන්න එක වැඩිය හොඳ නිසා එතනින් හෙළවෙන්නේ නැහැ කියලා මම හිතාගත්තා.

“පහළ පාරවල් දිගේත්, ගෙයි වටේටත් වතුර ගහගෙන යනවා දකිද්දී මගේ මෝඩකම ගැන මට කල්පනා වුණා. නිවේදනයට කීකරු වුණා නම් මේ ටික වෙන්නේ නැහැනේ කියලා මට තේරුණා.

“වතුර ටිකෙන් ටික බහිද්දී අපි ඔක්කෝටම බෝට්ටුවට නැඟගන්න පුළුවන් වුණා! ගිලන් සේවා රථයක් ඇවිත් අපිව රෝහලට ගෙන ගියා. ඇති යන්තම් අපේ ජීවිත බේරුණා!”

සාක්ෂිකරුවන්ගේ පෙර සූදානම

එක්සත් ජනපදයේ මුහුදු තීරයේ පිහිටි ලුයිෂියානා සිට නැඟෙනහිරට පිහිටි ඇලබාමා දක්වා ප්‍රදේශවල නිවාස දහස්ගණනක් කැට්රීනා කුණාටුවෙන් පහර ලැබුවා. එහෙත් ඒ ප්‍රදේශවලට කුණාටු හැමීම අලුත් දෙයක් නොවෙයි. එමනිසා වසර ගණනාවක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා පිටවීමේ සැලසුම් යොදා තිබෙනවා. සෑම වසරකම කුණාටු හමන කාලය පටන්ගන්න කලින් ජූනි මාසයේදී පමණ නිව් ඕලියන්ස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 21ක් එම සැලසුම් ගැන යළි මතකයට නඟනවා. මේනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් හදිසි අවස්ථාවකදී ගත යුතු පියවර දැන සිටියා. කැට්රීනා සැඩ කුණාටුවේදී මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද?

ආරක්ෂිත ස්ථාන කරා පිට වෙන්න කියා රජයෙන් නිවේදනය කළ විගස සෑම සභාවකම වැඩිමහල්ලන් ක්‍රියාත්මක වී තම සභාවේ අනෙකුත් සාමාජිකයන්ට දිරිගැන්නුවා නගරයෙන් පිටවීමට. තම තමන්ගේ පවුල් හා මිත්‍රයන් සමඟ හුඟදෙනෙක් පිට වුණා. විශේෂ ප්‍රවාහණ සේවයකින් වයසක හා ආබාධිත අයව රැගෙන ගියා. සාක්ෂිකරුවන්ගේ ආපදා සහන සේවා කමිටු සාමාජිකයෙකු වූ ජෝන් පැවසුවේ “මේ සැලසුමට අනුව ක්‍රියාත්මක වූ නිසා හුඟදෙනෙකුව බේරගන්න පුළුවන් වුණා” කියලයි. ඒ අනුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් කුණාටුව එන්න කලින් නගරයෙන් පිට වුණා. කුණාටුවෙන් පහර ලබන කලාපයේ සිටින අයට නිසි උපකාර සැපයීමට එක්සත් ජනපදයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් හදිසි ආපදා සහන සේවා කමිටු පිහිටෙව්වා.

ක්‍රීඩාංගණයේදී සාක්ෂිකරුවන්ව සොයාගැනේ

ලුයිෂියානාවලින් පැමිණි සරණාගතයන් 16,000කට පමණ ටෙක්සස්වල හූස්ටන්හි පිහිටි ඇස්ට්‍රොඩෝම් ක්‍රීඩාංගණය පිහිට වුණා. එහිදී ඔවුන්ට ආහාර හා ජලය ලැබුණා. ඒ ජනකාය අතර සාක්ෂිකරුවන්ද සිටින බව හූස්ටන්හි සාක්ෂිකරුවන්ගේ ආපදා සහන සේවා කමිටුව දැනගත්තා. ඒත් කොහොමද මේ කට්ටියව සොයාගත්තේ?

