Skip to content

පටුනට යන්න

මගේ ජීවිතයේ ඉලක්ක මොනවද?

මගේ ජීවිතයේ ඉලක්ක මොනවද?

යෞවන අය අසති . . .

මගේ ජීවිතයේ ඉලක්ක මොනවද?

“පුංචි කාලේදී මම මගේ අනාගතය ගැන කරදර වුණේ නැහැ. ඒත් පාසැල් අධ්‍යාපනයේ අවසාන කාලේදී මට වැටහුණා මට රැකියාවක් කරන්නත් මගේම වියදම් දරාගන්නත් වෙයි කියලා.”—ඇලෙක්ස්, වයස 17යි.

ඔබත් ඒ විදිහට ඔබේ අනාගතය ගැන සිහින මැව්වාද? ඒවා ගැන දැන් ඔබට හැඟෙන්නේ කොහොමද? වැඩිහිටියෙක් වුණ දාට කරන්න ඕන දේ ගැන සිතාගත නොහැකිවද ඔබ ඉන්නේ? එය එසේනම් මෙවන් දෙයක් අද්දකින්නේ ඔබ පමණක් නොවන බව මතක තබාගන්න. එක්තරා පොතක සඳහන් වන්නේ “රැකියාවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම යෞවනයන්ට තිබෙන ලොකුම අභියෝගයක්” කියායි.—එම පොත Career Coaching Your Kids.

සමහරවිට ඔබ තවමත් ඔබගේ අනාගත ජීවිතය ගැන හිතලා නැතුව ඇති. හැබැයි විනෝද වෙන්න නම් හුඟක් කැමති ඇති. සතුටු වීම වරදක් නොවන බව බයිබලයෙත් පවසනවා. “ඔබේ තරුණ වයසේදී ප්‍රීති වෙන්න.” (දේශනාකාරයා 11:9) කෙසේවෙතත් ඔබේ ජීවිතයේ ඉලක්ක ගැන කල්පනා කිරීමට හොඳම කාලය යෞවන කාලයයි. හිතෝපදේශ 14:15හි [නව අනුවාදය] පවසන්නේ “උගතා තම පියවර හොඳින් විමසා බලයි” කියායි. ඔබේ පියවර හොඳින් විමසා බලන්න පුළුවන් කොහොමද?

‘ඔබ යා යුතු මඟ සලසාගන්න’

ඔබේ නිවසෙන් කිලෝමීටර් ගණනාවක් ඈතකට යන්න ඔබ අදහස් කරනවායයි සිතමු. යන්න අදහස් කරන තැනට යන්න හොඳම පාර දැනගැනීමට ඔබ මාර්ග සිතියමක් සෝදිසි කර බලාවි. ඔබේ ජීවිතයේ ඉලක්ක සම්බන්ධයෙන්ද සැබෑව එයයි. “යා හැකි මාර්ග හුඟක් තියෙනවා. ඒවා තෝරා බේරා ගන්න නම් ඔබට හොඳ ඉලක්ක තිබීම අවශ්‍යයි.” එසේ පැවසුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කරන මයිකල් නමැති තරුණයායි.

ඔබේ ඉලක්කයක් ඔබ යා යුතු තැන ලෙස සලකන්න. හැම පාරෙම එහෙට මෙහෙට යමින් හිටියොත් යා යුතු තැනට යන්න බැරි වෙයි. ඒ නිසා සිතියමක් ගෙන ගමන් මඟ බලාගැනීමයි නැණවත්ම දේ. එසේ කරනවා නම් හිතෝපදේශ 4:26හි [න. අ.] සඳහන් “ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න. එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත” යන වදන් ඔබ පිළිපදියි.

කාලය ගෙවී යද්දී ඔබට නමස්කාරය, රැකියාව, විවාහය හා වෙනත් වැදගත් කාරණා ගැන කල්පනාකාරීව තීරණ බොහොමයක් ගන්න සිදු වේවි. ඔබ යන්නේ කොතැනටද කියා හොඳින් දන්නවා නම් ඥානවන්ත තීරණ ගන්න පහසු වෙයි. ඔබේ ගමන් මඟ බලාගැනීමේදී අමතක නොකළ යුතු කාරණයක් තිබෙනවා.

“ඔබේ මැවුම්කාර දෙවියන් සිහි කරන්න”

සැබෑ සතුට අත් කරගැනීමට නම් නැණවත් සාලමොන් රජු පැවසූ “ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් සිහි කරන්න” යන වදන් සිතට ගත යුතුයි. (දේශනාකාරයා 12:1, න. අ.) ඔබේ ජීවිත ගමනේදී ඔබ තෝරාගත යුත්තේ දෙවිව සතුටු කළ හැකි මාර්ගයි.

