Skip to content

පටුනට යන්න

කොහෙන්ද මේ ලුණු ගතිය

කොහෙන්ද මේ ලුණු ගතිය

කොහෙන්ද මේ ලුණු ගතිය

මුහුදේ තිබෙන ලුණු, භූමිය මතුපිට සමානව විහිදී යන ලෙස ඇතුරුවා නම් මීටර් 150කට වඩා උස ලුණු තට්ටුවක් සෑදෙයි. එය තට්ටු 45ක පමණ උසක්! ඇළ දොළ හා ගංගාවලින් සාගරයට නොනැවතී ජල කඳක් ඇදී යන හෙයින් මෙතරම් ලුණු කන්දරාවක් සාගරයට කොහෙන්ද? විද්‍යාඥයන් මීට හේතු කීපයක් සොයාගෙන තිබෙනවා.

අපේ භූ තලයේ සිදු වන ක්‍රියාවලිය එක් හේතුවක්. පස්, ගල් හා පර්වත අතරින් වැසි ජලය වෑස්සෙන විට ලුණු වර්ග හා එහි අඩංගු රසායනික ද්‍රව්‍යයන් ඇතුළු ඛනිජ ලවණ සුළු ප්‍රමාණයක් එම ජලයට එක් වෙනවා. ඇළ දොළ හා ගංගා මගින් එම ජලය මුහුදට ඇදෙනවා (1). මිරිදිය ජලයේ ලුණු සාන්ද්‍රණය වී තිබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් බැවින් අපට එහි ලුණු රසක් දැනෙන්නේ නැහැ.

සාගර පතුලේ භූමි පෘෂ්ඨයෙහි ලුණු සාදන ඛනිජ ලවණ පැවතීමත් ලුණු ලැබෙන තවත් ක්‍රමයක්. මුහුදු පතුලේ භූ පැලුම් අතරින් කාන්දු වන ජලය අධික තාපයට හසු වී යළි භූමිය මතුපිටට එන්නේ දිය වන ඛනිජ ලවණද එකතු කරගෙනයි (2).

මුහුදු පතුලේ ඇති ගිනි කඳු පුපුරා යෑමේදී පිටාර ගලන ලෝදිය හෙවත් ලාවා විශාල වශයෙන් සාගරයට එකතු වන විට ඇති වන පාෂාණවලින් රසායනික ද්‍රව්‍යය මුහුදු ජලයට එක් වෙයි (3). මුහුදට ඛනිජ ලවණ ලබා දෙන තවත් දෙයක් සුළඟ. එමගින් පොළොවේ තිබෙන කුඩා ලුණු අංශු මුහුදට ගෙන යනවා (4). මේ සෑම ක්‍රියාවලියකින්ම සියලුම මූල ද්‍රව්‍යයන්ගෙන් යම් ප්‍රමාණයක් දිය වී මුහුදු ජලයට එකතු වෙයි. කෙසේවෙතත් මේ සියලු මූල ද්‍රව්‍යවලින් මුහුදු ජලයේ සියයට 85ක්ම තිබෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් දිය ලුණුයි. මේ හේතුව නිසයි මුහුදු වතුර ලුණු රස.

ලුණු සාන්ද්‍රණය වෙනස් නොවන්නේ ඇයි?

ජලය පමණක් වාෂ්ප වන බැවින් මුහුදු ජලය වාෂ්ප වෙද්දී ඛනිජ ලවණ ඉතුරු වෙයි. ඊට අමතරව සාගරවලට නොකඩවාම ඛනිජ ලවණ එකතු වුණත් මුහුදේ සාමාන්‍යයෙන් තිබෙන සියයට 3.5ක ලුණ සාන්ද්‍රණය වෙනස් නොවී පවතියි. මේ අනුව බලද්දී මුහුදට ලුණු හා වෙනත් ඛනිජ ලවණ එක් වන ප්‍රමාණයටම ඉවත් කිරීමක්ද සිදු වන බව පැහැදිලියි. එසේනම් ඉවත් වෙන හෝ නැති වෙන ලුණුවලට වෙන්නේ මොකක්ද?

