Skip to content

පටුනට යන්න

මුලින්ම සිදු වූ වරද කුමක්ද?

මුලින්ම සිදු වූ වරද කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

මුලින්ම සිදු වූ වරද කුමක්ද?

මේ ප්‍රශ්නයට පිළිතුර අපි කාටත් වැදගත් වෙනවා. එහෙම කියන්න හේතුව ආදම් සහ ඒව දෙවිට අකීකරු වීමෙන් ඇති වූ ප්‍රතිඵලය ඔවුන්ගෙන් පැවත ආ සියල්ලන්ටම බලපෑ නිසයි. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.” (රෝම 5:12) එහෙත් ගහකින් පලතුරක් කඩාගෙන කෑම තරම් සුළු ක්‍රියාවකින් එවන් අතිමහත් දරුණු ප්‍රතිඵලයක් ඇති වන්නේ කොහොමද?

දෙවි ආදම් සහ ඒවව මවා ඔවුන්ව පදිංචි කෙරෙව්වේ සාරවත් ලෙස ගස් වැල් වැවී තිබෙන පල භෝගවලින් පිරි උද්‍යානයකයි. ‘යහපත හා නපුර දැනගැනීමේ ගහ’ ලෙස වෙන් කළ ගසෙන් පමණක් කෑම තහනම් කර තිබුණා. ආදම් හා ඒවට තීරණ ගැනීමේ නිදහස දී තිබුණ නිසා දෙවිට කීකරු වන්න හෝ නොවන්න ඔවුන්ට හැකිකම තිබුණා. කෙසේවෙතත් “එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නසින්නෙහිය” කියා ආදම්ට අනතුරු ඇඟෙව්වා.—උත්පත්ති 1:29; 2:17.

සාධාරණ තහනමක්

මෙම එක තහනම ලොකු ගැටලුවක් නොවුණේ ආදම් සහ ඒවට වෙන ඕනෑම ගසකින් කන්න අවසර දී තිබුණ නිසයි. (උත්පත්ති 2:16) අනෙක එම තහංචිය දැමුවේ ඒ යුවළගේ වරදක් තිබුණු නිසා නොවෙයි. එමනිසා එය ඔවුන්ට අවනම්බු කිරීමක් වුණේ නැහැ. තිරිසන් වැඩක් හෝ මිනීමැරීමක් වැනි දෙයක් නොකරන්න කියා තහනමක් දැමුවා නම්, මිනිසුන්ව මැව්වේ යම් අඩුවක් ඇතුව කියා සමහරුන් හිතන්න ඉඩ තිබෙනවා. නමුත් ආහාර ගැනීම ඒ වගේ දෙයක් නෙවෙයි. එය සුදුසු මෙන්ම සාමාන්‍ය දෙයක්.

තවත් සමහරුන් විශ්වාස කරන්නේ තහනම් පලයෙන් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම් කිරීමක් සංකේතවත් කරනවා කියායි. නමුත් ශුද්ධ ලියවිල්ල වන බයිබලයේ එවැනි අදහසකට රුකුල් දෙන්නේ නැහැ. දෙවි එම තහනම දමන විට ආදම් සිටියේ තනිවමයි. පෙනෙනාකාරයට ඔහු සෑහෙන කලක් තනියෙන් ඉඳලා තියෙනවා. (උත්පත්ති 2:23) අනික දෙවි ආදම් සහ ඒවට පැවසුවේ “ඔබ සඵලව බෝ වෙමින් පොළොව පුරා පැතිර” යන්න කියායි. (උත්පත්ති 1:28) දෙවිම නීතියක් දී ඒ නීතිය කඩන්න නැවත අණ කර, එසේ කිරීමෙන් පසු ආදම් සහ ඒවව මරණයට පත් කරන්න දෙවිට අවශ්‍යතාවක් නැහැ. (1 යොහන් 4:8) අනික ඒව එම පලයෙන් තනියම කෑවට පසුවයි ඇගේ සැමියා වූ ආදම්ටත් එයින් කන්න දුන්නේ. (උත්පත්ති 3:6) එහෙමනම් එම පලය ලිංගික සම්බන්ධකම් සංකේතවත් නොකරන බව පැහැදිලියි.

හරි වැරැද්ද පිළිබඳව තනි තීරණයක් ගැනීම

යහපත හා නපුර දැනගැනීමේ ගහ සාමාන්‍ය සැබෑ ගසක්. පාලකයා හැටියට තමා මැවූ මිනිසුන්ට හොඳ දේ හා නරක දේ තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ දෙවිටය යන කාරණයයි එම ගසෙන් සංකේතවත් කළේ. එමනිසා එම ගහෙන් කෑම දෙවිට අයිති දෙයක් සොරකම් කිරීමක් පමණක් නොව තමන්ට හරියි කියා හිතෙන දේ උඩඟු ලෙස කිරීමක්ද වෙනවා. සාතන් ඒවව රැවැට්ටුවේ ඇයත් ඇගේ සැමියාත් එම පලයෙන් කෑවොත් ‘ඒකාන්තයෙන් නොනසින්නහුය’ කියා බොරුවක් කීමෙනුයි. ඊට අමතරව ඒවට මෙවැනි සහතිකයක්ද දුන්නා. “මක්නිසාද ඔබ එයින් කෑ දවසෙහි ඔබගේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”—උත්පත්ති 3:4, 5.

