Skip to content

පටුනට යන්න

බ්‍රිතාන්‍යයේ “මතකයෙන් ගිලිහී යන බුද්ධිමතා”

බ්‍රිතාන්‍යයේ “මතකයෙන් ගිලිහී යන බුද්ධිමතා”

බ්‍රිතාන්‍යයේ “මතකයෙන් ගිලිහී යන බුද්ධිමතා”

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

රොබට් හූක්ව ඔහුගේ සමකාලීනයන් විස්තර කළේ “මෙතෙක් ජීවත් වූ අතිශයින් නිර්මාණශීලී හැකියාවක් ඇති පුද්ගලයා” ලෙසයි. ඔහුව දැන් සමාන කරන්නේ ලියනාඩෝ ඩාවින්චිටයි. * වර්ෂ 1635දී උපත ලැබූ හූක්ට 1662දී ලන්ඩන්වල රාජකීය සංගමයේ පරීක්ෂණ භාරව කටයුතු කිරීමට පැවරුමක් ලැබුණ අතර 1677දී ඔහු එහි ලේකම් බවට පත් වුණා. විද්‍යාත්මක ප්‍රසිද්ධත්වයක් ලබා තිබුණත් 1703දී ඔහු මිය ගිය විට ඔහුව භූමදාන කළේ කොහෙද කියාවත් හරියට දන්නේ නැහැ. සමහරවිට උතුරු ලන්ඩනයේ විය හැකියි.

ලේඛක ස්ටීවන් ඉන්වුඩ් “මතකයෙන් ගිලිහී යන බුද්ධිමතා” ලෙස හූක්ව හැඳින්වුවත් මෑත කාලයේදී විද්‍යාඥයන් හා ඉතිහාසඥයන් වෑයම් කරන්නේ ඔහුව යළි මතකයට නැඟීමටයි. වර්ෂ 2003දී හූක්ගේ 300වන අනුස්මරණය සනිටුහන් කිරීමට ලන්ඩනයේ ග්‍රිනිච්හි රාජකීය පරීක්ෂණාගාරයෙහි ඔහුගේ අපූර්ව නිර්මාණයන් හා සොයාගැනීම්වලින් කිහිපයක් ප්‍රදර්ශනය කර තිබුණා. ඇත්තටම රොබට් හූක් කියන්නේ කාටද? එතරම් ජනප්‍රිය කෙනෙකුව මතකයෙන් ගිලිහී යෑමට හේතුව කුමක්ද?

හූක්ගේ දායාදය

උසස් අධ්‍යාපනයක් ලැබූ හූක් අතිදක්ෂ නිර්මාණ ශිල්පියෙක් වුණා. ඔහුගේ දැවැන්ත නිර්මාණ අතුරින් කීපයක් සඳහන් කරනවා නම් අද දින රථ වාහනවල තිබෙන සර්වලෝක පූට්ටුව, කැමරාවල කාචය ක්‍රියා කරවන ෂටරය වැනි කුඩා කොටස, ඔරලෝසුවල ක්‍රියාකාරිත්වයට දායක වන දුන්න යනාදියයි. දුනුවල ඇදීම හා සම්පීඩනය විස්තර කිරීමට ඔහු සමීකරණයක් ඉදිරිපත් කළා. අද දින භාවිත වන මෙම සමීකරණය හූක්ගේ නීතිය ලෙස හැඳින්වෙනවා. ඔහු බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයෙක් හා ඖෂධවේදියෙක් වන රොබට් බොයිල්ට හුළං පොම්පයක් සම්පාදනය කර දුන්නා. කෙසේවෙතත් හූක්ගේ එක් විශිෂ්ටතම ජයග්‍රහණයක් වුණේ සංයුක්ත අණ්වීක්ෂය නිර්මාණය කිරීමයි. ලන්ඩනයේ විද්‍යාගාර උපකරණ නිපදවීමට ප්‍රසිද්ධව සිටි ක්‍රිස්ටොෆ කෝක් පසුව එය නිපදෙව්වා. ඔහු කිරල වැනි ගස් වර්ගයක පොත්ත අන්වීක්ෂයෙන් පරීක්ෂා කරද්දී එහි ඇති ඉතා කුඩා සිදුරු දැක්කා. ඔහු මේ සිදුරු නම් කළේ “සෛල” කියලයි. පසුව මෙම වචනය ජීවීන් සකස් වී තිබෙන අණුවලට ආදේශ කළා.