ජීවීන් තම ශරීරවලට ලුණුවල අඩංගු රසායනික ද්‍රව්‍යයන් ඇදගන්නවා. උදාහරණයකට කොරල්පර, බෙල්ලෝ සහ කබොල්ල සහිත ජලජ සත්වයන් තමන්ගේ කටු හා ඇටසැකිලි ශක්තිමත් කරගැනීමට ලුණුවල අඩංගු කැල්සියම් උරාගන්නවා. පියවි ඇසට නොපෙනෙන මුහුදු පැළෑටි වර්ගයක් වන ඇල්ගී හෙවත් ඩයටොම් ඇදගන්නේ සිලිකා නම් ඛනිජ වර්ගයයි. ක්ෂුද්‍ර ජීවීන් වැනි කුඩා ජීවීන් විවිධ ලුණු වර්ග හා වෙනත් ඛනිජ වර්ග උරාගන්නවා. මෙම ජීවීන් මිය ගිය විට හෝ උන්ව ආහාරයට ගත් විට උන්ගේ ශරීරයේ අඩංගු ලුණු හා ඛනිජ ලවණ අජීව පදාර්ථයන් ලෙස හෝ අසූචි ලෙස මුහුදු පතුලේ තැන්පත් වෙනවා (5).

එම ජීවරසායනික ක්‍රියාවලි මගින් ඉවත් නොවන බොහෝ ලුණු වර්ග වෙනත් ක්‍රමවලින් ඉවත් කෙරෙයි. උදාහරණයකට ගංගාවලින් එන මැටි, නාය යෑම්වලින් එන පස හා ගිනි කඳු පිපිරීමකින් විසිරෙන අළු වැනි භූමික ද්‍රව්‍යයන්ට සාගරයේ තිබෙන ලුණු හා ඛනිජ බැඳුණු පසු ඒවා මුහුදු පතුලේ පතිත වෙයි. මෙලෙස, ක්‍රම ගණනාවකින් මුහුදු ජලයේ තිබෙන ලුණු ක්‍රම ක්‍රමයෙන් මුහුදු පතුලේ තැන්පත් වෙයි (6).

බොහෝ පර්යේෂකයන්ගේ විශ්වාසයට අනුව මුහුදු ජලයෙන් ලුණු ඉවත් වන තවත් එක් ක්‍රමයක් තිබෙනවා. නමුත් මෙම ක්‍රියාවලිය සිදු වන්නේ ඉතාමත් හෙමින්. පෘථිවි පෘෂ්ඨය සෑදී තිබෙන්නේ විශාල භූමි තල හෙවත් භූමි කොටස් එක්වීමෙන්. සමහරක් අවසථාවලදී මෙම කොටස් එකට තෙරපී එක කොටසක් ඉහළට එසවී අනිත් කොටස සහ එහි තැන්පත් වී තිබෙන ලුණු හා ඛනිජ ද්‍රව්‍ය යට කරගනියි. මේ ආකාරයට ලුණු අඩු වෙනවා පමණක් නොව පෘථිවි පෘෂ්ඨයද අලුත්වැඩියා වෙයි (7). භූමිකම්පාවලින්, ගිනි කඳු පිපිරීමෙන් සහ භූමියේ විවර ඇති වන කලාපවලින් මේ ක්‍රියාවලිය දැකගත හැකියි. *

පුදුමාකාර සමතුලිත වීමක්

සාගරයේ තැනින් තැන හා සමහරවිට කාලයෙන් කාලයට ලුණු සාන්ද්‍රණය වෙනස් වෙනවා. අධික ලෙස වාෂ්ප වීම සිදු වන රතු මුහුදේ හා පර්සියන් බොක්කේ තමයි වැඩිම ලුණු සාන්ද්‍රණය තිබෙන්නේ. අනික් අතට අධික වර්ෂාපතනය සිදු වන හෝ විශාල ගංගාවලින් මිරිදිය ජලය ලැබෙන පැතිවල සාගර ජලයේ ලුණු ගතිය සාමාන්‍යයෙන් අඩුයි. උතුරු හා දකුණු ද්‍රැව ආශ්‍රිත ප්‍රදේශවල මිදී තිබෙන අයිස් දිය වෙද්දීත් මුහුදු ජලයේ තත්වය එයාකාරමයි. එහෙත් ජලය මිදෙන ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ජලයේ ලුණු ගතිය වැඩියි. කෙසේවෙතත් සමස්තයක් වශයෙන් ගත් කල සාගරවල ලුණු සාන්ද්‍රණය සමතුලිතව පැවතීම අද්විතීය දෙයක්.

