Skip to content

පටුනට යන්න

අඳුරෙන් එළියට

අඳුරෙන් එළියට

අඳුරෙන් එළියට

විසාන්ටේ ගොන්සාලෙස් පැවසූ පරිදි

හතර පාරක් වෙඩි තියාගත්තත් මාව මැරුණේ නැහැ කියලා දැනගත්ත අසල්වාසීන් සුපර්මෑන් කියලා මාව නම් කළා. ඒත් මට ඒ වගේ බලයක් කොහෙත්ම නැහැ. වෙඩි තියාගත්ත හේතුව දැන් මම පැහැදිලි කරන්නම්.

මම ඉපදුණේ 1951දී ඉක්වදෝරයේ ග්වායාකිල්වලයි. මට සහෝදර සහෝදරියන් අට දෙනෙක් හිටියා. මගේ දෙමාපියන් මුහුද අසල පිහිටි ‘ද ඉන්වෙෂන්ස්’ කියා හැඳින්වූ ප්‍රදේශයක ගෙයක් හැදුවා. දිලිඳු පවුල් නීති විරෝධීව ඒ ප්‍රදේශයට “බලෙන්” ගිහින් ගෙවල් හදාගෙන තිබුණා. එය මඩ වගුරු සහිත ප්‍රදේශයක් වුණ නිසා ගෙවල් හැදුවේ ලී ආධාරක මතයි. ඒ ගෙවල්වල බිත්ති හදලා තිබුණේ උණ බම්බුවලින්. වහලට ටකරං දාලා තිබුණා. අපිට විදුලි බලය තිබුණේ නැහැ. අපි ඉව්වේ දර ලිපේ. බොන වතුර ගේන්න කිලෝමීටරයක දුරක් ඇවිදින්න සිද්ධ වුණා.

මගේ අක්කලාටයි අයියලාටයි බාල වයසේදීම රැකියාවන් කරන්න සිදු වුණා. පාසැල් අධ්‍යාපනය හරියට නිම කිරීමටත් කලින්, වයස අවුරුදු 16දී මමත් ෆැක්ටරියක සුළු රැකියාවක් කරන්න පටන්ගත්තා. ඊට පස්සේ මම යාළුවොත් එක්ක බොන්න පුරුදු වුණා විතරක් නෙවෙයි නරක ජීවිතයකටත් වැටුණා. ඒ ගැන මගේ හිත වද දුන්න හැම අවස්ථාවකදීම මම පූජකවරයා ළඟට ගිහින් පාපෝච්චාරණය කළා. “පුතා, ඔයා හොඳ පාපෝච්චාරණයක් කළේ” කියලා පූජකවරයා මට කිව්වේ මට කිසිම ආගමික උපදෙසක් නොදෙමිනුයි. ඒනිසා මම ඒ වැරදිම නැවත නැවතත් කළා. ටික කලක් යද්දී වැරදි වැඩක් කිරීමෙන් පසුව පාපෝච්චාරණය කිරීම මහ බොරු වැඩක් කියලා හිතුණ නිසා මම පල්ලි යන එකත් නවත්වලා දැම්මා. ඒ කාලේදීම මට සමාජයේ සිද්ධ වෙන අසාධාරණකමුත් පෙනුණා. විශාල පිරිසක් වූ දුගී ජනතාව පණකෙන්ද රැකගන්න දාඩිය මුගුරු වගුරවද්දී, ධනවතුන් සුළු පිරිසක් සුඛෝපභෝගී දිවියක් ගත කරනවා මම දැක්කා. ජීවිතයේ කිසිම අර්ථයක් තිබුණේ නැහැ. මට අනාගතයක්වත් අරමුණක්වත් නැහැ කියලා මට සිතුණා.

මෙහෙම ඉද්දී දවසක් මම දැක්කා මගේ අක්කලා දෙන්නයි නංගිලා දෙන්නයි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් කියවනවා. මමත් ඒවා කියවන්න පටන්ගත්තා. සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය යන පොතට විශේෂයෙන්ම මගේ හිත ගියා. හුඟක් බයිබල් විෂයන් ගැන ඒකේ තර්කානුකූලව පැහැදිලි කරලා තිබුණා. ‘මේක තමයි සත්‍ය’ කියලා මම හිතාගත්ත දවස අද වගේ මට මතකයි. ඒත් සත්‍යයට එකඟව ජීවත් වීම පහසු දෙයක් නෙවෙයි කියන කාරණය ඊළඟ අවුරුදු 15 තුළ මට හොඳටම පැහැදිලි වුණා.