සාක්ෂිකරුවන්ගේ වැඩිමහල්ලන් කණ්ඩායමක් සිකුරාදා දවසක් වූ සැප්තැම්බර් 2වෙනිදා හිමිදිරියේ එම ක්‍රීඩාංගණයට ගියේ උන් හිටි තැන් අහිමි වූ තම සෙසු සහෝදරයන්ව සොයාගෙනයි. එම දැවැන්ත ක්‍රීඩාංගණය පුරා විසිර සිටි බාල මහලු හැමෝම දැක ඔවුන් මවිතයට පත් වුණා. බූරු ඇඳන් දහස් ගණනක් හැම පැත්තෙම දකින්න තිබුණ අතර විසඳුමක් ලැබෙන තුරු ඉවසීමෙන් බලා සිටි සරණාගතයන්ගෙන් පාපන්දු පිටිය පිරී තිබුණා. වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හුඟදෙනෙක් පෝළිම් ගැහිලා හිටියා වගේම ප්‍රතිකාර දෙන අයත් ලහි ලහියේ අමාරු රෝගීන්ව ගිලන් රථවලින් ගෙන ගියා.

“මට හිතුණේ මං ඉන්නේ සරණාගත කඳවුරක් මැද්දේ කියලයි.” මෙසේ පැවසුවේ සෙසු සාක්ෂිකරුවන්ව සොයමින් සිටි වැඩිමහල්ලෙක් වන සැමුවෙල්. මෙපමණ විශාල සෙනඟක් අතර සිටින සාක්ෂිකරුවන් ටික දෙනාව ඔවුන් සොයාගන්නේ කොහොමද? පැය තුනක් තිස්සේ එහාට මෙහාට ඇවිද ඇවිද හෙව්වත් සොයාගන්න බැරි වුණ නිසා ඔවුන්ට වැටහුණා ඊට වඩා ප්‍රායෝගික ක්‍රමයක් අත්හදා බලන්න ඕන කියලා. නිවේදනයක් දෙන්න කියා ඔවුන් රතු කුරුස හමුදාවෙන් ඉල්ලා සිටි අතර “බව්තීස්ම ලත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටිනවා නම් පිටියේ නැඟෙනහිර පැත්තේ දොරටුව ළඟට යන්න” කියා නිවේදනය කළා.

ප්‍රීතියෙන් ඉපිළෙමින් සාක්ෂිකරුවන් පැමිණෙන්න පටන්ගත්තා. සැමුවෙල් දුටු දේ මෙසේ විස්තර කරනවා. “ඔවුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු කඩා හැළුණා. අපිව වැලඳගත් ඔවුන් අපේ අත් තදින් අල්ලගත්තා. ආපහු සෙනඟ අතරේ අතරමං වෙයි කියා සිතූ ඔවුන් අපේ අත් අල්ලගෙනම හිටියා.” සිකුරාදා සහ සෙනසුරාදා සාක්ෂිකරුවන් 24දෙනෙකුව සොයාගෙන සාක්ෂිකරුවන්ගේ සහන සේවා මධ්‍යස්ථානයට ගෙන ගියා.

ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට ඇඳගෙන සිටි ඇඳුම හැර වෙන කිසිවක් තමන් ළඟ ඉතිරි වෙලා තිබුණේ නැහැ. එක සාක්ෂිකාරියක් ළඟ සපත්තු පෙට්ටියක ප්‍රමාණයේ පොඩි පෙට්ටියක් තිබුණා. ඇයට ඉතිරි වී තිබුණේ ඒකේ දාලා තිබුණ අත්‍යවශ්‍ය ලියකියවිලි ටික විතරයි.