හූක් 1665දී කුඩා චිත්‍ර යන අදහස ඇති මයික්‍රොග්‍රැෆියා නම් පොත පළ කිරීමත් සමඟම ඔහුට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුණා. ඔහු තම අන්වීක්ෂයෙන් කෘමියෙකුගේ හැසිරීම් රටාව දුටු ආකාරය එහි අලංකාර ලෙස නිවැරදිව චිත්‍රයට නඟා තිබුණා. හුඟක්ම ලස්සනට තිබුණේ මැක්කාගේ පින්තූරයයි. දිග පළල සෙන්ටි මීටර් 45ක් හා 30ක් වන මෙම චිත්‍රයේ මේ පුංචි සතාගේ සිරුර ලොකු වී අඬු, කොර පොතු වැනි සම සහ පුංචි කටු තිබෙනවා වගෙයි දිස් වුණේ. ඌ මිනිසාගේ ශරීරයෙන් ලේ බොන බව කියවද්දී එදා සිටි පාඨකයන් භය වුණා. එම පින්තූරය දැක කාන්තාවන් ක්ලාන්ත වූ බව පැවසෙනවා.

මිනිසා සෑදූ ඉඳිකට්ටේ තුඩ සහ ඉතා කුඩා ස්වාභාවික තුඩවල් අන්වීක්ෂයෙන් බලා සැසඳූ පසු හූක් මෙවැනි දෙයක් ලිව්වා. “අන්වීක්ෂයෙන් කෘමීන්ගේ කෙස්, කෙඳි සහ අඬුත්, කොළ වර්ගවල කටු, කොකු සහ කෙඳිත් බලද්දී ඉඳි කට්ටේ තුඩට වඩා ඒවා දහස් ගුණයකින් තියුණු බව පැහැදිලියි.” මැවුම්කරුවෙකුගේ බලය මෙම “සොබාදහමේ මැවිලි” තුළින් දක්නට පුළුවන් බව ඔහු පැවසුවා. එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා විශ්වකෝෂයේ පවසන්නේ “ප්‍රාණික ජීවීන්ගේ ලෝකය කෙතරම් සංකීර්ණද කියන එක මුල් වතාවට” හෙළි කරනු ලැබුවේ අන්වීක්ෂය බවයි.

හූක් තමයි අන්වීක්ෂයකින් ෆොසිල පරීක්ෂා කළ මුල්ම තැනැත්තා. ඒවා බොහෝ කලකට ඉහතදී මිය ගිය ජීවීන්ගේ ඉතිරි වූ සුන්බුන්වල කොටස් බව ඔහු නිගමනය කළා. තවත් විද්‍යාත්මක සොයාගැනීම් රාශියක් ගැන ඔහුගේ පොතේ සටහන් වී තිබෙනවා. හූක්ගේ සමකාලීනයෙකු වූ සුප්‍රකට දිනපොත් කර්තෘවරයෙක් වන සැමුවෙල් පීප්ස් මයික්‍රොග්‍රැෆියා නම් පොත ගැන පැවසුවේ “මම කියවා තිබෙන සම්භාව්‍ය කෘතිය මෙයයි” කියායි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ ඉතිහාසඥ ඇලන් චැප්මන් එම කෘතිය ගැන මෙවැනි විස්තරයක් කළා. “ඒක නම් නවීන ලෝකයට බලපෑමක් කළ හැකි බෙහෙවින් වටිනා පොතක්.”

