Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනැඟීමට නම්. . .

ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනැඟීමට නම්. . .

ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනැඟීමට නම් . . .

“මනුෂ්‍යයා . . . තමන් භාර්යාවට ඇලුම් වන්නේය; ඔවුහුද එක මාංසයක් වන්නෝය.”—උත්පත්ති 2:24.

අපේ මැවුම්කරු වූ යෙහෝවා දෙවි විවාහය ලොවට හඳුන්වා දුන්නේ මිනිසෙකු හා ස්ත්‍රියක අතරේ නොකැඩෙන බැඳීමක් ඇති කිරීමෙනුයි. උත්පත්ති 2:18, 22-24හි ඒ ගැන මෙසේ සඳහන් වෙයි. “යෙහෝවා දෙවි කතා කොට: මනුෂ්‍යයා තනියම සිටීම යහපත් නොවෙයි; ඔහුට සුදුසු උපකාර කරන කෙනෙකු සාදා දෙන්නෙමියි කීවේය. යෙහෝවා දෙවි මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටෙන් ස්ත්‍රියක සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙව්වේය. එවිට මනුෂ්‍යයා: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගත් බැවින් මනුෂ්‍ය ස්ත්‍රියයයි කියනු ලබන්නීයයි කීය. එබැවින් මනුෂ්‍යයා තමාගේ පියාද මවුද අත්හැර තමන් භාර්යාවට ඇලුම් වන්නේය; ඔවුහුද එක මාංසයක් වන්නෝය.”

කල් පවතින ප්‍රීතිමත් විවාහයක් ගොඩනඟාගැනීම පහසු දෙයක් නොවුණත් කළ නොහැකි දෙයක් නොවෙයි. බොහෝදෙනා වසර 50ක්, 60ක් හෝ ඊට වැඩි කාලයක් යුග දිවියේ රස විඳ තිබෙනවා. ඒ කොහොමද? ඔවුන් තම සහකරු හෝ සහකාරියව “සතුටු” කිරීමට පරාර්ථකාමීව නොකඩවා වෑයම් කරමින් සිටින නිසයි. (1 කොරින්ති 7:33, 34) ඔබත් ඒ සඳහා කාලය ගත කරමින් නොකඩවා වෑයම් කරනවා නම් දිගු කල් පවතින ප්‍රීතිමත් යුග දිවියක රස විඳින්න ඔබටත් හැකියි.

උපදෙස් හොඳින් පිළිපදින්න

වගකීමකින් වැඩ කරන කොන්ත්‍රාත්කරුවෙක් සැලැස්මක් නොමැතිව කිසිදාක ඉදි කිරීමක් අරඹන්නේ නැහැ. එලෙසම, විවාහය සඳහා දෙවි දී තිබෙන සැලැස්ම හොඳින් සෝදිසි නොකර ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනැඟීමටත් බැහැ. ඊට අවශ්‍ය උපදෙස් තිබෙන්නේ දේවවචනය වන බයිබලයෙයි. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය . . . කාරණා හරිගැස්වීමට, . . . ප්‍රයෝජනවත්ය” කියා පාවුල් පැවසුවා.—2 තිමෝති 3:16.

යේසුස් තම ගෝලයන් සමඟ කටයුතු කළ ආකාරය ස්වාමිපුරුෂයන්ටත් භාර්යාවන්ටත් කදිම ආදර්ශයක්. යේසුස් හා ඔහු සමඟ ස්වර්ගයෙහි පාලනය කරනු ලබන්නන්ගේ සබඳතාව බයිබලයෙහි සසඳා තිබෙන්නේ ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් අතර තිබෙන සම්බන්ධතාවටයි. (2 කොරින්ති 11:2) කටුක කාලවලදී පවා යේසුස් තම ආශ්‍රිතයන්ට පක්ෂපාතව සිටියා. ‘ඔහු අවසානය දක්වාම ඔවුන්ට ප්‍රේම කළා.’ (යොහන් 13:1) දයානුකම්පිත නායකයෙකු වූ යේසුස් තම අනුගාමිකයන් සමඟ සැමවිටම කටයුතු කළේ ඔවුන්ගේ සීමාවන් හා දුර්වලකම් සැලකිල්ලට ගෙනයි. ඔවුන්ට කිරීමට හෝ දීමට හැකි දේට වඩා වැඩි යමක් ඔහු ඔවුන්ගෙන් අපේක්ෂා කළේ නැහැ.—යොහන් 16:12.

