Skip to content

පටුනට යන්න

මාළු ඔබට විස වෙයිද?

මාළු ඔබට විස වෙයිද?

මාළු ඔබට විස වෙයිද?

ෆීජීවල පිබිදෙව්! ලේඛක විසින්

කනවද නොකා ඉන්නවද? ආරේබෝන්ටෝ දැනගෙන හිටියා කෑවොත් අගුණ වෙන්නත් පුළුවන් බව. ඒත් බඩගින්න නිසාත් පුලුස්සපු මාළුවල සුවඳ දැනෙද්දීත් ඔහුට එය නොකා ඉන්න බැරි වුණා. වැඩි වෙලා ගියේ නැහැ ඔක්කාරයට ආවා. බඩේ රිදිල්ලක් ඇල්ලුවා. ප්‍රතිඵලය වමනෙයි පාචනයයි. අපරාදේ මාළු නොකා හිටියානම් කියලා ඔහුට හිතුණා.

කුඩා පැසිෆික් දූපතක සිටි ඔහුව යාළුවෝ ලහි ලහියේ රෝහලට ගෙන ගියා. ඔහු සිහි මුර්ච්ඡා වී විජලන තත්වයකයි සිටියේ. පපුව රිදෙන්නත්, රුධිර පීඩනය අධික ලෙස පහත වැටෙන්නත්, නාඩි වැටීමේ වේගය අඩු වෙන්නත් පටන්ගෙන තිබුණා. ඊළඟ දවස් කීපය පුරාම හිසේ කැක්කුම, කරකැවිල්ල, තෙහෙට්ටුව, කකුල් හිරිවැටීම, මූත්‍රා කිරීමේදී වේදනාව දැනීම හා සංවේද ඉන්ද්‍රියන්වල විපර්යාසයක් එනම් සීතල රස්නේ හැටියටත්, රස්නේ සීතල හැටියටත් දැනීම වැනි දේවල් ඔහු අද්දැක්කා. දවස් අටකට පසු යළි ඔහුගේ නාඩි වැටීම ක්‍රමවත් වූ නමුත් හිරිවැටීම හා තෙහෙට්ටු ගතිය සති කීපයක්ම තිබුණා.

ඔහුට මාළු විෂවීම නිසයි එවැනි රෝගයක් ඇති වුණේ. ගල් පර අසල වෙසෙන සමහර මාළුන්ව සාමාන්‍යයෙන් කෑමට ගත්තත් සමහර අවස්ථාවලදී උන්ගේ ශරීරය තුළ විෂ වර්ගයක් නිපදෙනවා. සිගුඒටොක්සින් නම් මේ විෂ වර්ගය තිබෙන විට එම මාළු කෑවොත් සිගුඒටරා ෆිෂ් පොයිසනිං (CFP) හෙවත් මාළු විෂ රෝගය සෑදෙනවා. එය වැඩිහරියක්ම සෑදෙන්නේ ඉන්දියන් හා පැසිෆික් සාගර ආශ්‍රිත නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවලදී මෙන්ම කැරිබියන් දූපත්වලදියි. මේ ප්‍රදේශවලින් අල්ලන මාළු එහි වැසියන්ගේ ප්‍රධානතම ආහාරයක්.

එම රෝගය අලුත් එකක් නොවෙයි. යුරෝපයේ ගවේෂකයන් මුහුදු යාත්‍රාවල යෙදෙද්දී ගොදුරු වුණේ මෙම රෝගයටයි. එලෙසම අද දිනත් නිවාඩු ගත කිරීමට යන බොහෝදෙනෙක් මෙම රෝගයෙන් පීඩා ලබනවා. මසුන් ඇල්ලීමට හා සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යෑමට වැටකඩොලු බඳිමින් මෙම රෝගය දිවයින් වාසීන්ට හරස් වෙලා. එපමණක් නොව මෙම ගල් පර වාසී මසුන් වෙළඳාම ඉතා පහසුවෙන් ජාත්‍යන්තර වශයෙන් සිදු වන නිසා දැන් එම රෝගය වෙනත් ප්‍රදේශ කරාත් ව්‍යාප්ත වී තිබෙනවා. රෝගයට හේතුව එම මාළුන් බව බොහෝවිට අවබෝධ කරගන්නේ නැහැ. *

ගල් පරවල වෙසෙන මේ මාළු විෂ වන්නේ ඇයි? විෂ සහිත මාළුන්ව හඳුනාගත හැකිද? කලක් පුරා කළ පර්යේෂණවලින් හෙළි වී ඇති දේ දැන් සලකා බලමු.