වයස අවුරුදු 22දී මම බැංකුවක වැඩ කරන්න පටන්ගත්තා. බැංකුවෙන් හොර රහසේ සල්ලි අරගෙන පස්සේ නැවත බැංකුවට ඒ මුදල දාන ආකාරය තව බැංකු සේවකයෙක් මට පෙන්නලා දුන්නා. මම ඒ විදිහට බැංකුවෙන් සල්ලි ගන්න පටන්ගත්තා. අන්තිමේදී ආපහු ගෙවන්න බැරි ප්‍රමාණයක් මම අරගෙන තිබුණා. මගේ අපරාධය සඟවන්න බැරි තත්වයකට ආවා. මම අන්තයටම කලකිරුණා. මගේ වරද හෙළි කරලා සිය දිවි නසාගන්න හිතාගත්තා.

බැංකුවට ලියුමක් ලියලා තියලා මුහුදු වෙරළේ කවුරුත් වැඩිය ගැවසෙන්නේ නැති තැනකට ගිහින් පිස්තෝලෙන් මගේ ඔළුවට දෙපාරකුත් පපුවට දෙපාරකුත් වෙඩි තියාගත්තා. දරුණු තුවාල ඇති වුණත් මැරුණේ නැහැ. මාව දැක්ක කෙනෙක් ඉක්මනටම මාව රෝහලකට අරගෙන ගියා. සුව වුණාට පස්සේ සොරකම් කිරීමේ වරදට මාව හිරේ යැව්වා. මම කළ අපරාධය නිසා නිදහස් වුණාට පස්සේ මට ලොකු ලැජ්ජාවක් සහ කලකිරීමක් දැණුණා. මගේ අසල්වැසියන් මට සුපර්මෑන් කියල කිව්වේ වෙඩි පාරවල් හතරකින්ම මම මැරුණේ නැති නිසයි.

වෙනස් වෙන්න ප්‍රස්තාවක්

මේ අතරතුරේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරිවරයෙකු වන පෝල් සාන්චේස් මාව හමු වෙන්න ආවා. එක පාරටම මගේ නෙත් ඇදී ගියේ එයාගේ සිනාමුසු මුහුණටයි. ඔහු හැම වෙලේම සිටියේ සතුටින්. හැම දෙයක් දිහාම බැලුවේ ශුභවාදිවයි. ඒ නිසා මා සමඟ බයිබලය පාඩම් කිරීමට ඔහු කළ ඇරයුමට ඉබේටම වගේ මට හා කියවුණා. ‘සතුටක් ලබාගන්නත්, ජීවිතයට අරමුණක් හොයාගන්නත් මට උපකාර කරන්න මෙයාට සමහරවිට පුළුවන් වෙයි’ කියලා මම හිතුවා.

මිනිසුන් ගැන දෙවිට යම් අරමුණක් තිබෙන බවත්, ඔහුට ප්‍රේම කරන හා කීකරු වෙන අය ඉදිරියේදී පාරාදීස පොළොවක ජීවත් වෙන බවත් පෝල්ගේ උපකාරයෙන් මම ඉගෙනගත්තා. (ගීතාවලිය 37:29) අසාධාරණය හා දිලිඳුකම දෙවි ඇති කළ දෙයක් නොව දෙවිට විරුද්ධව මිනිසා කැරළිගැසූ නිසා ඇති වූ දෙයක් බවත් මම දැනගත්තා. (ද්විතීය කථාව 32:4, 5) මේ සත්‍යයන් මගේ ජීවිතයට එළියක් ගෙන දුන්නා. ඒත් පරණ ගති වනස් කරන එක බයිබලය පාඩම් කරන එකට වඩා අමාරු කාර්යයක් වුණා.

මට කොම්පැනියක මුදල් භාරව කටයුතු කිරීමේ රැකියාවක් ලැබුණා. ආපහු පරීක්ෂාවට වැටිලා මම සොරකම් කරන්න පටන්ගත්තා. මගේ සොරකම තවදුරටත් සඟවාගන්න බැරි වුණ නිසා ඉක්වදෝරයේ වෙන නගරයකට පලා ගිහින් අවුරුද්දක් විතර එහේ හිටියා. ඒ අතරතුරේ රටෙන් පැනගන්න වෙර දැරුවත් කිසි වැඩක් වුණේ නැහැ. ඒනිසා ආපහු මම ගෙදර ආවා.