එය අත්‍යවශ්‍යම දෙයක් වන්නේ ඇයි? බයිබලයේ එළිදරව් 4:11හි මෙසේ පවසනවා. “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය; ඒවා මවන ලද්දේය.” ස්වර්ගයේ හා පොළොවේ වෙසෙන සියල්ලන් මැවුම්කරුට ණයගැතියි. ඔබට ඔහු “ජීවනයත් හුස්මත් අන් සියලු දේත්” දී තිබීම ගැන ඔබ ස්තුතිවන්ත වෙනවාද? (ක්‍රියා 17:25) ඔහු ඔබට දී තිබෙන සියල්ල සඳහා අගය පෙන්වීමට ඔහුට යමක් දෙන්න අවශ්‍ය බව ඔබට හැඟෙන්නේ නැද්ද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින බොහෝ යෞවනයන් තම මැවුම්කරුව මුලින්ම මතකයේ තබාගෙන සිටින නිසා පූර්ණ-කාලීන දේවසේවයේ යෙදීමට ඔවුන් තීරණය කර තිබෙනවා. එය අගනා ඉලක්කයක් වන අතර මිල කළ නොහැකි ආශීර්වාද රැසක් ලැබෙන ඉලක්කයක්. (මලාකී 3:10) එම ඉලක්කය අත් කරගන්න වුවමනා නම් සැලසුම් කිරීම අවශ්‍යයි.

උදාහරණයකට ඔබෙන්ම මේ ප්‍රශ්නය අහගන්න. ‘පූර්ණ-කාලීන දේවසේවයේ යෙදෙද්දී මගේ දෛනික අවශ්‍යතා සැපයීමට මට තියෙන්නේ මොන වගේ හැකියාවන් හා දක්ෂතාවන්ද?’

දැන් වයස 27ක් වන කෙලී කුඩා කාලේදීම ඒ සඳහා සැලැස්මක් යෙදුවා. ඇගේ ඉලක්කය වුණේ පූර්ණ-කාලීන දේවසේවයට ඇතුල් වීමයි. නව යොවුන් විය පසු කරද්දී දේවසේවයේ යෙදීමට “ක්‍රමයක් සොයාගන්න” අවශ්‍ය වුණ නිසා ඇය පවසන්නේ “මම කරන සේවයට බාධාවක් නොවන වෘත්තියක් සොයාගන්න සිදු වුණා” කියායි.

කෙලී උසස් පෙළ හදාරද්දී පාසැලේ පැවැත්වූ වෘත්තීය පුහුණු වැඩසටහනකින් දන්ත වෛද්‍ය සහයක ලෙස පුහුණුවක් ලැබුවා. ඒ වගේම තරඟයකින් දිනන්නත් ඇයට හැකි වුණා. ඒත් එම සාර්ථකත්වයන් ඇගේ ප්‍රධාන ඉලක්කයට බාධාවක් කරගත්තේ නැහැ. “මට ඕන වුණේ පූර්ණ-කාලීන දේවසේවයේ යෙදෙන්නයි. ඒ නිසා අනිත් හැම දෙයක්ම මම දෙවෙනි තැනට දැම්මා” කියා කෙලී පවසනවා. කෙලී දැනටත් ප්‍රීතියෙන් එම සේවයේ නියැලෙමින් කියන්නේ “මං ගත්ත තීරණය තමයි හොඳම තීරණය” කියායි.

උපදෙස් පතන්න

ඔබ නුහුරු නුපුරුදු ප්‍රදේශයක ගමන් කරමින් සිටිනවා නම් සිතියමක් ළඟ තිබුණත් යා යුතු මඟ දැනගන්න කාගෙන් හරි අහන්න පෙලඹෙයි. අනාගතය ගැන සැලසුම් කරද්දීත් එවැනිම දෙයක් කරන්න ඔබට පුළුවන්. අන් අයගෙන් උපදෙස් ගන්න. හිතෝපදේශ 20:18 [න. අ.] පවසන්නේ මෙයයි. “හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත.” ඔබේ දෙමාපියන්ගෙන් හොඳ උපදෙස් ගන්න පුළුවන්. ඒ වගේම දෙවිගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වන අද්දැකීම්ලත් ක්‍රිස්තියානීන්ගෙනුත් උපදෙස් ලබාගත හැකියි. “ඔබේ සභාවේ හෝ ළඟපාත වෙසෙන ආදර්ශවත් වැඩිහිටියන්ගෙන් උපදෙස් පතන්න. සමහරවිට ඔවුන් කියන දේට ඔබත් පුදුම වෙයි” කියා රොබටෝ පැවසුවා.

මේ සියල්ලන්ටම වඩා යෙහෝවා දෙවි ඔබට ඉමහත් සතුටක් ලැබෙන තේරීම් කරන්න උපකාර කරනවා. එනිසා ජීවිතයේ ඉලක්ක සම්බන්ධයෙන් ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගැනීමට’ ඔබට උපකාර කරන්න කියා ඔහුගෙන් ඉල්ලන්න. (එෆීස 5:17) යෙහෝවාව මුළු හදින් විශ්වාස කරනවා නම් ‘ඔහු ඔබට හරි මඟ පෙන්වනවා.’—හිතෝපදේශ 3:5, 6, න. අ.

“යෞවන අය අසති . . .” යන තව ලිපි මාලාවක් www.watchtower.org/ypa යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි

මේ ගැන හිතන්න

▪ ඔබට තිබෙන්නේ මොන වගේ හැකියාවන් හා දක්ෂතාවන්ද?