අන්තිමේදී පලය කෑ පසු ආදම් හා ඒවට යහපත හා නපුර සම්බන්ධයෙන් දෙවිගේ අවබෝධය ලබාගන්න බැරි වුණා. පසුව ඒව දෙවිට පැවසුවේ මෙයයි. “සර්පයා මා රැවටුවේය.” (උත්පත්ති 3:13) කෙසේනමුත් ඔවුන් දෙවිගේ ආඥාව දැන සිටියා. සාතන් භාවිත කළ සර්පයාට පවා එය යළි පැවසුවා. (එළිදරව් 12:9) එසේනම් ඇය අකීකරු වුණේ හිතාමතාමයි. (උත්පත්ති 3:1-3) ඒත් ආදම් රැවටුණේ නැහැ. (1 තිමෝති 2:14) තම මැවුම්කරුව විශ්වාස කර කීකරු වෙනවා වෙනුවට ඔහු තම බිරිඳට ඇහුම්කන් දී ඇගේ හිතුවක්කාර ක්‍රියා මාර්ගයම අනුගමනය කළා.—උත්පත්ති 3:6, 17.

තමන්ට ස්වාධීනත්වය වුවමනා බව පළ කිරීමෙන් ආදම් සහ ඒව යෙහෝවා සමඟ තිබූ සබඳතාව සදහටම නැති කරගත්තා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයටත් හානි පමුණුවාගත්තා. ඔවුන් වසර සිය ගණන් ජීවත් වුණත් ගහකින් කපා දැමූ අත්තක් මෙන් ජීවත්ව සිටියදීම මිය යන්න පටන්ගත්තේ ‘ඒ දවසේදීමයි.’ (උත්පත්ති 5:5) එමෙන්ම පළමු වතාවට ඔවුන්ට හිතේ සාමය නැති වී ගියා. දෙවි ඉදිරියේ ලජ්ජාවට පත් වන තත්වයක ඉන්න බව ඔවුන්ට වැටහී ඔහුගෙන් සැඟවෙන්න වෑයම් කළා. (උත්පත්ති 3:7, 8) ඒත් එක්කම ඔවුන්ට වරදකාරීබවක්, අනාරක්ෂිත තත්වයක් සහ ලජ්ජාවක් ඇති වුණා. ඔවුන් කළ වරද නිසා ඔවුන් තුළම වියවුල්කමක් ඇති වී ඔවුන් කළ වරද ගැන ඔවුන්ගේ හිත ඔවුන්ටම වද දෙන්න පටන්ගත්තා. දෙවි තමන්ගේ වචනයට හා ශුද්ධ ප්‍රමිතියට අනුව ක්‍රියා කරමින් ආදම් හා ඒවට මරණ දඬුවම නියම කර ඔවුන්ව ඒදන් උයනෙන්ද පන්නා දැමුවා. (උත්පත්ති 3:19, 23, 24) එමනිසා පාරාදීසයත්, සතුටත්, සදා ජීවනයත් අහිමි වූ අතර ඔවුන්ට දුක් පීඩා විඳ මිය යන්න සිදු වුණා. අනේ මිනිස් සංහතියට සිදු වුණ ඛේදවාචකයක මහත! කෙසේනමුත් එම යුවළ මිය යන බව පැවසීමෙන් පසු දෙවි පොරොන්දු වුණා ඔවුන්ගෙන් පැවතෙන්නන්ට සිදු වන හානිය ඉවත් කරන්න. දෙවි එම පොරොන්දුව ඉටු කරන්නේ තමන්ගේම ප්‍රමිතිවලට එකඟවයි.

ආදම් හා ඒවගෙන් පැවතෙන අයව මුල් වරදේ ප්‍රතිඵලවලින් හා මරණයෙන් ගලවාගැනීමට යෙහෝවා අරමුණු කළා. දෙවි එම අරමුණ ක්‍රියාත්මක කළේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්. (උත්පත්ති 3:15; මතෙව් 20:28; ගලාති 3:16) මිනිසාගේ වරද සහිතබවත්, මුලින් කළ වරද නිසා ඇති වූ ප්‍රතිඵලත් දෙවි යේසුස් මගින් ඉවත් කර දෙවිගේ මුල් අරමුණ ඉටු වෙන්න සලස්වමින් ඉදිරියේදී මුළු පොළොවම පාරාදීසයක් කරනවා.—ලූක් 23:43; යොහන් 3:16.

ඔබ මේ ගැන හිතුවාද?

▪ තහනම් පලය කායික සම්බන්ධකම් පැවැත්වීම නොවන බව අප දන්නේ කෙසේද?—උත්පත්ති 1:28.

▪ තහනම් පලය කෑමෙන් අදහස් වුණේ මොකක්ද?—උත්පත්ති 3:4, 5.

▪ මුල් වරදේ ප්‍රතිඵල ඉවත් කිරීමට දෙවි කළේ කුමක්ද?—මතෙව් 20:28.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තහනම් පලය කායික සම්බන්ධකම් නෙවෙයි

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි මෙන් වීමට වුවමනා වී ඒව තම කැමැත්ත අනුව යහපත හා නපුර තීරණය කළා