මුහුදු ජලයේ pH අගයත් සෑහෙනදුරට වෙනස් නොවී පවතිනවා. යම් ද්‍රව්‍යයක ආම්ලිකතාව හෝ ක්ෂාරතාව සමතුලිතව පවතින්නේ pH අගය 7ක්ව තිබෙන විටයි. මුහුදු ජලයේ එම අගය 7.4 සිට 8.3 දක්වා සුළු වශයෙන් වැඩි වන්නේ ඊට යන්තම් ක්ෂාරතාව එක් කරමින්. (මිනිස් රුධිරයේ pH අගය 7.4ක් පමණ වෙයි) මීට වඩා pH අගයේ ලොකු වෙනසක් සිදු වුණොත් සාගරවලට විශාල අනතුරක් සිදු වේවි. ඇත්තෙන්ම දැන් සමහර විද්‍යාඥයන් පවා බිය වන්නේ මේ ගැනයි. මිනිසා විසින් වායුගෝලයට මුදාහරින කාබන් ඩයොක්සයිඩ්වලින් වැඩිහරියක් අවසානයේදී සාගර ජලයට එක් වෙනවා. එවිට එහි ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් කාබොනික් අම්ලය සෑදෙනවා. මිනිසාගේ ක්‍රියාකලාපය නිසා සාගර ජලයේ ආම්ලිකතාව ක්‍රම ක්‍රමයෙන් වැඩි විය හැකියි.

මුහුදු ජලයේ රසායනික ද්‍රව්‍යයන් නොකඩවාම සමතුලිතව තිබෙන හේතු සියල්ලක්ම තවමත් සම්පූර්ණයෙන් සොයාගෙන නැහැ. එසේවුවත්, අප ඉගෙනගෙන තිබෙන දෙයින් මැවුම්කරුගේ අසමසම ප්‍රඥාව හොඳින් පැහැදිලි වෙනවා. ඔහුගේ හස්තකර්මාන්තය කෙරෙහි ඔහු ඇත්තෙන්ම සැලකිලිමත් වෙනවා.—එළිදරව් 11:18.

[පාදසටහන]

^ 10 ඡේ. වර්ෂ 2000 නොවැම්බර් 22 පිබිදෙව්! සඟරාවේ “සාගර පතුලේ රහස් හෙළි වේ” (සිංහලෙන් නැහැ) සහ 2005 අගෝස්තු පිබිදෙව්! සඟරාවේ “ස්වාභාවික විපත්! මිනිසාගේ දායකත්වය” යන ලිපි බලන්න.

[16, 17වන පිටුවේ රූප සටහන/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

වර්ෂාව

↓↓

↓↓

4 සුළඟ

1 ගල්වල

ඛනිජ ලවණ ↓ 6ගිනිකන්දෙන්

...................................↓.....................ගිනි අළු...

3 මුහුදේ 5 ඩයටොම්

සාගරය ගිනි කන්ද ↓ ↓

↑ ↓ ↓

2 ජලතාප ↑ ↓ ↓

කවුළුව ↑ ↓ ↓

...............↑...............↑...සාගර පතුල.........↓.......... .........↓....

↑ ↑ 7 ←← යටවන

↑ පෘථිවිපෘෂ්ඨය ←← භූ තලය

↑ ←←

.............................................