▪ යෙහෝවාට ප්‍රශංසා කිරීමට එම හැකියාවන් යොදාගත හැකි ක්‍රම තිබෙනවාද?

▪ මේ ලිපියේ සඳහන් පූර්ණ-කාලීන සේවාවන්වලින් ඔබ කැමති කුමන සේවයටද?

[23වන පිටුවේ කොටුව]

අතරමං වන මාවතක්

බයිබලයේ සඳහන් වන්නේ “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය” කියායි. ධනය පමණක් සොයන්න යන අයට අන්තිමේදී සිදු වන්නේ දෙවිගේ මාර්ගයෙන් ඈත් වී, ණය වීමට හා හිත් වේදනාව ඇති වෙන විනාශකාරී මඟකට ඇද වැටීමටයි.—1 තිමෝති 6:9, 10.

[24, 25වන පිටුවේ කොටුව/පින්තූර]

පුරෝගාමි

සේවය පුරෝගාමි ප්‍රචාරකයෙක් යනු බව්තීස්ම ලත් ආදර්ශවත් ක්‍රිස්තියානියෙකුයි. ඔහු හෝ ඇය දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීමට සෑම මසකම පැය 70ක් ගත කිරීමට සැලසුම් යොදා තිබෙනවා. පුහුණුව හා අද්දැකීම් නිසා පුරෝගාමීන් බයිබලය හොඳින් ඉගැන්වීමේ දක්ෂයෝ වෙනවා.

බෙතෙල්

සේවය බෙතෙල් පවුලේ සාමාජිකයන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල සේවය කරනවා. ඔවුන් බයිබල් ප්‍රකාශන ලිවීමට, මුද්‍රණය කිරීමට හා බෙදාහැරීමට සහාය වෙනවා. බෙතෙල්හි සෑම පැවරුමක්ම පරිශුද්ධ සේවා වරප්‍රසාදයක්.

වැඩි අවශ්‍යතාවක් ඇති ප්‍රදේශයක

සේවය කිරීම සමහර පුරෝගාමීන්ට හැකි වී තිබෙනවා රාජ්‍ය ප්‍රචාරකයන්ගේ අවශ්‍යතා ඇති තැන්වලට ගිහින් සේවය කරන්න. තවත් අය වෙනත් භාෂාවක් ඉගෙනගෙන විදෙස් රටකට ගොස් හෝ එම භාෂාව කතා කරන වෙනත් සභාවකට ගොස් එහි සේවය කරනවා.

ජාත්‍යන්තර සේවය

ජාත්‍යන්තර සේවකයන් රාජ්‍ය ශාලා හා ශාඛා කාර්යාල ගොඩනැඟීමේ කටයුතුවලට සහාය වීම සඳහා විදේශ රටවලට යනවා. මෙයත් පරිශුද්ධ සේවයක්. ඔවුන් හරියට සාලමොන්ගේ දේවමාළිගාව ගොඩනැඟීමේ වැඩයට හවුල් වූ අය වගෙයි.—1 රාජාවලිය 8:13-18.

දේවසේවා පුහුණු පාසැල

සති අටක කාලයක් පුරා සුදුසුකම් ලත් තනිකඩ වැඩිමහල්ලන්ට සහ සභා සේවකයන්ට සංවිධානය කිරීම හා ප්‍රසිද්ධියේ කතා කිරීම පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දෙනවා. සමහර අය තම මව් රටේ සේවය කිරීමටත් වෙනත් අය විදෙස් රටක සේවය කිරීමටත් පැවරුම් ලබනවා.

මිෂනාරි සේවය

සුදුසුකම් ලත් හොඳ ශාරීරික සෞඛ්‍යයක් සහ මානසික තත්වයක් ඇති අයව වෙනත් රටක සේවය කිරීමට පුහුණු කරනවා. මිෂනාරිවරු ප්‍රීතිමත් හා තෘප්තිමත් ජීවිත ගත කරනවා.

[24වන පිටුවේ කොටුව/පින්තූර]

මගේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිපදවා ඇති මේ වීඩියෝ පටයේ තිබෙන්නේ බ්‍රසීලයේ, බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ සහ එක්සත් ජනපදයේ යෞවනයන්ගෙන් ගත් අවංක අදහස්. එය ඉතා ඉක්මනින් භාෂා ගණනාවකින් ලබාගත හැකියි.

[23වන පිටුවේ පින්තූරය]

“හොඳ ඉලක්ක අවශ්‍යයි.”—මයිකල්, බෙතෙල් පවුලේ සාමාජිකයෙක්

[24වන පිටුවේ පින්තූරය]

“මං ගත්ත තීරණය හොඳම තීරණයයි.”—වසර හයක් පුරා පුරෝගාමි සේවයේ යෙදෙන කෙලී

[25වන පිටුවේ පින්තූරය]

“ආදර්ශවත් වැඩිහිටියන්ගෙන් උපදෙස් පතන්න”—රොබටෝ, බෙතෙල් පවුලේ සාමාජිකයෙක්