ලන්ඩනයේ ප්‍රතිසංස්කරණය

වර්ෂ 1666දී ලන්ඩනයේ හටගත් මහා ගින්නෙන් පසු හූක්ට පැවරුමක් ලැබුණා ලන්ඩන් නුවර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මිනින්දෝරුවෙක් හැටියට සේවය කිරීමට. රජුගෙන් පැවරුමක් ලබා සිටි විද්‍යාඥයෙකු මෙන්ම මිනින්දෝරුවෙකු වූ ඔහුගේ මිත්‍ර ක්‍රිස්ටෝෆර් ව්‍රෙන් සමඟ වැඩ කිරීමට ඔහුට ප්‍රස්තාව ලැබුණා. හූක් විසින් කරන ලද බොහෝ නිර්මාණයන් අතරෙහි මහා ගින්න සිහි කිරීමට ඉදි කළ මීටර් 62ක් උස ලන්ඩනයේ ස්මාරකයද වෙයි. එමෙන්ම ඔහුගේ අදහස වී තිබුණේ ලෝකයේ තිබෙන උසම ගල් කණුව වන එය යොදාගෙන ගුරුත්වය පිළිබඳ තම සිද්ධාන්ත පරීක්ෂා කර බැලීමටයි.

ලන්ඩනයේ ග්‍රිනිච්හි රාජකීය පරීක්ෂණාගාරය නිර්මාණය කිරීම ගැන ව්‍රෙන්ට පැසසුම් ලැබුණත් එය නිර්මාණය කිරීමට වැඩි දායකත්වයක් ලැබුණේ හූක්ගෙනුයි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය මුලින්ම තිබුණේ මොන්ටෙගියු ගොඩනැඟිල්ලෙයි. එයත් හූක්ගේ නිර්මාණයක්.

තාරකා විද්‍යාඥයෙකු ලෙසත් ගරුබුහුමන් ලැබුවේ මුල්ම පරාවර්තක දූරේකෂයේ නිර්මාතෘ ඔහු නිසයි. ඔහු එය නම් කළේ ස්කොට්ලන්ත ගණිතඥයෙකු හා තාරකාවිද්‍යාඥයෙකු වන ජේම්ස් ග්‍රෙගරිගේ නමින්. බ්‍රහස්පති ග්‍රහයා එහි අක්ෂය වටා කැරකෙන ආකාරයත් ඔහු නරීක්ෂණය කළා. එමෙන්ම අඟහරු ග්‍රහයා පිළිබඳව ඔහු හෙළි කළ දත්තවලින් තමයි ඊට සියවස් දෙකකට පසුව එහි බ්‍රමණ වේගය තීරණය කළේ.

මතකයෙන් ගිලිහී යෑමට හේතුව

අයිසෙක් නිව්ටන් විසින් 1678දී ගණිතමය සිද්ධාන්ත පිළිබඳ ප්‍රකාශනයක් එළිදැක්වුවා. හූක්ගේ මයික්‍රොග්‍රැෆියා පොතෙන් වසර 22කට පසු නිකුත් කළ මේ පොතේ ගුරුත්වය පිළිබඳ නීති මෙන්ම චලනය පිළිබඳ නීති විස්තර කර තිබෙනවා. (එම ප්‍රකාශනය Mathematical Principles of Natural Philosophy) නමුත් ඇලන් චැප්මන් පවසන පරිදි “නිව්ටන්ට කලින් ගුරුත්වය පිළිබඳ බොහෝ සිද්ධාන්ත සොයාගත්තේ” හූක් විසිනුයි. ඒ වගේම ආලෝකය පිළිබඳව පර්යේෂණය කිරීමට නිව්ටන්ව පෙලඹුවේ හූක්ගේ කෘතියයි.