එම විෂ ඇති වන අයුරු

මෙම රෝගයට වගකිව යුත්තා වශයෙන් සැලකෙන්නේ විෂ සහිත ක්ෂුද්‍ර ජීවියෙක්. * මැරුණු කොරල් පරවල ජීවත් වන මෙම ක්ෂුද්‍ර ජීවියා මුහුදු පැළෑටිවල ඇලෙනවා. මාළුවෝ එම ක්ෂුද්‍ර ජීවීන් සහිත පැළෑටි කද්දී එම සිගුඒටොක්සින් නම් විෂ වර්ගයත් ශරීරගත වෙනවා. එම කුඩා මසුන්ව ලොකු මසුන් කන අතර උන්වත් විශාල මත්ස්‍යයන් කනවා. මෙලෙස ආහාර දාමයේ අන්තිම මාළුවා දක්වා විෂ පැතිර අධික වෙනවා. ඒ වුණත් මාළුවාට හානියක් වෙන්නේ නැහැ.

ජීව විද්‍යාත්මක මාරාන්තික ද්‍රව්‍ය අතරට සිගුඒටොක්සින්ද ඇතුළත්. ඕස්ට්‍රේලියානු රජයේ වාර්තාවක් පවසන ආකාරයට, භාග්‍යයකට “මෙම රෝගය ඇති කරන විෂ තිබෙන්නේ මාළු වර්ග ස්වල්පයක පමණයි.” මෙම විෂ වර්ගය මගින් මාළුවාගේ පෙනුම, ගඳසුවඳ හෝ රසය වෙනස් වෙන්නේ නැහැ. එමෙන්ම පිසීමෙන්, වියළීමෙන්, ජාඩි දැමීමෙන්, දුම් ගැස්සවීමෙන් හෝ රසගන්වා පදම් කිරීමෙන් එය මරා දැමීමටත් නොහැකියි. ආරේබෝන්ටෝටත් සිදු වුණේ එයයි. උදරයේ, හෘදයේ හා ස්නායු පද්ධතියේ ඇති වුණ දරුණු රෝග ලක්ෂණවලින් පමණයි එම මාළුවා විෂ සහිත මාළුවෙක් බව දැනගත්තේ.

රෝගය හඳුනාගැනීම හා ප්‍රතිකාරය

මෙම රෝගය සඳහා තවම පරීක්ෂණයක් සොයාගෙන නැහැ. මෙවැනි මාළුවෙක් ආහාරයට ගෙන පැය කීපයක් ඇතුළත පහළ වන රෝග ලක්ෂණ අනුව හා මාළුවාගේ ඉතිරි කොටස් පරීක්ෂා කිරීමෙන් පසුවයි රෝගය හඳුනාගත හැක්කේ. (ඊළඟ පිටුවේ කොටුව බලන්න.) රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නැණවත්ම දෙයයි. එයට තවමත් විෂ නාශක ඖෂධයක් සොයාගෙන නැතත් ප්‍රතිකාරවලින් රෝග ලක්ෂණ සුව කළ හැකියි. සුවවීමට සාමාන්‍යයයෙන් දවස් කීපයක් ගත වෙයි. කෙසේවෙතත් මෙම රෝගය නිසා දුර්වල විය හැකි බැවින් දරුණු තත්වයක් ඇතිවීමට පෙර ඉක්මනින්ම ප්‍රතිකාර කිරීම සුදුසුයි.

රෝග ලක්ෂණ දරුණු වීමට විවිධ හේතු තිබිය හැකියි. මාළුවා තුළ තිබෙන විෂ ප්‍රමාණය, කෑමට ගත් ප්‍රමාණය හා මාළුවාගේ කොටස්, එය ආහාරයට ගන්නා විට රෝගියා තුළ තිබෙන එම විෂ මට්ටම ඉන් සමහරක්. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ විෂ වෙනස් විය හැකි නිසා මාළුවාව අල්ලාගත් ස්ථානයත් බලපානවා. මෙම විෂවලට එරෙහි වීමට මිනිස් ශරීරයට හැකියාවක් නැති නිසා එම විෂ ශරීරගත වන සෑම අවස්ථාවකදීම පෙර අවස්ථාවට වඩා රෝගය බරපතළ වෙයි! මත්පැන් භාවිතයෙන් රෝග ලක්ෂණ තවත් දරුණු වෙයි. එක් පොතක පෙන්වන ආකාරයට එම රෝගය සෑදුණු පසු හොඳම දේ වන්නේ රෝගියා මාස තුනත් හයත් අතර කාලයක් මාළු නොකා සිටීමයි.