තම කිට්ටුම මිතුරන් පවා බලාපොරොත්තු කඩවන ආකාරයෙන් ක්‍රියා කළ විට යේසුස් සන්සුන්ව සිටියා. ඔවුන්ට නොබැන දේවගුණාංග වන නිහතමානිකම හා කරුණාව දක්වමින් ඔවුන්ව නිවැරදි කිරීමට ඔහු උත්සාහ කළා. (මතෙව් 11:28-30; මාක් 14:34-38; යොහන් 13:5-17) මෙලෙස යේසුස් තම ගෝලයන්ට සැලකූ ආකාරයත්, ඔවුන්ද ඔහුට ප්‍රේමය පෙන්වූ ආකාරයත් ඔබ හොඳින් සෝදිසි කරනවා නම් ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනඟාගත හැකි ප්‍රායෝගික පාඩම් ඔබ ඉගෙනගනු ඇති.—1 පේතෘස් 2:21.

ශක්තිමත් අඩිතාලමක් මත ගොඩනඟන්න

ඔබේ විවාහ සංස්ථාව පිහිටුවා තිබෙන අඩිතාලමට පීඩා එල්ල විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේවා මගින් ඔබ හා ඔබේ සහකරු හෝ සහකාරිය අතර ඇති බැඳීම කෙතරම් ශක්තිමත්දැයි පරීක්ෂා කෙරෙයි. ප්‍රීතිමත් විවාහයක් ඇති කරගැනීමට දායක වන අඩිතාලමක් සඳහා ආදරය මත පදනම් වූ විශ්වාසයෙන් බැඳී සිටීම අත්‍යවශ්‍යයි. මෙහි වැදගත්කම කාවැද්දවීමට යේසුස් පැවසුවේ මෙයයි. “දෙවි එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා!” (මතෙව් 19:6, නව අනුවාදය.) “මනුෂ්‍යයා” යන්නෙන් අදහස් වන්නේ එකිනෙකාට විශ්වාසවන්තව දිගටම සිටීමට පොරොන්දු වූ පුරුෂයා හා ඔහුගේ භාර්යාවයි.

වගකීම් ඉසිලීමට හා කැප කිරීම් කිරීමට සිදු වන නිසා බැඳී සිටීම කරදරයක් කියා සමහරු සිතිය හැකියි. බැඳී සිට කැප කිරීම් කරනවාට වඩා තමන්ගේ පහසුව බැලීමයි අද වැඩිදෙනාගේ කැමැත්ත.

විවාහ බැම්ම නොකැඩී ශක්තිමත්ව තබාගන්න පුළුවන් කොහොමද? පාවුල් ලිව්වේ මෙවැනි දෙයක්. “ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය.” (එෆීස 5:28, 29) එසේනම් “එක් කළ” යන්නෙන් අදහස් කරන්නේ ඔබ ඔබේ ශුභසිද්ධිය ගැන හිතනවා වගේම ඔබේ සහකරු හෝ සහකාරියගේ ශුභසිද්ධිය ගැනත් සැලකිලිමත් විය යුතු බවයි. විවාහකයන් “මගේ” නොකියා “අපේ” කියන්නත් “මට” නොකියා “අපට” කියන්නත් පුරුදු වෙන්න අවශ්‍යයි.

ඔබේ යුග දිවියට එල්ල වන ප්‍රහාරයන්ගෙන් ජයගන්න විට ඔබ ඥානවන්ත වෙයි. ඥානවන්තව කටයුතු කිරීමෙන් සතුට ළඟා වෙයි. හිතෝපදේශ 3:13 පවසන්නේ “ප්‍රඥාව සම්බ වුණාවූ . . . මනුෂ්‍යයා සන්තෝෂවත්ය” කියායි.—හිතෝපදේශ 3:13.