[හිමිකම් විස්තර]

Vent: © Science VU/​Visuals Unlimited; eruption: REUTERS/​Japan Coast Guard/​Handout

Diatoms: Dr. Neil Sullivan, USC/​NOAA Corps; volcano photo: Dept. of Interior, National Park Service

[18වන පිටුවේ කොටුව/රූප සටහන]

මුහුදෙන් ලැබෙන දිය ලුණු වර්ග

වසර සියයකට වැඩි කලක් පුරා විද්‍යාඥයන් මුහුදු ජලය ගැන අධ්‍යයනයන් කර තිබුණත් එහි අඩංගු රසායනික සංයෝග පිළිබඳව ඔවුන්ට සම්පූර්ණ දැනුමක් නැහැ. කෙසේවෙතත් ලුණුවල අඩංගු විවිධ රසායනික ද්‍රව්‍යයන් හා අඩංගු ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් සොයාගෙන තිබෙනවා. ඒවා පහත දැක්වෙයි.

[රූප සටහන]

ක්ලෝරයිඩ් 55%යි

සෝඩියම් 30.6යි

සල්ෆේට් 7.7යි

මැග්නීසියම් 3.7යි

කැල්සියම් 1.2යි

පොටෑසියම් 1.1යි

බයිකාබනේට් 0.4යි

බ්‍රෝමයිඩ් 0.2යි

බෝරේට්, ස්ට්‍රොන්ටියම් සහ ෆ්ලෝරයිඩ් වැනි වෙනත් රසායනික ද්‍රව්‍යයන්

[18වන පිටුවේ කොටුව/රූප සටහන]

ලුණු අධික මුහුදු

සමහර මුහුදුවල සාගර ජලයට වඩා ලුණු අධිකයි. හොඳම උදාහරණය මළ මුහුද. පොළොවේ උපරිම ලුණු සාන්ද්‍රණය තිබෙන්නේ එහියි. බයිබල් කාලවලදී එය ලුණු මුහුද ලෙස හැඳින්වූවා. (ගණන් කතාව 34:3, 12) මළ මුහුදේ වෙරළ තීරුව පොළොවේ පිහිටි පහත්ම වියළි බිම බැවින්, එහි ජලය අඩු වී යා හැක්කේ එක් ක්‍රමයකින් පමණි. එනම් මුහුදු ජලය වාෂ්ප වීමෙනි. මේ අනුව ග්‍රීෂ්ම ඍතුවේදී දවසකට අඟලක් වැනි මට්ටකමින් ජලය වාෂ්ප වී යයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මතුපිට ජල මට්ටමේ සියයට 30ක් පමණ ලුණු අඩංගුයි. මෙය මධ්‍යධරණී මුහුදට වඩා දහ ගුණයකින් පමණ වැඩියි. ලුණු වැඩිවීමත් සමඟම ජලයේ ඝනත්වය වැඩි වන නිසා කෙනෙකුට ජලය මතුපිට පහසුවෙන් පාවෙන්න පුළුවන්. ඇත්තෙන්ම ඔහුට හැකියි පාවෙන උපාංගයක් භාවිත නොකරම ජල මතුපිට උඩු අතට හාන්සි වී පුවත්පතක් පවා කියවන්න.

[18වන පිටුවේ කොටුව]

වාතය පිරිසිදු වීමටත් ලුණු

වාතයේ තිබෙන අපිරිසිදු අංශු නිසා වැහි වලාකුළුවලට එහි තිබෙන ජලය මුදාහැරීමට බැරි වෙන බව පරීක්ෂණවලදී සොයාගෙන තිබෙනවා. කෙසේවෙතත් සාගරවලට ඉහළින් තත්වය මීට වෙනස්.

අපිරිසිදු අංශුවල රැඳෙන වාෂ්ප වූ ජලය වැහි බිංදුවක් තරමට සෑදෙන්නේ නැති නිසා එය පහතට නොවැටී වායුගෝලයේ රැඳී තිබෙනවා. එහෙත් සාගරවලට ඉහළින් තිබෙන ලුණු අංශු ජලය රැඳී ඇති දූවිලි අංශුවලට එකතු වී විශාල වැහි බිංදු සාදනවා. එහි ප්‍රතිඵලය ලෙස වර්ෂාව ලැබෙන අතර වායුගෝලය අපවිත්‍ර කරන දේවලින් රැකගැනීමටද එය දායක වෙනවා.