නැවතත් පෝල් මාව සොයාගෙන ආවා. අපි ආපහු පාඩම පටන්ගත්තා. මේ පාර බයිබලයේ ප්‍රතිපත්තිවලට එකඟව මගේ ජීවිතය ගත කරන්නත්, යෙහෝවා දෙවිට සේවය කරන්නත් මම අධිෂ්ඨාන කරගත්තා. මං කරපු වංක දේවල් ගැන පෝල්ට මම කිව්වා. ඔහු මට පැහැදිලි උපදෙස් ටිකක් දුන්නා. “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, අග හිඟකමින් සිටින කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කරන්න” වැනි බයිබල් පද ඔහු මට පෙන්නුවා. (එෆීස 4:28) මම කළ වැරැද්ද කියා දී, ඒ සඳහා විඳින්න සිදු වන දඬුවම භාරගැනීමට සිදු වන බව මට තේරුණා.

මං පත් වෙච්ච තත්වය ගැන කල්පනා කරන අතරතුර චිත්‍රශිල්පියෙක් හැටියට තනියෙන් වැඩ කරන්න පටන්ගත්තා. දවසක් එක්කෙනෙක් ආවා මං ඇන්ද චිත්‍රයක් ගන්න. ඒත් ඔහු රහස් පරීක්ෂකවරයෙක් බව පවසමින් මාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් පෙන්නුවා. නැවත වතාවක් උසාවියේ පෙනී සිටින්නත් ඊට පස්සේ හිරේ ලගින්නත් මට සිද්ධ වුණා. පෝල් මාව බලන්න ආවහම “මට බයිබලය තේරුම් කරන්න ඔයා ගන්න වෑයම අපතේ ගියා කියලා හිතන්න මම ඉඩ තියන්නේ නැහැ” කියලා මම ඔහුට පොරොන්දු වුණා. මම හිරේ ඉන්දැද්දීත් අපි දිගටම පාඩම කළා.

මම මගේ අවංකකම ඔප්පු කළා

නිදහස් වුණහම මම මුළු හදින් යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණයක් ගත්තා. ඊළඟ අවුරුදු දෙක තුළ මම මගේ අවංකකම ඔප්පු කළා. මං 1988දී යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්ම වී, නාස්ති වූ කාලයට හරියන්න පූර්ණ කාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා. කල්ලි ගැහිලා ඉන්න තරුණයන්ට දෙවි ගැන කියා දෙන්න මම විශේෂ වෑයමක් ගත්තා.

එවැනි එක්තරා කණ්ඩායමක අය නිතරම අපි රැස්වීම් පවත්වන රාජ්‍ය ශාලාවේ බිත්තිවල නොයෙකුත් දේවල් ලියලා කුරුටු ගෑවා. ඒ තරුණයන් සිටි තැන් දැනගෙන හිටිය නිසා මම ඔවුන්ව මුණගැහෙන්න ගියා. අපේ රාජ්‍ය ශාලා තුළ සිදු වෙන දේ ඔවුන්ට පැහැදිලි කිරීමෙන් පසුව එවැනි දේවල් නොකරන මෙන් මම කාරුණිකව ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඊට පස්සේ ඔවුන් ඒ දේ කළේ නැහැ.

කාලෙකට පස්සේ ශාලාව අලුත්වැඩියා කිරීමෙන් පසුව බිත්තිවලට තීන්ත ගෑම සඳහා අපි පරණ තීන්ත සූරමින් සිටියා. එතකොට යෞවන සාක්ෂිකරුවෙකු වූ ෆර්නෑන්ඩෝ, පරණ තීන්ත තට්ටුවක් යට ලියලා තිබුණ දෙයක් දැකලා ඒක කියෙව්වා. ලියලා තිබුණේ “ගෙම්බා” කියලයි. (ස්පාඤ්ඤ භාෂාවෙන් ලා රානා) “ඒ මගේ කලින් නම!” කියා ඔහු පැවසුවා. ඔහු කල්ලියක සාමාජිකයෙක් හැටියට හිටිය කාලෙදී ඔහුව හැඳින්වූ නම බිත්තියේ ලියලා තියන්නේත් ඔහුමයි. ඒක මකලා දැම්මේත් එයාමයි!