කල් පවතින ගුණාංග

නිවසක කල්පැවැත්ම හා ආරක්ෂාව සඳහා එය ශක්තිමත්ව ගොඩනඟා තිබිය යුතුයි. දිගු කලක් පවත්වාගැනීමේ අධිෂ්ඨානය ඇතුව ඔබේ විවාහයත් ගොඩනඟාගන්න. ඒ සඳහා දරුණු පීඩා හමුවේ පවා විශ්වාසය දෙදරා නොයන කල් පවතින ගුණාංග භාවිත කරන්න. දෙවිගෙන් ලැබෙන ඥානය, ත්‍යාගශීලීවන්තකම, විචාර බුද්ධිය, දේවභය, ආදරය, දෙවිගේ නීති අගය කිරීම හා ඒවාට ඇලුම් වීම මෙන්ම සැබෑ ඇදහිල්ල වැනි රන් මෙන් අගනා ගුණාංග ඇතුව සිටීම වටිනවා.

විවාහයේ සතුට හා සෑහීම ලැබෙන්නේ ද්‍රව්‍යමය දේවල් හෝ රැකියා උසස් වීම් මගින් නොව සිතේ හා මනසේ ඇති වන සිතුවිලි මගිනුයි. මෙම ගුණාංග වැඩිවර්ධනය කරගත හැකි වන්නේ දෙවිගේ සත්‍ය වචනය තුළින්. “එකිනෙකා තමන් ඒ මත ගොඩනඟන ආකාරය ගැන සෝදිසියෙන් සිටීවා” යන අවවාදයත් විවාහයට අදාළ කරගත හැකියි.—1 කොරින්ති 3:10.

ගැටලු ඇති වන විට

ගොඩනැඟිල්ලක් බොහෝ කලක් පැවතීමට නම් හොඳින් නඩත්තු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම විවාහ බැම්ම ශක්තිමත්ව තබාගැනීමට නම් සැමියා හා බිරිඳ තම ඉලක්ක අත් කරගැනීමට නොකඩවා එකිනෙකාට සහය දීම හා එකිනෙකාට ගෞරව කිරීම අවශ්‍යයි. ඔවුන් ආත්මාර්ථකාමී නොවන අතර කෝපයද පාලනය කරගනියි.

ආදරය කරුණාව නැතිවීමට ප්‍රධාන හේතුව කේන්තියෙන් හා කලකිරීමෙන් සිටීමයි. පාවුල් පුරුෂයන්ට මෙවැනි උපදෙසක් දුන්නා. “ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන් කෙරෙහි අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න.” (කොලොස්සි 3:19) මේ ප්‍රතිපත්තිය භාර්යාවන්ටත් අදාළ වෙනවා. යුවළක් එකිනෙකා කෙරෙහි සැලකිලිමත්ව, කරුණාවන්තව, අවබෝධයෙන් යුතුව සිටීමට පරිශ්‍රමයක් දරනවා නම් ඔවුන් අතර සතුට හා තෘප්තිය පවත්වාගත හැකියි. කලහකාරී ලෙස හැසිරෙන්නේ නැත්නම් ප්‍රශ්න ඇති වන විට අඬ දබර වළක්වාගත හැකියි. “එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න” කියාත්, “එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න” කියාත් පාවුල් උනන්දු කළා.—එෆීස 4:32.

තමන් අසරණයි කියා හෝ තමන්ව අගය කරන්නේ නැහැ කියා කෙනෙකුට හැඟෙනවා නම් කුමක් කළ හැකිද? ඔබට හැඟෙන දේ සන්සුන්ව ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කතා කරන්න. කෙසේවෙතත් කාරණය සුළු එකක් නම් එය ප්‍රේමයෙන් අමතක කර දැමීමයි සුදුසුම දේ.—1 පේතෘස් 4:8.

යුග දිවිය ගත කළ වසර 35 තුළදී තමන් වින්ද කටුක අද්දැකීම් කීපයක් මතකයට නඟමින් එක් ස්වාමිපුරුෂයෙක් නැණවත් අදහසක් ඉදිරිපත් කළා. කේන්තියක් ආවත් අනිත් එක්කෙනා එක්ක “කතා කරන එක නවත්වන්න හොඳ නැහැ. ආදරය කරන එකත් නවත්වන්න එපා.”

ඔබට හැකියි ප්‍රීතිමත් විවාහයක් ගොඩනඟන්න!