ඇස්ට්‍රොඩෝම්වලට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩිමහල්ලන් ඇවිත් ඉන්නවා කියලා දැනගත්ත හුඟදෙනෙක් ඔවුන් ළඟට ඇවිත් බයිබල් හා බයිබල් පොත් පත් ඉල්ලුවා. බයිබල් 220කට වැඩි සංඛ්‍යාවක් ඉල්ලුම් කළා. “ස්වාභාවික විපත් තව තවත් දරුණු වෙයිද?” යන තේමාවෙන් යුත් 2005 අගෝස්තු පිබිදෙව්! කලාපයත් සාක්ෂිකරුවන් බෙදාහැරියා.

සමහරු යළි තම නිවෙස් බලා යයි

නැවත නිවෙස් බලා යන අය අතර නිව් ඕලියන්ස්හි පළපුරුදු වාර්තාකරුවෙකු වූ රූපවාහිනි මධ්‍යස්ථානයේ කළමනාකරුද සිටියා. ඔහු මෙවැනි ව්‍යසනයන් රැසක් දැක තිබූ කෙනෙක්. ඔහුගේ නිවස පිහිටියේ ලුයිෂියානාවලයි. “සිද්ධ වෙලා තිබුණ ව්‍යසනය දැක්කහම මට අදහගන්න බැරි වුණා. වේලි කැඩිලා ඇල මාර්ගවල වතුර ගහගෙන යනවා අපි රූපවාහිනියෙන් දැක්කත් සැර සුළඟිනුත් මහත් ව්‍යසනයක් කරලා තිබුණ බව දැක්කේ එතනට ගියහමයි. මගේ නිවස කඩා වැටිලා. පුස් බැඳිලා, දිරාපත් වෙලා, ගඳ ගහ ගහ තිබුණා. ඒ ගඳ උහුලන්න බැරි වුණත් අපේ පණ බේරුණානේ. ඒ ඇති” කියලා ඔහු පැවසුවා.

මුලින් සඳහන් කළ ඇලන් නිව් ඕලියන්ස්හි බටහිර ගම්මානයක් වන මෙටේරීවල තමාගේ නිවසට ආපහු ගියා. කුණාටුවෙන් සිදු කළ මහත් විනාශය දුටු අවස්ථාව ගැන ඔහු මෙහෙම කිව්වා. “මාව ගල් ගැහුණා. මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැහැ. මුළු නගරයටම බෝම්බයක් දාලා වගෙයි. මේ දේවල් ප්‍රවෘත්තිවලින් අහනවටත් දකිනවටත් වඩා හුඟක් වෙනස්. මහ භයානක විනාශයක් වෙලා තියෙන තමන්ගේම ගමේ ඇවිදිනකොට දකින දෙයින් ඇඟ හිරි වැටෙනවා. කොහෙන් පටන්ගත්තද කොහෙන් ඉවර වෙයිද කියලා හිතාගන්න බැහැ.

“උන් හිටි තැන් ජරාවාස වෙලා, මිනී කුණු වෙලා. හැම තැනම උහුලන්න බැරි තරම් ගඳක්. ව්‍යාපාරයන් විනාශ වෙලා නැත්නම් ගහගෙන ගිහිල්ලා. බලන බලන හැම පැත්තෙම පොලිස් හා හමුදා භටයන්. හරියට යුධ පිටියක් වගෙයි.”

සහන සේවාවන්

නාගරික, ප්‍රාන්ත හා රාජ්‍ය අධිකාරීන් සහන සැලසුම් යෙදුවා. ප්‍රධාන ජාතික සංවිධානය වන FEMA (Federal Emergency Management Agency) සංවිධානයත්, වෙනත් සංවිධානත් ව්‍යසනයට ලක් වූ දහස් ගණනකට උපකාර සැපයීමට ක්‍රියාත්මක වුණා. කුණාටුවෙන් පහර ලැබූ කලාපයට ආහාර, ඇඳුම් පැළඳුම් හා වතුර ට්‍රක් රථවලින් ගෙන එනු ලැබුවා. මුල් දවස් ටිකේ හෝ සති කීපයේ එම ජනතාවගේ දිවි රැකීමට FEMA සංවිධානයෙන් අවශ්‍ය මුදල් ලබා දුන්නා. මේ අතරතුරේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තත්වය කුමක් වුණාද?