රෝගය උත්සන්න වී ඇත්නම් සති හෝ මාස කීපයක් සමහරවිට වසර කීපයක් පවා රෝගය තිබිය හැකියි. තෙහෙට්ටු ගතිය වැනි රෝග ලක්ෂණ දිගටම තිබෙන්න පුළුවන්. රෝගයට ඔරොත්තු දීමේ හැකියාව නැතිවීම නිසාත්, ශ්වසන අපහසුතා හෝ හෘදයාබාධය හෝ විජලනය නිසාත් මෙවැනි රෝගියෙක් කලාතුරකින් මිය යන්නත් ඉඩ තිබෙනවා. එහෙත් බොහෝවිට එලෙස වන්නේ එම මාළුවාගේ ඔළුව හෝ වඩාත් විෂ සහිත අභ්‍යන්තර කොටස් ආහාරයට ගැනීම නිසයි.

පුදුමාකාර දෙයක්

කොරල් පරවල වෙසෙන සියලුම මාළුන් හා උන්ව ආහාරයට ගන්නා මාළුන් බොහෝදුරට විෂ සහිත විය හැකියි. ඒත් මෙහි පුදුමයට කරුණක් තිබෙනවා. එක ප්‍රදේශයක ගල් පරවල වෙසෙන මසුන් අධික ලෙස විෂ සහිත වෙද්දී ඒ අසල ප්‍රදේශවල වෙසෙන එම මසුන් වර්ගයම විෂ සහිත නොවෙන්න පුළුවන්. ඒ වගේම රෝගයට හේතු වන මාළු වර්ගය ලෝකයේ එක පැත්තකදී විෂ සහිත වුණත් තවත් පැත්තකදී විෂ සහිත නොවිය හැකියි. විෂ සහිත ක්ෂුද්‍ර ජීවීන් විෂ මුදාහරින්නේ කොයි මොහොතේද කියා නොදන්නා බැවින් මාළුවා විෂ සහිත වන අවස්ථාව කලින් කිව නොහැකියි.

ප්‍රශ්නය තවත් බරපතළ වෙන්නේ විෂ තිබෙනවාද කියා සොයා බැලීමට තවමත් ඵලදායී පරීක්ෂණයක් සොයාගෙන නැති නිසයි. සෞඛ්‍ය නිලධාරීන්ට දැනට හැකි වී තිබෙන්නේ වැළකිය යුතු මාළුන් ගැනත්, උන්ව අසු වෙන ප්‍රදේශ ගැනත්. වාර්තා වී ඇති රෝගීන්ගේ තොරතුරු ගැනත් මහජනයාව දැනුවත් කිරීම පමණයි. වඩාත්ම මේ ගණයේලා සැලකෙන්නේ ජීලාවා, කොස්සා, මැකරැල්ලා, ගල් මාළුවා, කලමීයා සහ මොරේ ආඳා වැනි වර්ගයන්ට අයත් මාළුයි. වැඩි කලක් ජීවත් වූ ලොකු මාළුවල අවදානම වැඩියි. සමහර ප්‍රදේශවල සැක සහිත මාළු විකිණීම නීතියෙන් තහනම්. වැඩි උෂ්ණත්වයක් නැති මුහුදේ වෙසෙන මාළු හා ගැඹුරු මුහුදේ වෙසෙන මාළු ගල් පර ආශ්‍රිත මාළුන්ව ආහාරයට නොගන්නා නිසා බොහෝදුරට උන්ව ආහාරයට ගැනීම සුදුසුයි.

මෑත වාර්තාවලින් පෙන්වන්නේ කොරල් පර වැඩි වැඩියෙන් අනතුරට ලක් වෙමින් හෝ මිය යමින් පවතින බවයි. මෙවැනි තත්වයක් මේ රෝගයට හේතු වන විෂ සහිත ක්ෂුද්‍ර ජීවීන් වැඩිවීමට දායක වෙයි. එහි ප්‍රතිඵලයක් හැටියට රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා.