ප්‍රීතිමත් විවාහයක් ගොඩනඟාගැනීම පහසු දෙයක් නෙවෙයි. කෙසේනමුත් තම විවාහය ශක්තිමත් කරගැනීම සඳහා දෙවිගේ උපකාරය පැතීමට වෑයමක් දරන්න. එවිට සතුටෙන් හා බියෙන් තොර විවාහයක් ගත කළ හැකියි. මේ නිසා ඔබේ විවාහය තුළ හැකි තරම් දේව ප්‍රමිති පිළිපදින්න උත්සාහ කරන්න. විවාහ බැම්ම කැඩීමට කිසිම දේකට ඉඩ නොදෙන්න. එමෙන්ම යේසුස්ගේ වදන්වලට අනුව ප්‍රීතිමත් විවාහයක් තුළ සම්පූර්ණ පැසසුම ලැබිය යුත්තේ ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාගෙන් එක්කෙනෙක් පමණක් නොවන බව මතක තබාගන්න. ප්‍රධානකොටම පැසසුම් ලැබිය යුත්තේ විවාහය පිහිටෙවූ තැනැත්තා වන යෙහෝවා දෙවියි. “දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”—මතෙව් 19:6.

වැඩි විස්තර සඳහා

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන පවුලේ සන්තෝෂයට රහස පොතේ ප්‍රීතිමත් හා සාර්ථක විවාහයක් ගොඩනඟාගැනීම සඳහා යෝජනා අඩංගුයි. විවාහක යුවළයන් සිය දහස් ගණනකට තමන්ගේ විවාහ සබඳතාවේ ගුණය ඉහළ නැංවීමට බයිබලය මත පදනම් උපදෙස් ප්‍රයෝජනවත් වී තිබෙනවා.—මෙම සඟරාවේ 32වන පිටුව බලන්න.

[9වන පිටුවේ කොටුව]

ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනඟන්න උපකාර

▪ නොකඩවා දෙදෙනාම එක් වී දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න. ගැටලු විසඳාගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කරන්න.—හිතෝපදේශ 3:5, 6; ෆිලිප්පි 4:6, 7; 2 තිමෝති 3:16, 17.

▪ කායික ආශාවන් සම්බන්ධයෙන් එකිනෙකාට විශ්වාසවන්තව සිටින්න.—හිතෝපදේශ 5:15-21; හෙබ්‍රෙව් 13:4.

▪ ඔබේ ගැටලු හා එකඟ නොවීම් ගැන විවෘතව, අවංකව හා ප්‍රේමණීයව කතා බහ කරන්න.—හිතෝපදේශ 15:22; 20:5; 25:11.

▪ කාරුණිකව, සැලකිලිමත් ආකාරයකින් කතා කරන්න. කේන්තිය පිට කිරීමෙන්, පැමිණිලි කිරීමෙන්, තදින් විවේචනය කිරීමෙන් වළකින්න.—හිතෝපදේශ 15:1; 20:3; 21:9; 31:26, 28; එෆීස 4:31, 32.

▪ අනිත් කෙනා කළ යුතු දේවල් නොකරන බව පෙනෙද්දීත් ඔබ යටහත්පහත්ව බයිබල් උපදෙස් පිළිපදින්න.—රෝම 14:12; 1 පේතෘස් 3:1, 2.

▪ බයිබලයේ සඳහන් යහපත් ගුණාංග වර්ධනය කිරීමට වෙහසක් දරන්න.—ගලාති 5:22, 23; කොලොස්සි 3:12-14; 1 පේතෘස් 3:3-6.

[7වන පිටුවේ පින්තූර]

විවාහය ගැන බයිබලයේ දී ඇති උපදෙස් අනුගමනය කරන්න

[7වන පිටුවේ පින්තූරය]

පරාර්ථකාමී ප්‍රේමය හා විශ්වාසවන්තකම ඔබේ ශක්තිමත් අඩිතාලම කරගන්න

[8වන පිටුවේ පින්තූර]

දරුණු පීඩාවලට ඔරොත්තු දීමට දේවගුණාංග වර්ධනය කරගන්න

[8වන පිටුවේ පින්තූර]

ප්‍රීතිමත් විවාහයක් ඉබේ ඇති වෙන්නේ නැහැ