හානියට සරිලන අලුත්වැඩියාවක්

කුණාටුවෙන් පහර ලැබූ කලාපයේ සාක්ෂිකරුවන්ගේ නිවාස හා රාජ්‍ය ශාලා කීයක් හානියට හෝ විනාශයට පත්ව තිබේදැයි ගණනය කිරීමට සාක්ෂිකරුවන්ව කණ්ඩායම් වශයෙන් යෙදෙව්වා. මොවුන් කොහොමද මෙවැනි විශාල කාර්යයක් ඉටු කළේ? නිව් යෝර්ක්, බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය එක්සත් ජනපදයේ ශාඛා කමිටුවට නිර්දේශ කළා සහන සේවා කමිටු පත් කිරීමට. ඒ විතරක් නෙවෙයි, අලුත්වැඩියාවන් හා ඉදි කිරීම් සඳහා එක්සත් ජනපදයේ බොහෝ පැතිවලින් ප්‍රාදේශීය ඉදි කිරීමේ කමිටුද කැඳෙව්වා. * ඔවුන් අතින් ඉටු වුණේ මොන වගේ දේවල්ද?

මිසිසිපිවල ලෝං බීච් සහන සේවා කණ්ඩායම 2006 පෙබරවාරි 17 වෙන විට වාර්තා කළේ එම ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ගේ හානි වූ නිවාස 632කින් 531ක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර තිබෙන අතර තවත් 101ක් අලුත්වැඩියා කිරීමට තිබෙන බවයි. සාක්ෂිකරුවන් වෙනත් ආගම්වල සිටින තම අසල්වැසියන්ටත් උපකාර කළා. රාජ්‍ය ශාලා 17ක වහලවල්වලට සෑහෙන හානියක් වී තිබුණු අතර පෙබරවාරි මැදභාගයේදී ඉන් 16කටම අලුතෙන් වහලවල් ගැහැව්වා. ලුයිෂියානාහි බැටන් රූෂ් කමිටුව ගැන කිව හැකි යමක් ඇද්ද?

කැට්රීනා සැඩ කුණාටුවෙන් විශාල හානියක් සිදු වූ ලුයිෂියානා ප්‍රදේශය ගැන බලන්නේ ඔවුන්. එහි සාක්ෂිකරුවන්ගේ නිවාස 2,700කින් 1,119ක් පෙබරවාරි මැදභාගය වෙද්දී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇතත් තවත් විශාල වැඩ කොටසක් මෙම කණ්ඩායම පිට පැට වී තිබෙනවා. මෙහිදීත් තම අසල්වැසියන්ගේ දැඩි අවශ්‍යතාවන් සඳහා උපකාර කළා. රාජ්‍ය ශාලා 50කට බරපතළ හානි සිදු වී තිබුණු අතර පෙබරවාරි 25 වෙනකොට ඉන් දහයක් අලුත්වැඩියා කරනු ලැබුවා. ටෙක්සස්හි හූස්ටන් කණ්ඩායමට සැප්තැම්බර්වලදී රීටා සැඩ කුණාටුවෙන් හානි වූ නිවාස 871 අලුත්වැඩියා කිරීමට සිදු වුණා. පෙබරවාරි 20 වන විට 830ක වැඩ නිම කළා.

කැට්රීනාගෙන් පාඩමක්

රුදුරු කැට්රීනා කුණාටුවෙන් පහර ලැබූ දහස් ගණනක් අනතුරු ඇඟවීමේ නිවේදනවලට සවන් දීමේ අවශ්‍යතාව ඉබේම ඉගෙනගත්තා. ඇත්තෙන්ම හුඟදෙනෙකුගේ අදහසත් කලින් සඳහන් කළ ජෝගේ අදහසමයි. ඔහු පැවසුවේ “අනතුරුදායක ස්ථානවලින් ‘ඉවත් වෙන්න’ කියලා කිව්වොත් මම තමයි ඉස්සෙල්ලම යන්නේ!” කියායි.