රෝගයේ ස්වභාවය කලින් නිර්ණය කළ නොහැකි වුණත් මූලික කරුණු කීපයක් සලකා බැලීමෙන් අවදානම අඩු කරගත හැකියි. (ඉහළ කොටුව බලන්න.) ආරේබෝන්ටෝ මාරාන්තික තත්වයකට පත් වුණේ මෙම උපදෙස් පිළිපැද්දේ නැති නිසයි. කෑවොත් විෂ විය හැකි බව ප්‍රසිද්ධව තිබූ ගල් මාළුවෙකුගේ ඔළුවත් එක්කම ඔහු කෑවා. කලින් ඒ වර්ගයේ මාළු කාලා තිබුණත් කිසි හානියක් නොවුණ නිසා අනෙක් දිවයින් වාසීන් වගේම ඔහුත් සැකයකින් තොරවයි ඒ මාළු කෑවේ.

ඉහත සඳහන් කළ දේවලින් අදහස් වන්නේ ඔබ නිවාඩුවක් ගත කිරීමට ග්‍රීෂ්ම කලාපයකට ගිය විට මුහුදු මාළු ආහාරයට නොගත යුතු බවද? නැහැ. නැණවත් දේ වන්නේ අනතුරු ඇඟවීම් ගැන සැලකිලිමත් වී කල්පනාකාරීව මාළු ආහාරයට ගැනීමයි.

[පාදසටහන්වල]

^ 6 ඡේ. රෝග ලක්ෂණ හඳුනා නොගැනීම හා හැම රෝගියෙක් ගැනම වාර්තා නොවීම නිසා ලොව පුරා රෝගී වන සංඛ්‍යාව හරියටම පැවසිය නොහැකියි. විවිධ ආයතනවලට අනුව ලොව පුරා වාර්ෂිකව 50,000ක් පමණ රෝගී වන බව ගණන් බලා තිබෙනවා.

^ 9 ඡේ. ක්ෂුද්‍ර ජීවියාගේ විද්‍යාත්මක නම Gambierdiscus toxicus.

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රෝග ලක්ෂණ

▪ පාචනය, ඔක්කාරය, වමනේ, බඩ කොරවීම

▪ ඇවිලිල්ල, දහඩිය දැමීම, කරකැවිල්ල, හිසේ කැක්කුම, කැසීම

▪ කට, අත් හෝ යටිපතුල් හිරිවැටීම හෝ පුපුරු ගැසීම

▪ සංවේදී ඉන්ද්‍රිය විපර්යාසය—සීතල රස්නෙට දැනීමත්, රස්නේ සීතලව දැනීමත්

▪ පේශිවල, සන්ධිවල හා මූත්‍රා කිරීමේදී වේදනාවක් ඇතිවීම

▪ නාඩි වැටීමේ වේගය අඩුවීම, අඩු-රුධිර පීඩනය, තෙහෙට්ටුව

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කල්පනාකාරී වන්න

▪ විෂ සහිත මාළු ගැනත්, උන් සිටින ප්‍රදේශ ගැනත් ධීවර සංස්ථාවෙන් හෝ අත්දැකීම් ලත් ධීවරයන්ගෙන් විමසන්න.

▪ රෝගය මෑතකදී වාර්තා වූ ප්‍රදේශවලින් අල්ලන මාළු කෑමෙන් වළකින්න.

▪ ගල්පරවල වෙසෙන වැඩි කලක් ජීවත් වූ මාළු කන්න එපා.

▪ ඔළුව, පීකුදු හෝ වෙනත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් කන්න එපා.

▪ ගල්පරවල වෙසෙන මාළු ඇල්ලූ ගමන් සුද්ද කරන්න.

[20, 21වන පිටුවේ පින්තූර]

විෂ විය හැකි මාළු වර්ග

(සමහර නම් වෙනස් විය හැකියි)

ජීලාවා

කොස්සා

ගල් මාළුවා

කලමීයා

මැකරැල්ලා

මොරේ ආඳා

[20වන පිටුවේ පින්තූරය]

වගකිව යුත්තා වන විෂ සහිත ක්ෂුද්‍ර ජීවියා

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All fish except eel: Illustrated by Diane Rome Peebles - Provided by the Florida Fish and Wildlife Conservation Commission, Division of Marine Fisheries Management; eel: Photo by John E. Randall; dinoflagellate: Image by D. Patterson and R. Andersen, provided courtesy of micro*scope (http://microscope.mbl.edu)

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Fish backgrounds: Illustrated by Diane Rome Peebles - Provided by the Florida Fish and Wildlife Conservation Commission, Division of Marine Fisheries Management