Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪“ප්‍රමාණවත් ආහාර නොමැතිකමින් සෑම වසරකම මිලියන හයකට ආසන්න දරුවන් සංඛ්‍යාවක් තත්පර පහකට එක්කෙනා බැගින් මිය යනවා.”—ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක ජේම්ස් ටී. මොරිස්

▪ වර්ෂ 2005 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ ඇති වූ කැට්‍රිනා සැඩකුණාටුව නිසා මිය ගිය සංඛ්‍යාව 1,300කට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වී ඇත.—ද වොෂිංටන් පෝස්ට්

▪ වර්ෂ 2005 ඔක්තෝබර් මාසයේදී පකිස්ථානයේ හා ඉන්දියාවේ ඇති වූ භූමිකම්පාවෙන් 74,000කට වඩා ජීවිත නැති වුණා.—බ්‍රිතාන්‍යයේ බීබීසි ප්‍රවෘත්ති

▪ “සෑම අවුරුද්දකම ලොව පුරා සිදු වන රිය අනතුරුවලින් ලක්ෂ 12කට ආසන්න පිරිසක් මිය යන” බව එක් වාර්තාවක පෙන්නුම් කළා.—දකුණු අප්‍රිකාවේ දකුණු අප්‍රිකානු වෛද්‍ය සඟරාව

වටිනා චිත්‍ර සොරාගනියි

පෙරූවල පිහිටා ඇති පල්ලි අලංකාර කර තිබෙන්නේ යටත් විජිත කාලයේදී නිර්මාණය කළ ඉතා වටිනා චිත්‍රවලින්. දැන් රෝමානු කතෝලික පල්ලිවලට තිබෙන ගැටලුව මේ චිත්‍ර ආරක්ෂා කරගැනීමයි. ගෙවී ගිය අවුරුදු හය පුරා පල්ලි 200කින් මේ චිත්‍ර සොරකම් කර තිබෙනවා. කුස්කෝ නගරයේ පමණක් පසු ගිය වසර 15 තුළ ඉපැරණි වටිනා තෙල් සායම් චිත්‍ර 5,000ක් පමණ සොරකම් කර තිබෙනවා. රට පුරා කොතරම් ප්‍රමාණයක් නැති වී තියෙනවද කියා කවුරුත් හරියට දැනගෙන සිටියේ නැහැ. කොල්ලකරුවන්ගෙන් වළක්වාගැනීම සඳහා සමහර පල්ලි මෙම චිත්‍ර සඟවා තැබුවත් ඒවාට නියම ආරක්ෂාවක් ලැබුණේ නැහැ. එක් පල්ලියක සඟවා තිබූ මේ චිත්‍ර මීයෝ කෑවා.

ෆින්ලන්තයේ කාර්මික ක්ෂේත්‍රයේ ඌනතාවක්

ෆින්ලන්තයේ සේවා හා කාර්මික අංශවලට පුහුණුවක් ලැබූ දක්ෂ වඩුවන්, ජලනල සවිකරන්නන්, වෑල්ඩිං වැඩකරන්නන්, මේසන්වරුන්, කාර්මික ශිල්පීන්, යන්ත්‍ර ක්‍රියාකරවන්නන් සහ හෙදියන් වැනි අයගේ විශාල අඩුවක් පවතිනවා. ඊට හේතුව වන්නේ උසස් අධ්‍යාපනයට පමණක් මුල් තැන දීම කියා පුවත්පතක සඳහන් කරයි. (පුවත්පත Helsingin Sanomat) ෆින්ලන්තයේ සිල්ලර වෙළෙන්දන්ගේ සංගමයට අයත් හයිකි රොපෝනන්ට අනුව “මුළු පරම්පරාවක්ම වෛද්‍යවරුන් හා උපාධිධාරීන් කරන එක මොන තරම් අපරාධයක්ද? කාර්මික ශිල්පයටත් වැඩි අවධානයක් දිය යුතුමයි.”

ප්‍රංශ අධිකරණය සතුටුදායක නියෝගයක් දෙයි

වර්ෂ 2005 දෙසැම්බර් 1වෙනිදා පැරිසියේ අභියාචනා අධිකරණය විසින් ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු ඇමතිට නියෝගයක් දුන්නා. ඒ 1996දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව කල්ලියක් ලෙස හඳුන්වා තිබූ පොලිස් වාර්තා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඉදිරිපත් කිරීමටයි. මෙම වාර්තාවල තොරතුරු ‘ජාතික ආරක්ෂාවට බලපාන නිසා’ ඒ වන තෙක් ඒවා රහසිගතව තිබුණා. සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන ඇති මෙම වාර්තා “වැදගත්කමක් නැති” හා “නොසැලකිය යුතු” ඒවා බවට අධිකරණ නියෝගයක් දී තිබුණත් ප්‍රංශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අගතිසහගත ලෙස සලකන්න නැවත නැවතත් මෙම වාර්තා යොදාගත්තා.

අතිමහත් ශාක බැම්ම

සතුන් අධික ලෙස තණ උලා කෑම, ගස් කැපීම, නියඟය, ජල හිඟය හේතුවෙන් චීනයේ විශාල ප්‍රදේශයක් දූවිලි ගොඩක් බවට පත් වෙලා. ඒ නිසා චීන බලධාරීන් විසින් දැනට “ලෝකයේ තිබෙන විශාලතම පාරිසරික ව්‍යාපෘතිය” ආරම්භ කළා කියා නිව් සයන්ටිස්ට් සඟරාවේ පවසයි. “මෙම වැඩසටහන ‘අතිමහත් ශාක බැම්ම’ සේ හඳුන්වන අතර මෙහි අරමුණ වන්නේ සිටු වන ලද ගස්වලින් දූවිලි ඇතිවීම වැළැක්වීමයි. පස සෝදගෙන යෑම වැළැක්වීමට තණ කොළ හා පඳුරු සිටුවා තිබෙනවා. වර්ෂ 1978දී ආරම්භ කළ මේ ව්‍යාපෘතියේ ඉලක්කය නම් නියඟයට ඔරොත්තු දෙන ගස් හා පැළවලින් ඉඩම් අක්කර මිලියන 86ක් ආවරණය කිරීමයි.