මෙක්සිකෝ බොක්ක ආසන්න කලාපයේ සිටින්නන්ට සාක්ෂිකරුවන් දිගටම සහන සේවා සපයමින් සිටිනවා. (ගලාති 6:10) එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවය වන්නේ මිනිසුන්ට ආධාර උපකාර සැපයීම පමණක්ම නෙවෙයි. ලොව පුරා රටවල් 235ක යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රධාන සේවයක නියැලෙමින් කුණාටුවකට වඩා වැඩි වැදගත්කමක් ඇති දෙයක් ගැන අනතුරු අඟවනවා. එම අනතුරු ඇඟවීම නම් පවතින මෙම අභක්තික ක්‍රමයට දෙවි ළඟදීම අවසානයක් ගෙනෙන බවයි. ඒ ගැන බයිබලයේ පුරෝකථනය කර තිබෙනවා. දෙවි එය කරන්නේ මේ පොළොවේ දූෂිත තත්වය මුළුමනින්ම ඉවත් කර පොළොව යළි ඔහුගේ කැමැත්තට අනුව අලුත් කිරීමෙනුයි. මෙම විනිශ්චයේ කාලය ගැන බයිබලයේ පවසන දේ ඔබ දැනගන්න කැමති නම් ඔබේ පළාතේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. නැත්නම් මෙම සඟරාවේ පස්වන පිටුවේ තිබෙන යෝග්‍ය ලිපිනයකට ලියන්න.—මාක් 13:10; 2 තිමෝති 3:1-5; එළිදරව් 14:6, 7; 16:14-16.

[පාදසටහන]

^ 32 ඡේ. ප්‍රාදේශීය ඉදි කිරීමේ කමිටුවලට ඇතුළත් වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්වේච්ඡා සේවකයන්ගේ කණ්ඩායම්. ඔවුන් රාජ්‍ය ශාලා ඉදි කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ අතිදක්ෂයන්. ලොව පුරා මෙවැනි කමිටු ගණනාවක් තිබෙන අතර එක්සත් ජනපදයේ මෙවැනි කණ්ඩායම් 100ක් පමණ තිබෙනවා.

[14, 15වන පිටුවේ පින්තූරය]

කැට්රීනා කුණාටුවේ කේන්ද්‍රස්ථානය චන්ද්‍රිකා ඇසින්

[හිමිකම් විස්තර]

NOAA

[15වන පිටුවේ පින්තූරය]

යට වූ නිව් ඕලියන්ස්

[15වන පිටුවේ පින්තූර]

AP Photo/David J. Phillip

[15වන පිටුවේ පින්තූර]

කැට්රීනා කුණාටුවෙන් ගොඩනැඟිලි හා ජීවිත විනාශ වෙයි

[හිමිකම් විස්තර]

AP Photo/​Ben Sklar

[16, 17වන පිටුවේ පින්තූරය]

ටෙක්සස්හි ඇස්ට්‍රොඩෝම් ක්‍රීඩාංගණය 16,000කට පමණ නවාතැන් දී

[17වන පිටුවේ පින්තූර]

සාක්ෂිකරුවන්ව සෙවූ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්

[18වන පිටුවේ පින්තූරය]

අබලං වූ වහලක් අලුත්වැඩියා කරන ස්වේච්ඡා සේවකයන්

[18වන පිටුවේ පින්තූරය]

නිවාස අලුත්වැඩියා කර දීම ගැන තුති පුදන සාක්ෂිකරුවන්

[18වන පිටුවේ පින්තූරය]

ස්වේච්ඡා සේවකයන් ආහාර සපයමින්

[19වන පිටුවේ පින්තූරය]

ඇලන්