ෆර්නෑන්ඩෝව මට මුලින්ම මුණගැහෙද්දී එයා මත් ද්‍රව්‍යවලට හොඳටම ඇබ්බැහි වෙලයි හිටියේ. ඔහුගේ අම්මා ඔහුව පුනරුත්ථාපන කඳවුරු දෙකකට යවලා තිබුණත් වැඩක් වෙලා තිබුණේ නැහැ. මොන තරම් මහන්සි වුණත් වැඩක් නැහැ කියලා හිතුව ඇය ඔහුව නිවසේ තනි කර වෙනත් තැනක පදිංචියට ගිහින් තිබුණා. ෆර්නෑන්ඩෝ මත් ද්‍රව්‍ය අරගන්න ගෙදර තිබුණ හැම දෙයක්ම, දොර ජනෙල් සහ නිවසේ වහල පවා විකුණලා. මට ඔහුව දවසක් මුණගැහුණේ පාරේදීයි. ඔහුට සිසිල් බීම එකක් දීලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා මම ඇහැව්වා. ඔහු කැමති වෙලා හොඳින් සත්‍යය ඉගෙනගත්තා. ඔහුගේ කල්ලියේ සාමාජිකත්වයෙන් අයින් වුණ ඔහු මත් ද්‍රව්‍ය පුරුද්ද අත්හැරලා ක්‍රිස්තියානි රැස්වීම් යන්න පටන්ගත්තා. වැඩි කල් නොගොස් ඔහු බව්තීස්මත් වුණා.

ෆර්නෑන්ඩොයි මමයි ගෙයින් ගෙට දේශනා සේවයේ යනකොට බොහෝවිට මිනිස්සු අපිව අඳුනගෙන “ගෙම්බා!” නැත්නම් “සුපර්මෑන්!” කියලා අපිට කිව්වා. අපි මොනවද කරන්නේ කියලා පුදුමෙන් ඇහැව්වා. කලින් කල්ලියක හිටිය කෙනෙකුත් කලින් හොරෙක් වෙලා හිටිය කෙනෙකුත් බයිබල් අතේ අරගෙන ඔවුන්ව මුණගැහෙන්න ඒම ඔවුන්ට ඇත්තෙන්ම පුදුමයක් වුණා.

දවසක් මම එක මනුස්සයෙකුට සාක්ෂි දරමින් ඉන්දැද්දී ෆර්නෑන්ඩෝ ඔහුගේ අසල්වැසියෙකුට කතා කළා. ෆර්නෑන්ඩෝ දෙසට අත දිගු කරමින් ඒ මනුස්සයා මට මෙහෙම කිව්වා. “අර හාදයා තුවක්කුවක් පෙන්නලා දවසක් මට තර්ජනය කරානේ.” ෆර්නෑන්ඩෝ දැන් ඉස්සර වගේ නෙවෙයි. ඔහු දැන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන කෙනෙක් කියලා මම ඔහුට සහතික කළා. ෆර්නෑන්ඩෝ අසල්වැසියාට කතා කරලා ඉවර වුණාට පස්සේ මම ඔහුව ඒ මිනිසාට හඳුන්වලා දුන්නා. එතකොට ඔහු “මට හරි සන්තෝසයි ඔයා ගැන. ඔයා ඔයාගේ ජීවිතේ වෙනස් කරලා තියෙන එක ගැන ඔයාට ප්‍රශංසා කරන්න මම කැමතියි!” කියලා පැවසුවා.

ෆර්නෑන්ඩෝටයි මටයි ඒ වගේ ප්‍රශංසා නිතරම වගේ ලැබුණා. ඒ වගේ අවස්ථාවලදී අපිට කදිම සාක්ෂියක් දරන්න අවස්ථා උදා වුණා විතරක් නෙවෙයි බයිබල් පාඩම් පටන්ගන්නත් අපිට පුළුවන් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියා අපිව හඳුන්වා දීමට ලැබීම ෆර්නෑන්ඩෝටයි මටයි ඇත්තෙන්ම ලොකු ගෞරවයක්.

මගේ ජීවිතයේ තවත් වෙනසක්

වර්ෂ 2001දී පේරූවල පැවැත්වූ දේවසේවා පුහුණු පාසැලට සහභාගි වීමට මට ඇරයුමක් ලැබුණු වෙලාවේ මට ඇති වුණ සතුට විස්තර කරන්න වචන නැහැ. එතකොට මගේ වයස අවුරුදු 50යි. සුදුසුකම් ලත් සාක්ෂිකරුවන්ට තම දේවසේවය සාර්ථකව කරගෙන යෑම සඳහා අවශ්‍ය ගැඹුරු බයිබල් උපදෙස් සති අටක කාලයක් පුරා ලැබෙනවා.