ආලෝකය හා ගුරුත්වය පිළිබඳ වාදවිවාදයන් නිසා මේ පුද්ගලයන් දෙදෙනා අතර සම්බන්ධය කැඩී ගියා. ගණිතමය සිද්ධාන්ත යන ප්‍රකාශනයේ හූක්ගේ කෘතියට කළ යොමු දැක්වීම්ද නිව්ටන් විසින් අයින් කළා. එක් වාර්තාවකට අනුව විද්‍යාව සඳහා හූක්ගේ දායකත්වයන් පිළිබඳ ලියවිලිවලින් කටුගා දමන්නත් නිව්ටන් වෑයම් කළා. ඊට අමතරව, රාජකීය සංගමයේ සභාපති බවට නිව්ටන් පත් වූ විගස හූක්ගේ අතින්ම සෑදූ විද්‍යාගාර උපකරණ හා ඔහුගේ ලියකියවිලි මෙන්ම ඔහුගේ රූපය ඇඳ තිබූ එකම පින්තූරයත් අතුරුදහන් වුණා. මේ හේතු නිසා අන්තිමේදී සියවස් දෙකකට පමණ හූක්ගේ කීර්තිය වැළලී ගියා.

පුදුමයට කරුණ වන්නේ 1675 පෙබරවාරි 5 දින හූක්ට ලියූ ලිපියක නිව්ටන් ඔහුගේ සුප්‍රකට වදන් ලියා තිබීමයි. “මම අද යම් තැනක සිටිනවා නම් ඒ සිටින්නේ ඔබ වැනි යෝධ වැඩකරුවන්ගේ හැකියාවන් නිසයි.” ගෘහ නිර්මාණ ශිල්පියෙක්, තාරකා විද්‍යාඥයෙක්, අත්හදා බැලීම් කරන විද්‍යාඥයෙක්, නිර්මාණකරුවෙක් හා මිනින්දෝරුවෙක් යන ක්ෂේත්‍රයන්හි රොබට් හූක් ඔහුගේ කාලයේදී ඇත්තෙන්ම බුද්ධිමත් යෝධ වැඩකරුවෙකු වුණා.

[පාදසටහන]

^ 3 ඡේ. ඉතාලි ජාතිකයෙකු වන ඩා වින්චි 1452 සිට 1519 දක්වා ජීවත් වූ චිත්‍ර ශිල්පියෙක්, ප්‍රතිමා නිර්මාණය කරන්නෙක්, ඉන්ජිනේරුවෙක් සහ නිර්මාණ ශිල්පියෙක්.

[26වන පිටුවේ පින්තූර]

හූක්ගේ තෙලි තුඩෙන් හිම රූ සටහන්

[26වන පිටුවේ පින්තූරය]

හූක් නිර්මාණය කළ අන්වීක්ෂයක්

[27වන පිටුවේ පින්තූරය]

කිරල වැනි පොත්තක ඇති ඉතා කුඩා සිදුරුවලට “සෛල” කියන වචනය යෙදුවේ හූක් විසින්

[27වන පිටුවේ පින්තූරය]

අන්වීක්ෂයෙන් දුටු දේ “මයික්‍රොග්‍රැෆියා” පොතේ හූක් දැක්වුවා

[27වන පිටුවේ පින්තූර]

ආසන්න වශයෙන් මැක්කාගේ ප්‍රමාණය

හූක් ඇන්ද මැක්කාගේ චිත්‍රය දුටු කාන්තාවන් ක්ලාන්ත වුණා

[28වන පිටුවේ පින්තූරය]

මොන්ටෙගියු ගොඩනැඟිල්ල හූක්ගේ ගෘහ නිර්මාණ ශිල්ප රාශිය අතුරෙන් එකක්

[28වන පිටුවේ පින්තූරය]

ප්‍රත්‍යස්තථාව පිළිබඳව හූක්ගේ චිත්‍රයක්

[28වන පිටුවේ පින්තූරය]

ලන්ඩනයේ අනුස්මරණ ස්මාරකය ලෝකයේ තිබෙන උසම ගල් කණුවයි

[28වන පිටුවේ පින්තූරය]

රාජකීය පරීක්ෂණාගාරය

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Spring, microscope, and snowflakes: Images courtesy of the Posner Memorial Collection, Carnegie Mellon University Libraries

[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Images courtesy of the Posner Memorial Collection, Carnegie Mellon University Libraries

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Spring diagram: Image courtesy of the Posner Memorial Collection, Carnegie Mellon University Libraries; London’s Memorial Tower: Matt Bridger/DHD Multimedia Gallery; Royal Observatory: © National Maritime Museum, London