එක දෙයක් හැර පාසැලේ හැම අංගයකින්ම මට ඉමහත් සතුටක් ලැබුණා. සබයක් අමතා කතා කරන එක නම් මට අමාරු භය උපදවන දෙයක් වුණා. මට වඩා වයසින් බාල ශිෂ්‍යයන් හුඟදෙනෙක් හොඳ විශ්වාසයකින් කදිම කතා දුන්නා. ඒත් මගේ මුල් කතාව දෙන්න මම වේදිකාවට ගියාම, කුඩා කාලේ ඉඳලා මට දැනුණු නොවටිනාකමේ හැඟීම් මට වද දෙන්න පටන්ගත්තා. මගේ දණහිස් කිටි කිටි ගා ගැහෙන්නත්, දාඩිය දැමූ අත් වෙවුලන්නත්, ගොත ගැහෙන්නත් පටන්ගත්තා. ඒත් යෙහෝවා දෙවිගේ බලයත් ප්‍රේමණීය සහෝදරයන්ගේ උපකාරයත් නිසා මම ශක්තිමත් වුණා. මා ගැන සැලකිල්ලක් දැක්වූ එක උපදේශකයෙක්, පන්ති ඉවර වුණාට පස්සේ මගේ කතා සූදානම් කරන්න මට උදව් කළා. ඔහු මට කියා දුන්න වැදගත්ම පාඩම වුණේ යෙහෝවා දෙවි මත විශ්වාසය තැබීමයි. ඒ පාසැල අවසන් වෙද්දී, මගේ ජීවිතයේ පළමු වතාවට සබයක් අමතා කතා කිරීමෙන් මම සතුටක් ලබන්න පටන්ගත්තා.

යෙහෝවා දෙවි මත මම තැබූ විශ්වාසයේ ලොකුම පරීක්ෂණය වුණේ ගුආයාකිල්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකදී, මම සාක්ෂිකරුවෙක් වූ විදිහ ගැන 25,000දෙනෙක් ඉදිරිපිට විස්තර කළ අවස්ථාවයි. එතරම් විශාල පිරිසක් දිරිගැන්වීමට ලැබීමේ වරප්‍රසාදය ගැන හිතලා මම ඒ අවස්ථාවේදී ගොඩක් හැඟීම්බර වෙලා මගේ කටහඬත් වෙවුලන්න පටන්ගත්තා. සමුළුවට ඇවිත් හිටිය කෙනෙක් මා ළඟට ඇවිත් මට මෙහෙම කිව්වා. “සහෝදර ගොන්සාලෙස්, ඔයාගේ අද්දැකීම කියද්දී අහගෙන හිටිය හැමෝගෙම ඇස්වල කඳුළු පිරුණා.” මට වැඩියෙන්ම ඕන වුණේ, තම පරණ පුරුදු අත්ඇරගන්න සටනක යෙදිලා හිටිය අය මගේ කතාව අහලා දිරිගැන්වෙනවා දකින්නයි.

මම දැන් සභාවේ වැඩිමහල්ලෙක් වගේම ස්ථාවර පුරෝගාමියෙක් ලෙස දෙවිට සේවය කරනවා. බයිබල් සත්‍ය පිළිබඳ නිවැරදි දැනුම ලබාගන්න 16දෙනෙකුට උපකාර කිරීමේ ප්‍රීතිය මම අද්දැකලා තියෙනවා. මගේ දෙමාපියනුත් මගේ සහෝදරියන් හතරදෙනෙකුත් යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා තම ජීවිත කැප කළ එක ගැන මට දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ. අම්මා දෙවිට විශ්වාසවන්තව 2001දී මිය ගියා. තමාව දැන හඳුනාගැනීමට මං වගේ කෙනෙකුට යෙහෝවා දෙවි අවස්ථාවක් ලබා දුන්න එක ගැන මම ඔහුට සදහටම ණයගැතියි. ඔහුට ස්තුති කරන්න මට පුළුවන් හොඳම විදිහ තමයි ඔහුට ළං වෙන්න කියා තවත් අයට ආරාධනා කිරීම.—යාකොබ් 4:8.

[12වන පිටුවේ පින්තූරය]

මම උපකාර කළ ෆර්නෑන්ඩෝ. කලින් ඔහුව හැඳින්වූයේ ගෙම්බා කියලයි

[12වන පිටුවේ පින්තූරය]

මට බයිබල් පාඩමක් කළ සහෝදර පෝල් සාන්චේස්

[13වන පිටුවේ පින්තූරය]

විසෙන්ටේ ගොන්සාලෙස්